
මේ දැන් අත්තටු සවි වූ අලුත් කුරුල්ලෙකු මෙන් කොළුවා කූඩාරම කරා ඉගිළ ගියේය.
“මොකක්ද අමා වුණේ?” බ්‍රයන් නොඉවසිල්ලන් ප්‍රශ්න කළේය.
“මට උණ. ඇවිදින්ඩ ගියෙත් නෑ. බුදිය ගන්ඩ හැදුවට වේළු එහෙං මෙහෙං කරච්චල් කොරනවා තමා. බැරිම තැන පාරක් ගැහුවා. තරහ වෙලා තමා මෙහෙට්ට ඇවිත් හැංගිලා ඉන්ඩැත්තේ...”
අහිගුණ්ඨික තරුණයා පැහැදිලි කළේය. වෙදැදුරෙකුගේ භූමිකාව රඟ දක්වන ඔහු දෙස බ්‍රයන් බලා සිටියේ නොමනාපයෙනි.
“මං ඔය තරම් යං කියලා කියද්දිත් ඔයා දුවගෙන ගිහිං අර කාමරේ ඇරලා බැලුවා...?” යි බ්‍රයන් කෝපයෙන් ද වේදනාවෙන් ද සැලෙන සරින් පැවසීය.
රෙදි පටියකින් ඇගේ දකුණතේ තුවාලය වෙළා දැමූ තරුණයා ඇගේ මුහුණ බැලුවේය. සම්මුඛ වූ සිව් නෙත් කුකුසින් ද විස්මයෙන් ද විසල් විය. ඒ තියුණු බැල්ම ඇගේ හද සිදුරු කළ කිනිසි තුඩු සදිසි විය. ඇය වේදනාව විඳ දරා ගන්නට තැත් කළා ය.
“බයවෙන්ඩ එපා... තුවාලෙ හොඳ වෙනවා තමා...”
ඇය අස්වසාලන්නට නඟා ගත් සිනා පොද ඔහුගේ දෙතොල මත වියැකිණ.
“අපි යන ගමං ඩිස්පෙන්සරියකින් බෙහෙත් ටිකක් දා ගමු අමා... බෙහෙත් විඳින්නත් වෙයි.” යි කියමින් බ්‍රයන් යතුරු පැදිය වෙත ගියේය.
ඇය පිල් ගැට්ට මත හිඳගත්වනම රිළවා කර තබා ගත් තරුණයා වෙත බැඳුණු නෙතින් බලා සිටියාය.
“මොකක්ද නම?” යි පහත් හඬින් ඇසුවාය.
“මෙයා වේළු.. මම රාජු...”
“තැන්ක්ස් රාජු... ඔයා ආවෙ නැත්තං මෙයා මාව හපනවා..”
ඔහු මඳ සිනාවක් පෑවා මිස කිසිවක් නොපැවසුවේය.
“අමා...”
ඇගේ ප්‍රමාදය ඉවසිය නුහුණු බ්‍රයන් හඬ ගෑවේය. එහෙත් යතුරු පැදියට නැඟි කෙණෙහි තවත් පමා වන්නට සිදු වන බව ඔහුට වැටහිණ.
“ෂික්..” යි ඔහු අපමණ අප්‍රසාදයෙන් කොඳුළේය.
“හුළං බැහැල නේද?” යි මහත් උනන්දුවෙන් ප්‍රශ්න කළේ ලහි ලහියේ යතුරු පැදිය වෙත ආ තරුණයා ය.
“මයි ගෝඩ්” යි දෙවියන් සිහි කරමින් හිස බදා ගන්නට පවා බ්‍රයන්ට සිතිණ. එහෙත් ඔහු යතුරු පැදිය දෙස පමණක් නොව රාජු හා වේළු දෙස ද රවා බැලුවා පමණි.
ආපසු යෑම හෝ යතුරු පැදිය පිළිබඳව හෝ කරදර නොවූ අමාලි වේළුගේ නිය’ග රුදුරු බව වින්දාය. සීරීම් තුවාලයේ දැවිල්ල රාජු විසින් අතුරන ලද ඔසුව හේතු කොටගෙන තුනී වෙමින් තිබිණ.
“අද යන්ඩ වෙන්නෑ මාත්තයා.”
යතුරු පැදියේ රෝදය පරීක්ෂා කළ තරුණයා ඒ කටුක සත්‍යය අනාවරණය කළේය.
“එහෙම කොහොමද...? කොහොම හරි යන්න ඕන... යන්න ම ඕන.”
බ්‍රයන් කතා කළේ මහත් ආවේගයෙනි.
“හෙට යන්ඩ. අද ඉන්ඩ”
රාජු සන්සුන් සරින් තෙපළුවේය.
“මඟුලක් කියනවා. ඉන්ඩ? කොහෙද? මේ මෙහෙ..? ඊට වඩා හොඳයි පයිං හරි යන එක..” යි හඬ නඟා කියමින් ඔහු ගෙපිලට නැංගේය.
මත් ද්‍රව්‍යයක් භාවිතා කළ එකියක මෙන් අඩවන් දෙනෙතින් බලාගත්වනම සිටින යෙහෙළිය වෙත නැඹුරු විය.
“අමා... අපි යන්න ඕන මේ දැන්ම.. ඔයාට තේරෙන්නැද්ද. අපිට මෙතන ඉන්න බෑ.. කොෙහාම හරි අපි යන්න ඕන..” යි සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද පවසන කල කොලු කෙළි රොත්ත බලා සිටියේ ඇස් පමණක් නොව කටවල් ද විවර කර ගනිමිනි.
“එනව යන්න..” යි බ්‍රයන් නිහඬ නිශ්චල යුවතියගේ අතින් ඇද්දේය.
ඇගේ මුවින් නැඟි වේදනාත්මක හඬ අහිගුණ්ඨික තරුණයා යතුරු පැදිය වෙතින් ඉවතට ඇද දැමුවේය. වේගයෙන් ඇය වෙත දිව ගිය ඔහු “තුවාලෙ තුවාලෙ” යි කෑගෑවේය. බ්‍රයන් තල්ලු කර දමන්නට පවා ඔහු නොපැකිළුණේය. මහත්සේ නොසන්සුන්ව හුන් බ්‍රයන් ඔහුට පහරක් ගැසුවේය. ඒ එක් පහර ඇය ගිලී හුන් විස්මෘතියෙන් ගොඩ එන්නට උපකාර කළේය.
“එපා.. අනේ එපා” යි ඇය පොරයට වන් තරුණයන් දෙදෙනා වෙත කඩා පනිමින් ඉල්ලා සිටියාය. ඇය මෙන් නොකැලඹුණු ළමයි මේ ගුටි පොරය දෙස විකසිත දෑසින් බලා සිටියහ. වේදිකා නාට්‍යයක් නොඑසේ නම් සිනමා සිත්තමක් නරඹන ප්‍රේක්ෂක සමූහයකගෙන් ඔවුන් වෙනස් නොවූහ.
මධ්‍යම පාන්තික නාගරිකයාට වඩා දුෂ්කර දනව්වක දුක දරන්නා ශක්තිමත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.
“ඕක නවත්තන්න” යි අමාලි බෙරිහන් දුන්නේ කෝපයෙනි. එකිනෙකා බදා ගනිමින් මිදුලේ පෙරළෙන තරුණයන් දෙදෙනාට ම පහර දෙන්නට ඇයට වුවමනා විය.
“අයියෝ... ඇති ඉතිං... දැං ඕක නවත්තන්න...”
ඇය නිහඬව හා නිසලව බලා හිඳින ළමයින්ගේ උපකාරය ද අයැද්දාය.
“අනේ එන්නකෝ.. එන්නකෝ... ඔහොම බලා ඉඳලා හරියනවද මෙහෙම ගහගද්දි...?”
එහෙත් ඔවුහු පයක් පෙරට තබනවා තබා ඇඟිල්ලක්වත් නොසෙල්වූහ.
තමා දුර්වල බව වටහා ගත් බ්‍රයන් තවදුරටත් පොර බැදීම අත් හළේය. සවි ශක්තියෙන් සමාන නොවන ප්‍රතිමල්ලවයාට නොනැවත පහර දෙමින් ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳින්නට නොරිසි රාජු “මට තරා ආවා මාත්තයා” යි සමාව අයදින හඬින් ද බැල්මෙන් ද පැවසුවේය.
මිදුලේ හිඳගෙන හතිලන තරුණයන් දෙදෙනා දෙස රවා බැලූ අමාලි නැවතත් පිල් ගැට්ට මත හිඳගත්තාය. කිසිවක් කියන්නට හෝ කරන්නට ඇයට නොසිතිණ. මේ හද්දා පිටිසර ග්‍රාමයේදී තමාගේ මව හමුවනු ඇතැයි තමා තුළ වූ රහසිගත අපේක්ෂාව ද අවාසනාවන්ත අයුරින් බිඳ වැටුණු බව පසක් කරමින් සුසුමක් හෙළුවාය.
“අම්මේ.. අනේ අම්මේ ඔයාට මොකද වුණේ...? ඔයා කොහේ හරි ඉන්නවා කියලමයි මට හිතෙන්නේ... ඔයා මේ ලෝකේ නෑ කියලා නම් මට හිතන්නම බෑ අම්මේ...”
චම්පාගේ කාරුණික හසරැල්ල අතුරුදන්ව ගියේය. සෝබරිත දියණියක වෙත දිගුවූ පොල්කටුව වෙතින් කර්කශ සුගන්ධයක් විහිදිණ. දුම්රොටුවක් නැඟෙමින් ඇගේ නැහැපුඩු කිති කැව්වේය. ඇය හිස නඟා ඒ ඔසුපැන් පොල්කටුව රැඳි දෑත අයත් තැනැත්තා දෙස බැලුවාය.
කඳුළු පිරි යෞවන දෑස ඔහු කලඹාලීය.
“නියපොතු විසටත් එක්ක බෙහෙත් ටිකක් බොන්නම වෙනවා... ඒ හැටි තිත්ත නෑ... බොන්ඩ...”
දුහුවිල්ලෙන් අපවිත්‍රව හුන් තරුණයා සිනා නොනැඟි මුවින් පැවසුවේය.
“එපා... බොන්න එපා... මොන ජරාවක්ද කව්ද දන්නෙ...”
යතුරු පැදිය වෙත නැඹුරුව සිටි බ්‍රයන් උස් හඬින් සිය විරෝධය පළ කළේය. ළමයින් පිරිවරා ගත් ඔහු ද දුහුවිල්ලෙන් අසෝබනව සිටියේය.
“ජරාවක් නෙමේ. මේක බෙහෙතක්... බොන්ඩ...”
රාජුගේ තිරසර හා ගැඹුරු හඬින් දිරිමත් වූ යුවතිය පොල්කටුව දෑතින් ගත්තා ය.
“බොන්න...”
ඇය එය බී හමාර කරන තුරුම ඔහු නොසැලී බලා සිටියේය.
“ඔය ජරාව බීලා හරියන්නෑ... අපි හොස්පිට්ල් යන්න ඕන අමා...”
යතුරු පැදිය හැර දමා එන්නට බ්‍රයන් මැළි විය. ළමයින් එය කැබැල්ලෙන් කැබැල්ල ගලවා දමනු ඇතැයි බියෙන් පෙළුණේය.
“ඒයි... ඒයි...” යි එය ස්පර්ශ කරන ළමයෙකු දෙන්නෙකු පලවා හරින්නට ඔහු වෑයම් කරන ආකාරය ඇය උදාසීන ලෙස බලා සිටියාය.
“කටේ අමිරහ යයි... මේක කන්ඩ.”
රාජු දිගු කළ නෙල්ලි ගෙඩිය ඇය බාර ගත්තේ සිනාවක සේයාවක් සමඟිනි.
“ඔය යකා ඔය දෙන ඒවා කන්න එපා අමා...”
යතුරුපැදිය ද ළමා ළපටින් ද අමතක කළ බ්‍රයන් ගෙපළට නැංගේය. එහෙත් වහා නෙල්ලි ගෙඩිය මුව තුළ ලා ගත් ඇය රාජු දෙස කෘතවේදී බැල්මක් හෙළුවාය. නිහඬවම මිදුලට බට ඔහු සරම තද කොට හැඳ ගත්තේය. බඩ වියත වෙනුවෙන් වෙහෙසුණු තවත් දවසක නිමාව කියා පාමින් ආපසු පැමිණෙන සනුහරේ උදවියගේ සහයෙන් යතුරු පැදිය කරට ගත්තේය. අමාලි පමණක් නොව බ්‍රයන් ද විමතියෙන් දල්වා ගත් දෙනෙතින් බලා සිටියදී ඔහු එය ඔසවාගෙන අඩි පාර වෙත ගමන් කළේය. කොළු කෙලි රොත්ත ඔහු පසුපස ඇදුණේ මහ හඩ නඟමිනි.
ඔවුනොවුන් දෙස බැලූවද බ්‍රයන් හෝ අමාලි කිසිවක් නොපැවසුවෝය.
හදිසියේ ගොළුව ගියාක් මෙනි.
ගිනි සිළු මත රැඳුණු දෙනෙතින් ඇය කල්පනා කළේ අතුරුදන් අම්මා ගැන නොවේ. තවම ආපසු නොපැමිණි තරුණයා පිළිබඳවය. ඔහු යතුරුපැදියේ බරින් මිරිකෙමින් කොතෙක් දුර ගමන් කළේදැයි ඇය බරව ගිය හදින් කල්පනා කළාය.
“අර යකා බයික් එකත් අරං ගියා ගියාමයි. ආයේ නං දකින්ඩ ලැබෙන එකක් නෑ...” යි බ්‍රයන් ඇගේකනට කොඳුළේය. එහෙත් ඒ කියුම බොරුවක් බව කියා පාමින් තරු එළියේ ආපසු එන තරුණයා දුටු සැණින් ඇගේ හද ගැහෙන්නට පටන් ගත්තේය.
ලබන සතියට...