ගිනිබෝලෙන් දළදා සමිඳු පිදූ කරුණාදාස පරපුරේ ඇත්තන්ගේ හිතේ පත්තු වන ගින්දර | සිළුමිණ

ගිනිබෝලෙන් දළදා සමිඳු පිදූ කරුණාදාස පරපුරේ ඇත්තන්ගේ හිතේ පත්තු වන ගින්දර

* ගිනිබෝල කරකවන්න පුරුදු වෙන්නේ අවුරුදු තුනේ හතරේදී 
* එක පෙරහරකට භූමිතෙල් ලිටර් 300ක් ඕනෑ

ජීවත් වීමට ආදායමක් ඕනෑය. පුංචි කාලයේ තම පියා වන ප්‍රවීණ ගිනිබෝල කරකවන්නෙකු වූ කරුණාදාසගේ අඩිපාරේ යමින් ගිනිබෝල කරකවන්නට හුරු වු ප්‍රසන්න අද එය සිය ජිවනෝපායන මාර්ගය කරගෙන සිටී. ගින්දරත් එක්ක සෙල්ලම් හොඳ නැතැයි කීව ද ඔවුහු ගින්දරත් එක්ක සෙල්ලම් කර මහ පෙරහැරවල යමින් හැට හතර වසරක් ජනතාව පිනවූහ.

ඇසළ පෙරහරේ කුඹල් පෙරහරට හා අවසන් මහ රන්දෝලි පෙරහරට සහභාගි වීමට ලැබීම පෙරහරකරුවන් සලකන්නේ තම ජීවිතයේ සුවිශාල භාග්‍යයක් ලෙසිනි. එසේ මහත් ආඩම්බරයෙන් ගෞරවයෙන් යුතුව මහනුවර ඇසළ පෙරහරේ ගිනිබෝල කැරකවූ පාරම්පරික ගිනිබෝලකරුවන්ට කියන්නට අද වෙනමම කතාවක් ඇත.

ගිනි බෝල කැරකවීම බොහෝ සීරුමාරුවට කළ යුත්තකි. නොසැලකිල්ලෙන් අනවබෝධයෙන් කළහොත් එය විශාල අනතුරකට අතවැනීමකි. අවදානමක් තිබුණ ද හිතේ බියකින් තොරව දුටුවන් පිනවන ලෙස ගිනිබෝල කැරකැවීමට සමතුන් අතර තරුණයන් මෙන්ම ළාබාලයෝ ද සිටිති. මහනුවර දළදා පෙරහරේ අඩසියවසකටත් වැඩි කාලයක් ගිනිබෝල කැරකවූ සෙංකඩගල ගිනිබෝලකරුවන්ගේ අද කතාව කඳුළු කතාවකි.

දෙණියේ ගෙදර කරුණාදාස එක්දහස් නවසිය පනස් හතරේදී මහනුවර දළදා පෙරහරට යන විට වයස අවුරුදු දාසය දාහත තරමේ වියේ කොලු ගැටයෙකි. දළදා පෙරහරේ ගිනිබෝල කරකවන්නට ඔහුට සිතක් පහළ වුයේ වැඩිහිටියෙකුගෙන් ගිනිබෝල එතීම කැරකවීම ගැන යාන්තම් දැන සිටි බැවිනි. ඔහු වසර කිහිපයක්ම දළදා පෙරහරේ ගිනිබෝල කැරකුවේ තනිවමය. තනි ගිනිබෝල කරුවා වූ කරුණාදාස යම් යම් අත්හදා බැලීම් ද කරන්න විය. ඔහු විටෙක කොණ්ඩයේ ගිනිබෝල ගැට ගසාගෙන කරකවන්නට විය.

වසර කිහිපයක් යන විට කරුණාදාසගේ ගිනිබෝල කැරකැවිල්ලට තවත් අය එක් වූහ. ඉන්පසු ඔවුහු කණ්ඩායමක් ලෙසින් ගිනිබෝල කරකවන්නට විය. දළදා පෙරහරින් ආරම්භ කළ සෙංකඩගල ගිනි බෝල කණ්ඩායමට රට වටේ පෙරහරවලින් ආරාධනා ලැබෙන්නට විය. වසර හැටහතරක් තිස්සේ දළදා පෙරහරේ ගිනිබෝල කැරකවූ කරුණාදාස ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි පරලෝ සැපත් වුයේය.

ඔහු බොහෝ ඇගයීම්වලට ද සම්මානයට ද පාත්‍ර වී ඇත. නමුදු ඔහුගේ සිතේ කාටවත් කියා ගන්නට බැරි දුකක්ද සැඟවී තිබිණි. සිය සැමියා පිළිබඳ මතකය අවදි කරමින් බිරිය විමලාවති අතීතය සිහිපත් කරන්නට වුවාය.

“ එයා පුංචි කාලේ තමයි ගිනිබෝල කරකවන්න පටන් අරන් තියෙන්නේ. මම විවාහ වෙලා ආවට පස්සෙත් එයා ගිනිබෝල කරකවන්න ගියා. පෙරහර දවස්වල උදේට කට්ටියම අපේ ගෙදරට එනවා. ආධුනික අයට ගිනි බෝලය ඔතාගන්න විදිය, එය කරකවන විදිය පන්දම හදාගන්න විදිය කියලා දෙනවා. කුඹල් පෙරහරටයි රන්දෝලි පෙරහරටයි එයා සහභාගි වුණා. නමුත් වසර දෙක තුනක ඉඳලා එයාට එක දිගට දවස් දහයම පෙරහරේ යන්න ලැබු‍ණේ නැහැ. මගෙ මහත්තයා වෙනත් රස්සාවක් කළේ නැහැ. ඊට පසුව පෙරහරට තවත් ගිනිබෝල කණ්ඩායමක් එක වුණා. ඒ නිසා පෙරහරේ ගමන් ගන්න දවස් මේ දොගොල්ලන් අතර බෙදිලා ගියා.

ගිනිබෝල කරකවන්න එයා පුතාලා දෙන්නටම ඉගැන්නුවා. පොඩි පුතා තමයි ගිනිබෝල කණ්ඩායම කරගෙන යන්නේ. එත් ගිය වසරෙත් මේ වසරෙත් පුතාලා පෙරහරේ ගියේ නැහැ. මගේ සැමියා ජීවත්ව ඉන්න කාලේ ඔහු ගිනිබෝල කරවනවා බලන්න මම ගියා. දරුවන් මුනුපුරන් පෙරහරේ යනවා දැක්කාම මට පුදුම සතුටක් දැනෙනවා. ඒත්...” විමලාවතීගේ කටහඬ දොම්නස්බරය.

ගිනිබෝල එතීම සඳහා යොදා ගන්නේ වේවැල්ය. එමෙන්ම සිහින් බකට් කම්බි හා රෙදි භාවිතයට ගනි.

“වේවැල් රවුමේ කම්බිවලින් රෙදි ඔත ඔතා බෝල හදනවා. ඉන් පස්සේ ඒවා භූමිතෙල්වල පොඟවා පත්තු කරනවා. එළිය අඩු වුණාම භුමිතෙලේ පොඟවනවා. එක දවසකට පෙරහරට භුමිතෙල් ලීටර් තුන්සියක් ඕනෑ වෙනවා. කොහොමත් පන්දම පත්තු කරලා විනාඩි දහයක් විතර කරකවන්න පුළුවන්. නැවත නැවත භුමිතෙල් පෙඟවිමෙන් තමයි එළිය ගන්න පුළුවන්. කරකවද්දි ගිනිබෝල ගැලවිලා විසි වුණොත් කරකවන අය වගේම නරඹන අයත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා මේවා හොඳින් බඳිනවා.”

ප්‍රසන්න කරුණාරත්න පවසන්නේ සිය පියා ගිනිබෝල ශිල්පය ලබාදුන් ආකාරයයි.

වයස අවුරුදු හතරේදි පෙරහරේ ගිනිබෝල කරකවන්නට ගිය ඔහු ලංකාවේ විවිධ පෙරහරවල ගිනිබෝල කරකවා ඇත.

“අයියාටයි මටයි දෙන්නටම තාත්තා ගිනිබෝල කරකවන්න කියලා දුන්නා. අයියා දැන් වෙන රැකියාවත් කරනවා. මම නුවර පෙරහරේ අවුරදු තිහක් තිස්සේ ගියා. තාත්තා මුලින්ම තනිවම නුවර පෙරහරේ ගිනිබෝල කරකවන්නට ගියාට පහු වෙනකොට තාත්තාට ලොකු කණ්ඩායමක් හිටියා. මේ කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව තිස් පහයි. පුංචිම සාමාජිකයා මගේ පුතා. තාත්තා හරිම භක්තියෙන් ආසාවෙන් තමයි පෙරහරට සහභාගි වුණේ.

ඉස්සරම කාලේ නුවර පෙරහරේ දවස් දහයම ගමන් ගත්ත තාත්තාට දවසට රුපියල් දෙකක් ලැබිලා තියෙනවා. දැන් ලැබීම ඊට වඩා වැඩියි. නමුත් නුවර පෙරහරේ ගිනිබෝල කරකවලා මුදල් ලබාගැනීම නෙමෙයි අපේ අරමුණ. දළදා පෙරහරේ ගිනිබෝල කරකවන්න යනවා කියන එක අපිට ආඩම්මබරයක් . කන්ද උඩරට උපන්න අපි දළදා හාමුදුරුවන්ට මුළු හිතින්ම ගෞරව කරනවා. ඒ ආදර භක්තිය නිසා තමයි අපි මෙපමණ කලක් පෙරහරේ ගියේ. නමුත් පහුවෙන කොට තවත් ගිනිබෝල කණ්ඩායමක් පෙරහරට එක් වුණා. ඒ අයයි අපයි අතර දවස් බෙදුණා. නමුත් ගිය වසරේ සිට අපට පෙරහරට යන්න ඉඩක් ලැබුණේ නැහැ. තත්තා මේ ගැන හිතේ දුකෙන් හිටියා. පෙරහර රැස්වීමට ගිය දවසේ පෙහරේ යන්න නොලැබෙන බව දැනගෙන මගේ තාත්තා අඬපු බව එතැන හිටපු කෙනෙක් මට කිව්වා ”ප්‍රසන්න පවසන්නේ දෑසේ කදුළු හංගාගෙනය.

“ ගිය වසරේ දළදා පෙරහරට අපි ගියේ නැහැ. ඔවුන් අපට කිව්වා මේ වසරේ පෙරහරේ ගිනිබෝල කරකවන්න අපට අවස්ථාව දෙන්නම් කියලා. තාත්තා 2018 නොවැම්බර් මාසයේ මිය ගියා. දළදා පෙරහර පැවැත්වීමට මාස හතරකට පෙර අපට රැස්වීමට එන්න කියලා ලියුම් එවනවා. නමුත් අපට ලියුම් ආවේ නැහැ. මම ගියා බලන්න ඔවුන් කිව්වා ගියවර ආවෙත් නෑ කියලා මට යන්න කිව්වා.

මගේ කණ්ඩායමේ හිටපු අනෙක් අය දැන් වෙනත් රස්සාවල් හොයාගෙන. මමත් ඩ්‍රැයිවින් ජොබ් එකකට යනවා.

සෙංකඩගල ගිනි බෝල කණ්ඩායමේ දක්ෂයෝ බොහෝය. ඒ අතරම ළබාලම ගිනිබෝල කරකවන්නන් වන කවීෂ ඉදුවර හා ඕෂධ ජනුත් ද වෙති.

“කවිෂ පුතා ගිනිබෝල කරකවන්න පටන් ගන්න කොට වයස අවුරුදු තුනහාමාරයි. ඕෂධ පුතා ගිනි බෝල කරකවන්න ගන්න කොට එයාට අවුරුදු 3යි. කොහොම වුණත් දැන් අපිට වෙන පෙරහර වලට යන්න හිතෙන්නෙත් නැහැ“ප්‍රසන්න කියයි.

පෙරහර කණ්ඩායම් තේරීම් කමිටුව මෙසේ කියයි

වසර ගණනාවක් දළදා පෙරහරේ ගිය සෙංකඩගල ගිනිබෝල කණ්ඩායම පෙරහට සම්බන්ධ කරනොගැනීමට හේතුව කුමක්දැයි ශ්‍රි දළදා මාලිගාවේ පෙරහර කණ්ඩායම් තේරීම් කරන ජයම්පති වැද්දාගල මහතාගෙන් අපි විමසුවෙමු.

“දළදා පෙරහරේ ගිනි බෝල කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ කණ්ඩායම් දෙක අතර ගිය වසරට කලින් වසරේ ගැටුමක් ඇති වුණා. පසුව එය සමථයකට පත් වුණත් තව දුරටත් ගැටුම් ඇතිවෙයි කියලා හිතලා අපි ඒ දෙගොල්ලන්ට දවසක් ඇර දවසක් පෙරහරේ යන්න අවස්ථාව ලබා දුන්නා. නමුත් සෙංකඩගල කණ්ඩායම ඒ යෝජනාවට කැමති වුණේ නැහැ. ඒ නිසා ගිය වසරේ ඔවුන් පෙරහරට ආවේ නැහැ.

මේ වසරේදි කවුරුත් දන්නවා රටේ තිබුණ ප්‍රශ්නය ගැන. පෙරහරට සහභාගි වන ඇතුළු හැමෝටම පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරන්න වුණා. ඒ ආරක්ෂක හේතුන් මත. පෙරහර පවත්වන්න දවස් දෙකක් තිබියදී සෙංකඩගල කණ්ඩායමෙන් ඇවිල්ලා පෙරහරේ යන්න අවස්ථාව ඉල්ලුවා. නමුත් ඒ වෙන කොට කල් වේලා මදී. මම ඔහුට දැනුම් දුන්නා ඊළඟ වසරේදී බලමු කියලා.

Comments