* ඩැනී විමලසිරි සිතුවම අැන්දේ සෙනසුනේ නතර වී සිටයි
* වන සෙනසුන ආරම්භ කර මේ වන විට වසර පනස් දෙකයි
* ආරණ්‍ය ගොඩනැගුවේ රජයෙන් අක්කර 500 බද්ධට අරන්
මේ කියන්න යන කතාවේ අතීත වර්තමාන තොරතුරු හොඳින් ගළපා ගත් විට අපූරු කතාවක් අප ඉදිරියේ මැවේ. මෙම තොරතුරුවල කියැවෙන ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට, දානමය පිංකම් කිරීම සඳහා ඔබ නොයෙක් වර එහි යන්න එන්න ඇත. යමක වටිනාකම හොඳින්ම දැනෙන්නේ එහි ඇති ඓතිහාසික තොරතුරු වඩාත් හොඳින් තේරුම්ගත් විටය. මේ කියන්නට යන්නේ එවැනි තොරතුරකි.
අප ගෞතම බුදුන්වහන්සේට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙමින් පැවතුණි. ඒ කාලයෙහිත් මාර්ගඵල ලබාගැනීමට නොහැකි යයි මතයක් පවතිද්දීත් ඒ ආත්මයේදීම නිවන් දැකීම පිණිසම උත්සාහවන්ත වූ භික්ෂූන් වහන්සේලා 7 නමක් විශාල පර්වතයෙන් නොබැසීමටත්, කතා නොකිරීමටත්, ආහාර නොවැලඳීමටත් කතිකා කරගෙන විදර්ශනා භාවනා කළහ.
භාවනානුයෝගී උන්වහන්සේ අතුරෙන් එක් නමක් අභිඥාසහිත රහත් ඵලයට ද තව නමක් අනාගාමීඵලයට ද පැමිණියහ. ඉතිරි ස්වාමීන් වහන්සේ පස්නම මාර්ග ඵලයක් නොලබා කලුරිය කොට දෙව්ලොව උපන්හ.
පසුව අප සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මිනිස් ලොව ඉපිද උන්වහන්සේගෙන් බණ අසා ඒ පස්නම එදා කළ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් කෙලෙසුන් නසා නිවන් අවබෝධ කළහ.
ඒ පස්නම නම් දාරුචීරිය, පුකකුභාති, කුමාර කස්සප, සභිය දබ්බබල්ලපුත්ත යන උත්තමයන් වහන්සේලා ය.
මෙම කතා පුවත නිරූපණය කරන බිතුසිතුවම මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයෙහි නිර්මාතෘවර අශෝක වීරරත්න මහතාගේ ආරාධනයෙන් චිත්‍ර ශිල්පී ඩැනී විමලසිරි විසින් 1967 දී නිර්මාණය කර තිබේ.
අශෝක වීරරත්න යනු බෞද්ධාගමට විශාල සේවයක් කළ දේශීය විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු බෞද්ධ නායකයෙක් විය.
1952 වසරේදී ජර්මන් ධර්මදූත සංගමය ආරම්භ කරන ලද්දේ ද 1957 වසරේදී බර්ලින් නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කරන ලද්දේ ද එතුමාගේ මූලිකත්වයෙනි. වර්තමානයෙහි බර්ලින් විහාරය යුරෝපයේ බෞද්ධයන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස සම්භාවනාවට පාත්‍ර වී තිබේ. අශෝක වීරරත්න මහතා කළ සේවයට උපහාර ලෙස 2018 දෙසැම්බර් මස 12 දින එතුමාගේ 100 වැනි ජන්ම සංවත්සරය දින මුල් දින කවරයක් සහ මුද්දරයක් නිකුත් කරන ලදී.
විවාහ දිවියට ඇතුළත් නොවූ එතුමා 60 දශකය මැද දී සියලු ලෞකික කටයුතු අතහැර දමා තම දිවියේ ඉතිරි කාලය තමන් පමණක් නොව අනුන් ද සසරින් එතර කිරීමේ අරමුණින් ඒ සඳහා යෝග්‍ය ආරණ්‍යයක් ගොඩනැඟීමට අදිටන් කර ගත්තේ ය.
කිරිඳිවැල නගරයට ආසන්නව පිහිටි මීතිරිගල රක්ෂිත වනයෙන් තම පෞද්ගලික ධනය වැය කර රජයෙන් අක්කර 500ක් බද්දට ගෙන ආරණ්‍යය ගොඩනැගීමේ කාර්ය ඇරඹීය. ආරණ්‍ය ගොඩනැඟීමේ ප්‍රථම කාර්ය ලෙස තමා පූර්වාදර්ශයට ගත් අතීත කතා පුවත දාර්ශනික අයුරින් සිතුවමට නගා ආරණ්‍ය බිමෙහි ප්‍රදර්ශනය කිරීමට අශෝක වීරරත්නයන්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු ආරාධනා කරන ලද්දේ ඩැනී විමලසිරි මහතාට ය.
ඩැනී විමලසිරි මහතා ඒ වනවිට චිත්‍ර ශිල්පියකු ලෙස විශාල ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය. ඔහු විශේෂයෙන් බෞද්ධාගමික භාවචිත්‍ර නිර්මාණයේදී කැපී පෙනුණි. 1950 – 60 දශකවලදී ඔහු කල්පනා, භාවනා, නරසිහ ගාථා, ථෙරි ගාථා, විදසුන් දසුන් ආදී බෞද්ධ සංකල්ප ආශ්‍රයෙන් කළ නිර්මාණ එකල ‘ලංකාදීප’, ‘රසවාහිනි’, වනිතා විත්ති ආදී පුවත්පත් සඟරාදියෙහි පළ විය. ඒවා එකල පාඨකයන්ගේ පැසසුමට ලක්වූ නිර්මාණ විය.
ඩැනී විමලසිරිගේ විශිෂ්ට කෘතිය වූයේ වීදාගම හිමියන්ගේ ලෝවැඩ සඟරාව සිතුවමට නගා 1957 දී ජාතික කලාභවනේදී පැවැත්වූ සිතුවම් දැක්මයි.
1958 දී රුසියාවේ පැවති අන්තර්ජාතික චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගි වූ ඔහු එහිදී ඉදිරිපත් කළ චිත්‍ර එරට කලා විචාරකයන්ගේ පැසසුමට ලක්විය. එහිදී ඔහුගේ සිතුවම් 04 ක් රුසියානු රජය මඟින් මිලදී ගෙන ලෙනින් ග්‍රෑන්ඩ් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
මීතිරිගල සිතුවම කරන කාලයේ ඩැනී විමලසිරි මහතා කළුතර පදිංචි වී සිටි අතර ඔහු එහි ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ චිත්‍ර කර්ම ගුරුවරයා විය. ඒ දිනවල නිස්සරණ වනයෙහි කිසිදු පහසුකමක් නොවීය. වන රක්ෂිතයක් මැද දිවි ගෙවමින් බොහෝ දුෂ්කරතා මැද සිතුවම නිම කරන්ට ඔහුට සිදුවිය. ඒ කාලය තුළ අශෝක වීරරත්න මහතා ද ඔහු හැර නොයමින් සිතුවම අඳින ආකාරය බලා රස විඳිමින් රක්ෂිතයේම දිවි ගෙවා ඇත.
අවසානයේදී අපූරු බෞද්ධාගමික සිතුවමක් ඔහුගේ තෙලිතුඩින් බිහි වූ අතර එම සිතුවම ඩැනී විමලසිරි විසින් අඳින ලද අවසාන සිතුවම විය. ඒ සිතුවම ඩැනී විමලසිරි චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය. භික්ෂුන් වහන්සේලා විදර්ශනා භාවනා කරන පර්වතය මිනිස් සිරුරේ අනිත්‍ය බව ප්‍රකාශ වන පරිදි සිතුවම් කර තිබෙන ආකාරය අපූරු ය. මෙම ශෛලියේ සිතුවමක් වෙනත් සිද්ධස්ථානයක දක්නට නැති තරම් ය.
අවාසනාව නම් ඩැනී විමලසිරිගේ සිතුවම් අගය කරන බොහෝ අය පවා ඔහුගේ නිර්මාණයක් මීතිරිගල ආරණ්‍ය තුළ තිබෙන බව නොදැන සිටීමය.
ආරණ්‍යයේ සිතුවම නිම කිරීමෙන් ටික කලකට පසු ඩැනී විමලසිරි මහතා හදිසියේ රෝගාතුරවී එක්තැන් විය. එයින් පසු ඔහුගේ නිර්මාණ ජීවිතය ද අවසන් වූ අතර 1975 දී අභාවප්‍රාප්ත විය.
ඒ වනවිට අශෝක වීරරත්න මහතා ද මීතිරිගල ධම්මනිසන්ති නමින් සසුන් ගත වී නිස්සරණ වනයේ ම වනවාසී භික්ෂුන් වහන්සේ නමක් වී සිටියහ.
උන්වහන්සේ 80 වසරක් ආයු වලඳා 1999 වසරේදී අපවත් වී වදාළ සේක.
මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රථම කම්මට්ඨානාචාර්ය වහන්සේ වූයේ මාතර ශ්‍රී ඤාණාරාම මහෝපාධ්‍යයාය මාහිමිපාණන් වහන්සේ ය. නිස්සරණ වනය ගොඩනැඟීමේදී අශෝක වීරරත්න මහතා උන්වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි කටයුතු කළ බව මෙහිලා සඳහන් කළ යුතු වේ.
1992 දී උන්වහන්සේ ද අපවත් වී වදාළ සේක.
මීතිරිගල නිස්සරණ වනය පිහිටුවා මේ වනවිට වසර 52 ක් ගතවී තිබේ. වර්තමානයේ මෙම ආරණ්‍යය ශ්‍රේෂ්ඨ භාවනා මධ්‍යස්ථානයක් ලෙස මෙරට පමණක් නොව විදේශ රටවල ද ප්‍රකට වී ඇත.
අද එහි පරිපාලන කටයුතු සංරක්ෂණ මණ්ඩලයක් මඟින් සිදු කරනු ලැබේ.
මෑතකදී බිතුසිතුවම සහිත පැරණි ගොඩනැගිල්ල කඩා දමා එම ස්ථානයේම නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. එම ඉදිකිරීම් කරන අවස්ථාවේ දී බිතුසිතුවම තිබෙන කොටස ද කඩා දැමීමට යෝජනා විය. එහෙත් අශෝක වීරරත්න මහතාගේ ඥාති පුත්‍ර අධිනීතිඥ සේනක වීරරත්න මහතා ඉදිරිපත් වී සිතුවමෙහි ඓතිහාසික වටිනාකම සංරක්ෂණ මණ්ඩලයට පෙන්වා දෙමින් එය ආරක්ෂාකර ගැනීමට සමත් විය. ඔහු එදා එසේ ඉදිරිපත් නොවන්නට අද අපට සිතුවම දකින්නට නොලැබෙනු ඇත.
පසුගිය වසරේදී නැවතත් සිතුවම ගැන අවධානය යොමු විය. ඒ කාලයාගේ ඇවෑමෙන් එය දුර්වර්ණ වෙමින් පැවැති නිසා ය. එය ප්‍රතිසංස්කරණය කළ යුතු බව සංරක්ෂණ මණ්ඩලයේ අදහස විය.
එහෙත් ඒ වනවිට සිතුවම අඳින ලද සිත්තරා කවරෙක් ද යන්න පිළිබඳව හරි වැටහීමක් වර්තමාන සංරක්ෂණ මණ්ඩලයේ අයට නොමැති බව අපට දැනගන්නට ලැබුණි. ඒ අවස්ථාවෙහි මීතිරිගල නිස්සරණ වනයේ විහාරාධිපති හිමියන් හමුවී සිතුවම නිර්මාණය කරන ලද්දේ ඩැනී විමලසිරි මහතා විසින් බවත් එතුමා අපගේ සුළු පියාණන් බවත් උන්වහන්සේට පහදා දුනිමි. උන්වහන්සේ ද ඩැනී විමලසිරි ගැන අසා ඇති බවත් සිතුවම නිර්මාණය කරන ලද්දේ ඔහු බව දැනගැනීමෙන් වඩාත් සතුටු වන බවත් පැවසීය.
එයින් පසුව නිස්සරණ වනයේ විහාරාධිපති හිමියෝ ප්‍රධාන සංරක්ෂණ මණ්ඩලය රැස්වී මෙම බිතුසිතුවම සංරක්ෂණය කළ යුතු බව තීරණය කර කළහ.
අද මෙම සිතුවම මහා භාරකාර දෙපාර්තමේන්තුව ලවා සම්පූර්ණයෙන් ම සංරක්ෂණය කර තිබෙනු දකින විට අපමණ සතුටක් ඇතිවෙයි.
මෙහිදී පළමුවෙන් ම සිතුවම ආරක්ෂා කර ගැනීමේ ගෞරවය අශෝක වීරරත්න මහතාගේ ඥාති පුත්‍ර ජර්මන් ධර්මදූත සංගමයේ ලේකම් සේනක වීරරත්න මහතාට හිමිවිය යුතු ය.
සිතුවම සංරක්ෂණය කරවීමට පියවර ගත් මීතිරිගල නිස්සරණ වනය වර්තමාන විහාරාධිපති ගරු උඩඊරියගම ධම්මජීව හිමියන් ප්‍රධාන සංරක්ෂණ මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ගෞරවය හිමි විය යුතුවේ. සිතුවමේ අගය වටහාගෙන එයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් එය සංරක්ෂණය කළ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ බිතුසිතුවම් භාරයේ චිත්‍ර ශිල්පීන්ගේ කැපවීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
රංජිත් විමලසිරි