රළු පොළොව කෙම් බිමක් කළ රට රකිනා ඇත්තෝ | සිළුමිණ

රළු පොළොව කෙම් බිමක් කළ රට රකිනා ඇත්තෝ

* අක්කර දෙතුන් සියයක දේශීය වී වර්ග 26ක්ඔ
* වුන්ම හැදූ වැවෙන් ගොවි­බි­මට ජලය
* ජලය පොම්ප කිරීම සූර්ය බල­යෙන්ව
* ය­සක ගව­ය­න්ටත් කන්ද­කාඩුවේ නවා­තැන්

සෝමා­ව­තිය පෙනි පෙනී දකු­ණට හැරෙන පාර වැලි­ක­න්ද­ටය. තව­මත් තාර දමා නැති හෙයින්, එක වාහ­න­යක් ගිය විට මුළු පාරම දූවි­ල්ලෙන් වැසී යයි‍. කමක් නැත.

වළ­ව­ල්වල වැටෙ­මින් කඩ­තො­ලු­වල හැපෙ­මින් අමා­රු­වෙන් ගෙවා එන ඒ දුෂ්කර කිලෝ මීටර් තුන හත­ර­කට පසු වංගු­වේදී, ඔබට ඒ ක්ෂේම භූමිය මුණ ගැසෙනු ඇත.

ශ්‍රී ලංකා යුද හමු­දා­වට අයත් කන්ද­කාඩු ගොවි­පළ, මේ කාෂ්ටක පරි­ස­ර­යට සැබැ­වින්ම, කොළ පැහැ­යෙන් බබ­ළන ‍ක්ෂේම භූමි­යක් මෙනි. මලින් පල­තු­රු­ව­ලින් බරව එහි බොහෝ වගා කට­යුතු සිදු­වන හෙයිනි.

‍එහෙත් ඒ, නිකම් නොවේ. එක­සිය පණ­හක් දෙසි­යක් පමණ වන, ශ්‍රී ලංකා යුද හමුදා සාමා­ජි­ක­යන්ගේ මහ­න්සියේ ප්‍රති­ඵල ලෙසිනි.

බ්‍රිගේ­ඩි­යර් බුව­නෙක ගුණ­රත්න ප්‍රමුඛ ඒ කණ්ඩා­යම, අවු­රු­ද්දෙන් වැඩි කාල­යක් පෑවිල්ල අල්ලන මේ බිම හා ඔට්ටු­වන්නේ, සොබා දහ­මෙන් ලැබෙන සියලු ගැහැ­ට­ව­ලට පිළි­යම් සොය­මිනි. ඈතින් ගලා යන කන්ද­කාඩු ඇළත් සීමිත වැස්සත් හැරෙ­න්නට වතුර එන මඟක් ඔවුන්ට නැත. එහෙ­යින් බ්‍රිගේ­ඩි­ය­ර්ව­ර­යාගේ අද­හ­ස­කට අනුව, මේ කණ්ඩා­යම වැවක් බඳි­න්නට වූයේ අත්හදා බැලී­ම­ක­ටය.

ඒ අත්හ­දා­බැ­ලීම බෙහෙ­වින් ම සාර්ථක විය. දැන් ඔවුන් වැව් පහක හිමි­ක­රු­වන් ය.

වාරි ඉංජි­නේ­රු­වකු පර­යන ඒ දැනු­මත් සිය කණ්ඩා­යමේ ශක්ති­යත් සමඟ බැඳි වැව්, ‘ඉසුරු 1, 2, 3, 4, 5’ ලෙස නම් කෙරුණේ ද එහි මහ­මො­ළ­කරු ව‍ූ බ්‍රිගේ­ඩි­ය­ර්ව­රයා විසි­න්මය.

දැන් ඒ වැව් දිය භුක්ති විඳින්නේ ගම්මු පම­ණක් නොවේ. උගුර කට වියළී දිය පොදක් සොයා ගමට ඇදෙන වල් අලි රංචුත්, මුවන්, ඉන්තෑ­වන්, ගෝනුන් ඇතුළු කැලෑ සතු­නුත් හිතේ හැටි­යට ඒ දිය බී, පවස නිවා ගනිති.

අක්කර එකො­ළොස් දහස් ගණ­නක් විශාල වූ මෙම ගොවි­පළ, කලෙක අග්නි­දිග ආසි­යාවේ විශා­ලම කිරි ගොවි­පළ බවට පත් විය. ඒ අතී­තය පසු­කොට පැමිණි මෙහි, අද සශ්‍රීක ඵල­දා­වකි. ඒ නෙළන ඵල­දාව, පළමු කොට යුද හමුදා පරි­භෝ­ජ­න­යට ය. කොට­සක් ගම්මුන්ගේ පරි­භෝ­ජ­නය උදෙසා සහන මිලට විකි­ණී­ම­ටය. එහෙත් සුප්‍ර­සිද්ධ ‘කන්ද­කාඩු ෆාම් මී කිරි’ නම් කෝච්චි­යෙන් රට වටා යන්නේ, රහ දන්නා ගැනු­ම්ක­රු­වන්ගේ ඉල්ලු­මට අනු­වය.

මෙහි අක්කර තුන් දහස් ගණ­නක් අස්වද්දා, ඇති­මුත් ඒ සියල්ල ගොවි බිම් ලෙස පම­ණක් ම නොවේ‍, සියල්ල සපිරි, මිශ්‍ර ගොවි­ප­ළක් ලෙසිනි.

පසෙක යායට වැවූ බටු, බණ්ඩක්කා, කැකිරි, පිපිඤ්ඤා, මෑ, බෝංචි, වගා­වන් ය. ඒ පසු කර යන­විට පේර, කෙසෙල්, කජු, ටී.ජේ.සී. අඹ, වැවූ පල­තුරු වගා­වය.

කජු ගස් හාර දහ­සක් සහ අඹ ගස් තුන් දහස් දෙසී­යක් අත­රින් ඇවිද යන්නට ඔබට ලැබු­ණොත්... කුමක් සිතේ දැයි නොද­නිමි. එහෙත්, වියළි සුළඟ හා මුසුව හමා එන ඒ අඹ කොළ සුවඳ මම නම්, රිසි සේ විඳ­ග­තිමි.

මාස ගණ­න­කින් වැහි අල්ලක් වැටී නැති මේ මහ පොළො­වත් ඒ ගහ­කො­ළත් දිය පොද­කින් තෙත් කර­න්නට ඔවුන් දරන වෙහෙස අප­රි­මි­තය.

නිමක් නැති ඒ වෙහෙ­සට, අස්වැ­සි­ල්ලක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂ­ව­රයා වූ, බ්‍රිගේ­ඩි­යර් බුව­නෙක ගුණ­රත්න මහ­තාගේ අලුත් අද­හ­සකි.

එනම්, මේ වගා බිමට කිලෝ මීටර තුනක් ඈතින් ගලා යන කන්ද­කාඩු ඇළෙන් සූර්ය විදු­ලිය බලය යොද‍ා­ගෙන, ජලය පොම්ප කිරී­මය.

ඒ සඳහා පළ­මුව, ඇළ එහා කෙළ­වර හැදූ පත­හ­කට වැව් ජලය පිර­විණි. එසේ එක­තු වූ ජලය, ඒ කිලෝ­මී­ටර් තුන ගෙවා ගෙන මෙහා කෙළ­වර පත­හ­කට එකතු කෙරිණි. ඉන්පසු, අක්කර පණ­හක් පුරා විහි­දෙන මේ අඹ යායන්ට දින­පතා ඒ ජලය මුදා හරින්නේ විසිරි ජල ක්‍රම­යට අනුව, බොහොම පරි­ස්ස­ම­ටය.

ගිනි රස්නෙට පායන, දවා අළු කරන තර­මට පිච්චෙන ඒ හිරු රැස්ව­ලට දොස් නොකි­යන ඔවුන්, මේ බිමේ එය සම්ප­තක් බවට හරවා ගත්තේ එලෙස විදු­ලිය බලය උත්පා­ද­නය කර ගනි­මිනි.

එහෙත් මෙසේ ගෙනෙන සීමිත ජල­යෙන් අක්කර දෙතුන් සිය­යක කුඹුරු යායක් අස්ව­ද්දන එක ලෙහෙසි පහසු නොවේ. මහ­වැලි දිය ද ඔවුන්ට නොලැබේ.

දැන්, ඔවුන්ට සිදුව ඇත්තේ සිවිල් ජන­තාව ගොවි­තැන් කරන ‘අපත් වතුර’ සහ වැහි වතුර පම­ණක් ප්‍රයෝ­ජ­න­යට ගෙන වගා කට­යුතු කර­න්නට ය.

කළු හීනටි, සුදු හීනටි, මඩ­ත­වාළු, පච්ච­පෙ­රු­මාල්, දහ­නල, සුව­ඳැල්, මා වී.... ඇතුළු දේශීය වී වර්ග 26 ක් මේ කුඹු­රු­වල ඔවුන් අද ද අස්ව­ද්දන්නේ එවැනි ප්‍රායෝ­ගික දුෂ්ක­රතා රැසක් මධ්‍යයේ ය.

එල­වළු, පල­තුරු වගා­වට අවශ්‍ය පොහොර ටික සාදා­ග­න්නේත් ඔවු­න්මය.‍ ඒ, ගව ගාලෙන්, කුකුළු, එළු, බැටළු පට්ටි­ව­ලින් ගන්නා අප­ද්‍රව්‍ය කො‍ම්පෝස්ට් පොහොර බවට පත්කි­රී­මෙනි. මෙහි බැට­ළු­වන් ඇති දැඩි වන්නේ අභි­ජ­න­නය සඳහා පමණි.

එසේ ම ඔවුන් ගන්නා කිරි අස්වනු ගබඩා කර­න්නට හැදූ, නවීන ශීතා­ගා­රය අද ගම්මුන්ගේ ද කිරි අස්වනු ගබඩා කර තබන තැන බව­ටත් පත්ව තිබෙයි.

“අපේ කිරි දෙනු­න්ගෙන් දව­ස­කට ගන්නා කිරි ලීටර් 150 ක ප්‍රමා­ණය ගබඩා කර තබ­න්නයි මේ ශීතා­ගා­රය හැදුවේ.

ඒත් ගමේ දුප්පත් මිනි­ස්සුන්ට කිරි ටික පහු­වෙ­නිදා වෙන­කම් තියා­ගන්න ක්‍රම­යක් නැහැ. ඉතින් අපි මේ ශීතා­ගා­රයේ ම ඔවුන්ගේ ඒ කිරිත් තැන්පත් කර තිබෙ­නවා...”

දිළි­ඳු­කම තුරන් කිරීමේ ජනා­ධි­ප­ති­තු­මාගේ වැඩ­පි­ළි­වෙ­ළට අනුව, වත්මන් යුද හමු­දා­පති ලුති­නන් ජෙන­රල් මහේෂ් සේනා­නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි මේ සෑම කට­යු­ත්ත­ක­දීම ගම්මුන්ට තැනක් දෙන්න­ටත් ඔවුන් සහ­භාගි කරවා ගන්න­ටත් තමන් ඇතුළු කණ්ඩා­යම කට­යුතු කරන බවයි, බ්‍රිගේ­ඩි­ය­ර්ව­රයා පව­සන්නේ.

“මේ වගා කට­යු­තු­වල නියැ­ළෙන බොහෝ සාමා­ජි­ක­යන් ‘හමු­දා­ගත’ සේවයේ අය. ඒ කියන්නේ, කෘෂි­ක­ර්මා­න්තය සඳ­හාම, මේ ගමෙන් යුද හමු­දා­වට බඳ­වා­ගත් පිරි­සක්. ඔවුන් හමු­දා­වට අයි­තියි. හැබැයි හමුදා පුහු­ණුව නැහැ. නිල ඇඳුම් නැහැ. උස­ස්වීම් නැහැ. නමුත්, සාමාන්‍ය සොල්දා­දු­ව­කු­ගේම වැටුප ලබ­නවා. එහෙම සාමා­ජි­ක­යින් 150 ක් පමණ මේ කන්ද­කාඩු ගොවි­පළේ සේවය කර­නවා.‍ මේ ක්‍රමය නිසා ඔවුන්ගේ ජීවිත අද උසස් තත්ත්ව­යට පත්වෙලා.‍ ආර්ථි­කය යහ­ප­ත්වෙලා.

ඒ වගේ‍ම පළමු වතා­වට, මෙතෙක් පිට­ර­ටින් ගෙන්වූ ත්‍රිවිධ හමු­දා­වට අවශ්‍ය, ‘පිසූ ආහාර’ පැකට් අපිම නිෂ්පා­ද­නය කරන්න පටන් ගත්තා‍. මේ ෆැක්ට­රි­යෙන් ත්‍රිවිධ හමු­දා­වට විත­රක් නෙවෙයි ලංකාවේ ඕනෑම ආය­ත­න­ය­කට මේ කල්ත­බා­ගත හැකි ක්ෂණි­කව ආහා­ර­යට ගත හැකි ආහාර පැකට්, අපෙන් ඇන­වුම් කරන්න පුළු­වන්. එය, යුද බිමේදී සොල්දා­දු­වන් ආහා­ර­යට ගත් ආකා­රයේ පෝෂ­ණීය ආහාර පැක­ට්ටු­වක්. මේ ෆැක්ට­රියේ වැඩ කරන්නේ උසස් පෙළ සමත් ගමෙන් බඳවා ගත් ‘හමු­දා­ගත’ තරු­ණි­යන්.

ඒ විත­රක් නෙවෙයි, ජපන් ජබර කොළ­ව­ලින් වියූ මලු, තොප්පි සහ විවිධ නිර්මාණ මේ ගොවි­ප­ළේම මහ­න්නෙත් අපේ ‘හමු­දා­ගත’ තරු­ණි­ය­න්මයි. වෙළෙ­ඳ­පො­ළට පළමු වතා­වට හඳුන්වා දුන් පෝෂ­ණීය ‘ස්පිරු­ලිනා’ බිස්කට් නිෂ්පා­ද­නය කරන්නේ, මේ ගොවි­ප­ළේම ඒ වෙනු­වෙන් වගා කරන ඇල්ගී විශේ­ෂ­ය­කින්.

ඒ බිස්කට් අපි පිට­ර­ටත් යව­නවා...”

ගොවි­ප­ළක් ඇතුළේ මෙවැනි දේ වෙන්න පුළු­වන්ද.... ඔබට සිතේවි.

ඒත් ඒ තමයි, ඇත්ත.

නොකි­යාම බැරි අනෙක් වටි­නාම කාර­ණය තමයි, මෙය සත්ව ඝාත­න­යෙන් තොර ගොවි­ප­ළක් වීම.

මේ ගොවි­පළ ඇතුළේ ඉන්නා කිසිම සත්ව­යෙක් මස් පිණිස නොම­රන එක ඔවුන්ගේ ප්‍රති­ප­ත්තිය. වය­සට ගිය එළ­දෙ­නුන් හා ගව­යින් වෙනු­වෙන් ම වෙන් කළ ‘අභ­ය­දාන කොටුව’, මේ සත්ව­යින්ගේ මහලු දිවිය ගෙවන

නවා­තැන.

වය­සට ගියත් මසට නොවි­කිණී, සොබා­වික මර­ණ­යක් ලැබෙන කල් නිද­හසේ කා බී දිවි ගෙව­න්නට ඒ මහලු ගව­යින්ට අව­ස්ථාව උදාවී තිබී­මයි, වටි­නාම කාර­ණය.

එකල මේ ගොවි­පළේ වැඩ කළ සුවි­ශේෂී චරි­ත­යක් ගැනත් නොකි­යාම බැරි, කලෙක ඔහු මෙහිම කොට­ස්ක­රු­වකු වූ නිසා­මය‍ි.

1958, රුපි­යල් තුනේ පඩි­යට කන්ද­කාඩු ‍කිරි ගොවි­පළේ කම්කරු රස්සා­වට ආ ඔහු හින්නි අප්පු­හා­මිය. වයස 81 කි. ගේ දොර හදා­ගත්තේ ද ගොවි­පළ පෙනෙන නොපෙ­නෙන දුර­කිනි.

“මේ ෆාම් එක පටන් ගත්තේ ‘ඇන්කර්’ කියන සුදු මහ­ත්තයා. ඒ කාලේ කිරි හරක් 15000 ක් හිටියා. අං වකුටු වෙච්චි ‘මූරා’ හරක් මෙහෙට ගෙනාවේ ඉන්දි­යා­වෙන්. ලංකාවේ හැම පළා­ත­කින්ම වගේ ගෙනත් බෝ කරපු විවිධ වර්ගයේ බටු හරක් මහ හුඟක් හිටියා. ඇන්කර් මහ­ත්තයා ෆාම් එක ඇතුළේ ආවේ ගියේ අස්සයා පිටේ. ඒ මහ­ත්තයා ගෙන්වපු අස්සයො දහ හත­රෙන් එකෙක් පස්සෙ කාලෙක මටත් ලැබුණා. මගේ අස්ස­යාගෙ නම ‘නෝටි බෝයි’. මං මගේ හරක් ගාල බැලු­වෙත් අස්සයා පිටේ යමින්.

මගේ රාජ­කා­රිය වුණේ ගව ගාල හෝදන එක. තණ කොළ කපන එක. හරක් ලෙඩ වුණාම දොස්තර ළඟට අරන් ගියෙත් මං.

හර­කුන්ට බෙහෙත් කර­න්නම ෆාම් එක ඇතුළේ දොස්ත­රලා දෙතුන් දෙනෙක් හිටියා. ඒ කාලේ මං බැලුවේ 1000 ක් ඉන්න හරක් පට්ටි­යක්.

‍‍ෆාම් එක හොඳ­ටම දියුණු කළේ ඇන්කර් මහ­ත්තයා‍. හැබැයි, 1958 මං එන­කොට ඒ මහ­ත්තයා නව­සී­ල­න්ත­යට ගිහින්.

‍අපේ රටට වැඩ කරපු ඇන්කර් මහ­ත්තයා, නව­සී­ල­න්ත­යට ගිහින්, කිරි හදලා ආපහු අපේ රට­ටම එවන්න ගත්තා. රට­ටම කිරි දීපු අපි රට කිරි බොන්න ගත්තා.

ඒ වෙන­කොට ෆාම් එකේ හිටි හරක් ටිකත්, බාගෙට බාග­යක් අඩු­වෙලා. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වෙයි පශු සම්පත් මණ්ඩ­ල­යෙයි අතින් අතට ‍ගිහින් අන්තිමේ 83 න් පස්සෙ කොටි කර­දර කාලේ ‍මේ ෆාම් එක වල් වැදිලා, වැහි­ලම ගියා. බිල්ඩින් විනාශ වුණා. හරක් හුඟ දෙනෙක් නැති වුණේ හිටපු නිල­ධා­රීන්ගේ වර­දින්. ටික දෙනෙක් ආණ්ඩුවෙ ෆාම්ව­ලට අරන් ගියා. තවත් ටිකක් පිටි­පස්සෙ වැටෙන් පන්නලා මස් කඩේට දැක්කුවා. ෆාම් එක ආපහු පණ­ග­හලා ගත්තේ, යුද්දෙන් පස්සේ බාර­ගත්තු බුව­නෙක මහ­ත්තයා.

ඔය ඔක්කොම යුග දකි­මින් 58 ඉඳන් වැඩ කරපු මං, විශ්‍රාම ගියේ 1991 අවු­රුද්දේ. එත­කොට මං ෆාම් එකේ ‘පශු ධන බාර­කරු’. විශ්‍රාම ගිහි­ල්ලත් දැන් අවු­රුදු 28 ක්. ඒත් තව­මත් මං ඉඳ­හිට ෆාම් එක බලන්න යනවා....”

හින්නි අප්පු­හා­මිගේ මත­ක­යට අනුව, මේ ගොවි­පළ ඉති­හා­සයේ අපේ රට කිරෙන් පෝෂ­ණය වූ යුග කිහි­ප­යක් පසු­කර තිබිණි.

දරුණු යුද්ධ­යක නිමා­වත් සමඟ යුද හමුදා කෘෂි­කර්ම අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස පත්වූ බ්‍රිගේ­ඩි­යර් බුව­නෙක ගුණ­රත්න මහතා මේ අක්කර 11, 140 බාර­ගත්තේ කැඩී බිඳී ගිය සුන්බුන් සහි­තව කැලෑ­වෙන් වැසී ගිය හිස් බිමක් ලෙසිනි.

යුද හමු­දා­ප­ති­ව­ර­යා­ටත් ඔහු­ටත් අවශ්‍ය වූයේ අර­මුණු තුනක් පෙර­දැ­රිව මේ බිම යළි ගොඩ­න­ඟ­න්න­ටය. මහ­වැලි නිම්න­යට අයත් මේ බිම පිට­ස්ත­ර­යන් අල්ලා ගන්නා එක වැළැ­ක්වීම, පළමු කාර­ණය විය.

දෙවැන්න ගමේ මිනි­සුන්ට රස්සා දීමය. ගොවි­පළ යළි පණ ගැන්වීම, තුන් වැනි කාර­ණය විය. දැන් ඒ අර­මුණු සියල්ල ඉටුවී හමා­රය. ඒ සඳහා ගැළ­පෙන හොඳම කණ්ඩා­යම ඔහු තෝරා ගත්තේ ද යුද හමු­දා­වෙනි.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බල­කා­යට අයත් මේ කණ්ඩා­යමේ බහු­ත­රය, කෘෂි­කර්ම උපා­ධි­යක් ඇති කපි­ත­න්ව­රුය.

අණ දෙන නිල­ධාරි, ලුති­නන් කර්නල් යූ.ඒ. කළු­ආ­රච්චි, ආචාර්ය මේජර් නිශාන්ත සහ නිල­ධාරි අණ­දෙන කපි­තන් සඳ­රු­වන් ප්‍රමුඛ කණ්ඩා­යම ඒ සඳහා සැදී පැහැදී සිටිති.

ඉදින් ගහ­කොළ, සතා සීපාවා ඇසුරේ ගෙවන මේ ජීවි­තය වෙනස්ය.

විනය සහ දැඩි නීති­ග­රුක හමුදා නිල ඇඳු­මට යටින් සිටින මේ මිනි­සුන් සමූ­හය ඒ ජීවි­තය විඳි­නවා පම­ණක් නොව, රටට ආද­ර්ශ­යක් ද සප­යනු පෙනේ.

Comments