* ගෙදර ඉන්න කාලේ බෙරයක් අතින් අල්ලලා වත් නැහැ
* සින්දු කියන්න පුළුවන් කියලා දැනගත්තේ හිරේ ආවට පස්සෙ
* මේ නටන්නේ ජීවිතේ පමුවැනි වතාවට
අතීතයේදී දඬුවමට පමණක් සීමා වී තිබු සිර ගෙදවල්වල දැන් ඇත්තේ පුනරුත්ථාපන ක්‍රියාවලියකි. එහදී රැඳවියාට වෘත්තීය පුහුණුව අධ්‍යාපනය ආදි සියල්ලම ලබා දේ. එමෙන්ම පොත පත කියවීමට මෙන්ම සහජ හැකියා ඔප් නංවාගැනීමට ද අවස්ථාව ඇත. තවත් ටික දිනකින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා වේදිකාවේදී ජය කෙහෙළි නංවන ලලිත සිරි සර රැඳවියන්ගේ ප්‍රසංගය ද ඒ පුනරුත්ථාපන ක්‍රියාවලියට නව අරුතක් දීමක් වැන්න. ප්‍රසංගය සඳහා රටේ සියලු බන්ධනාගාරවලින් තෝරාගන්නා ලද රැඳවියන් සමඟ බන්ධනාගාර නිලධාරිහු සහභාගි වෙති.
රැඳවියන් හෝ නිලධාරින් වෙන්ව හඳුනාගැනීම අසීරුය. ලලිත සිරි සර පුහුණු බිමේදී ඔවුන් අතර භේදයක් නැත. මේ රැඟුම් ගැයුම් වැයුම්වල අසිරිය දකින්නට පසුගිය දිනෙක අප එහි ගියෙමු. ඒ වැලිකඩ බන්ධනාගාරයටය.
“මුහුදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා....
සුදුපාටින් පහන් තරුව
දුර අහසේ දිලිසෙනවා
සුදු පාටින් ටිකිරි සිනා
මුතුගේ මුවින් ගිලිහෙනවා...”
වැලිකඩ බන්ධනාගාරයේ මහ දොරින් ඇතුළු වී මුළුතැන්ගෙයත් බෝධීන් වහන්සේත් අතරින් ඇති පාරේ ඇවිද ගොස් පන්සල් වාට්ටුව දෙසට යන්නට වීමු. පන්සල් වට්ටුවේ එක් කෙළවරක ඇත්තේ අලුතින් ඉදි කරන ලද පුස්තකාලයයි. එයත් පසු කර පන්සල් වාට්ටුව අසලට ගිය අප ඉබේටම මෙන් ඇතුළට නොගොස් එහි දොරකඩ නතර විමු. ගුණසේන ගලප්පත්ති සූරීන්ගේ මුහුදු පුත්තු නාට්‍යයේ ඒ ගීතයේ අපූරු බව විඳින්නට වීමු. එකත් එකටම මේ ගීතය ගයනවා ඇත්තේ පළපුරුදු ගායිකාවක යැයි සිත දැඩිව කියා සිටියේය. ගීත හඬ නතර වූ ඇසිල්ලේ කඩිනමින් එහි ඇතුළු වුයේ ගී හඬේ අපුරු හිමිකාරිය කවුදැයි දැක බලාගැනීමේ අරමුණිනි. අප දන්නා හුරුපුරුදු ගායන ශිල්පිනියන් කිසිවෙකු එහි නැත. සිටියේ කාන්තා, පිරිමි රැඳවියන් පිරිසක් හා නිලධාරීන් පිරිසක් පමණි.
“කවුද ඒ හරි අපූරුවට ගැයුවේ.”
එකිනෙකා අප මුහුණ බලන්නට විය.
“අපි ආයෙත් අහමු නේද?”
යෝජනාව ගෙනාවේ නැටුම් කණ්ඩායමේ දීර්ඝකාලීන පුහුණුකරු වන ජානක ජයලත්ය.
බෝනික්කෙකු ද අතට ගෙන පැමිණියේ හුරුබුහුටි තායි කෙල්ලකි. ඇය සමඟ සිටියේද තවමත් තරුණ වියේ පසුවන කාන්තාවකි. ඔවුහු ගයන්නට වූහ. අත්වැල් අල්ලන්නට වුයේ සෙසු රැඳවියෝය.
පන්සල් වාට්ටුවේම තවත් තැනෙක බෙර කණ්ඩායම පුහුණු වීම් වලය. වෙන දා බණ භාවනා වැඩසටහන් පැවැත්වෙන පන්සල් වාට්ටුව එදා ගායන වාදන නර්තන පැවැත්වෙන කලායතනයක් මෙනි. සියල්ලන් ලහියේ සුදානම් වන්නේ බන්ධනාගාර ඉතිහාසයේම මෙතෙක් සිදු නොවූ අපුරු කටයුත්තක් සඳහාය. ඒ මේ 08 වැනිදා සවස 6.30 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ලලිත සිරි සර ප්‍රසංගය සඳහාය.
මංකොල්ලකාරයන්ට හොරුන්ට මිනීමරුවන්ට ස්ත්‍රී දුෂකයන්ට, කොටින්ම කිව්වොත් අපරාධකාරයන්ට මොන කලාවක් ද? මේ කතාව ඇසූ විට ඔබට එසේ සිතෙන්නට ද බැරි නැත.
කලාව සෞන්දර්ය විසින් නොහික්මුණු මිනිසා හික්මවාලිය හැකි වී නම් අරුමයකි.
“මම කවදාවත් බෙරයක් අතින් අල්ලලාවත් තිබුණේ නැහැ. හිර ගෙදර ආවට පස්සේ තමයි බෙර ගහන්න ඉගෙනගත්තේ. පොඩි ප්‍රශ්නයක් වෙලා හිරේ ආවේ. දැන් අවුරුදු ගාණක් තිස්සෙම මෙහෙ. මෙහෙ තනිවෙලා ඉන්න කොට තමයි තේරෙන්නේ කරපු වැරදිවල තරම. ලලිත සිරි සර ප්‍රසංගය සඳහා මාව තෝරාගත්ත එක දැන් මට සතුටක්. අපි සති ගානක් තිස්සේ පුහුණු වෙනවා. මේ පුහුණු වීම්වල ඉන්දැද්දි වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නේ නැහැ. දැන් මගේ හිතට දැනෙන්නේ සහනයක්.”
රැඳවියකු පවසන්නේ මේ දවස්වල නිරත වන කාර්ය පිළිබඳය.
මුහුදු පතුල යට ඉදලා ගීතය ගැයූ සින්දා හුරුබුහුටි තායි කෙල්ලකි. සිංහල භාෂාව ඇයට නුහුරු වුවත් ඇය එය ඉගෙන ගත්තාය.
“මම ඉගෙන ගත්තේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක. නිවාඩුවට ගෙදර යන්න ආවේ. මගෙ යාළුවෙක් දුන්නා එයාගේ යාළුවෙකුට දෙන්න කියලා චොක්ලට් පාර්සලයක්. එදා ගුවන් ගමන් වලදි ඩුබායිවලින් තිබුණේ නෑ තායිලන්තයට යන්න ගුවන් යානයක්. මම පැය හයකට තමයි ලංකාවට ආවේ. එතැනින් තායිලන්තයට යන්න. නමුත් මෙහෙදි මාව අත්අඩංගුවට ගත්තා. එවලෙයි මම දැන ගත්තේ මගේ අතේ යාළුවා එවපු පාර්සලයේ මත්ද්‍රව්‍ය තිබුණ බව. මගේ අම්මා ආච්චි තාත්තා නංගි මල්ලි හැමෝම මට වුණ දේ ගැන දුක් වෙනවා. එයාලට මාව බලන්න එන්න ඕන. ඒත් ඒ එන ගමන ඒ ගොල්ලන්නට කරදරයි. මම දන්නේ නැහැ මට මොනවා වෙයිද කියලා. කවදා හරි ගෙදර යන්න ලැබෙයි කියලා මම හිතාගෙන ඉන්නවා. මම හිරේ එනකොට අවුරුදු විසි දෙකයි. අවුරුදු පහකට වඩා දැන් හිරගෙදර.
සින්දු කියන්න නටන්න හැම දේටම ඉන්නවා. අවුරුදු තුනහමාරක් මම හිටියේ මීගමුව බන්ධනාගාරයේ. ඉන්පස්සේ අගුණකොළපැලැස්ස හිටියා. දැන් මෙ පුහුණු වීම් නිසා මෙහෙට ඇවිත් ඉන්නවා. මට සිංහල ලියන්න කියවන්න බැහැ. එත් කතා කරන්න පුළුවන්.” උච්චාරණය වෙනස් වුවත් ඇය තමන්ට සිදු වී ඇති දෙය පිළිබඳ කියන්නට වුවාය. හිරගෙදර ගැන හොඳක් ලියන්නට ලැබෙන්නෙ කලාතුරකිනි. එහි සිටින්නේ වරදකරුවන් පමණි. ඒ වරදකරුවන් ජීවත් වන්නේ දුක් සුසුම් හෙළමිනි. හෙට කුමක් වේදැයි කියන්නට දන්නේ නැති මේ මිනිස්සුන්ගේ සිත්වලට යම් හෝ අස්වැසිල්ලක් ඇත්තේ විටින් විට බන්ධනාගාර ඇතුළත සිදු කරනු ලබන පුනරුත්ථාපන වැඩසටහන් වලට සහභාගී වීමට රැඳවියන්ට අවස්ථාව ලැබිමෙනි. අවුරුදු විසිදෙකකට වැඩි කාලයක් තිස්සේ හිර ගෙදර ගත කරන ඔහු මෙහි පැමිණියේ වයස අවුරුදු විසි එකේදි පමණය. ඒ සොරකම්වලට වරද කරුවෙකු වීය. ඔහුට නඩු දාහතකි.
“තවත් කාලයක් හිරේ ඉන්න වෙනවා. මම මෙහෙ ආවට පස්සේ නිවාස නිවාඩු ගිහිල්ලාම නැහැ. මගෙ අම්මා විතරයි ඉන්නේ. අම්මා එනවා මාව බලලා යන්න. මෙහෙ හිටපු කාලේ මම හැමදේම ඉගෙන ගත්තා. ඒ වුණත් මගේ හිතේ දුකක් තියෙනවා. අපි මේක ඇතුළේ හිර වෙච්ච ජීවිතයක් ගත කරන්නේ. ඒ වුණත් මේ වගේ දේවල්වලට යොමු වන විට මට නම් මගේ ගොඩක් ප්‍රශ්න අමතකයි. මේ ටිකේ අපි හරිම සතුටින් ඉන්නේ. අපේ අරමුණ මේ ප්‍රසංගය සාර්ථකව නිමා කරගන්නයි.” ඉන්දික පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි.
දුකක් කරදරයක් සිතේ ඇති විට වෙනත් දෙයකට යොමු වීම අසීරුය. ඔවුන් දැන් මේ ජීවිවලට හුරු වී හමාරය.
සුරංගිගේ කටහඬ අපුරුය. ඇය සංගීතය හදාරා ඇත. ඇය ව්‍යාපාරයක් කළ කාන්තාවකි.
“රෑ තිස්සේ නින්ද යන්නේ නැහැ. මට මගෙ දරු දෙන්නා මතක් වෙනවා. ඒ ගොල්ලො හොඳින් ඉගෙන ගන්නවා. මගේ සැමියත් ඉන්නේ හිර ගෙදර. මගේ තාත්තා මෑතකදී නිදහස් වුණා. අපි වංචා කාරයෙකුට අහු වුණා. රට යවන්නම් කියලා ඔහු සල්ලි ගත්තා. මම එක එක්කෙනාව ඔහුට හොයලා දුන්නා. අන්තිමට ඒ කෙනා රටින් පිට වුණා. අපිව තමයි නීතියට අසු වුණේ. මට අවුරුදු අනූතුක සිර දඬුවමක් ලැබුණා. පසුව එය අවුරදු 78කින් අඩු වුණා. ජීවිතේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ මෙතැනට ආවාට පස්සේ. මම උසස් පාසලක ඉගෙන ගත්තේ. දැන් ඒ කිසිම දෙයක් වැඩක් නැහැ. හිරගෙදරට ආවටම පස්සේ හිතේ සතුටින් ඉන්නේ මේ දවස් ටිකේ තමයි. මම අගුණකොළපැලැස්ස හිරදෙර ඉඳලා මෙහෙට ආවේ.” සුරංගි පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.
සුරංගි පමණක් නොව අපේ රටේ මෙන්ම විදෙස් කාන්තාවෝ කිහිප දෙනෙක්ම මේ පුහුණුවල යෙදී සිටියහ. ඇය චෙකොස්ලෝවැකියාවේ කාන්තාවකි. වරද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමය. ඇයට ආයුබෝවන් කියනවා හැරෙන්නට වෙන දෙයක් සිංහලයෙන් කියන්නට බැරිය.
“මම ආසයි සිංහල කතා කරන්න. ඒත් මට අමාරුයි.” මාර්තායේ පවසන්නේ සමාව අයදින්නාක් මෙනි. මොවුන්ට ජීවිතය වැරදී ඇත . ඒ වැරදීමට ඔවුහු දැන් දඬුවම් ගෙවමින් සිටිති. එවැනි ක්‍රියාකාරකම් නිසා සිතත් ගතත් සුවපත් වෙමින් පවතින බව රැඳවියන් පවසන්නෙ සතුටිනි.
කාලයක් තිස්සේ බන්ධනාගාරයේ මෙවැනි කටයුතුවල දී මුල් තැන ගන්නා නිලධාරියෙකි චන්දන ඒකනායක මහතා. වර්තමානයේ ඔහු බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුනතා සංවර්ධන) නිලය හොබවයි. ලලිත සිරි සර ඔහුගේ නිර්මාණයකි.
“ බන්ධනාගාර ගත වන පුද්ගලයා විශෝධනය මඟින් යහපත් පුද්ගලයකු බවට පත් කිරීමයි අපේ අරමුණ. ඒ විශෝධන ක්‍රියාවලියේම එක් වැඩසටහනක් ලෙස තමයි මෙය ආරම්භ කළේ. බන්ධනාගාර ඉතිහාසයේම මෙවැනි සෞන්දර්යාත්මක කටයුත්තක් සිදු කරන පළමු අවස්ථාව මෙය. මා දන්නා තරමින් ලෝකයේ වෙනත් බන්ධනාගාරයක මෙවැනි දෙයක් සිදු වූ බවක් දන්නේ නැහැ. ලලිත සිරි සර විවිධ ප්‍රසංගය සදහා අපට බොහෝ දෙනෙකුගේ උදව් උපකාර සහාය ලැබෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ නොමඳ සහාය මීට ලැබෙනවා. එමෙන්ම බන්ධනාගාර කොමසාරිස් තුමාගේ උපදේශකත්වය ලැබෙනවා. ඒ හැරුණ විට අපේ රටේ ප්‍රවිණ කලාකරුවන්ගෙන් නොමඳ සහාය ලැබෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී කිර්ති පැස්කුවල්, ප්‍රවීණ නාට්‍ය ශිල්පි සනත් විමලසිරි, නර්තන උපදේශිකා නදීකා පෙරේරා, තමාෂා ජයසූරිය, වාද්‍ය ශිල්පි ජනනාත් වරකාගොඩ, කේ. එම්.මහතන්තිල යන අය ගේ විශේෂ සහාය ලැබෙනවා. ඔවුන් තමයි රැඳවියන් පුහුණු කරවන්නේ.” චන්දන ඒකනායක මහතා පවසන්නේ ප්‍රසංග කටයුතුවල ආරම්භයේ සිට මේ දක්වා ගමනය.
පාසල් යන දරුවෙකුට, පෙරපාසල් යන දරුවෙකුට විවිධ ප්‍රසංගයක් පැවැත්වූයේ නම් සියල්ල සපයා දිය යුත්තේ මවුපියන් විසිනි. නමුදු බන්ධනාගාර රැඳවියන්ගේ ප්‍රසංගයට සහභාගි වන සියලු රැඳවියන්ට නූල් කැල්ලේ සිට සපයා දිය යුත්තේ බන්ධනාගාරය විසිනි. ඒ සියලු අඩුපාඩුකම් පිරි මසිමින් ඔවුන් දැන් ලලිත සිරි සර සඳහා සූදානම් ය. කාන්තා නිලධාරිනියෝ 11ක් පිරිමි නිලධාරීයෝ 16 හා කාන්තා හා පිරිමි රැඳවියෝ 10ක් ප්‍රංසගය සදහා සහභාගි වෙති. සංගීතය සපයනු ලබන්නේ බන්ධනාගාර සංගීත කණ්ඩායම විසිනි. සියල්ල සඳහා තවත් ඇත්තේ කෙටි කාලයක් පමණි.
මේ සුළු කාලය තුළ ඔවුන්ගේ කැප වීම සුවිශාලය.
“ උදේම රැඳවියන් පන්සල් වාට්ටුවට එනවා. ව්‍යායාම කරනවා. වෙන දා නම් ඔවුන් වේලාවට කෑම ගන්නවා. පුහුණුවීම්වලට ආවට පස්සේ මේ අයට කෑම බිම ගැන ගානක් නැහැ. මට තේරෙනවා මේ අය බොහෝම ප්‍රබෝධයෙන් ඉන්න බව. මේ මිනිසුන්ගේ හිත්වල දහසක් ප්‍රශ්න ඇති. ඒ වුණත් ඒ අය තමන්ගේ කාර්ය බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් කරනවා. ඒක හොඳ ලක්ෂණයක් හැටියටයි මම දකින්නේ.
පුනරුත්ථාපන නිලධාරි පියසිරි මහතා එසේ පවසන්නේ රැඳවියන්ගේ පුහුණු වීම් දෙස බලන අතරේය.
පන්සල් වාට්ටුව කාර්ය බහුලය. තැන් තැන්වල වාඩි වී සුසුම් හෙළනු කඳුළු සලනු වෙනුවට ඔවුහු ගී පද මුමුනති. නටති. ඒ සතුට වචනයෙන් කිව නොහැකිය. එය දෑසින්ම දැකිය යුතුය.
ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ