* ධර්මපාලතුමා වත්තට කැඳවාගෙන ආවේ පෙරහරකින්
* එතුමා ගැමියන්ට රස්සාවල් දෙන්නම මහා වත්තක් මිලට අරන්
කිහිපවරක්ම හිනිඳුමට ගියේ රාජකාරි කටයුත්තක් සඳහාය. ඒ යන හැම වරකම පිටිගලින් හැරී යන විට හිනිඳුම මල්හත්තාව හන්දියේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවත්, මහාබෝධි වත්ත යන පුවරුවත් දකින මොහොතක් පාසා සිත ඇති කළේ කුහුලකි. පසුගිය දිනෙක ඒ පිළිබඳ සොයා බැලීමේ අදහසින් අපි එහි ගියෙමු.
මහාබෝධි වත්ත සම්බන්ධව බොහෝ කතා ඇත. අනගාරික ධර්මපාලතුමන් විසින් මිලට ගන්නා ලද මහබෝධි වත්ත එකල ප්‍රදේශවාසින්ට රැකියා ලබාදුන් ස්ථානයක් විය. ඒ යටගියාව පිළිබඳ තොරතුරු සොයන්නට ගිය ගමනේදී අපේ සහායට පැමිණියේ අනුර ලියනගේය.
“අපි පුංචි කාලේ මේ වත්තට එනවා. ඒ කාලේ වත්තේ ආඬියා ළිඳක් තිබුණා. ඒ වගේම තමයි වත්තේ රබර් කපන්න කට්ටිය හිටියා. රබර් රොටි මෝලකුත් තිබුණා. මේ තියෙන්නේ ඒ මොලේ තිබුණ ඩයමන්ඩ් රෝල. කාලෙකින් මේකෙන් වැඩක් අරගෙන නැහැ. මේ රෝලේ වත්තේ නම කොටලා ඇති. ආ මේ තියෙන්නේ ඉංග්‍රීසියෙන් M අකුරයි E අකුරයි කොටලා.”
මහාබෝධි වත්තට ඇතුළු වී කිසිවෙකු ඇති දැයි සොයන අතරේ වත්තේ දකුණු පසින් ඇති පැරණි ගොඩනැගිල්ලක තිබූ එංගලන්තයේ නිෂ්පාදිත ඩයමන්ඩ් රෝලේ මකුළු දැල් කඩා දුවිලි පිසදමන අතරේ අනුර පවසයි.
හෙට නොව අනිද්දාට යෙදී ඇත්තේ අනගාරික ධර්මපාල තුමන්ගේ එකසිය පනස් පස්වැනි ජන්ම දිනයයි. 1864 වසරේ සැප්තැම්බර් මස 17 දින එතුමා මෙලොව එළිය දුටුවේය. දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නම මවුපියන් විසින් තැබූව ද එතුමා සිය නම ධර්මපාල යනුවෙන් වෙනස් කර ගත්තේය. පසුකාලින අනගාරික දිවියක් ගත කළ හෙයින් අනගාරික ධර්මපාල යන නමින් මෙරට පමණක් නොව විදේශයන්හිද ප්‍රසිද්ධියට පත් විය. ජීවිතේ අවසන් කාලයේ සිරි දේවමිත්ත ධර්පාල නමින් පැවිදි දිවියට ඇතුළත් විය.
රට ජාතිය ආගම ගැන කැක්කුමක් තිබූ එතුමා ක්‍රිස්තියානි මිෂනාරි බලවේගය ඉදිරියේ නොබියව කටයුතු කළ කෙනෙකි. ධර්මපාලතුමන් යනු ජාතික වීරයන් අතර මුලටම සිටින්නෙකි.
නොයෙක් ඔෂධීය ශාක වර්ග මෙන්ම රූස්ස ගහ-කොළින් සමන්විත මහාබෝධි වත්තේ තේ කුරුඳු රබර් ආදිය වේ. අදට ද මේ වතුවල වැඩ කරන්නෝ බොහෝය. නමුදු අප මහාබෝධි වත්තට ගිය ඒ ඉරිදා ඒ කිසිවෙක් පෙනෙන්න නොසිටියහ.
ඇත්තෝර හා කොහොඹ කොළ අතු ඉති කිහිපයක් කඩාගෙන මහාබෝධි වත්ත මැද්දෙන් යන්නට ආ වයසක අම්මා කෙනෙකු අපට හමු වූයේ අහම්බෙනි. ඇය එච්. එම් සීලවතිය. වයස අවුරුදු හැත්තෑ අටකි.
“ මේ හරියට කියන්නේ මල්හතාව කියලා. අපේ ආච්චි කියනවා ඒ කාලේ කිතුල් ගහක මල් හතක් පිපුණලු. ඒ නිසා මේ ගම පහුකාලීනව මල්හතාව කියලා හඳුන්වන්න ගත්තා කියලා. මම වත්තේ අවුරුදු ගණනාවක් වැඩ කළා. වත්තේ ඩයමන්ඩ් මැෂිමේ මම වැඩ කරලා තියෙනවා. මගෙ අම්මත් වත්තේ වැඩ කළා. අපි දියුණු වුණේ මේ වත්තේ වැඩ කරලා ලැබුණ මුදලින්. අපිට අර්ථ සාධකයත් තිබුණා.
මට මතකයි අපේ ආච්චි ඉන්න කාලේ කියනවා ඒ කාලේ පල්ලිය වත්තේ රස්සාව කරන්න දුන්නේ ආගමට හරවාගත්තට පස්සෙලු. මිනිස්සු ආගමට හරවාගන්න එක නතර කරන්නලු ධර්මපාලතුමා මේ වත්ත මිලට අරගෙන මිනිස්සුන්ට රස්සාවල් දීලා තියෙන්නේ. ධර්මපාලතුමා මාතර සිට ගිංඟග දිගේ ඇවිල්ලා ආන් අර පහළින් තමයි ගොඩ බැහැලා තියෙන්නේ. ඒ කාලේ මිනිස්සු එතුමාව පෙරහරකින් මේ වත්තට එක්කගෙන ඇවිත් තියෙන්නේ. මගෙ අම්මත් මේ වත්තේ වැඩ කරලා තියෙනවා. අපේ හිත්වල එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මම දඹදිව ගියාම උන්වහන්සේ වැඩසිටිය තැනත් බලන්න ගියා. අපි තාමත් සලකන්නේ අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ධර්මපාලතුමා කියලා.”
වයසක මව පවසන්නේ දොහොත් මුදුන් දී වඳින අතරේය.
“එතුමාට ගරු කිරීමක් හැටියට සෑම මසකම පොහොය දිනට පසුදා අපි එතුමන් සිටින කාලයේ බුදුන් වැන්ද වත්තේ පිහිටි බුදුගෙයි මල්පහන් පූජාවක් පවත්වනවා. තවමත් මේ ගමේ පැරණි අය එයට සහභාගි වෙනවා.”
ගමේ අයට පුජාව පිළිබඳ මතක් කරන්නේ සීලවතී අම්මාය. අනෙක් අය සමඟ එක්ව ශබ්ද විකාශන යන්ත්‍රයක් ද බැඳ පන්සලේ හාමුදුරුවන් වඩම්මා ඔවුහු ධර්මපාලතුමන් සිහිපත් කරන්නාහ.
ධර්මපාලතුමන් මහාබෝධි වත්තේ සිටියදී නතර වුයේ යැයි කියන නිවෙස දැන් පෙරට වඩා පිළිසකර කර ඇත. ඒ නිවසේ පසෙකින් ගස් සෙවණක ඇත්තේ කළුගලකි. විවේක වේලාවන් හී දි ධර්මපාල තුමන් එතැන වාඩි වී සිටියේ යැයි ගැමියෝ පවසති. ඔවුන් පවසන්නේ ද තම වැඩිහිටියන් පැවැසූ දේය.
ධර්ම ප්‍රචාරක කටයුතු කළ විදේශ බලවේග වෙනුවෙන් නැඟී සිටි ධර්මපාලතුමන් හිනිඳුම් පත්තුවට කළ විශේෂ සේවාව කුමක්දැයි සොයන්නට අපි හිනිඳුම ශාසනෝදයාරාම පුරාණ විහාරස්ථානයට ගියෙමු. වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේ වන්නේ බටුවන්ගල විජිත ස්වාමීන් වහන්සේය.
1920 ජුනි මස 20 දින ඉන්දියාවේ සිට ලිපියක් ලියා එවන ධර්මපාල තුමා පවසා ඇත්තේ හිනිඳුම දියුණු කරන්නට තම සිත අදහසක් ඇති වූයේ 1905 දී බවය. ධර්මපාලතුමා විසින් මහාබෝධි වත්තේ මුරකරුට එවන ලද ලිපි කිහිපයක්ම අද ද සුරක්ෂිතව විහාරස්ථානයේ තිබේ.
“ අප අහලා තියෙන විදිහට ධර්මපාලතුමා මහාබෝධි වත්ත මිලට අරගෙන තියෙන්නේ ලොකු මුදලකට. ඒ දවස්වල මේ පළාතේ ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත වෙලා තිබිලා තියෙනවා. එතුමා ගාල්ලේ තිබුණ ඉඩම් විකුණලා තමයි මේ ඉඩම මිලට අරගෙන තියෙන්නේ. මේ පැත්ත හිනිඳුම් පත්තුවේ මොරවක කෝරලයට අයිති. ඒ කාලේ මේ ප්‍රදේශයේ පල්ලිය ප්‍රබලයි. ධර්මපාලතුමන් හිනිඳුමට පැමිණ තම මවගේ නමින් මල්ලිකා ඉස්කෝලේ ආරම්භ කර තිබෙනවා. මේ විහාරස්ථානය ගොඩනඟා තිබෙනවා.
මේ විහාරස්ථානයේ වැඩ විසූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද ස්වාමීන් වහන්සේ සටන්කාමී ප්‍රගතිශීලි භික්ෂූන් වහස්සේ නමක්. හිනිඳුම් පත්තුව මිෂනාරිවරුන්ගෙන් බේරාගන්න වඩින්න කියලා ධර්මපාලතුමා ආරාධනය කර තියෙනවා. විහාරස්ථානය, පාසල ගොඩනඟා තිබෙන්නේ ධර්මපාලතුමාගේ පෞද්ගලික ධනයෙන්. එකල කල්වාරි පල්ලිය වත්ත අක්කර එකසිය හතළිහක් තිබිලා තියෙනවා. මිෂනාරිවරුන්ගේ ආගම ව්‍යාප්ත කිරීම උපක්‍රමශිලීව නතර කරන්නයි මහාබෝධි වත්ත මිලට අරගෙන තියෙන්නේ. අද වන විට මල්ලිකා විද්‍යාලයේ ළමයි 765ක් ඉගෙනුම ලබනවා. මේ පළාතේ මිනිසුන් අදටත් ධර්මපාලතුමන්ට ගරු කරනවා. එතුමාව සිහිපත් කරනවා. අපට ලොකු ආඩම්බරයක් එය.“ වර්තමානයේ මල්ලිකා විදුහලේ විදුහල්පති ධුරය හොඹවන බටුවන්ගල විජිත හිමියො පවසති. උන් වහස්සේ පැරණි ලිපි ගොනු අවුස්සා බලමින් ඉතා පරිස්සමට අරන් තබා ඇති ධර්මපාලතුමන්ගේ අත්අකුරින් යුතු ලිපි එකිනෙක පෙන්වන අතරේ පවසයි.
මහාබෝධි වත්ත බලා කියා ගන්නට සිටි විශ්වාසවන්තයා වන්නට ඇත්තේ ලුවිස්ය. මන්ද යත් ධර්මපාලතුමන් හැම ලියුමක්ම පාහේ එවා ඇත්තේ ලුවිස්ගේ නමටය. එක් ලිපියක සඳහන් වන්නේ ලුවිස්ට ඒ නම ඉවත්කර සිංහල නමක් භාවිතා කරන ලෙසය. තවත් ලිපියක සඳහන් වන්නේ පවුලේ ආදායමට සරිලන ලෙස දරුවන් හදා ගන්නා ලෙසය. ලුවිස්ට දරුවන් එකොළොස් දෙනෙකු සිට ඇත.
තවත් ලිපියක සඳහන් වී ඇත්තේ තමන්ට ලැබෙන ලිපි කඩා බලා පරික්ෂා කර දෙන නිසා, එම ලිපිවල සැප දුක අසනවාට වඩා දෙයක් නොලියන ලෙසය. ඒ ධර්මපාලතුමා සිර අඩස්සියේ සිටින කාලයේ ලිපියකි.
රටට ජාතියට ආගම මහරු සේවයක් කළ ධර්මපාලතුමන් 1933 වසරේ අප්‍රේල් මස අපවත් විය. ඒ ඉන්දියාවේදීය.
කෙසේ වෙතත් අදත් හිනිඳුම් පත්තුවේ මල්හතාව ගම්මානයේ ගැමියෝ මහත් ආදරයෙන් ධර්මපාලතුමන් සිහිපත් කරති. අද මහාබෝධි වත්ත පාලනය කෙරෙන්නේ මහාබෝධි සමාගම විසිනි.
(විශේෂ ස්තුතිය- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති නීතිඥ සිරිමෙවන් ඩයස් මහතාට හා එම ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කන්නන්ගර මහතාට)
ඡායාරූප- රුවන් ද සිල්වා