අයිඑස් බූවල්ලා යුරෝපයේ සිට දකුණු ආසියාවට අඬු දිගු කරයි | Page 2 | සිළුමිණ

අයිඑස් බූවල්ලා යුරෝපයේ සිට දකුණු ආසියාවට අඬු දිගු කරයි

පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රධානියා විසින් අමෙරිකානු කොංග්‍රසයට තෙමසකට වරක් අමෙරිකානු හමුදාවල මෙහෙයුම් හා ආරක්ෂක තත්ත්වය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මේ සතියේදී ඉදිරිපත් කළ නවතම වාර්තාව මගින්පවසා තිබුණේ සිරියාව සහ ඉරාකය තුළ අයිඑස් සටන්කාමීන් ඉතා බලවත්ව යළි සංවිධානය වෙමින් සිටින බවය.

සිරියාව සහ ඉරාකයේදී පරාජිත අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ගෝලීය ජිහාඞ් අන්තවාදී ත්‍රස්තවාදීන් ඉදිරි මාස කිහිපය තුළ යුරෝපයේ සිට දකුණු ආසියාව දක්වා නව ප්‍රහාර රැල්ලක් දියත් කරන බවට පෙන්ටගනය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

පරාජය ලැබූ අයිඑස් ත්‍රස්තවාදීන් සරණාගත කඳවුරු තුළදී, සිර කඳවුරු තුළ දී යළි සංවිධානය වන බවට ආරක්ෂක විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ පරාජයෙන් වසරක් ගතවීමටත් ප්‍රථම සිදුවන්නට යන විනාශයේ බලපෑම සුළුපටු නොවන බවට අනතුරු අඟවමිනි. නව ප්‍රහාර රැල්ල තුළ ආගමික ස්ථාන වැඩි වශයෙන් ඉලක්කගත වනු ඇති බවත්, මරාගෙන මැරෙන ප්‍රහාර හා මෙහෙයුම් සඳහා වැඩි වශයෙන් අයිඑස් සංවිධානයේ කාන්තාවන් යොදාගනු ඇති බවටත් ඉහත වාර්තා මගින් පවසා තිබේ.

මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරයේ තොරතුරු ද ඇතුළත් කරමින්, ඊට පෙර ශ්‍රී ලංකාවෙන් සිරියාවේදී අයිඑස් ත්‍රස්ත සංවිධානය හා බැඳුණු ලාංකික සාමාජිකයන් පිළිබඳව ද සඳහන් කරමින් විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක විශේෂඥ මණ්ඩලයක් විසින් සකස් කර තිබේ. මෙම වාර්තාව සකසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල බුද්ධි අංශ වාර්තා ද පදනම් කරගනිමිනි. ජගත් විශේෂඥ මණ්ඩලයට ලද බුද්ධි තොරතුරු වත්මන් තොරතුරු සමග සංසන්දනය කරමින් විශ්ලේෂණය කරමින් පිටු 24කින් සමන්විත පූර්ණ වාර්තාවක් ලෙස මෙය සකස් කර ඇත. එහි දැක්වෙන්නේ සිරියාවේදී අයිඑස් ත්‍රස්තවාදීන් හමුදාමය වශයෙන් පරාජය කළ ද ඔවුන් යුරෝපය මෙන්ම දකුණු ආසියාවේ දී ද යළි සංවිධානය වන බවයි. අයිඑස් සංවිධානයේ දැනට ඉතිරිවී සිටින නායකයන් තම සංවිධානය ලැබූ පරාජය නොතකා, රහසිගතව සැඟව සිටිමින් පවතින තත්වයන්ට අනුහුරු වෙමින් යළි සන්නද්ධ වෙමින් සිටින බවට එම වාර්තාවේ දැක්වේ.ඉදිරි මාස 4 තුළ සිදුවන නව ආරක ප්‍රහාර රැල්ල ජාත්‍යන්තර අයිඑස් ත්‍රස්තයන් විසින් ඉහළපෙළේ ස්ථාන වෙත සැලසුම් සහගත අයුරින් සිදුකරනු ඇති බවට අනුමාන කර තිබේ. ජගත් සංවිධාන වාර්තාව පවසන පරිදි අයිඑස් සංවිධානයට සම්බන්ධ වීමට සිරියාවට ගිය විදේශිකයන් 30,000ක් තවමත් ජීවතුන් අතර සිටිති. ඔවුන්ගෙන් ඇතැමුන් සිරගතව සිටියද ඔවුහු බන්ධනාගාර තුළ සිට හා පිටත සැඟවී රහසිගත ලෙස කණ්ඩායම් රැස් කරමින් අන්තවාදී මතවාදය පතුරුවමින් එකතුවෙමින් සිටිති. මෑතකදී යුරෝපයේ ඇතැම් ස්ථානවල සිදුවූ සුළු සුළු ත්‍රස්ත ප්‍රහාර අන්තවාදීන්ගේ අවසන් ප්‍රහාර නොවන බවත් නව ආරක ප්‍රහාර රැල්ලකට අයිඑස් සංවිධානය හා අනුබද්ධ ත්‍රස්ත කණ්ඩායම් සූදානම් වෙමින් ඇති බවත් එම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

දින දෙක තුනකට පමණ සිරියානු මාධ්‍යවේදියකු විසින් අන්තර්ජාලයට මුදාහැරි වීඩියෝවක දැක්වුණේ අයිඑස් සංවිධානය පරාජය වූ සිරියානු නගරයක් වන හමා තුළ අයිඑස් සටන්කාමීන් රැදී සිටින ආකාරයයි. ඔවුන් යළි ප්‍රහාර සඳහා සන්නද්ධ වෙමින් සිටින බවට එමගින් අනතුරු අඟවා තිබිණි. එම වීඩියෝව නිකුත් වීමත් සමගම සිරියානු සහ තුර්කි හමුදා රහසිගතව සිරියාවේ හමා, අෆ්රින් ඇතුළු නගර 6ක් වෙත ස්ථානගතවීමට පටන්ගෙන තිබිණි. සෙබළුන් 1000ක් පමණ පළමු අවස්ථාවේදීම යැවීමට එම රජයන් කටයුතු කර තිබුණි.

නැගෙනහිර ලිබියාව, ඩම්බාස් ආදි ස්ථාන මෙන්ම පිලිපීනය, ඉන්දුනීසියාව, මලයාසියාව, පාකිස්ථානය, රුසියාව හා තුර්කිය ද අයිඑස්වරු සංවිධානය වන ස්ථාන වනු ඇති බවට අනුමාන කෙරේ.

පෙන්ටගනයේ ආරක්ෂක ප්‍රධානියා විසින් අමෙරිකානු කොංග්‍රසයට තෙමසකට වරක් අමෙරිකානු හමුදාවල මෙහෙයුම් හා ආරක්ෂක තත්ත්වය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. මේ සතියේදී ඉදිරිපත් කළ නවතම වාර්තාව මගින් පවසා තිබුණේ සිරියාව සහ ඉරාකය තුළ අයිඑස් සටන්කාමීන් ඉතා බලවත්ව යළි සංවිධානය වෙමින් සිටින බවය. පෙන්ටනයට ලද වාර්තා අනුව අවම වශයෙන් සටන්කාමීන් 14000-18000ක පමණ ත්‍රස්ත සාමාජිකයන් ඔවුන් සතුට දැනටමත් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.

පෙන්ටගන් ආරක්ෂක ප්‍රධානියා සිය වාර්තාව මගින් අමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කර තිබුණි. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිරියාවෙන් සිය හමුදා ඉවත් කොටඉරාකයෙන් රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයක් පත්කරගැනීම අයිඑස් පරාජය කොට ලද ජයග්‍රහණයෙහි අස්ථාවරත්වය වැඩි කොට සටන්කාමීන්ට යළි සංවිධානය වීමට ඉඩ සැලසූ බවටයි.

ට්‍රම්ප්ගේ තීරණයට අනුව අයිඑස් පරාජයෙන් පසුව සිරියාව තුළ සිටින ඒකාබද්ධ හමුදා ඉවත් කිරීමට පසුගිය ජනවාරියේදී පියවර ගැනීමත් සමග ජනාධිපති හිටපු විශේෂ නියෝජිත බ්‍රෙට් මැක්ගර්ක් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමේ නිවේදනය කරමින් බ්‍රෙට් පවසා තිබුණේ ද අයිඑස් පරාජය කළ ද මෙවැනි තීන්දු තීරණ මගින් අන්තවාදීන්ට කිරුළු පැළදීමට අවශ්‍ය පරිසරය ද ඒවා විසින්ම සකසනු ඇති බවය. ට්‍රම්ප්ගේ තීරණ අන්තවාදීන්ට අලුත් ජීවිතයක් ලබාදෙනු ඇති බවට ද ඔහු යළි යළිත් චෝදනා කළේය. ඉන්පසුව ද අමෙරිකානු මෙන්ම ලොව ආරක්ෂක විශේෂඥයන් රාශියක්ම අයිඑස් යළි සංවිධාන වනු ඇති බවට අනතුරු අගවා තිබුණි. උදාහරණයක් ලෙස සිරියාවේ අල්-හෝල් සරණාගත කඳවුර දහස් ගණනින් යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වෙසෙන කඳවුරකි. මේ තුළ සටන්කාමීන් කල්ලි ගැසෙමින් සිටින බවට තොරතුරු ඇතැයි වාර්තාවේ දැක්වුණ ද එය හදුනාගෙන පියවර ගැනීමට හැකි ස්ථානයක් නොවන බව සඳහන් ය. අයිඑස් සංවිධානයේ ප්‍රධානතම බඳවාගැනීමේ මධ්‍යස්ථානය ද මෙය වන බවට වාර්තාවේ දැක්වේ. එමෙන්ම වෙනත් සරණාගත කඳවුරු තුළ ද අයිඑස් කල්ලි ගැසෙමින් සිටින බවට පෙන්ටගන් වාර්තාවේ උදාහරණ දක්වා ඇත.

ලොව ධනවත්ම ත්‍රස්ත සංවිධානය ලෙස කෙටිකලක් තුළ නම් දැරූ අයිඑස් ත්‍රස්තයන් මේ වනවිට සිටින්නේ මුල්‍යමය අතින් අතිශය අමාරු අඩියක බැවින් පෙර මෙන් නොව, පහසුවෙන් හඳුනාගත නොහැකි ඉපයීම්, කොල්ලකෑම් ක්‍රමවලට අතගසා ඇතැයි ද වාර්තාවෙන් දක්වා තිබේ. පෙර මෙන් මහා පරිමාණයේ ගෙල සිදීම්, පැහැර ගැනීම් නිරන්තරයෙන් කිරීමෙන් වැළකී ඉඳහිට එවැනි සාහසිකකම් කරමින් නමුත් වෙනත් ක්‍රම මගින් හැකිතාක් මුදල් ඉපයීමට අයිඑස් ත්‍රස්තයන් කටයුතු කරන බවට ද වාර්තාවේ සඳහන් කර තිබේ. මුල්‍ය වශයෙන් ඇදවැටීමකට ලක්ව ඇති අයිඑස් ත්‍රස්තයන් මේ වනවිට මොබයිල් ගෙවීම් ඇප්, ක්‍රිප්ටෝකරන්සි ආදියෙන් මුදල් සූරාකෑම කරන බවද වාර්තාවේ දැක්වේ. ආදායම් බදු ආදියට හසු නොවන පරිදි කුඩා ගිණුම් රාශියක් පවත්වාගෙන යමින්, සුළු ව්‍යාපාරිකයන් ලෙස නව ව්‍යාපාර අරඹමින් හා සාමාන්‍ය පුද්ගල ගිණුම් පවත්වා ගනිමින් ද සයිබර් අවකාශය තුළ හැකි සෑම අයුරකින්ම මුදල් කොල්ල කෑ හැකි ක්‍රම කෙරෙහි වැඩිපුර නැඹුරු වී ඇතැයි ද එහි දැක්වේ. ජිහාඞ් ත්‍රස්තවාදීන් සිටින්නේ මුල්‍ය හිගකමේ අර්බුදයක වුවද සංකීර්ණ ජාත්‍යන්තර ප්‍රහාරයක් මෙහෙයවීම හා සැලසුම් කිරීමට අවශ්‍ය මහා පරිමාණ ආයෝජන ලබාගැනීමේ මාර්ග ඔවුන් සාර්ථකව පාදාගනිමින් සිටින බව ද වාර්තාවේ සඳහන් ය. අමෙරිකානු ඩොලර් මිලියන 50 සිට මිලියන 300ක් දක්වා පුපුරණ ද්‍රව්‍ය ලොව ඕනෑම තැනක සිදුවන තම මෙහෙයුමක් වෙත ගෙන්වා ගැනීමේ හැකියාව ඔවුන් සතු බවට අයිඑස් තම සුළු කණ්ඩායම් වෙත දැනුම් දී ඇතැයි වාර්තා මගින් පෙන්වා දී ඇත.ගෝලීය ජිහාඩ් සංවිධානය පෙරට වඩා මුල්‍ය අතින් ශක්තිමත් වනු ඇති බවටත් ඇතැම් ගෝලීය ඉස්ලාම් සංවිධානවලින් ඊට අවශ්‍ය සහය ලබාදෙනු ඇති බවටත් ඉහත වාර්තාවලින් කරුණු දක්වා තිබේ.

Comments