
* ගම්මු රජයට පින්දෙති
* වියදමකෝටි 8.7
කැලයේ සිටින අලියෙක් සාමාන්‍යයෙන් දිනකට පැය 18 ක් 19 ක් ඇවිද යයි. දිනකට එක් අලියෙකුට සාමාන්‍යයෙන් ජලය ලීටර් 200 ක් ආහාර කිලෝග්‍රෑම් 250 ක් පමණ අවශ්‍යවේ. අලියා මෙපමණ දුරක් දිනකදී ඇවිද යන්නේ මේ ආහාර කිලෝග්‍රෑම් 250 ක් සොයා ගැනීමේ අරමුණිනි. සංක්‍රමණ රටාවට අනුව අලියෙකුට හෙක්ටයාර 5000 සිට 40000 දක්වා භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. පාරම්පරික මාර්ග රටාවේ ගමන් කරන වල් අලි ගමන් ගන්නා පුරුදු මාර්ගයේ බාධක පැවතුණහොත් එම බාධක බිඳගෙන ඉදිරියට යෑම සිරිතය.
ලංකාවේ වන ජීවීන් සඳහා සුරක්ෂිත වාසභූමි ප්‍රමාණය මුළු බිමෙන් සියයට 22 කි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම භූමියෙන් සියයට 14 ක් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සියයට 8 ක් ද අයිති වේ. අවසන් වරට 2011 දී සිදු කරන ලද සමීක්ෂණයට අනුව වල් අලි 5879 කි. 2010 වසරේ සිට 2018 වසර දක්වා මිනිස් ජීවිත 657 ක් හා අලි 2219 ක් මිය ගොස් තිබේ.
මෙරට දිස්ත්‍රික්ක 17 ක අලි මිනිස් ගැටුම පවතින අතර උග්‍රම දිස්ත්‍රික්කය කුරුණෑගලයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ගල්ගමුව වනජීවී කලාපයේ මෙම ගැටලුව උග්‍රව පවතී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින්නේ කහල්ල පල්ලෙකැලේ අභය භූමිය පමණි. මෙහි වනාන්තර ප්‍රතිශතය මිනිස් ක්‍රියාකාරකම් නිසා ශීඝ්‍රයෙන් අඩු වී ඇත. ආහාර හා ජලය සොයා යන අලි කැලෑ නොමැති හෙයින් ගම්මාන වෙත කඩා වදිති. මේ හේතුවෙන් ගල්ගමුව වනජීවී කලාපයේ උග්‍ර අලි මිනිස් ගැටුමක් කලක් සිටම පැවතිණ.
මෙයට පිළියම් ලෙස ගල්ගමුව වනජීවී කලාපයේ වල් අලි ගැටුම උග්‍ර ගම්මාන වටා විදුලිය වැට ඉදිකිරීම ආරම්භ කර ක්‍රියාත්මකව පවතී. විදුලි වැට නිසා මේ වනවිට අලි මිනිස් ගැටුම අවම වෙමින් පවතින අතර ඒ නිසා ම මෙම ගම්මානවල ජනතාවට බියෙන් සැකෙන් තොරව දිවි ගෙවීමට පරිසරය උදාවී තිබේ.
ලෙඩ අලින්ට ප්‍රතිකාර
ගල්ගමුව වනජීවී කලාපයට ගල්ගමුව, ඇහැටුවැව, මහව සහ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර (4) අයත්වේ. මේවායේ ග්‍රාම නිලධාරී වසම් 193 ක් ආවරණය කරමින් අලි මිනිස් ගැටුමට විසඳුම් දෙන ගල්ගමුව වනජීවී කාර්යාලය ගනේවත්ත, පොල්පිතිගම, ඉබ්බාගමුව, මාවතගම, රිදීගම, වාරියපොළ හා ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අසනීප සත්තුන්ට ප්‍රතිකාර කිරීමේ සේවයේ ද යෙදෙයි.
වල් අලි තර්ජන උග්‍ර ගම්මාන වටා විදුලිය වැට ඉදිකරන අතර ඒ සඳහා කිලෝමීටරයකට රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැයවේ. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත්වැව, මහඇබෝගම, ඉහළ ඇබෝගම, මඩදෙනිගම, උඩකොටුව, කැලේගම, කොතලවැටිය, හේනේගෙදර, හුනුගල්ලෑව, මහමේරුව, හදපාන්දෙනිගම නිවාස 20, අත්තනපොල දික්යාය, නාකොලගනේ, ආඩිගම හා කදුරුවැව ගම්මාන වටා විදුලිය වැට ඉදිකර ඇති අතර එහි දුර කිලෝමීටර් 76.5 කි.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැව, අතුකෝරලයාගම, පහළකොක්වැව, දෙමටෑව, බුල්නෑගොඩ, වෑගෙදර, ඉහළගම සහ ගනේදිවුල් වැව, ගම්මාන වටා විදුලිය වැට ඉදිකර ඇති අතර එම දුර ප්‍රමාණය කිලෝමීටර් 39 කි.
මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළගම ගම්මානය වටා කිලෝමීටර් හයක (06) දුරට විදුලිය වැට ඉදිකර ඇත.
ආදර්ශ වැට 2016 දී
වල් අලි ගම් වැදීමට පිළියම් ලෙස ගම්මාන වටා අලි වැට ඉදිකිරීම ආරම්භ කළේ 2016 වසරේදී ය. ඒ මුල්ම ආදර්ශ ග්‍රාමීය විදුලිවැට එරියාව, දිග්පිටියවත්ත විදුලි වැටය. ගල්ගමුව වැවගෙදර විදුලිවැට කොටස් තුනකට ඉදිකර තිබේ. ඒ අලි සංක්‍රමණික මාර්ග අවහිර නොවන සේ ය.
ගල්ගමුව වනජීවී කලාපයේ අලි රංචු දෙකක් ගැවසෙති. ඉන් එක් රංචුවක් හේන්වලගම, බිම්පොකුණ, 5 කණුව, මඩදොඹේ, මහගල්ගමුව, පාලුකඩවල, අතරගල්ල, එරියාව, හුනුගල්ලෑව, අගුරුවැල්ල, ඉහළගම, පහළගම, මොරගස්වැව ගම්මානවල සැරිසරති. මෙහි අලි 200 කට අධිකව ගැවසෙති. අනෙක් රංචුවේ අලි 250 කට අධිකව ගැවසෙන අතර එම අලි ඉගිණිමිටිය, තබ්බෝව සිට කාසිකොටේ, යද්දෙස්සාව හා අතරගල්ල ප්‍රදේශවල ගැවසෙති. තවද කහල්ල පල්ලෙකැලේ සිට පැමිණෙන අලි රංචුව විතාදෙනිගම, මුදියන්නෑගම, දිවුල්ගනේ, කදුරුවැව, ඇඹෝගම, වලත්තෑව, ගාලවැව, මොරගස්වැව ගම්මානවලට කඩා වදිති.
දිවා රාත්‍රි දෙකේම අලි පන්නා දමමින් ජීවිත හා දේපළ රැක ගැනීමට වෙහෙසුණු වැසියනට විදුලිය වැට මහත් අස්වැසිල්ලකි. මේ නිසා දැන් ගම්මු වනඅලි බියක් නැතිව තම කටයුතු කරගනිති. ඒ විදුලිය වැටේ පිහිටෙනි.
විදුලිය වැට ඉදිකිරීම නිසා ලැබූ සහනය වචනවලින් කියා නිම කළ නොහැකි යැයි එම්.එල්. ගාමිණී ගුණවර්ධන මහතා පවසයි.
“අපේ ගම්මානවලට හවස පහ හය වනවිට අලි රංචු පිටින් එනවා. පාලුකඩවල වැවට වතුර බොන්ඩ එන අලි රංචු තමයි මේ විදිහට මේ ගම් වදින්නෙ.”
වැට නඩත්තුවට සමිතියක්
දවල් තිස්සෙ කුලී වැඩ කරලා මහන්සිවෙලා ගෙදරට එන අපට රාත්‍රි කාලයටත් නින්දක් තිබුණෙ නෑ. රෑ එළිවෙන තුරු ඇහැරලා අලි පන්නනවා. එක විනාඩියක් ඇහැපිය වුණොත් ඉතින් වගා සේරම ඉවරයි. ඒ කරදරේ දැන් ඉවරයි. රජයට පිං සිද්ධ වෙන්ඩ විදුලිය වැට ගහලා දුන්නා. දැන් ඉතින් රාත්‍රියට අලි රකින්ඩ ඕනෙ නෑ. දවල්ට වැඩ කරලා ඇවිත් රෑට හොඳට නිදාගන්නවා.”
ආඩිගම ඩබ්.ප්‍රේමරත්න මහතා ද අලිගම් වැදීම නිසා පීඩනයට පත්ව සිටි අයෙකි.
“අපේ ගම්මානවල මිනිස් ජීවිත, වගා, දේපළ මේ සියල්ලට අලි නිසා හානි වුණා. සියල්ල අත හැරලා කොහොම හරි ජීවත් වෙනවා කියලා අපි හිත හදාගෙන හිටියෙ. ඒ අතරෙ තමයි මේ විදුලිය වැට ඉදිකිරීම කළේ. අනේ ඉතින් මේ හැමෝටම පිං සිද්ධ වෙන්ඩ දැන් ඉතින් අලි කරදරෙන් අපි නිදහස්. හිත හදාගෙන රාත්‍රියට ඇස් දෙක පියවගන්න පුළුවනි. අපට තියෙන්නෙ රජයෙන් හදලා දුන්න විදුලිය වැට හරි හැටි නඩත්තු කිරීම පමණයි. ඒ සඳහා අපි විදුලිය වැට සුරැකීමේ සමිතියක් පිහිටුවාගෙන තිබෙනවා. වනජීවී එකේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් අපි වැට නඩත්තු කරගෙන යනවා.”
අලි ගැන පැමිණිලි නෑ
විදුලිය වැට ඉදිකිරීමේ නායකත්වය ගෙන කටයුතු කරන මෙන් ම අලි පැන්නීමේ කාර්යයේ නියමු වන සත්ත්ව නියාමක ආර්.එම්. වසන්ත අතපත්තු මහතා අලි වැටේ නඩත්තුව ගැන විස්තර කළේ ය.
“වල් අලි හානි උග්‍ර ගම්මාන වටා විදුලිය වැට ඉදිකිරීම අපි කරලා දෙනවා. ප්‍රජා මූල සංවිධාන පිහිටුවලා නඩත්තු අරමුදලක් හදලා ප්‍රජාවට වැට බාර දෙනවා. ප්‍රතිලාභීන් වැට නඩත්තු කළ යුතුයි. විශේෂ ආබාධවලදී අපි ක්‍රියාත්මක වෙලා අවශ්‍ය කටයුතු කරලා දෙනවා. හරි නඩත්තුවක් තිබෙනවා නම් මේ විදුලිය වැට ගම්වලට ලොකු ආරක්ෂාවක්. වගා භූමි ඇරලා තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නෙ. වගා කරන කාලෙට අවශ්‍යතාවය මත වගා වැට ඉදිකරදීමේ හැකියාව පවතිනවා. මේ විදුලිය වැට හරියට නඩත්තු කරගත්තොත් දිවි පවතින පුරා ජීවිත, දේපළ හා වගා ආරක්ෂා කරගන්න පුළුවනි. ඕනෑම මොහොතක ගම්වල මිනිස්සු වෙනුවෙන් අපේ සහාය අපි ලබාදෙනවා.”
ගල්ගමුව අඩවි ආරක්ෂක ලක්ෂ්මන් රෝහිත මහතා ගල්ගමුව වනජීවී කලාපයට නායකත්වය සපයන අයෙකි.
“මේ කලාපයේ වල් අලි තර්ජන උග්‍රයි. ගම්මාන වටා විදුලිය වැට ඉදිකිරීමෙන් ඒ තර්ජනය සියයට අනූනවයක්ම අඩුවුණා. වැෙට් නඩත්තුව තමයි නිසි පරිදි කළ යුත්තේ සමහර ගම්මානවල වැට නඩත්තුව හරි හැටි කෙරෙන්නෙ නෑ. අපි ගම්මුන් දැනුවත් කර තිබෙනවා. ගම්මුන්ගෙන් මුදල් එකතු කරගෙන ගම්මාන සමිති පිහිටුවාගෙන ගම්මු හරහා ම තමයි මේ වැටේ නඩත්තු කටයුතු කෙරෙන්නෙ. මේ වනවිට අලි වෙඩි ලබාදීම අඩුවෙලා තිබෙනවා. දේපළ හා ජීවිත හානි ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. අපි අපේක්ෂා කළ ප්‍රතිඵලයත් එයයි. විදුලිය වැට නිසා ඒ දේ සිදුවීම ගැන සතුටුයි. සක්‍රීය දායකත්වය අපි ලබාදෙනවා.”
වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්. වේරගම මහතා විදුලි වැටේ ප්‍රතිඵල මෙසේ පැහැදුවේ ය.
වැටවල්වලට අමතරව තමයි ගම්මාන වටා විදුලිය වැට ඉදිකර තිබෙන්නෙ. වන අලි ගම් වැදීමකට තිබෙන එකම විසඳුම මෙයයි. ඉල්ලීම් ලැබෙන විදිහට අලි තර්ජන පිළිබඳව සොයා බලා අපි වනජීවී එකෙන් විදුලිය වැට හදලා දෙනවා. නඩත්තුව හා නිසි අධීක්ෂණය පිළිබඳ ගැටලු මතුවුණා. දැන් අපි ප්‍රාදේශීය ලේකම් හරහා වසමට ඉන්න නිලධාරීන්ට විදුලිය වැටේ අධීක්ෂණ කටයුතු භාර දී තිබෙනවා. ඒ අධීක්ෂණ කමිටුව ගමේ ප්‍රජාව සමඟ එකතුවී නඩත්තුව හා අධීක්ෂණය හරිහැටි කරගෙන යන නිසා සාර්ථක විසඳුමක් මේ වනවිට ලැබී තිබෙනවා. අද අපට ලැබෙන පැමිණිලි අවම වී තිබෙනවා.”
ඡායාරූප අඹන්පොල සමූහ
අනිල් ගාමිණී විජේරත්න