මහඔය පිරෙන්න ගැලූ උඩුකුඹුර ගැමියන්ගේ සතුටු කඳුළු | සිළුමිණ

මහඔය පිරෙන්න ගැලූ උඩුකුඹුර ගැමියන්ගේ සතුටු කඳුළු

 “සිළුමිණ පත්තරේ අපේ ගම ගැන පළ වුණේ නැති නම් කවදාවත් මේ පාලම හැදෙන්නේ නැහැ.  අනේ අපි විඳපු දුකක්. දරුවන් ඉස්කෝලේ ගිහිල්ලා එන තුරු අපි ඉන්නේ බඩේ ගින්දරින්. දැන් පාලම හොඳට තියෙන නිසා දරුවන් ඇරලන්න එන්නේ නැහැ. පාලම ගාවට එන තුරු දැන් වාහනයක් එන්න පුළුවන්.” 

* සිළුමිණ සිත්මල්යාය දැක ග්‍රාමීය පාලම් අංශය ඉදිකිරීම් පටන් අරන් 
* ගමට තිබුණේ අවුරුදු සියයකට වඩා පැරණි එල්ලෙන පාලමක්

නිදා සිටි ගම්මානය එකවර අවදි වූ සේය. හෙවණකට වී සිටි ගැමියෝ වාහනයේ හඬ ඇසෙත්ම ඈත පල්ලම බසිමින් ලහියේ පහළට බහින්නට වූහ. ඔවුහු මහඔය මතින් ඉදි වී ඇති පාලමේ බයක් හැකක් නැතිව අප දෙසට එන්නට වූහ. එදෙස බලා සිටින විට රූප රාමු පෙළක් ලෙසින් වසර හයකට එහා අතීතයේ දවසක් සිහි වෙයි.

ඒ දෙදහස් දොළහ වසරයි. බක්මහේ දිනෙක උඩරට පළාතේ ගම්මානයකට යන්න අපි යෝජනා කර ගත්තෙමු. ඒ සඳහා ගමක් සොයා දෙන ලෙස මංජුල සෙනෙවිරත්න සොයුරාට කීවෙමු. ඔහු එවකට උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කළේය. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා වූ අබේසිංහ හඳවලපිටිය මහතාගේ ඇරියුමෙන් අප එහි ගියේ බක්මහේ අවුරුදු සිරිත් ගැන ලියන්නටය. නමුදු ගමට යන ගමනේදී අප මුහුණ දුන් ගැටලු රැසකි.

උඩුදුම්බර හන්දියෙන් පහළට ඇති පාරේ බොහෝ දුර ගියෙමු. ගමන දුෂ්කරය. ගමට තවත් කිලෝමීටර කිහිපයක් දුර යන්නට තිබියදී වාහනය අතරමඟ නතර විය. රෑ අඳුර හතරවටින් ගම වට කරද්දි ගැමියෝ අප සොයා එන්නට වූහ.

“සමහර දවස්වලට අලියා එනවා.” ගැමියෙක් කියන්නට විය. සිතට නැඟුණේ බියකි. අවසානයේ රියැදුරු සහ ගැමියන් කිහිප දෙනෙකු අතරමඟ නවතා අපි ගමට ගියෙමු. ඒ පුවක් අරඹක් හරහාය. පුවක් අරඹ පසු කර පිවිසියේ කුඹුරු යායකටය. නියර දිගේ යමින් කඳු ගැටයක් ද නැඟ තවත් බොහෝ වේලාවකට පසු ගැමි ගෙදරකට පිවිසියෙමු.

ඒ වන විට කූඩැල්ලන් තුන් හතර දෙනෙකුම කකුල් දෙකේ එල්ලි ලේ උරා බොමින් සිටියේ හිතට අපුලක් එක් කරමිනි.

“මේ ගමට එන්න පාරක් නැද්ද? ”

කතා කරගන්නට පුළුවන් වූ පසු ඇසු පළමු ප්‍රශ්නය එයයි.

“අපට තියෙන පාර මේකයි. අපි උඩුඳුම්බර ඉඳලා වීල් එකක ආවොත් රුපියල් නවසියක් විතර යනවා. එත් එන්න පුළුවන් පුවක් වැටිය ළඟට විතරයි. තව පාරක් තියෙනවා ගමට එන්න. ඒක මහියංගණය තිස්පහ පාරෙන් ඇවිල්ලා පෝප්පිටිය හරහා එන පාර. ඒ ඇවිල්ලා එල්ලෙන පාලමෙන් එන්න ඕන. දැන් පාලම හොඳටම අබලන්. අපිට කිසිම කෙනෙකුගේ පිහිටක් නැහැ. කවුරුවත් මේ ගම්වලට එන්නෙත් නැහැ.”

අවුරුදු ගණනාවක් තිස්සේ හිතේ හිර කරගෙන සිටි දුක ගැමියෝ කියන්නට වුහ. එළ වළු වගාව මෙන්ම වී ගොවිතැන් කරගෙන ජීවත් වන ගැමියන්ගේ පලදාව තීරණය කරන්නේ පාලම ගාවට එන අතරමැදි වෙළෙන්දාය. රැයක් එළි වන තුරු ගැමියෝ ඔවුන්ගේ කතා අපට කියන්නට වූහ. අවුරුදු චාරිත්‍ර ගැන කතා කරන්නට පැමිණි අපට අවසානයේ සිදු වූයේ ගැමියන්ගේ දුක්බර කතාව අසන්නටය. කොතරම් දුෂ්කරතා තිබුණද තවමත් දුෂණය නොවූ ගැමි බව රැකගත් උඩුකුඹුර වැසියෝ එකමුතුය.

රැයෙහි අඳුර නිමා කරමින් අලුත් හිරු උදාවූයේ ගමන් මහන්සිය ද ඒ නැවුම් පරිසරය තුළම සඟවාගනිමිනි. උඩුකුඹුර ගමේ ආවේණික අවුරුදු චාරිත්‍ර මෙන්ම ගමටම ආවේණික කෙළිසෙල්ලම් අාදිය පෙන්වමින් විනෝද වූ ඔවුහු අවසානයේ පුංචි අවුරුදු උත්සවයක්ද පැවැත්වූහ. ගැමියන් ගැමි දරුවන් එදා තරම් සතුටු වූ වෙනත් දවසක් නැතැයි අපට සිතිණි. ඒ සතුටත් රැගෙන අප උඩුකුඹුර ගමේ සිට පැමිණියේ පෝප්පිටිය එල්ලෙන පාලම ළඟටය. ඒ කාලය වන විට මහඔය වැස්සට පිරි ඉතිරි යන මට්ටමේය. ගැමියන් පාලමේ යන්නේ සීරු මාරුවටය. ඉස්සරහට තැබූ අඩිය යළිත් පස්සට ගැනුණේ ඉබේටමය. ඒ ඇතැම් තැනෙක තිබූ දිරා ගිය ලෑලි දැකීමෙනි.

“දරුවන් පාලමෙන් ඉස්කෝලේ යවන්න බයයි. අපි හැමදාම මඟට එනවා. පාන්දරට හුළු අතු පත්තු කරගෙනයි බෝංචි ගෝණි අරගෙන එන්නේ. වෙළෙන්දා අපෙන් බොහෝම අඩු මුදලට බෝංචි ගන්නේ. අපි කාගෙන්වත් මහ දේවල් ඉල්ලන්නේ නෑ අපි ඉල්ලන්නේ මෙන්න මේ පාලම හදලා දෙන්න කියලා විතරයි. පාලම අවුරුදු සීයක් එකසිය පනහක් විතර පැරණියි. අපිම තමයි මේක ලැලි දාලා හදා ගන්නේ.”

සෙනෙහෙ මාමා පවසන්නට වූයේ ගමේ කොයි කාගෙත් අදහසය.

2012 අප්‍රේල් 8 සහ 15 යන දෙදින සිළුමිණ පුවත්පතේ සිත්මල්යායේ උඩුකුඹුර ගැමියන්ගේ අවුරුදු සිරිත් මෙන්ම ගමට පාලමක් නැතිව ගැමියන් විඳින දුක ද ලීවෙමු. ඒ ලිපිය දැක ග්‍රාමිය පාලම් අංශයෙන් ගමට පාලමක් සාදන්නට ඉදිරිපත් වූයේ ගැමියන් පුදුමයට පත් කරමිනි. පාලමට මුල්ගල් තැබිණි. ඒත් නොයෙක් හේතු මත පාලම සෑදීම අතර මඟ නතර විය.

ගැමියෝ අප ඇමතූහ.

“ඊයෙත් දරුවෙක් වැටෙන්න ගියා පාලමෙන්”

තවත් දිනෙක තවත් අයෙකු කතා කර පවසන්නට විය. පාලමේ වැඩ ප්‍රමාද වන විට නගරයේ රස්සාවලට ගිය ඇතැමුන් ටවුමේ කුලී නිවාසවල පදිංචියට ගියහ. ඒ ගමට උදේ හවස යෑම අපහසු බැවිනි. පාසල් යන දරුවෝ නගරයේ ඥාති නිවෙස් වල නතර වූහ. ඔවුහු බොහෝ දුෂ්කරතා මැදින් ජීවිතය ගෙන යන්නට වූහ.

ග්‍රාමිය පාලම් අංශය පාලමේ වැඩකටයුතු කඩිනම් කරන්නට වූහ. විටෙක පාලම තැනීමට අවශ්‍ය යන්ත්‍ර ගෙන ඒම ප්‍රමාද වූයේ පටු මාර්ග ඔස්සේ ඒවා ගෙන ඒම අපහසු බැවිනි. කෙසේ හෝ වසර හයකට පසු දැන් පාලමේ වැඩ නිමා වීමට ආසන්නය.

පෝප්පිටිය හා උඩුකුඹුර යා කරමින් ඉදි වුණු නව පාලම දැන් ගමට එළියකි.

“සිළුමිණ පත්තරේ අපේ ගම ගැන පළ වුණේ නැති නම් කවදාවත් මේ පාලම හැදෙන්නේ නැහැ. අනේ අපි විඳපු දුකක්. දරුවන් ඉස්කෝලේ ගිහිල්ලා එන තුරු අපි ඉන්නේ බඩේ ගින්දරින්. දැන් පාලම හොඳට තියෙන නිසා අපි දරුවන් ඇරලන්න එන්නේ නැහැ. පාලම ගාවට එන තුරු දැන් වාහනයක් එන්න පුළුවන්.” ගුණතිලක පවසන්නේ ඉහවහ ගිය සතුටිනි.

එල්ලෙන පාලමේ එහෙ මෙහෙ යන දරුවන් දැක එදවස අපි කම්පා වූවෙමු. දරුවන් ලැබෙන්නට සිටින මවුවරු මාසයකටවත් පෙර ගොස් ඥාති නිවෙසක නතර වූයේ හදිස්සියක් වුණොත් කර කියා ගන්නට දෙයක් නැති නිසාය.

රටේ සෙසු පෙදෙස්වලට වැස්ස තිබුණ ද උඩකුඹුරට තවමත් වැස්ස පටන් ගෙන නැත. මහ ඔයේ දැන් වතුර ඇත්තේ තැනින් තැනය. ගඟ පතුලේ විශාල ගල්තලා මතු වී ඇත. පාලම නිම වූ සතුට අපට කියන්නට ගැමියන් පැමිණ සිටියේ හිස් අතින් නොවේ. කිරිබත් , දෙහි මිරිස් යහමින් යෙදු ලුණුමිරිසක්, වැලිතලප හා ගමේ ඉඳුණු කෙසෙල් ද රැගෙනය. කවුරු කවුරුත් මහඔයේ ගල්තලාව මත හිඳ කිරිබත් කන්නට වූහ. පිරිමින් කිහිප දෙනෙක් අවර කැලයෙන් සොයා ගන්නා ලද දර කෝටු දමා වතුර උණුකර තේ සෑදුවෝය. කා බී අවසානයේ ගැමියෝ ඒ පාලම අවසානයේ ඇති බිමේ සින්දු කියන්නට කවි කියන්නට වුහ. පොඩිත්තෝ සෙල්ලම් කරන්නට වූහ. අප ගියේ කිසිදු සූදානම් නැති ගමනකි. ගැමියන් පැමිණ තිබුණේද සූදානමක් නැති ගමනකි. නමුදු ඒ සුළු මොහොත වඩාත් රසවත් වූයේ ගැමියන්ගේ හදවතින් නැඟි සතුටයි.

“අපිට මේ දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. අපි උපන්දා ඉඳලා ගියේ එල්ලෙන පාලමේ. පාලමක් කියන එක හීනයක් වෙලා තිබුණේ. අපිට ගොවිතැන් කරගෙන සතුටින් ඉන්න මේ හොඳටෝම ඇති. අපේ අම්මලා තාත්තාලා වැඩිහිටියන් අද ඉන්නේ සතුටින්. මේ සින්දු කියලා නටලා ඒ ගොල්ලෝ පෙන්නන්ගේ එයාලගේ සතුට.” කුමාරිහාමි අක්කා පවසන්නට වූයේ දෑසේ නැඟි කදුළු පිසිමිනි.

හෙට අනිද්දා දවසක අලුත් පාලම විවෘත කෙරෙනු ඇත. එහෙත් මට දැනුණේ පාලම මේ දැන් විවෘත වූවා සේය. උඩුකුඹුර ගැමියන්ගේ අව්‍යාජ සෙනෙහස මැද හෝරා කිහිපයක් ගෙවිණි. සිළුමිණ සිත්මල් යාය තවත් සමාජ සත්කාරයක් නිමා වූයේ එලෙසිනි.

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

Comments