නෙළුම්විල | Page 2 | සිළුමිණ

නෙළුම්විල

සැඟවුණු වීරවරිය

අප විනෝද චාරිකාව ගිය බසයේ රියැදුරු ගේ සහායට සහායකයකු නොව සහායිකාවක සිටීම අප කාගේත් විමතියට හේතු විය. අපේ කසුකුසුව ද නෙතු බැලුම් ද ගණන් නොගත් ඇය කොල්ලකු සේ පා පුවරුවේ සිටියේ බුලත් විටක් ද හපමිනි.

බසය දුෂ්කර කඳු මාර්ගයකට අවතීර්ණ වූ විට ඇගේ අතට ලී අඩයක් ආවේ වුවමනා වූ විට එය රෝදයට තැබීමට ය. කෙසේ වුව ද චාරිකාවෙන් ලද සැහැල්ලුවත් විනෝදයත් නිසා අපට ඇය අමතක ව ගියේ ය. හවස් වන විට අප යමින් සිටියේ වඩාත් දුෂ්කර කඳු පාරක ය. පසෙකින් හෙල් ද පසෙකින් කඳු ද විය. හිටිඅඩියේ ම බසයේ ඇන්ජිම නතර වූයේ ය. වහා බසයෙන් බැස ගත් ඇය බසය පිටුපසට ඇදී යෑම වළකනු පිණිස පිටුපස රෝදයට ලී අඩය තැබුවා ය. රියැදුරු බසය පණ ගැන්වීමට හැකි සෑම උපක්‍රමයක් ම යොදා බැරි වූ තැන බෙරි වූ මුහුණින් බිමට බැස්සේ ය. අසරණ වූ අපිදු බිමට බැස ගතිමු. ඈත වනපෙත ගිලගනිමින් තිබූ අඳුර ටිකින් ටික අප වට කර ගන්නට විය. රියැදුරු ඒ වන විටත් බසයට අතක් ගසා ගෙන විට හපමින් කල්පනාවේ සිටි සහායිකාව වෙත ගියේ ය.

සැක සංකාවට පත්ව සිටි අපේ නඩය විසිරී තැන තැන කසුකුසු ගාන්නට පටන් ගත්හ.

‘හරි වැඩේනෙ වුණේ! කොහෙන්ද දැං ඇන්ජින් බාස් කෙනෙක් හොයා ගන්නෙ?“

‘රෑත් වේ‍ෙගන එනව. දැං අපි මොකද කරන්නෙ?‘

මේ අතර කුඩා දරුවෝ ද හඬන්නට තියා ගත්හ. කිසිත් හිතාගත නොහැකි ඒ මොහොත එසේ ගෙවී ගියේ හෙමිහිට ය.

රියැදුරු බසය ළඟ ඇන තියාගෙන එය යටට එබෙමින් සිටිනු දුටු මම ඔහු ළඟට ගොස් එබී බැලුවෙමි. පුදුමයකි. අර සහායිකාව බසය යට ගල් බොරලු මත උඩුබැලි ව දිගෑදී ඇණ මුරිච්චි ගලවමින් මොකක්දෝ කරමින් සිටියා ය. පැමිණ එය බලන්නැයි මම අපේ නඩේ අයට අතින් සන් කළෙමි. ඔවුහු ද දිවැවිත් බසය යටට එබී බැලූහ. විනාඩි විස්සකට පමණ පසු සහායිකාව එළියට රූටා විත් උපකරණ ටික පසෙක තබා සිය දෑතෙහි ගෑවී තිබූ මජං පිහ දමන්නට වූවා ය.

‘වැඩේ හරිද?‘ රියැදුරු සහායිකාවගෙන් ඇසුවේ ය.

‘ස්ටාට් කරන්ඩකො. දැං වදින්ඩ ඕනැ‘ සහායිකාව උපකරණ ටික අසුනක් යටට දමමින් කියා සිටියේ කිසි ගණනක් නැති ව ය.

ඈ කීවාක් සේ බසය එක වර ම පණ ගත්තේ ය. අපි විස්මයෙනුත් සතුටිනුත් වහ වහා බසයට ගොඩ වීමු. අපේ දොම්නස පහවී හිනාමල් පිපෙන්නට විය.

බසය හෙමින් ඉදිරියට ඇදෙද්දී සහායිකාව දුවැවිත් එහි එල්ලුණේ බිම තිබූ ලී අඩය ද ඩැහැගෙන ය. එතැන් සිට ඇය අපේ වීරවරිය බවට පත් වූවා ය. අප පුදුමයෙන් ඇය දෙස බලා සිටියත් ඇය සුපුරුදු විට හපමින් බසයෙන් පිටත බලා සිටියා ය.

‘මෙහෙම හිටියට මෙයා ලේසි කෙනෙක් නෙමේ. හරි පුදුමයි නේද? ‘මා බිරිය කීවා ය.‘ දේවතාවියක් වාගෙ වෙලාවට බස්එක හැදුවෙ. මිනිස්සුන් ව පිටින් මනින්ඩ බෑ. අපි එයාට සැලකුව මදි‘ ඇය සිය බෑගය හැර ඉන් රසකැවිලි මුලක් ගෙන සහායිකාවට දිගු කළා ය. සහායිකාව ඒ දැක ඉඟියෙන් එපායි කීවේ තමා දැනට විටක් හපමින් සිටින බව පෙන්වමිනි.

රාත්‍රියේ නවාතැන්පොළට ගිය නඩය ඇඟපත සෝදා කා බී සැහැල්ලුව විඳින විට මම නවාතැනෙන් පිටත නවතා තිබූ බසය කරා ගියෙමි. ඇය රියැදුරු සමඟ කතා කරමින් සිටියා ය.

‘නංගි, මං ඔයාට ස්තුති කරන්ඩයි ආවෙ. ඔයා නොහිටින්ඩ අපි තාම මඟ. ඔයා විශ්වකර්ම වැඩක්නෙ කෙරුවෙ“ මම ඇය පැසසීමි.

ඇය නිහතමානී ව මඳ සිනාවක් පෑවා ය.

‘කොහොමද වාහන හදන්ඩ ඉගෙන ගත්තෙ? මොකක්හරි කෝස් එකක්වත් කෙරුවද?‘

‘නෑ“

එහෙනං?‘

‘පොඩිකාලෙ හිට ඒවමනෙ කෙරුවෙ. අපේ තාත්ත ගෙදර වාහන හැදුව. මං හැදුණෙ ඔය ඇංජිං කෑලි ගොඩේ තමයි. ලොකු වෙනකොට ඉබේම මට වාහන හදන්ඩ පුළුවං වුණා. ඕව එච්චර වැඩ නෙමේ“

මට ලැජ්ජා සිතිණ. එය වසා ගැනීමට මම රියැදුරු දෙස බැලුවෙමි.

‘මහත්තය මෙයා මගෙ නෝන. මං දුර ට්‍රිප් එකක් යනව නං මෙයා තමයි අනිවාර්ය‍යෙන්ම ක්ලීනර් වැඩේට එන්නෙ‘ ඔහු සිය බිරියට කීර්තිය අත්පත් කර දුන්නේ ය.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල සිළුමිණ, 
ලේක්හවුස්, කොළඹ 10.

Comments