
බිහිව ඇති නව පරපුරේ තොරතුරු සොයා ඔවුන් බිහි කළ වින්නඹු ගෙදරට යෑමට සිත් වුයේ හෙට දිනයේ ඔබ නිවෙසටත් ගොඩ වදිමින් ගෙවත්තේ පදිංචියට එන බුටෑවේ රාල, කොහුකුඹුරේ රාල සහ ඩිංගි රාල පිළිබඳ කල් තියා කවුරුත් දැන ගෙන සිටීම හොඳයැයි සිතුණු නිසාය.
මා එහි යන විටත් වැහි පොදක් වැටුණු කාලයක ඉඟියක්වත් පෙනෙන්නට නොතිබුණු ඒ පරිසරය දැඩි අවු රස්මියෙන් ගිනියම්ව පැවතිණි. ඇසට යාන්තමට සිසිලක් ගෙන දුන් කොළ පැහැ ගත් ගස් තැනින් තැන දිස්වන දිසාවට දෑස් ඇදී ගියේ නිරායාසයෙනි. ලස්සනට පේළි කොට අසුරා ඇති ඒ නිල්වන් පැහැ ගැන්වුණු කුඩා පැළ ගොමුව ගතට මෙන්ම සිතටද ගෙනදුන්නේ කිවනොහැකි සිසිලකි. පේළියට සකසන ලද ළදරු පැළ ගොමු මැද්දටවන්නට බූටෑවේ රාල, කොහුකුඹුරේ රාල සහ ඩිංගි රාල යනුවෙන් නම් යොදා තිබුණි. මා මදක් තැති ගතිමි. එදා රට වෙනුවෙන් දං ගෙඩියට ගෙල තැබු ඒ වීර සිංහලයන්ගේ නාමාවලිය මට සිහියට නැඟිණි. පේළි ගැසී දවසින් දවස උස් මහත් වි සිටි එම පැළ දරුවන් මට පෙනුණේ ඒ විරුවන්ගේ නාමයෙන් යළි පෙරැළියකට සුදානම්ව සිටින අයුරකි. නිසිලෙස පොහොර හා ජලය ලැබ මඳ සුළඟට එහෙ මෙහෙ වැනෙමින් කියා පෑ දේ ලොකු අරුතක් ගැබ්ව ඇතැයි මට සිතුණි.
ඉදිරියට ඇවිද යද්දී ඉදිරියෙන් දිස්වුයේ ‘පර්යේෂණ මධ්‍යස්ථානය’ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාතලේ යනුවෙන් සඳහන් නාම පුවරුවක් සහිත සුවිසල් ගොඩනැගිල්ලකි. ඉතාම නිස්කලංක පරිසරයක පවතින නිහැඬියාව මා සිතේ ඇතිකළේ කුතුහලයකි.
පුංචි වුණත් අප රටේ එදිනෙදා පරිභෝජනයට නැතිවම බැරි ගම්මිරිස්වල නිජබිම ඉන්දියාවේ කේරළයයි. පවතින ආර්ථික, සෞඛ්‍යයමය වටිනාකම මත මෙන්ම නොයෙක් අවශ්‍යතාව සඳහා සුවිශේෂත්වයක් දක්වන මෙම බෝගයේ ඉදිරි පැවැත්ව උදෙසා ලොව පුරා ශාක පිළිබඳ විද්වතුන් තම දැනුම ඔස්සේ කර ඇති කැපකිරිම සුළුපටු නොවේ.
ගුණාත්මක භාවයෙන් වැඩි, ආර්ථික වටිනාකමකින් ඉහළ, ජෛව විවිධත්වයන්ට ඔරොත්තු දෙන සුවිශේෂි තත්ත්වයන්හි ප්රභේදයන් බිහිකරවීමෙහිලා ඔවුහු දැඩි ප්රයත්නයක් දරා තිබේ. බොහෝ රටවල භුමි ප්‍රදේශවලින් වැඩි කොටසක් ආක්‍රමණය කර ඇත්තේ පිළිගත් ප්‍රමිතින්ට අනුකූල නොවු වල් ගම්මිරිස් ප්‍රභේදය. එමනිසා විද්වත්හු තම රටට ගැළපෙන සොයා ගැනිම්වල නියැළෙමින් මේ වන විට ඉහළ වටිනාකමකින් යුත් දෙමුහුන් ගම්මිරිස් ප්‍රභේද හයක් ලොව පුරා බිහි කොට තිබේ. මෙයින් ප්‍රභේද දෙකක් මැලේසියාවේ සහ එක් ප්‍ර භේදයක් ඉන්දියාවේ වන අතර ප්‍රභේද තුනක් බිහිකොට ඇත්තේ ශ්‍රි ලංකාවේ විද්වතුන් විසිනි.
ඩිංගි රාල, බූටෑවේ රාල, සහ කොහුකුඹුරේ රාල ලෙසින් අපේ ඓතිහාසික විරුවන්ගේ නමින් නම්කර ඇති මෙම දෙමුහුන් ගම්මිරිස් ප්‍රභේද තුන ලොව පිළිගත් අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතින්ට අනුකුල වු ඵල ලබා දෙන අතර මෙරට ඕනෑම තැනක වැවීම සඳහා දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම විශේෂත්වයකි.
මේ මහා ප්රයත්නය ගැන අප හා විස්තර කළේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ජේ. එම්. සෙනෙවිරත්න මහතාය. ඩිංගි රාල, කොහුකුඹුරේ රාල සහ බුටෑවේ රාල නමින් බිහිකළ නව ගම්මිරිස් පරපුරේ පුරෝගාමියා ඔහුය.
“මේ පරපුර බිහිකරන්න අවුරුදු දා හතක් මහන්සි වුණා. අත්හදා බැලුවා. පර්යේෂණ කළා. අවසානයේ අති සාර්ථක වුණා.
අපේ රටේ තියෙන නොයෙක් වර්ගයන්ට අයත් ගම්මිරිස් විශාල ප්‍රමාණයක් එක එක ආකාරයෙන් ගොවිබිම් අත් පත් කරගනිමින් පෝෂණය ලබමින් රටට ලොකු ආදායමක් අනාදිමත් කාලයක සිට උපයා දෙනවා. මේ වර්ග බොහොමයක් විදේශයන්ගෙන් පැමිණි ප්‍රභේද. ගම්මිරිස් ප්‍රභේද හැටක් විතර තියෙනවා. මින් දහයක් අපේ රටේ ඒවා. මේ අතර වල් ගම්මිරිස් දර්ශ ගණනාවක් තියෙනවා. අන්තර්ජාතික වශයෙන් ගම්මිරිස් සදහා පිළිගැනිමට ලක්ව සිටියත් ආර්ථික වටිනාකමක් ඇති බෝගයක් ලෙස එළි දක්වන්න අවුරුදු දාහතක් මහන්සි වුණා. පරික්ෂණ මට්ටමේදී ගැටලු බොහොමයක් ආවා. රටට ආර්ථිකයට ගැළපෙන ආකාරයට දෙයක් එළිදක්වන විට ගැඹුරින් සිතිය යුතු වෙනවා. දෙයක් බිහිකර රටේ ව්‍යාප්ත කිරිම කියන්නේ රටේ ඉදිරි අනාගතය කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනෑ දෙයක්.”
නව ගම්මිරිස් ප්‍රභේද අන් ප්‍රභේද හා සැසඳිමේදි කරලේ දිග, පිරීමේ ප්‍රතිශතය, අස්වැන්න හා වියලුම් බර අනුපාතය, අතින් ඉහළ මට්ටමක පවතී. දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිසා ගොවියාට වගා කිරිමේ සහ නඩත්තු කිරීමේ පහසුවද ඇත.
අපේ රටෙන් ලෝකයට යන ගම්මිරිස් වර්ග නම්කළ විරුවන් තිදෙනාගේ ද තොරතුරු මෙසේය.
බුටෑවේ රාල - වෙල්ලස්ස බිම් තැන්න දෙදිසාවේ රටේ රාලය. 1818 කැරැල්ලට නායකත්වය දි සේනා සංවිධානය කරමින් අවි ආයුධ එක්රැස් කළේය. 1818 වප් මස 03 දා මහනුවර මැක්ඩොවෙල් බලකොටුවට පහර දි ජා භටයන්ට පැනයාමට උදව් කළ බැවින් මරණ දඩුවම නියම වී 1818 වප් මස විසිවෙනිදා මැදගම කොටබෝවේදි මරණ දඬුවමට ලක්විය.
ඩිංගිරාල - හඟුරන්කෙත උඩ හේවාහැටේ දියතිලක කෝරළයේ උපත ලැබීය. 1848 දී ඉංග්‍රිසි ආණ්ඩුවේ අසාධාරණ බදු පැනවීමේ ප්‍රතිපත්තියට සහ මුඩුබිම් පනත නිසා උඩරට ගොවි ජනතාගේ පාරම්පරික ඉඩම් භුක්තිය අහිමි වීමට එරෙහිව ගොංගාලේගොඩ බණ්ඩා හා පුරන් අප්පු යන වීරයන් සමඟ උරෙනුර ගැටී 1848දී වයඹ දිසාවේ මහ කැරැල්ල මෙහෙයවා සුද්දන්ගේ වෙඩි උණ්ඩයට බිලිවිය.
කොහුකුඹුරේ රාල - 1817 බිනර මාසයේදී බදුල්ල හා මඩකලපුව අතර පිහිටි වෙල්ලස්සෙන් ඇරඹුණු ඌවේ මහ කැරැල්ලේදී සිංහලයන් බේරා ගැනීමට උත්සාහ දැරීය. වෙල්ලස්සේ සටන මෙහෙයවු අභිමානවත් විරුවෙකි.
(සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ - එන් බස්නායක මහතා සහ දුෂ්‍යන්ති කොඩිතුවක්කු මෙනවියට ස්තුතිය)