
* දෙහිවල තදබදය අඩු කරන්න තෝරාගත් සතුන් අනෙකුත් උද්‍යානවලට
* රටකින් රටකට සතෙක් ගෙනියන්න වියදම රුපියල් ලක්ෂ දහයක්
“ඔන්න එකමත් එක රටක හිටියා කොක්කු ජෝඩුවක්...“ ආදි වශයෙන් කියා අවසානයේ අහසින් ගිය ඉබ්බා ගැන කියන විට මම සිනාසුණෙමි. ඉබ්බෙක් කොහොමද අහසින් යන්නේ?
“නෑ. කොක්කු දෙන්නා තමයි කෝට්ට මැද්දෙන් අල්ලගන්න කියලා ඉබ්බාව එක්කගෙන ගියේ.“ අම්මා අප වට කරගෙන කියන විට අපි විවිධ ප්‍රශ්න ඇසුවෙමු.
“මන්දන්නෑ ළමයි, ඔයගොල්ලන්ට උත්තර දෙන්න...“
එකල ඇසූ ජනකතාවලට උත්තර දෙන්න අම්මා දැන සිටියේ නැත. එනමුදු ඇය අපට අහසින් ගිය බොහෝ සතුන් ගැන කියා දුන්නාය. ඒ එදාය. දැන්ද අහසින් සත්තු රටින් රට යති. හැබැයි ඒ යන්නේ කෝටුවල එල්ලී හෙම නොව; ගුවන්යානාවල නැඟීගෙනය! දැන් කාලයේ පොඩ්ඩකු සත්තු කොහොමද ගුවන්යානයෙන් යන්නේ කියා ඇසුවොත් ඒ ගැන කියා දෙන්නට කතා බොහෝය. පොඩ්ඩන්ට පමණක් නොව; ගුවන් මඟින් රටින් රට යන සතුන්ගේ කතා ගැන අප නොදන්නා තොරතුරු බොහෝය. මේ තොරතුරු ගැන සොයා බලන්න සිත් වූයේ දෙහිවල සත්ත්වෝද්‍යානයට අලුතින් ගෙන එන සතුන් පිළිබඳ ලැබුණු තොරතුරත් සමඟය. අප දන්නා කාලයේ පටන් එහි සිටින අලි-ඇත්, රිළා, වඳුරු, ජීරාෆ්, මුහුදු සිංහ, නයි-පොළොං ඈ කී නොකී සිවුපා, උරග ආදි සතුන් අතරට අලුත් යාළුවන් රොත්තක්ද නුදුරේදීම එනු ඇත.
අභය භූමි හැරුණ විට අපට නිතර දෙවේලේ යා හැකි, පුංචි දරුවන්ට විනෝද විය හැකි, සතුන් බැලිය හැකි ස්ථානයකට කලක පටන් තිබුණේ දෙහිවල සත්ත්වෝද්‍යානය පමණි. දෙහිවල සත්ත්වෝද්‍යානය ආරම්භ කෙරෙන්නේ 1936 වසරේදීය. පසුකාලීනව පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ත්ව උද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානය සහ ගෝණපොල ගොවිපොළ නම් කර ඇත.
පින්නවල සත්ත්වෝද්‍යානය ආරම්භ වන්නේ දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි සතුන් පින්නවලට විතැන් කිරීමත් සමඟය. ඉඩකඩ මඳ වීමෙන් දෙහිවල සතුන් වත්තේ පැවැතියේ තදබදයකි. මෙහිදී දෙහිවල සිටි විදේශීය සතුන් යාල සෆාරි උද්‍යානයට මාරු කරන ලදි.
සතුන්ට හිතකර ලෙස පරිසරය සකස් කිරීම ගැන අදහස් දක්වන සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය:
“සතුන් අතිරික්තයක් එක්ක සතුන් වත්ත නවීකරණය කිරීම අපහසුයි. ඒ නිසයි අප සතුන් වෙනත් ඔවුන්ට හිතකර උද්‍යානවලට මාරු කර යැව්වේ. කලකට පෙර සතුන් හිටියේ කුඩා කුඩුවල උන්ට ඉඩ මදි ඒ කුඩු. ඒත් දැන් එහෙම තත්වයක් නැහැ. ස්වාභාවික ගහකොළ තියෙන විදිහට අප කූඩු හදලා තියෙන්නේ. සාම්ප්‍රදායික විදිහට තිබුණු කූඩු දැන් මෙහෙ නැහැ. බටහිර රටවල සත්තුන්ට තිබෙන කූඩු විදිහට තමයි දැන් මෙහෙත් කූඩු සාදා තිබෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් චින්පන්සි ඉන්න කූඩුව අපි අලුත් විදිහට හදලා තියෙනවා. කූඩුවෙන් නිදහස් කරලා ගස්වලට නගින්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. අලින්ට නිදහසේ ඉන්නට පුළුවන් විදිහට ඒ පරිසරය හදලා තියෙනවා. කොටියා, සිංහයා, ජගුවර් වැනි මාංස භක්ෂක සතුන් සම්බන්ධව අපට ප්‍රශ්න තිබුණා. නමුත් දැන් සියලු ප්‍රශ්න නිරාකරණය වී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය වතුර, පොකුණු ආදිය නිදහස් පරිසරයක සාදා තිබෙනවා. අද වන විට ස්වාභාවික පරිසරයක් ලෙසයි සත්ත්වෝද්‍යානය සකස් වී තිබෙන්නේ. අපි මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළේ සතුන් වත්ත මහජනතාව සදහා විවෘතව තබමින්. ඒ වගේම මහජනතාව සඳහාත් වෙනදාට වඩා පහසුකම් සලසා තිබෙනවා.” මල්සිංහ මහත්මිය පවසන්නීය.
දැන් සැබැවින්ම ඉස්සර වඩා සතුන් වත්ත වෙනස්ය. කැඩී-බිඳි ගිය පටු මාවත් වෙනුවට පුළුල් මාර්ග ඉදි වෙමින් තිබේ. එමෙන්ම ඇතැම් සතුන් නැරඹීම සඳහා උස් ස්ථානද සකස් කර ඇත.
මේ වන විට සත්ත්වෝද්‍යානයේ සේවක පිරිස 300ක් පමණ වේ. සත්ත්වෝද්‍යානය ඇතුළත සැම තැනක්ම ආවරණය වන පරිද්දෙන් CCTVද සවි කර ඇත.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ මේ වන විට සත්ත්ව විශේෂ 250ක් පමණ වේ. සතුන් 2500යේ සිට 3000ක් පමණ සිටින අතර, සතුන් ගණන හරියටම කිව නොහැකි වන්නේ පක්ෂි විශේෂ රැසක් සංක්‍රමණික වන බැවිනි. දැන් මින් මැඳුරද නවීකරණය කරමින් තිබේ. ඊට අමතරව අලුත්ම ආරංචිය වන්නේ මෙරටට ආවේණික නොවන තවත් සත්ත්ව විශේෂ කිහිපයක් නුදුරේදීම දෙහිවලට ගෙන ඒමය.
“තවත් මාස කිහිපයක් ඇතුළත මේ සතුන් ගෙන්වනවා. සතුන් ගෙන ඒමට බාධක කිහිපයක්ම තිබුණා. නුදුරේදීම ඒ සම්බන්ධව ඇති පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා. සතුන් ඇණවුම් කිරීම සඳහා අපට විශේෂ කැබිනට් අවසරයක් ලැබි තිබෙනවා. සතුන් ලංකාවට ගෙන ඒමේදීද අවසර ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. එකක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන වෘක්ෂලතා පනතට අනුකූලද නැද්ද යන අවසරපත්රයයි. මෙයින් බලන්නේ අපේ රටේ නැති රෝග මේ ගෙන එන සතුන් මඟින් අපේ රටට පැමිණෙනවාද යන්නයි.
සතුන් මෙරටට ගෙන ඒමෙන් පසු ඒ සතුන්ට නිරෝධායන කාලයක් තිබෙනවා. එය සතාගෙන් සතාට වෙනස් වෙනවා. ඉදිරියේදී ඉන්දියාව, චීනය, ජපානය, නෙදර්ලන්තය, රුසියාව, ඇමරිකාව ආදි රටවල් වලින් සතුන් 200ක් පමණ මෙරටට ගෙන්වනවා. සීත රටවල තිබෙන දේශගුණයට වඩා ආසියානු රටවල තිබෙන උෂ්ණත්වය සහ පරිසරය සතුන්ට උචිත බව සත්ව විද්‍යාඥයින්ගේ මතයයි. මුළු ලෝකයම නියෝජනය වන පරිදි වූ වාසා නමැති සංවිධානයක් තිබෙනවා . අප ඒ සංවිධානයේ සාමාජික රටක්. එම සංවිධානය ලෝකයේ රටවල තිබෙන සත්ත්වෝද්‍යානවලට ගිහිල්ලා සමීක්ෂණය කරනවා. මෑතකදී ඔවුන් අපේ රටටත් ආවා. ඔවුන් අපේ සත්ව උද්‍යානය පිළිබඳ බොහො අගය කළා. එය අපට සතුටක්.” මල්සිංහ මහත්මිය පවසන්නේ සත්ව උද්‍යානයේ නව ප්රවණතා පිළිබඳය.
තවත් ටික දවසකින් පක්ෂි විශේෂ පහළොවක්, චීටා යුවළක්, ජිරාෆ්, ජගුවාර් වර්ගයේ කොටි තිදෙනෙක්, නිල්ගයි ගවයන් සිව් දෙනෙක්, බ්ලැක් බක් වර්ගයේ ගෝනුන්, ඇතුළු සත්ව විශේෂ රැසක් මෙරටට ගෙන එනු ඇත. මේ වන විටත් ගෙනැත් ඇති සතුන් කිහිප දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා තබා ඇත. මේ අතුරින් ඇතැම් සතුන් සත්ව හුවමාරු ක්‍රමය යටතේ මෙරටට ගෙන්වනු ලැබේ. මෙලෙසින් සතුන් ගෙන්වීමට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ස්වාභාවික හේතුන් මත සත්වයන් මියගොස් තිබීමය.
රටකින් රටකට සතකු ගුවනින් ගෙන ඒම පහසු නැත. ඒ සඳහා ගුවන් යානාවලට ලක්ෂයේ සිට ලක්ෂ දහය දක්වා මුදලක් ගෙවිය යුතුය. ඒ මිල ගණන් සතාගෙන් සතාට වෙනස් වේ. ගමකින් ගමකට හරකෙක් පටවාගෙන ගියද අපේ රටේ ඒ සතා ගෙන යෑමට නීති මාලාවක් ඇත. රටකින් රටකට සතකු ගෙන ඒමේදී ද එවන් නීති මාලාවක් ඇත. මෙහිදී ප්‍රධාන තැනක් දෙන්නේ සතාගේ සුව පහසුව සඳහාය.
සතාගේ ජීවිත ආරක්ෂාවට පළමු තැන හිමි වේ. එනිසා ගුවනින් ගෙන එන සත්ත්වයාගේ ප්‍රමාණයට සරිලන ගුවන් යානයක් ගුවන්ගත වන මොහොත දක්වා අදාළ රටෙන් සත්ත්වයා ගෙන ඒමට ඉඩ නොදේ. විශේෂයෙන්ම කුඩුව සුව පහසු විය යුතුය. යම් පැද්දීමක් ගුවනේදී සිදු වේ නම් කූඩුවේ වැදීමෙන් සත්ත්වයා යම් හානියක් නොවීම සඳහා කූඩුව අන්තර්ජාතික ප්‍රමිතියකට අනුව සකස් කර තිබිය යුතුය. මේ ක්‍රමය සත්ත්වයාගෙන් සත්ත්වයාට වෙනස් වේ. පිටරටකින් මෙරටට සත්ත්වයා ගෙන ඒමෙන් පසු එම සතා රැගෙන ඒම සඳහා දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් කණ්ඩායමක් ගුවන්තොටට යති. ඒ කණ්ඩායමට පශු වෛද්‍යවරයකු ඇතුළත් වේ. සත්ත්වෝද්‍යානයට ගෙනා ඉක්මනින් එම සත්වයා අදාළ කූඩුව වෙත දමන්නේ නැත. දවසක් දෙකක් නොව සති කිහිපයක් හෝ මාසයක් ගත වන තුරුවත් නවක සත්ත්වයා ඒ පරිසර පද්ධතියට හුරු වන තුරු රඳවා තැබේ. සත්ත්වයා නවක පරිසරයට හුරු වන්නේ ක්‍රමයෙනි.
ඔහු බලාගන්නා කෙනාට හුරු වන්නේ ක්‍රමයෙනි. කොටින්ම කිව හොත් අලුත් සතුන් බැලීමට නරඹන්නන්ට සෑහෙන කාලයක් බලා සිටීමට සිදු වේ.
ඉබ්බකු අහසින් ගියා යැයි කියා කුඩා කල විශ්වාස නොකළ අපට දැන් අලි-ඇතුන් කොටි-වලසුන් අහසින් එන බව විශ්වාස කරන්නට පුළුවන. එය තවදුරටත් තහවුරු කරගැනීමට අවශ්‍ය නම් අපිත් එක්ක එන්න යන්න දෙහිවල සතුන් වත්ත වටේ රවුමක්!
ඡායාරූප - රංජිත් අසංක