මාව මැරිකරනවා කියලා පොරොන්දු වෙන්න... | සිළුමිණ

මාව මැරිකරනවා කියලා පොරොන්දු වෙන්න...

ඔහු මෝටර් රියට නැංගේ විපිළිසර මනසකිනි. සැහැල්ලු ප්‍රීතිමත් තරුණයා හදිසියේ ම අතුරුදන්ව ගිය සෙයකි. පැහැදිලි කිරීමක් පතා ඔහු අමාලි දෙස නෙත් හෙළූ හැම වරකම ඇය දැඩි බැල්මකින් ඔහුගේ ව්‍යාකුල බව තවත් වැඩි කළාය. පිරිස පිටව ගිය පසු නිවෙස පමණක් නොව සිත් සතන්ද වෙළාගත් පාළුව පිටුදකින අදහසින් මෙන් සුනන්දා නොනවත්වා කතා කළාය.

සුනන්දා දෙබැම ඉහළ නංවා විමතිය පළ කළාය.

“‍ෙහාඳට සිංහල කතා කරනවානෙ. මං නං හිතුවෙ නෑ එක ඉංග්‍රිසි වචනයක් නොදා සිංහල කතා කරයි කියලා ඔය ළමයා..”

ඔහුගේ සිනා හඬ අමාලිට හා ශ්‍රීමා වීරවර්ධනට ඉඳිකළ තොරණක් සදිසිය. ඔවුන් මුළුතැන්ගෙය වෙත ඇදී ආවේ දල්වා ගත් නෙතිනි.

“අනේ අපටත් කියන්නකෝ ඇයි ඔය තරම් හිනා වෙන්නෙ කියලා..”

අමාලිගේ කුහුල ද උද්යෝගය ද ඔහු ඉවසුවේ ප්‍රීතියෙනි.

“ඔයාගෙ නැන්දා හරි ෂෝක්නෙ අමාලි..”

සුනන්දා ප්‍රීතියෙන් පිරී පිම්බී ගියාය. දරදඬු පියෙකු හා අකීකරු දියණියක අතරට මැදිව අසහනයෙන් ද අසන්තෝෂයෙන් ද කල් ගෙවන තමාට මෙබඳු ප්‍රීතිමත් අවස්ථා උදාවන්නේ කලාතුරකින් බව මෙනෙහි කළාය.

“ඔය තරම් ෂෝක් නම් එක්ක යන එකනෙ තියෙන්නෙ. ඕන්නම් තාත්තවත් ගෙනියන්න. මම මේ දෙන්නත් එක්ක ඉන්නෙ හරිම අමාරුවෙන්.”

“ඉතිං ඊට පස්සෙ ඔයා තනියමනෙ..”

සුනන්දා යමක් කියන්නට තැත් කළාය. එහෙත් ශ්‍රීමා වීරවර්ධන ඉස්සර වූවාය.

“ඒකට කරන්න තියෙන්නෙ රමේෂ් මෙහෙ නවතින එකනෙ. එත‍කොට අමාට තනි නෑනේ..”

තුරුණු නෙත් සම්මුඛ වූයේ අහම්බෙනි. විස්මය හැරුණු කොට අන් යමක් ඒ නෙත් තුළ නොවීය.

“ගෙදරක හිරවෙන්න මම කැමති නෑ මමී. මම ආපහු යන්න ඕන..”

“ලෝකෙ පුරාම ඇවිද්දත් තමුන්ට ගෙයක් දොරක් තියෙන්න ඕන රමේෂ්... ලෝකෙ ගෙදරක් වෙන්නෙ නෑ කවදාවත් කාටවත්. ඒත් ගෙදර ලෝකයක්.”

නිතර පිස්සු නටන විකාර ගැහැනියකගේ මුවින් එබඳු කතාවක් පිට වීම පිළිබඳව අමාලි පුදුමයට පත් වූවාය.

“එතකොට මමී කියන්නෙ මට මේ මෝඩ පිස්සු කෙල්ලව මැරි කරන්න කියලද..”

තේ බන්දේසිය උසුලාගෙන හුන් සුනන්දා ප්‍රීතියෙන් ඉපිලී ගියාය. අමාලිට වඩාත් හොඳින් ගැළපෙන්නේ මේ තරුණයා නොවේදැයි ඇයට සිතිණ. නලින් හා බ්‍රයන් දෙදෙනාගේම නුසුදුසුකම් එකින් එක ඉස්මතු වන්නට පටන් ගත්තේය.

“මැරි කරන්නෙ කවුද කියන එක තීරණය කරන්න ඕන තමුන්.”

“මැරේජ් එකක් ගැන මම හීනෙන්වත් හිතලා නැති එකේ මැරි කරන්නෙ කවුද කියලා කොහොමද හිතන්නෙ..?”

තේ බන්දේසිය බාරගත් අමාලි මුළුතැන්ගෙයින් පිටව ගියාය. ඇගේ නිහැඬියාව නොමනාපය හඟවන්නේදැයි රමේෂ් කනස්සල්ලෙන් කල්පනා කළේය.

“අමාලිගෙ හිත රිදුණද දන්නෙ නෑ... නේද ආන්ටි..” යි ඔහු සුනන්දාට ළංව පහත් හඬින් ඇසුවේය.

“එයාගෙ හිත රිද්දන එක ලේසි නෑ පුතා. එයා ටිකක් අමුතුයි...”

ඔහු හිස සැලුවේය.

“ඒක නම් ඇත්ත. අද උදේ මමීත් එක්ක කැරම් ප්ලේ කරනවා. මමීට දිනන්න දෙන්නෙම නෑ. මම බයේ හිටියෙ මමීට කේන්ති එයි කියලා. මගේ මැඩම්ගෙ මමී කියලා මම දිනන්න දෙන්නෙ නෑ කියල කීවනේ මේ කෙල්ල..”

“එයා එහෙම තමා. ඒත් ඉතිං අපේ අයියා හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ ඔය ළමයා ගැන. මම බයේ ගැහෙනවා වෙලාවක අයියගෙ නහරයක් පුපුරයි කියලා මේ කෙල්ල කරන වැඩවලට..”

කිසිවක් නොපැවසූ රමේෂ් තේ පැන් සංග්‍රහයට එක්විය.

“කලින් දන්නවා නම් මොනා හරි හදන්නවත් තිබ්බනේ තේ බොන්න..”

කේක් හා විස්කෝතු පිළිබඳ සෑහීමකට නොපත් සුනන්දා කණගාටුව ප්‍රකාශ කළාය.

“ආන්ටි හදන්නකෝ.. මම එන්නම් කාලා යන්න..” යි රමේෂ් පොරොන්දු විය. ඔහුට වුවමනා වූයේ අමාලි සමඟ හුදෙකලා වන්නටය. සමුගන්නා මොහොත තෙක් ඊට ඉඩ ප්‍රස්තාවක් නොලැබිණ.

“හාමුදුරුවරු වගේම ගුරුවරුත් හරි කැමතියිනෙ තව කෙනෙක් වඳිනවට... අනේ තරහ වෙන්න එපා අංකල් මම නම් කැමති නෑ වඳින්න. මම කැමතියි අනිත් කෙනාව හොඳට බදාගෙන කිස් එකක් දෙන්න.” යි ඔහු කී කල සිරිමාන්න හඬ නඟා හිනැහුණේය. ඔහු සිත නොපහන් හැඟුමක් නූපන්නේය.

“එක එක සංස්කෘති. අපේ සංස්කෘතියට ගරහන්නෙ නැතුව පුතාගෙ අවංක අදහස හෙළිදරව් කරපු එක ගැන මම පුතාට ගරු කරනවා.”

එකිනෙකා සිප වැලඳ ගත් රමේෂ් අවසන් වරට වැලඳ ගත්තේ අමාලිය.

“මා එක්ක තරහ නෑනේ...” යි ඔහු පහත් හඬින් ඇසුවේය.

“නෑ... හැබැයි ඔයා මාව මැරි කරනවා කියලා පොරොන්දු වෙන්න ඕන අපේ තාත්තයි නැන්දයි ප්‍රපෝසල් එකක් ගෙනාවොත්..”

ඔහු එවැන්නක් කිසිසේත් අපේක්ෂා නොකළේය.

“අමා... මං...”

ඇය ඔහුට බාධා කරන්නට පසුබට නොවූවාය.

“පොරොන්දු වෙන්න වගේම පොරොන්දු කඩ කරන්නත් මිනිස්සු දක්ෂයි.. ඔයාගෙ පොරොන්දුව ඔයා කඩ කරන්න. හැබැයි මගේ වැඩේ සිද්ධ වුණාට පස්සේ..”

“ඔයාගේ වැඩේ? ඒ මොකක්ද...?”

“මම ඔයාට හෙමින් සැරේ කියන්නම්. කරුණාකරලා ප්‍රපෝසල් එකක් ආවොත් බෑ කියන්න එපා. හා කියන්න.”

ඔහු මෝටර් රියට නැංගේ විපිළිසර මනසකිනි. සැහැල්ලු ප්‍රීතිමත් තරුණයා හදිසියේ ම අතුරුදන්ව ගිය සෙයකි. පැහැදිලි කිරීමක් පතා ඔහු අමාලි දෙස නෙත් හෙළුෑ හැම වරකම ඇය දැඩි බැල්මකින් ඔහුගේ ව්‍යාකුල බව තවත් වැඩි කළාය.

පිරිස පිටව ගිය පසු නිවෙස පමණක් නොව සිත් සතන්ද වෙළාගත් පාළුව පිටු දකින අදහසින් මෙන් සුනන්දා නොනවත්වා කතා කළාය.

“කාංචනාගේ මමී කැමතියි අයියෙ අපේ අමාට..”

ඔහු සිය නැගණිය මෙන් ප්‍රමුදිත නොවීය.

“ඒ ඉලන්දාරියා ලංකාවේ ඉන්න එකක් නෑ නංගි..”

“යන තැනකට අමාව එක්ක ගියත් කමක් නෑනේ... අවුරුද්දකට සැරයක් ඇවිත් අපිව බලල ගියොත් මදෑ... ළමයි අපි ළඟම හිරකරගෙන කොටු කරගෙන ඉන්න ලැබෙන්නෙ නෑ අයියෙ.. එයාලට දිනාගන්න ලෝකයක් තියෙනවා..”

ඇය කිසිදිනෙකත් සිය සොහොයුරා සමඟ මෙපරිද්දෙන් කතා නොකළාය.

එහෙත් මේ අනපේක්ෂිත වාසනාව ඇගේ බිය සැක හා චකිතය පමණක් නොව සහෝදර ගෞරවයද අකා මකා දමයි.

“ඒක නම් ඇත්ත තමා. ඒත් ඉතිං ඇස් දෙක වගේ මට ඉන්නෙ ඔච්චරයි..”

“අමාට හොඳක් වෙනවා නම් අපි දුක්වෙන එක හොඳ නෑ අයියේ..”

“බලමුකෝ.. කොහොමටත් අපට ඉස්සර වෙන්න බෑනේ. ඒ ගොල්ලො යෝජනාවක් ගෙනාවොත් අපි කතාබහ කරගම්මු.”

එක එල්ලේ ප්‍රතික්ෂේප නොකොට ඔහු ඒ සාමාන්‍යශීලි වීම ඇයට මහත් ප්‍රීතියි.

“අනිත් එක අපේ කෙල්ල කැමති වෙයිද කවුද දන්නෙ.. කවුරු කැමති වුණත් වැඩක් නෑනේ... අමා අකැමැති නම්..”

හදිසියේ පෙනී සිටි අමාලි පියාගේ සහ නැන්දණියගේ මුහුණු නොබලා

“මං කැමතියි” යි කීවාය.

වියපත් නෙත් පළමුව විමතියෙන්ද දෙවනුව ප්‍රීතියෙන්ද පිරී ඉතිරී ගියේය.

නොදරුවෙකු නොනවත්වා නලාවක් පිඹින්නාක් මෙන් ඇය දිගින් දිගට ම කෑ ගැසුවාය. ඒ එ්කාකාරි උච්ච ස්වරය ඇගේ මහලු සිරුරට දැරිය හැකිදැයි විමතියෙන් ඇලළෙමින් අමාලි මොහොතක් බලා සිටියාය.

“බලන්න අමාලි... මේ මමී.. උදේ ඉඳන් කෑගහනවා. නවත්තන්නෙ ම නෑ...”

උදාසන වුව දහදියෙන් තෙමී හුන් කාංචනා හෙළුවේ බැගෑබර බැල්මකි.

සුවපහසු සෝපාව මත හිඳගෙන දෙපාද ඉහළට ගෙන හුන් ශ්‍රීමා ගිරිය පුම්බා ගනිමින් කෑ ගසයි. ඇගේ නළල දෙපසින් දහදිය රූරා හැලෙයි.

“මොකක්ද වුණේ?” යි ඇසිය යුතු වුවද ඒ සඳහා කාලය මිඩංගු කළ නොහැකි බව අමාලි වටහා ගත්තාය.

“අනේ පොඩි මිස්... මොකක් හරි කරන්න...”

පීටර් ආයාචනා කළේ කඳුළු පිරි දෙඇසිනි. ජීවිත කාලය මුළුල්ලේ සුවච කීකරු සේවකයකු ලෙස සේවය කරන ඔහුට සිය මහලු ස්වාමි දියණියගේ විප්‍රකාර ඉවසීම පහසු නැත. ඇගේ සැමියා ජීවතුන් අතර සිටියදී ඇය ඉතාමත් කාරුණික හා ප්‍රියමනාප තැනැත්තියක් වූවාය. ඔහුගේ අකල් මරණයෙන් පසු ඇය ඇදහිය නොහැකි අන්දමින් වෙනස් වන අයුරු පීටර් මහත් ළතැවුලින් බලා සිටියේය. වැන්දඹුවකගේ ශෝකය ශ්‍රීමාගේ සන්සුන් හා දයාර්ද්‍ර බව උදුරා ගත්තාක් මෙනි. සැමියාගේ වියෝව මෙන් ම එකම පුත්‍රයා රට හැර යෑමද ඇගේ හදවතට එල්ල කළ යකුළු පහරක් ම විය. විටින් විට උත්සන්න වන නොසන්සුන් හා කැලඹිලි සහගත බව එකී ප්‍රහාරයේ නියත කැලැල් විය යුතුය.

“පීටර් අංකල් ගිහිං අපට බොන්න මෙනවා හරි ගේන්නකෝ...” යි සන්සුන් හඬින් කී අමාලි අපමණ නොඉවසිල්ලෙන් නළියන කාංචනා වෙත හැරුණාය.

“ඔයා කරුණාකරලා ෆාමසියට යනවද...?”

“මමී අර විදියට කෑගහද්දි මම කොහොමද ෆාමසියට යන්නෙ? දැං ඉතිං වෙන කරන්න දෙයක් නෑ. ඩොක්ටට එන්න කියලා ඉන්ජෙක්ෂන් එකක්වත් දෙනවා මිසක...”

වෛද්‍යවරයෙකු හෝ එන්නත් හෝ අවශ්‍ය නොවන බව ඉඟි කරමින් අමාලි අර සජීවි නලාව කරා ගියාය. බොහෝ වේලාවක් තිස්සේ බෙරිහන් දීම නිසා ශ්‍රීමා ගේ උගුර බැරැන්ඩි වී ගොසිනි. එහෙයින් ඇගේ මුවින් පිටවන හඬ තවත් කනකට කිසිසේත් ගෝචර නොවේ. ඇය සමීපයෙහි හිඳගත් අමාලි පළමුව උගුර පාදා ගත්තාය.

ලබන සතියට‍...

Comments