රිය දොර
ඇර තිබූ ගේට්ටුවෙන් ඇතුළු වී අපේ වත්තට වැදුණු පොඩි පහේ වෑන් රියක් ආ වේගයෙන් ම ඉස්තෝප්පුවේ පඩි දෙක තුනක් ද නැග දැඩි බ්රේක් පහරකින් නැවතිණ. සිදු වූයේ කුමක් දැයි බැලීමට අපි ඉස්තෝප්පුවට දුව ආවෙමු.
මෙරිල් අයියා බකබක ගා හිනාවෙමින් රියැදුරු අසුනේ හිඳ සිටියේ ය. අප කට ඇරගෙන බලා සිටින අතර මෙරිල් අයියා රියෙන් බැස දඩස් ගා දොර වසා දමා විසිවෙමින් පිළට ගොඩ වූයේ ද අර හිනාවෙන් ම යුතු ව ය. මෙරිල් අයියා වාහනයක් ගැනීම ගැන අප සතුටු වුව ද කලක් හොඳින් රැකියාව කරගෙන යමින් සිටි ඔහු නැවත බීමට වැටීම ගැන අපි මහත් සේ දුකට පත්වීමු.
“ඇයි මල්ලි බයවෙලා වගේ? මේ මෙරිල් අයිය වාහනයක් ගත්ත එකට මල්ලි සන්තෝස නැද්ද?” ඔහු මගේ උර පත්තට පහරක් ගැසුවේ ආදරේට ය.
“සන්තෝසයි! ඒක ඉතිං අහන්ඩත් දෙයක් යැ. ඒ්ත් ඇයි මෙරිල් අයියෙ ආයෙත් බොන්ඩ වැටුණෙ?”
මම ඔහු පුටුවක හිඳුවන්නට උත්සාහ ගතිමි.
“ඒක ප්‍රශ්නයක් කරගන්ඩ එපා මල්ලි. මෙරිල් අයිය හිත හොඳ එකා බව මල්ලි දන්නවනෙ”
“ඇයි අයියෙ මේ තත්ත්වෙ ඉඳගෙන වාහන එළවන්නෙ?”
“ඒකෙං වැඩක් නෑ. යං මල්ලි පොඩි රවුමක්. යං. යං.”
මම උත්තරයක් නොදී මොහොතක් බලා සිටියෙමි. මේ මට්ටමින් ඔහු වාහනය පැද යෑම භයානක වුවත් රවුමක් යන මුවාවෙන් ඔහු සිය නිවෙසට රැගෙන ගොස් බාර දීම මගේ යුතුකමක් යැයි මට සිතිණ.
මා බලෙන්ම මෙන් රියට නංවා ගත් ඔහු ආ වේගයටත් වැඩි වේගයකින් වාහනය හරවා පාරට දා ගත්තේ ය.
“අනේ අයියෙ පරිස්සමින් යං”
“හරි මල්ලි බය වෙන්ඩ එපා!”
ඔහු වේගය අඩු කරනවා වෙනුවට වැඩි කළේ ය. ඔහු සමඟ ඒමෙන් මා කළේ අනුවණ කමක් යැයි මට සිතිණ.
වෑන් රිය පාරේ ගිය වෙනත් වාහන ළඟින් ගියේ ගෑවී නොගෑවී ගෙනය. සමහරු හැපේ යැයි බියෙන් වාහන අයින් කර ගත්හ. මගීහු ගල් ගැසී බලා සිටියහ. මගේ බියත් සැකයත් තවත් වැඩි කරමින් ඔහු රිය එකවර ම අතුරු පාරකට හැරෙව්වේ ය. රිය ගමේ කඩයක් ළඟින් යද්දී එතැන පාරේ සිටි දෙන්නෙක් වහා අහකට පැන ගත්හ.
හදිසියේ තවත් අතුරු පාරකට හැරවූ ඔහු රිය ආගන්තුක ගෙයක දොරකඩට හරවා නතර කළේ පෙර පරිදි ම තද බ්රේක් පහරක් ගසමිනි.
වියපත් මවක් කුහුලින් රිය ඉදිරියට ආවා ය.
“අම්මෙ කෝ අපේ යාළුව?”
“පුතා රෑ වැඩට ගියා පුතේ”
ඒ වන විට පොඩි කොල්ලෝ රෑනක් අප රිය වටකරගෙන සිටියහ.
“ආ පොඩි ළමයි නගින්ඩ! යං රවුමක්” මෙරිල් අයියා කෑගසා කීවේ ය. පොඩි කොල්ලෝ ද දඩිබිඩි ගා රියට නැග ගත්හ.
රිය යළි පණ ගන්වා ගත් මෙරිල් අයියා එය විශාල මිදුල වටා රවුම් දෙක තුනක් දුවවා සුරුස් ගා පාරට ගෙන පාරෙන් එහා පැත්තේ තිබූ පිට්ටනියක් බඳු වත්ත පුරා ද රවුම් ගැසුවේ ය.
ළමයි සතුටින් කෑකෝ ගාන්නට වූහ. ගම්මු ද මේ දසුන නරඹමින් විනෝද වූහ. ළමයින් සමඟ මහ හඬින් සිනාසෙමින් අරුම පුදුම විනෝදයක් ලබමින් සිටි මෙරිල් අයියා පාලනය කර ගන්නට මට දිගින් දිගට ම පින්සෙණ්ඩු වීමට සිදු විය.
කෙසේ වුව ද ළමයින් බස්සවා යළි රිය මහ පාරට ගෙන ගෙදර බලා යන්නට පටන් ගත්ත ද ඔහු හැම හන්දියක් ළඟම නවතා දන්නා කියන අය රියේ පටවාගෙන නැවතත් රවුම් ගහන්නට පටන් ගත්තේ ය. අවසානයේ මා ඔහු පාලනය කර ගත්තේ රියෙන් බැස යන බවට අවධාරණය කරමිනි.
අන්තිමේ දී මම මෙරිල් අයියා පාලනය කර ගෙන ඔහු ගේ ගෙදර ගියෙමි. ගෙදර අය ඔහු අත්අඩංගුවට ගත්තෝ ය.
දෙසතියකට පසු දවසක වසා තිබූ අපේ ගේට්ටුවට කිසිවකු තඩිබානු ඇසිණ. මම ගොස් ගේට්ටුව ඇරියෙමි. මෙරිල් අයියා උස් හඬින් සිනාසීගෙන මා බදා ගත්තේ ය. පාර අයිනේ නවතා තිබූ ඔහුගේ වෑන් රියේ මොකක්දෝ අඩුවක් මට පෙනිණ. එහි තල්ලුකරන පැති දොර නොවී ය.
“මෙරිල් අයියෙ කෝ දොර?”
“ඔය තියෙන්නෙ”
“කෝ?”
වහා ආපසු හැරී බැලූ මෙරිල් අයියාගේ ඇස් ලොකු විය.
“හබෑ නේන්නං දොර නෑනෙ! කොහෙ හරි වැටිල!”
මෙරිල් අයියා පියවි සිහියට ආවේ ය.
“මල්ලියෙ අපි දොර හොයමු!”
මට ඔහු ගැන දුක සිතිණ.
දින කිහිපයක් සොයා බැලුවද දොර හමු නොවී ය.
මෙරිල් අයියා විසින් රවුම් ගස්සන ලද ඔහුගේ යාළුවෝ දොර නැති රියටත්, මෙරිල් අයියාටත් සිනාසුණහ.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි
නෙළුම්විල සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10.