අපි කරන්නේ ඇ‍ඟේ ලේ රත්වෙන රස්සා­වක් | Page 6 | සිළුමිණ

අපි කරන්නේ ඇ‍ඟේ ලේ රත්වෙන රස්සා­වක්

* බල්ලන්ට පූසන්ට වෙද­කම් කර­නවා විත­රක් නොවෙයි ර‍ෙට් ආර්ථි­ක­ය­ටත් දායක වෙනවා
* පශු වෛද්‍ය­ව­රුන්ගේ වෘත්තීය අත්දැ­කීම්

එකැස් අඳ ගල්ග­මුවේ දළ පූට්ටුවා සාහ­සික ලෙස මරා දැමූ පුවත රටම කම්පා­වට පත් කළ ඛේද­නීය සිද්ධි­යක් වූයේ 2017 වසරේ අග භාග­යේ­දීය. අන්ධ ඇතා මර­ණ­යට පත්කොට ඇත්දළ රැගෙන ගිය ආකා­රය ඇසූ අය අත­රින් කඳුළු නොවැ­ටුණු දෙනෙ­තක් සොයා ගැනීම අසීරු ය. මෙම ආන්දෝ­ල­නා­ත්මක සිද්ධියේ දී ඇතා මැරූ බවට සැක කළ අය, ඇත්ත වශ­යෙන් ම ඇතා මරා දමා දළ ගත්තා ද නැත­හොත් මර­ණ­යට පත්වූ ඇත­කුගේ දළ ගත්තා ද යන්න අධි­ක­ර­ණය ඉදි­රියේ නීත්‍ය­නු­කූ­ලව විසඳා ගත යුතු විය. නීතිය ඉදි­රියේ මෙම ගැට­ලු­වට විස­ඳුම් ලබා දෙනු ලැබුවේ රජයේ පශු වෛද්‍ය­ව­රුන් විසිනි. ඇතාගේ සිරුරේ කොටස් සහ ඇත් දළ සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂණ පැවැත්වූ පශු වෛද්‍ය­වරු ගල්ග­මුවේ ඇතා වෙඩි තබා මර­ණ­යට පත් කර දළ ලබා ගත් බවට සහ­තික කළහ.

මේ ආකා­ර­යට සතුන් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය ඉදි­රියේ විසඳා ගත යුතු ගැටලු පැන නැඟුණේ වරක් දෙව­රක් නොවේ. පොලිස් නිල­ධා­රින් සොයා ගත් ගජ­මුතු පරීක්ෂා කර වාර්තා ලබා දීම, සුදු කැස්බෑ - තාරකා ඉබ්බන් සම්බ­න්ධ­යෙන් උද්ගත වූ ගැට­ලු­ව­ලට විස­ඳුම් දීම, සත්ව ශරීර කොටස් සහ අස්ථි කොටස් පරීක්ෂා කිරීම වැනි අව­ස්ථා­ව­ලදී නෛතික කට­යුතු සඳහා පශු වෛද්‍ය­ව­රුන්ගේ සේවය ලබා ගත් අවස්ථා නිද­සුන් ලෙස සඳ­හන් කළ හැකිය. වරක් රයිනෝ අඟක් ළඟ තබා­ගෙන සිටි ශ්‍රී ලාංකි­ක­යකු අත්අ­ඩං­ගු­වට පත් වූ මොහොතේ රයිනෝ අ‍ඟේ කාලය නිර්ණය කිරී­ම­ටත් රයි­නෝ­ස­රස්ගේ වයස අනු­මාන කිරී­ම­ටත් පැව­රුණේ රජයේ පශු වෛද්‍ය­ව­රුන්ට ය. එහෙත් බොහෝ දෙන­කුගේ අද­හස වී තිබෙන්නේ පශු වෛද්‍ය­ව­රුන් යනු බල්ලන්, පූසන්, ගව­යන්, කුකු­ළන් වැනි සතුන්ට වෙද­කම් කරන පිරි­සක් බව ය. ඔවුන් රටේ ආර්ථික වර්ධ­න­යට මැදි­හත් වන ජාතික මට්ට­මෙන් සුවි­ශාල කාර්ය­භා­ර­යක් ඉටු කරන පිරි­සක් බව බොහෝ දෙනෙක් නොද­නිති. රටේ දේශීය කිරි, බිත්තර සහ මත්ස්‍ය නිෂ්පා­ද­නය ඉහළ නැංවීම සඳහා දායක වීම, ආහාර පනත යටතේ මස් සහ මස් ආශ්‍රිත නිෂ්පා­දන සෞඛ්‍යා­නු­කූ­ලව නිෂ්පා­ද­නය කිරීම පිළි­බ­ඳව අධී­ක්ෂ­ණය කිරීම සහ උප­දෙස් දීම, වන සතුන් ආරක්ෂා කිරීම, සතු­න්ගෙන් මිනි­සුන්ට වැල‍ඳෙන ලෙඩ රෝග මර්ද­නය කිරීම ඇතුළු කාර්ය­යන් රැස­කට උර දී සිටින්නේ රජයේ පශු වෛද්‍ය­ව­රුන් ය.

කැලෑ සතුන් පුන­රු­ත්ථා­ප­නය

“මිනි­සුන්ට වැ‍ල‍ඳෙන ලෙඩ­රෝ­ග­ව­ලින් සිය­යට 60ක් වැල‍ඳෙන්නේ සතු­න්ගෙන්. සතු­න්ගෙන් හැදෙන රෝග­ව­ලින් සිය­යට 70ක් හැදෙන්නේ වන සතු­න්ගෙන්. ඒ නිසා වන ජීවින්ගේ ලෙඩ­රෝග ගැන සොයා බලා ඊට පිළි­යම් යෙදීම රට­කට අත්‍ය­වශ්‍ය දෙයක්. වන සතුන්ගේ ලෙඩ­රෝග මිනි­සුන්ට වැල­ඳීම පාල­නය කර ගැනී­මට හැකි වී තිබෙන්නේ පශු වෛද්‍ය­ව­රුන් නිසා. ඒ විත­රක් නොවෙයි. අලින්, වඳු­රන්, දිවි­යන් වැනි සතු­න්ගෙන් ගම්මා­න­වල ජන­තා­වට විවිධ තර්ජන තිබෙ­නවා. මිනි­සුන් ‍සමඟ ගැටුම් තිබෙ­නවා. ඒවා පාල­නය කිරී­ම­ටත් විස­ඳුම් ලබා දීම­ටත් අපි මැදි­හත් වෙනවා. ඒ වගේම කැලයේ අව­තැන් වී සිටින සතුන් නිසි ක්‍රියා­කා­රි­ත්ව­යට පත් කරලා පුන­රු­ත්ථා­ප­නය කරලා වන­යට මුදා හැරීම හෙවත් ප්‍රති­ෂ්ඨා­ප­නය කිරී­මත් අපේ රාජ­කා­රියේ කොට­සක්. වනයේ සිටින සම­හර සතුන්, විශේ­ෂ­යෙන් අලින් සිටින තැන සොයා ගැනීමේ අර­මු­ණින් විද්‍යුත් කර­පටි පැල­න්ඳ­වී­මත් අපේ කාර්ය­යක්. මේ ආකා­ර­යට වන ජීවීන් සමඟ කට­යුතු කර­මින් සමා­ජීය සහ ආර්ථික වශ­යෙන් රටට බල­පෑ­මක් ඇති කර­නවා. අපේ කාර්ය­භා­රය ඉතා පුළුල් පරා­ශ­යක් දක්වා විහිදී තිබෙ­නවා.” යනු­වෙන් පශු වෛද්‍ය ජී.ඒ.ටි. තාරක ප්‍රසාද් සඳ­හන් කළේය.

වන සතුන් සමඟ කට­යුතු කරන පශු වෛද්‍ය­ව­රුන්ට මුහු­ණ­දී­මට සිදු වන ජීවිත අව­දා­නම සුළු කොට තැකිය නොහැ­කිය. ඇතැ­ම්විට වළක වැටුණු අලි­යකු ගොඩ ගැනී­මට ගිය විට මර බියෙන් සිටින අලියා, ගොඩ ගත් අය පසු­පස හඹා එන්නේ බේරා ගැනීමේ මෙහෙ­යු­මට කෘත­වේ­දි­ත්වය නොදැ­ක්වී­මට තරම් අකා­රු­ණික වෙමිනි. වන සතුන්ගේ ස්වාභා­වය එසේ ය. එවැනි සතුන් සමඟ කට­යුතු කරන පශු වෛද්‍ය­ව­රුන් මුහුණ දුන් ජීවිත අව­දා­නම් ද බොහෝ ය.

අලි ඇල්ලීම

“ඒ වගේ සිද්ධි නම් ඕනෑ තරම් තියෙ­නවා. මම මේ ක්ෂේත්‍ර­යට ආපු මුල් කාලේ මරණ භය දැනුණු අව­ස්ථා­වක් මම කිය­න්නම්. එදා 2011 මාර්තු 12 වැනිදා. හඳ­පා­නා­ගල පැත්තේ තියෙන තෙලුල්ල ගමට අලි තර්ජන තියෙ­නවා කියලා අපි අලි­යෙක් අල්ලන්න ගියා. ගමේ මිනිස්සු මේ අලියා හැඳි­න්වූවේ නිය­පොත්තා කියලා. ඌ මිනී මරපු අලි­යෙක්. මේ අලියා ඉන්න ඉසව්ව හොයා­ගෙන අක්කර 50 - 60ක විතර කැලෑ­ව­කට අපි ඇතුළු වුණේ. එහි මැද වතුර වළක් තිබුණා. එත­නට ගියොත් අලි­යාව අල්ලා­ගන්න පුළු­වන් කියලා අපි නිර්වි­න්දන තුවක්කු සූදා­නම් කර ගෙන හිටියා. අපි බලා­ගෙන ඉන්න විට අලියා වතුර වළට ආවා. ඒත් අපි ක්‍රියා­ත්මක වෙන්න ඉස්සෙල්ලා කැලේ හැංගිලා හිටපු කෙනෙක් අලි වෙඩි­ල්ලක් පත්තු කළා. අලියා භය වෙලා කැලේ ඇතු­ළට ගියා. එදා අපි එක්ක හිටපු අනුර, සම­ර­නා­යක එහෙම කිව්වා කෙටි පාර­කින් ගියොත් අලියා අල්ලන්න පුළු­වන් කියලා. අපි හැමෝම අලියා දුව­ගෙන යන පාරට කෙටි පාර­කින් ගිහින් රැක­ගෙන හිටියා. අපි හිටියේ අලි මංතලේ. එතන පොඩි කළු­ගල් කන්දක් තිබුණා. අපේ කණ්ඩා­යමේ නායක පශු වෛද්‍ය විජිත පෙරේරා මට කිව්වා ඒ පොඩි කන්ද මුදු­නට නඟින්න කියලා. මම කොහො­ම­හරි උඩට නැඟ ගත්තා. අනිත් කට්ටිය කන්දට මුවා‍ ­වෙලා විනාඩි 3ක් ගියේ නැහැ අලියා අපේ ඉස්ස­ර­හට ආවා. අපි සහ අලියා අතර පර­ත­රය අඩි 15කට වඩා තිබුණේ නැහැ. අලියා හොඬ­වැල ඉස්සුවා නම් අපිව ඇදලා ගන්න තිබුණා. මම හිටපු කන්දත් වැඩිය උස නැති පොඩි කන්දක්නේ. මම මුණි­න්තලා වෙලා කළු­ගල වගේම හිටියා. ඒ වෙලාවෙ ඇ‍ඟේ ලේ වතුර වෙලා තිබුණේ. කොහො­ම­හරි අපි අලි­යාව නිර්වි­න්ද­නය කරන්න වෙඩි­ල්ලක් තිබ්බා. ඊට පස්සේ වෙනත් ප්‍රදේ­ශ­ය­කට අලි­යාව රැගෙන ගියා.” යනු­වෙන් මර­ණය පෙනි පෙනි සිය රාජ­කා­රිය ඉටු කළ ආකා­රය විස්තර කළේ පශු වෛද්‍ය ප්‍රමු­දිත දේව­සු­රේන්ද්‍ර ය.

පශු වෛද්‍ය ප්‍රමු­දිත දේව­සු­රේන්ද්‍ර, පශු වෛද්‍ය තාරක ප්‍රසාද් හා පශු වෛද්‍ය විජිත පෙරේරා වැනි වන සතුන් සමඟ කට­යුතු කරන පශු වෛද්‍ය­ව­රුන් අයත් වන්නේ වන ජීවී අමා­ත්‍යාං­ශ­යට. එහෙත් දෙහි­වල සත්වෝ­ද්‍යා­නය, හම්බ­න්තොට සෆාරි උද්‍යා­නය, පින්න­වල අලි අනා­ථා­ගා­රය හා පින්න­වල වාගොල්ලේ පිහිටි සතු­න්වත්ත අයත් වන්නේ ජාතික සත්වෝ­ද්‍යාන දෙපා­ර්ත­මේ­න්තු­වට ය. මහ­ජ­න­තා­වට සතු­න්ගෙන් වැල‍ඳෙන රෝග පාල­නය කිරී­මට, විශේ­ෂ­යෙන් ජල­භී­තිකා රෝගය මර්ද­නය කිරීම සඳහා සේවය කරන පශු වෛද්‍ය­ව­රුන් අයත් වන්නේ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වට ය.

සත්ව නිෂ්පා­දන සහ­තික කිරීම

ඕනෑම සත්ව නිෂ්පා­ද­න­යක් (මස්, මාළු, කිරි, බිත්තර) ආන­ය­නය සහ අප­න­ය­නයේ දී ඒවායේ සෞඛ්‍යා­ර­ක්ෂිත තත්ත්වය පිළි­බඳ සඳ­හන් කර­මින් සහ­තික පත්‍ර ලබා දෙන්නේ සත්ව නිරෝ­ධා­යන ඒක­කයේ පශු වෛද්‍ය­ව­රුන් විසිනි. සත්ව නිරෝ­ධා­යන ඒක­කයේ සහ­ති­කය නොමැ­තිව කිසිම සතකු මෙර­ටට ගොඩ බැස්ස­වීම හෝ මෙර­ටින් සත්ව­යකු රැගෙන යෑම නීති­යෙන් තහ­නම් කර තිබේ.

“රටේ කිරි, බිත්තර හා මත්ස්‍ය නිෂ්පා­දන වැඩි කිරිම සඳහා රජයේ පශු වෛද්‍ය­ව­රුන් විවිධ ව්‍යාපෘති ආරම්භ කර තිබෙ­නවා. හරක් මිල දී ගැනී­මට වගේම කුකු­ළන්, ඌරන් එළු­වන් මිල දී ගැනී­මට රජ­යෙන් ආධාර මුදල් දෙනවා. ඊට පසුව සතුන් ඇති කිරී­මට උප­දෙස් දෙනවා. අධී­ක්ෂ­ණය කර­නවා. තෘණ සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ කර තිබෙ­නවා. ජන­තාව ඇති කරන සතුන්ගේ ලෙඩ­රෝ­ග­ව­ලට ප්‍රති­කාර කිරී­මට රජයේ පශු වෛද්‍ය කාර්යාල පිහි­ටුවා තිබෙ­නවා. ඊට අම­ත­රව ගොවි­යන් ගෙනෙන කිරි, බිත්තර, මස් වර්ග පරීක්ෂා කිරීම සඳහා සෑම දිස්ත්‍රි­ක්ක­යක ම රසා­ය­නා­ග­ර­යක් ස්ථාප­නය කර තිබෙ­නවා. ගොඩාක් දෙනාට පශු වෛද්‍ය­ව­රු­න්ගෙන් රටට සිදු­වන සේවය ගැන අව­බෝ­ධ­යක් නැහැ. ගොඩාක් දෙනා හිතන්නේ පශු වෛද්‍ය­ව­රුන් කියන්නේ බල්ලන් පූසන්ට බේත් කරන පිරි­සක් කියලා.” යනු­වෙන් කෘෂි­කර්ම පශු සම්පත් ග්‍රාමීය ආර්ථික කට­යුතු වාරි­මාර්ග..... අමා­ත්‍යාං­ශයේ පශු වෛද්‍ය නිල­දාරි චමරි කන්න­න්ගර සඳ­හන් කළාය.

රටේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් ද පශු වෛද්‍ය නිල­ධා­රින්ගේ දාය­ක­ත්වය වක්‍ර ආකා­ර­යෙන් ලැබෙන බව ද සඳ­හන් කරන්නේ පොලිස්, යුධ, ගුවන් හමුදා සහ නාවික හමු­දා­වල ආර­ක්ෂාව වෙනු­වෙන් කැප වී සිටින සුන­ඛ­යන්ගේ සේවය සිහි­පත් කර­මිනි. රටේ මත්ද්‍රව්‍ය ඇල්ලී­ම­ටත් පුපු­රන ද්‍රව්‍ය ඇල්ලී­ම­ටත් සොරුන් ඇල්ලී­ම­ටත් හප­න්කම් පාන මෙම සුන­ඛ­යන්, විටෙක මිනි­සුන් අබි­බවා යන අවස්ථා ද අප දුටුවේ පසු­ගිය යුද සම­යේ­දීය.

සුන­ඛයා නිසා කොටුවූ වෑන්රිය

වරක් මැද­ව­ච්චියේ මුර­පො­ළක වෑන් රථ­යක් පරීක්ෂා කළ ආර­ක්ෂක නිල­ධා­රින් එය මුර­පො­ළෙන් පිටත් කර හැරී­මට තීර­ණය කළ ද ආර­ක්ෂාවේ සේවාවේ නියුතු සුන­ඛයා එය පිටත් කර හැරී­මට සූදා­නම් වූයේ නැත. ආර­ක්ෂක නිල­ධා­රින් කීප වරක් පරීක්ෂා කළ ද ඔවුන්ට කිසි­වක් හමු වූයේ ද නැත. සුන­ඛ­යාගේ සංඥාව නොලැ­බෙන තැන ආර­ක්ෂක නිල­ධා­රින් විසින් ගරාජ් බාස් කෙනකු ගෙන්වා වෑන් රථය පරීක්ෂා කිරී­මේදී වෑන් රථයේ වහ­ල­යට ඇතුළු පැත්තෙන් තහ­ඩු­වක් ගසා ඇති ආකා­රය දිස් විය. එය ගලවා බැලී­මේදී දක්නට ලැබුණේ පුපු­රණ ද්‍රව්‍ය තොග­යකි. එදා එම පුපු­රන ද්‍රව්‍ය සොයා ගැනී­මට ඉව­හල් වූයේ සුන­ඛ­යාගේ තීක්ෂණ ඉවය. රට­දැය වෙනු­වෙන් උදාර සේව­යක් කරන මෙම සුන­ඛ­යන් සහ පොලිස් සේව­යට අයත් අශ්ව­යන් හැදී වැඩෙන්නේ පශු වෛද්‍ය­ව­රුන්ගේ සෙවණේ බව අප අම­තක නොකළ යුතුය.

“අපේ ර‍ෙට් අයට පශු වෛද්‍ය­ව­රුන්ගේ කාර්ය­භා­රය ගැන පුළුල් අව­බෝ­ධ­යක් නැති වුණාට පශු වෛද්‍ය සේවය අපේ රටට අලුත් දෙයක් නොවෙයි. ඉංග්‍රී­සින්ට යටත් වෙලා තිබුණු කාලේ ඉංග්‍රීසි ජාතික පශු වෛද්‍ය­ව­රුන් මෙහි සේවය කළා. පශු වෛද්‍ය උපා­ධිය ලබා ගත් පළමු ශ්‍රී ලාංකි­කයා විල්මට් ආතර් ද සිල්වා. ඒ 1895 දී. ඔහු ඇතුළු ශ්‍රී ලාංකි­ක­යන් පශු වෛද්‍ය උපා­ධිය ලබා ගත්තේ ඉන්දි­යාව, එංග­ල­න්තය, පකි­ස්තා­නය වැනි රට­ව­ල්ව­ලින්. එක්ද­හස් නව­සිය ගණ­න්වල කොළඹ මහ නගර සභාව යටතේ රජයේ පශු වෛද්‍ය දෙපා­ර්ත­මේ­න්තුව ස්ථාප­නය කළා. 1906 වසරේ විල්මට් ආතර් ද සිල්වා එම දෙපා­ර්ත­මේ­න්තුවේ වැඩ කළා. 1940 දශ­කයේ “සිලෝන් වෙටි­නරි එසෝ­සි­යේ­ෂන්” නමින් පශු වෛද්‍ය­ව­රුන්ගේ සංග­ම­යක් පිහි­ටුවා තිබුණා. එහි සභා­පති වුණේ ඉංග්‍රීසි ජාති­ක­යකු වූ පශු වෛද්‍ය ලිට්ල්. ලේකම් වුණේ පශු වෛද්‍ය හෙක්ටර් සී. පෙරේරා. බිතෝ බබා­පුල්ලේ භාණ්ඩා­ගා­රික ලෙස පත්වුණා. ඒ සංග­ම­යෙන් තමයි අපේ රටට පශු වෛද්‍ය­ව­රුන් අවශ්‍ය බව දන්වලා උපා­ධිය ආරම්භ කිරී­මට පුරෝ­ගාමි වුණේ. ඊට පස්සේ කොළඹ වෛද්‍ය විද්‍යා­ල­යට ම සම්බන්ධ කරලා පශු වෛද්‍ය උපා­ධිය සඳහා අධ්‍ය­යන කට­යුතු පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය­ව­රුන්ගේ ඉති­හා­සය පිළි­බඳ විස්තර කළේ පේරා­දෙ­ණිය පශු වෛද්‍ය පීඨයේ මහා­චාර්ය ඉන්දිරා සිල්වා ය.

දිගු ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියන ශ්‍රී ලාංකේය පශු වෛද්‍ය­ව­රුන්ගේ කාර්ය­භා­රය පිළි­බඳ ජන­තා­වට දැනු­ම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිල­ධා­රින්ගේ සංග­මය විසින් Vet - Expo නමින් ප්‍රද­ර්ශ­න­යක් සංවි­ධා­නය කර තිබේ. කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පසු­ගි­යදා ඇරැ­ඹුණු මේ ප්‍රද­ර්ශ­නය අද (07දා) පැවැත්වේ. උදෑ­සන 10ට ඇර­ඹෙන Vet - Expo ප්‍රද­ර්ශ­නය, පශු වෛද්‍ය­ව­රුන් සේවයේ නිරත අමා­ත්‍යාංශ, දෙපා­ර්ත­මේන්තු සහ පුද්ග­ලික ආය­තන ද පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ පශු වෛද්‍ය පීඨය ද එක්ව සංවි­ධා­නය කරනු ලබන අතර කුටි 100කින් පමණ සම­න්වි­තය.

හර්ෂා සුගතදාස

Comments