
මගේ විදේශ ගමන් බලපත්‍රය නැති විය. අලුතින් එකක් හදා ගැනීමට වුවමනා විය.
මම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් අදාළ ලියකියැවිලි බාර දී ගෙවියයුතු යැයි කියූ රුපියල් දස දහසක මුදලක් ද ගෙවීමී.
හරියටම ඊට දින පහළොවකට පසු මට ගමන් බලපත්‍ර කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ආවේ ය. ඉන් කියැවුණේ මා නියමිත මුදල ගෙවා නැති බව ය. මට පුදුම සිතිණ.
ඉන් දින හතරකට පසු මම උදෑසන ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියෙමි. යා යුත්තේ කොතැනටදැයි මා විමසූ විට හයවැනි මහලට ගොස් විමසන හැටියට උපදෙස් ලැබිණ. මම එහි ගියෙමි. එතැන සිටි පරිපාලන නිලධාරිනියකට කාරණය පැහැදිලි කළෙමි. ඇය තවත් ලිපිකාර මහත්මියකත්, මාත් කැඳවාගෙන තෙවන මහලට ගියා ය. එහිදී කරුණු විමසා බලන විට හෙළිවූයේ මගේ අංකය අගට කිසියම් ලකුණක් යොදා ඇති බැවින් ප්‍රශ්නයක් පැන නැගී ඇති බව ය. මා මුදල් ගෙවූ රිසිට්පත පෙන්වූ විට ප්රශ්නය නිරාකරණය විය. වැරැද්ද නිවැරදි කර ප්‍රධාන නිලධාරී මහතා හමුවී එය ස්ථිර කරවාගත් පරිපාලන නිලධාරිනිය සහ අනෙක් ලිපිකාර මහත්මිය අවසානයේ මා කැටුව දෙවන මහලට ආහ. එහිදී ද අදාළ නිලධාරී මහත්වරුන් හමු වී ලියකියැවිලි විධිමත් කළ ඔවුන් මට කීවේ දැන් සියල්ල විසඳී ඇති බවත්, සවස තුනහමාරට අදාළ කාමරයට ගොස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසත් ය.
මේ සියලු කටයුතු නිමවන විට පෙරවරු දහයමාර පසුවී තිබිණ. ඉන් පසුව ඒ දෙදෙනා මගෙන් සමුගත්තේ අවශ්‍ය වුවහොත් යෑමට ආපන ශාලාවත්, කාන්තා වැසිකිළියත් මට පෙන්වීමෙන් අනතුරු ව ය. ඔවුන් සිය රාජකාරිය නිමවා මට ලබා දුන් සැනසිල්ල කෙතරම් දැයි කියනවා නම් මා ඔවුන් සමුගෙන යන අයුරු බලා සිටියේ ළෙන්ගතු හදිනි.
එතැන් පටන් මම ඔරලෝසුව දෙස බලමින් ගෙවිය යුතුවූ පැය පහ ගතකළෙමි. අවසානයේ සවස තුනහමාර එළැඹිණ. මා වහ වහා නියමිත කාමරයට ගියේ මගේ අලුත් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ නොඉවසිල්ලෙනි.
‘ඔයාගෙ පාස්පෝට් එක තවම හදල ඉවර නෑ’ එතැන සිටි නිලධාරී මහත්මයා මට කීවේ ය.
මා රත් වී ගියේ ය.
‘අනේ සර්, මං අම්බලන්ගොඩ ඉඳල ආවෙ’ මට කියැවිණ.
‘හෙට එන්ඩ’ ඔහු කීවේ ය.
මා දෙනෙත තෙත්ව ගියේ ය.
මම ආපසු හැරුණෙමි. අතරමගදී මට නිලධාරි මහතෙක් හමු විය. උදේ වරුවේ මගේ ඉල්ලුම්පතට අදාළ ලියැවිලි අනුමත කළේ ඔහු ය.
‘ඇයි? වැඩේ හරිගියේ නැද්ද?’ ඔහු ඇසුවේ මගේ මුහුණේ සැඟවුණු හැඟීම් තේරුම් ගත්තාක් මෙනි.
මට ‘නෑ’ යි කියැවිණ.
‘පොඩ්ඩක් ඉන්ඩ’ යැයි කී ඔහු මට හෙට එන්නැයි කියූ නිලධාරී මහතා හමුවී කරුණු විමසා යළි මා ඇමතුවේ ය.
‘එන්ඩ. මං ඉක්මනට හදල දෙන්නං. වාඩිවෙන්ඩ’
මගේ රාජකාරියට සම්බන්ධ නිලධාරීන් වහා කැඳවූ ඔහු මගේ ගමන්බලපත්‍රයට අදාළ කාර්යය කඩිනම් කරවා පැයකාලක් ඇතුළත එය මා අත තැබුවේ ය.
මා එය අතට ගත්තේ ‘පින්සිද්ධ වේවා!’ යි කියමිනි. මා ඒ කාර්යාලයෙන් පිට වන විට සවස පහ පසුවී තිබිණ. නිවෙසට එනවිට රෑ දහයමාර පසු විය.
කෙසේ වුව ද, සියල්ල හොඳින් ඉටු වීම පිළිබඳ ව ඇත්තේ බලවත් සතුටකි. උදවු කළ නිලධාරී මහතාට හා නිලධාරිනියන් දෙදෙනාට යහපත පතමි.
මා වෙනුවෙන් මෙබඳු සත් කාර්යයක් ඉටුකර දීමට ඒ අයට හිතුණේ මා අවුරුදු තිහකට වැඩි කාලයක් දරුවනට අකුරු කළ ගුරුවරියක නිසා යැයි සිතමි.
වතුගෙදර, ශිරානි වික්‍රමසිංහ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.