
සමාජ සේවාව
ඔහු මා හා හිතවත් වූයේ මා විවාහ වී ඔහු ගේ ගමේ පදිංචියට ආ මුල් දිනවල ය.
එකල ඔහු අපූරු තරුණයෙක් විය. ලබා තිබුණේ සාමාන්‍ය අධ්‍යාපනයක් බැවින් ඔහු තුළ මිනිස්කම යහමින් තිබිණ.
යම් ගැටලුවක් පැන නැඟුණු විට ඔහු ඊට විසඳුම් සොයා ආවේ මා වෙත ය. කෙමෙන් ඔහුත් මාත් අතර හුදු හිතවත්කමකට වැඩි සහෝදර බැම්මක් ඇති විය.
දිනක් ඔහු සිය හදවත මා ඉදිරියේ නිරාවරණය කළේ ය.
‘අයියෙ, අපි මෙහෙම ඉඳල වැඩක් නෑ. අපෙන් මේ සමාජෙට වැඩක් කෙරෙන්ඩ ඕනැ. මිනිස්සු හම්බකරල කාල බීල මැරිල යනව මිසක් අනාගත පරම්පරාවට ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙ නෑ. අපි අවටම දුප්පත් ගෙවල්වල අහිංසක ළමයි කොච්චර ඉන්නවද? ඒ දරුවන්ට ඉගෙනගන්ඩ අත දෙන්ඩ අපිට බැරිද? අපි එකතුවෙලා සමිතියක් පිහිටෝගෙන ඒ ළමයින්ට මොකක් හරි දෙයක් කරමුද?‘
ඔහු ගේ යෝජනාව යහපත් එකක් වුව ද මා ඊට කෙළින් පිළිතුරක් නොදුන්නේ මගේ උපන් ගමේ අතීත ක්‍රියාකාරකම් සිහිපත් වීමෙනි. නව යොවුන්වියේ සිට ම මම ගමේ මිතුරන් හා එක් ව ගමේ පොදු වැඩ කරන්නට පුරුදු ව සිටියෙමි. මුල දී ගම ම අප හා එකතු වුව ද අවසානයේ සිදු වූයේ පැරැණි බලවේග අපට එරෙහි ව නැගිට අප අසරණ කර දැමීම ය.
‘මම තාම මේ ගමට අලුත්නෙ. මල්ලි ඔයාගෙ යාළුවො එක්ක ඔය සමිතිය පටන් අරගෙන වැඩ ටික කරගෙන යන්ඩ. මං මල්ලිගෙ ළඟින්ම ඉඳගෙන මට පුළුවන් හැම දෙයක්ම කරල දෙන්නම්‘ මම කීමි.
නව ජවයකින් පිට ව ගිය ඔහු යළි මා සොයා ආවේ ලෝකයක් ජයගත්තා මෙනි.
‘අයියෙ, මං සාමාජිකයො විසිගාණක් අපේ ගෙදරට රැස්කරල සමිතිය පිහිටෙව්ව. ප්‍රධාන නිලයත් මටම ලැබුණ. දුප්පත් ළමයින්ට උදව්කරන වැඩේට කවුරුත් කැමතියි. මට අයියට කියල අපේ සමිතියෙ ව්‍යවස්ථාව හදාගන්ඩ ඕනැ‘
ඊ ළඟ දවසේ ඔහු මා සොයා ආවේ සතුටින් කෑගසමිනි.
‘අයියෙ, අපි අහිංසක දරුවො දහදෙනෙකුට පොතුයි සපත්තුයි අරන් දුන්න. මට හරිම සතුටුයි. අපි ඒ ගෙවල්වලටම ගිහිං තෑගි පාර්සල් අතටම දුන්න. ඒ මූණුවල තිබිච්ච හිනාව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ‘
ඊ ළඟ දවසේ ඔහු ආවේ තැන්පත් ඉරියව් පාමිනි.
‘අයියෙ, සමිතියෙන් යෝජනා වුණා ගෙවල්වල අය එකතුකරගෙන බස්සෙකක් අරං පොඩි විනෝද ගමනක් යං කියල. ඉඳල හිටල එහෙම දේකුත් තියෙන්ඩ ඕනැනෙ. එතකොට ගෙවල්වල අයත් සතුටු වෙනවනෙ‘ ඔහු කීවේ මුහුකුරා ගිය තැනැත්තකු මෙනි.
එතැනින් පටන්ගත් විනෝද චාරිකා යෑම නතර වූයේ නැත. ඔවුහු මසකට වරක් කොහේ හෝ ගියහ.
‘මල්ලි විනෝද වෙනව වැඩී කියල පේන්නෙ නැද්ද?‘ දිනක් මම ඇසීමි.
‘ඇත්ත. කට්ටිය විනෝදෙට බර වැඩියි. ට්‍රිප් යනකොට මුලින්ම පුංචි එවුන් සිංදු කියනව. ළමා ගීවලින් තමයි පටන් ගන්නෙ. ඊට පස්සෙ ලොකු අය සිංදු කියනව. බයිල වලින් වැඩේ ඉවර වෙනකොට හුඟදෙනෙකුට වෙරි. බෝතල් කොහෙන් අරං ගිහිංද දන්නෙ නෑ‘
‘මල්ලි වැඩේ වණ වෙන්ඩයි යන්නෙ. දැංම පාලනය කර නොගත්තොත් කරදර වෙයි.‘
ඉන්පසු සමිතියේ විනෝද චාරිකා යෑම අඩු විය. ඒ වෙනුවට සිදු වූයේ හැම සමිති වාරයක් අවසානයේ ම බොන පාටියක් දැමීම ය.
මාසික සමිති වාර පැවැත්වුණේ පිළිවෙළින් ඒ ඒ සාමාජිකයන්ගේ නිවෙස්වල රාත්‍රී කාලයේ ය. සමිති රැස්වීම අවසන් වනවාත් සමග ම සාමාජිකයන් බහුතරය මධුවිත වටා රොක් වීම ද, බමන මතින් කෑකෝ ගෑම ද, රණ්ඩු සරුවල් වීම ද ඇබ්බැහියක් බවට පත් විය.
ඉන්පසු සති ගණනාවකින් ඔහු මා සොයා නාවේ ය. මෙසේ බලා සිටින අතර දිනක් ඔහු හිස බිමට නැඹුරු කරගත් වන ම පැමිණ මා ළඟ හිඳගත්තේ ය.
‘අයියෙ, මං සමිතිය විසුරුවන්ඩයි යන්නෙ. ඔයා දන්නවනෙ මං මේ සමිතිය පිහිටෙව්වෙ කොච්චර උතුම් හැඟීමකින්ද කියල. අයියට මතකයි නේද අර ළමයි දහදෙනාට පොතුයි සපත්තුයි අරං දීපු වැඩේ. ඒකත් එතනිම්ම ඉවර වුණා. ඊට පස්සෙ ට්‍රිප් ගියා. මං ඒකට හරස් වෙච්චහම හැම සමිති වාරයක් ඉවර වෙනකොටම බොන පාටියක් දාගත්ත. දැං මේක බොන සමිතියක් බවට පත්වෙලා. සාමාජිකයො වැඩි දෙනා මං කියන දෙයක් අහන්නෙ නෑ. වැඩි ඡන්දෙටයි වැඩ. කට්ටියට දැං ඕනැ වෙලා තියෙන්නෙ මාසෙකට සැරයක් එකතු වෙලා බීල විනෝද වෙන්ඩ. සමිතිය පටන්ගත්තු අරමුණ ඒගොල්ලන්ට මතක නෑ. මේකට තවත් ඉඩ දෙන්ඩ බෑ. පුළුවන් වුණොත් මං සමිතිය විසුරුවල දානව. නැත්තං මං අස් වෙනව‘
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයෙකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.