යුග දෙකක වෙනස | Page 2 | සිළුමිණ

යුග දෙකක වෙනස

මේ මිනිස්සු බල­වත්හු නො අධි­රා­ජ්‍ය­වා­දීන්ගේ පාලන සමය තුළ ගොඩ­නැඟී තිබිණි. ඒ ඉංග්‍රීසි අධි­රා­ජ්‍ය­වා­දීන් මේ රට පාල­නය කළ වක­වා­නු­වය. මගේ තාත්තා උප­දින්නේ 19 වැනි සිය­වසේ අව­සාන අවු­රු­ද්දේය. එනම් 1899 දී ය. ඔහු මල­පොතේ අකු­රක් නොදත් ගැමි ගැහැ­නි­ය­කගේ හා ගොවි­යෙ­කුගේ පුතෙකි. ඉගෙ­න­ගත්තේ ඉඩ­මේ­ගම ගමේ පාස­ලෙනි. ඉංග්‍රීසි පාල­නය තිබූ වක­වා­නුවේ ඉංග්‍රී­සිය යෙහෙන් හසු­රු­ව­න්නට හැකි අධ්‍යා­ප­න­යක් ගමේ පාස­ලෙන්ද ලැබී තිබිණි. ඔහු 1910 දී මොනි­ටර් ගුරු­ව­ර­යෙකු ලෙස පත් වීම ලැබු­වේය. ඉඩ­මේ­ගම පාස­ලෙන් රජයේ රැකි­යා­වක් ලද පළමු වැනියා ඔහුය. 1921 ජන­වාරි වන විට ඔහු මධ්‍යම පාස­ලක ගුරු­ව­ර­යෙකු ලෙස සේවය කිරී­මට සුදු­සු­කම් සැපි­රු­වේය. ඒ විභාග කිහි­ප­ය­කට මුහුණ දෙමිනි. අන­තු­රුව විදු­හ­ල්ප­ති­ව­ර­යෙකු වශ­යෙන් වත්තේ­ග­ම්මැද්ද, අට­බාගේ උඩ­ගම, වැව­ගම යන පාස­ල්වල සේවය කළේය.

මාගේ අම්මාද ගමේ අහිං­සක ගොවි පවු­ලක දිය­ණි­යකි. ඇයගේ මවට අස්ස­නක් තැබී­මට තර­ම්වත් සාක්ෂ­ර­තා­වක් නොති­බිණි. පියාද කව­දා­වත් පාස­ල­කට නොගිය ගොවි­යෙකි. දුම්බර මිටි­යා­වතේ ගුන්නෑ­පාණ ගමේ දී ඇය ඉප­දෙන්නේ 1909 ජන­වාරි මාස­යේය.

මුද­ලි­මැ­ණිකේ වූ අත්තම්මා අධ්‍යා­ප­නය ලැබුවේ ගුන්නෑ­පාන පාස­ලෙනි. ඇයත් ගුරු­ව­රි­යකි. ඇය ගුරු පත්වීම ලබන්නේ වර්ෂ 1929 අප්‍රේල් මස පව­ත්වන ලද ස්වභාෂා ගුරු­ව­රුන් තෝරා­ගැ­නිමේ විභා­ග­යෙනි. විභා­ග­යෙන් සමත්ව ඇය උඩි­ස්ප­ත්තුව පාඨ­ශා­ලා­වට පත් වීමක් ලද්දීය.

මේ මිනිස්සු බල­වත්හු නොවූහ. දේශ­පා­ල­නික හෝ පවුල් බල­යක් නැති ගැමි පසු­බි­මක් සහිත පවු­ල්ව­ලින් පැවත එන්නෝ වූහ. එහෙත් හැකි­යාව හා කුස­ල­තාව මත කිසිම බල­පෑ­ම­කින් තොරව මතු වී ලෝකය ජය ගැනී­මට හැකි ක්‍රම­වේ­ද­යක් එදා අධි­රා­ජ්‍ය­වා­දීන්ගේ පාලන සමය තුළ ගොඩ­නැඟී තිබිණි. මගේ මවු­පි­යන් තමන් ලද අව­ස්ථාව නොම­සු­රුව සිය සිසු දරු දැරි­යන් වෙත ලබා­දුන් ආකා­රය අත්දැ­කී­මෙන් දුටු­වෙමි.

ගුරු යුව­ළ­කගේ දරු­ව­න්වීම අමු­තුම අත්දැ­කී­මකි. එය විවිධ අලුත් අත්දැ­කීම් ලබන වෙනස්ම ආකා­රයේ ජීවි­ත­යකි. එය ප්‍රීති­මත්ය. එක් පාස­ලක අවු­රුදු 5ට වඩා සේවය කිරී­මට ඉඩ නොලැබේ. චක්‍ර­ලේඛ අනුව කිසිම බල­පෑ­ම­කට හෝ දේශ­පා­ල­න­ය­කට යටත් නොවී රජය දෙන මාරු වීම භාර­ගත යුතුය. ඒ කාලයේ සෑම පාස­ල­කම ගුරු නිව­සක් තනා තිබිණි. එය කුස්සි­යක් හා කාමර දෙකක් හෝ තුනක් සහිත ඉදි­කි­රී­මකි. ගුරු නිවා­සය තිබුණේ පාස­ලක් ප‍්‍රධාන ශාලා­ව­ටම යාබ­ද­වය.

අම්මාට හා තාත්තාට අනි­වා­ර්ය­යෙන්ම නිය­මිත කාල­යේදී මාරු වීම් ලැබේ. අපි ඒ අව­ස්ථා­වට බෙහෙ­වින්ම ප්‍රිය කළෙමු. නව පාස­ලක්... නව පරි­ස­ර­යක්... අලුත් යාළු­වන්.... ගුරු­නි­වා­සයේ නැව­තී­මත් සම­ඟම ගුරු­ව­රුන් වූ මගේ මවු­පියෝ පූර්ණ­කා­ලී­නව පාසල වෙනු­වෙන් කැප වූහ.

අප මැද­වල ගමට ආවේ 1948 අවු­රු­ද්දේය. මැද­වල ගමට පදිං­චි­යට පැමිණි මුල්ම ගුරු­ව­රිය මගේ අම්මාය. ඒ කාලය වන විට මැද­වල ගමේ ලංකා සභාව මඟින් පාල­නය වූ මිශ­නාරි පාසල් ගොඩ­නැ­ගි­ල්ලක් හා උළු වැසු බිම ගොම ගාන ලද ගොඩ­නැ­ගි­ල්ලක් විය. ඒ වන විට එහි විදු­හ­ල්ප­ති­ව­රයා වූයේ බොක­ල­වල ගමේ පී.ආර්.බී වික‍්‍ර­ම­සිංහ නම් මහ­තෙකි. උළු වැසු ගොඩ­නැ­ගිල්ලේ පිහිටි ගුරු නිව­සෙහි ඔහු සිය පවුල සමග ජීවත් විය. මැද­වල පදිං­චි­යට එන විට 1948 දී මා අට වසරේ ඉග­නුම ලබන සිසු­වි­යක වූයෙමි. මම ඒ පාස­ලට ඇතු­ළත් කරනු ලැබීමි.

මෙතෙක් මා පිය දෙදෙ­නාගේ යටතේ ඉගෙ­නුම ලැබු මා ඒ අය­ගෙන් ඈත්ව පාස­ල­කට ගිය මුල්ම දවස එයයි. එහෙත් ගුරු මණ්ඩ­ලය හා සිසුන් ටික දිනක දී මගේ සිත් ගත්තේය. මැද­වල අටේ පන්තියේ එදා සිටියේ සිසුන් දෙදෙ­නකු හා සිසු­වි­යන් තිදෙ­නෙකි. ඔවුන් නම්, ධන­සේ­කර බණ්ඩා කුල­සේ­කර, අත්ත­නා­යක මුදි­ය­න්සේ­ලාගේ ඩිංගි­රි­බණ්ඩා, දොර­ණෑ­ගම පල්ලේ ගෙදර කුමා­රි­හාමි, ඉහ­ගම ඇග්නස් රාජ­පක්‍ෂ, දොර­ණෑ­ගම කමතේ ගෙදර යසෝ මැණි­කේය.

අද ගුරු­වරු මෙන් නොව, එකල ගුරු­ව­රුන්ට ගුරු විවේක කාමර නොති­බිණි. ඒ කාලයේ කැප වීමෙන් වැඩ කළ ඒ ගුරු­ව­රුන් පන්ති­යෙන් බැහැර ගියේ විවේක කාලයේ පමණි. උප­කා­රක පන්ති තබා අති­රේක පොත්ප­ත්වත් පුව­ත්ප­ත­ක්වත් දක්නට නැති වක­වා­නු­වක ශිෂ්‍ය­යන්ට පූර්ණ දැනුම ලබා­දීමේ වග­කීම පැව­රුණේ ගුරු­ව­රු­න්ටය. ඒ ගුරු­වරු තමන්ගේ කාර්යය නියත වග­කී­මක් කොට සලකා ඉටු කළහ.

1949 දෙසැ­ම්බර් මාසයේ පැවැත් වු ජ්‍යෙෂ්ඨ පාඨ­ශාලා සහ­තික පත්‍ර විභා­ග­යෙන් මැද­වල ලංකා සභා පාස­ලෙන් මම සමත් විමි. ඒ වන විට මාගේ වයස අවු­රුදු 14ක් විය. ඉඩ­මේ­ගම පාසලේ එව­කට ප්‍රධා­නා­චා­ර්ය­ව­රයා වූයේ එම්. ඇම්. සෝම­රත්න ඇල්ලේ­පොළ මහ­තාය. ඒ වන විට එම පාසලේ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය දෙකෙන්ම ජ්‍යෙෂ්ඨ පාඨ­ශාලා සහ­තික පත්‍ර විභා­ග­යට ළම­යින් සුදා­නම් කිරී­මට පන්ති පව­ත්වා­ගෙන යමින් තිබිණි. එප­ම­ණක් නොව රෙදි විවීම, ලක්ෂා කර්මා­න්තය වඩු­වැඩ යන අංශ­ව­ලට ද සිසුන් යොමු කරන ලදි. මේ නිසා අවු­රුදු පතා රෙදි විවී­මට, ලාක්ෂා කර්මා­න්ත­යට, වඩු කර්මා­න්ත­යට, ටෙක්නි­කල් කොලී­ජි­යට ශිෂ්‍ය­යන් පුහුණු කිරී­මට තෝරා­ගැ­නිණි. අප අද කතා කරන ප්‍රායෝ­ගික ප්‍රති­ඵල සහිත අධ්‍යා­පන ක්‍රම­යක් මීට අවු­රුදු හැත්තෑ­ව­කට එපිට මේ රටේ පැව­තිණි.

සිංහල ජ්‍යෙෂ්ඨය සමත් වූ වයස අඩු සිසුන් ඉංග්‍රීසි මාධ්‍ය හත්වැ­න්නට භාර­ගෙන එම සිසුන්ට ඉංග්‍රීසි මාධ්‍ය­යෙන් ඉගෙ­නී­මට ඉඩ සැලැ­ස්වීය. එසේ උගත් අවු­රුදු 18 සම්පුර්ණ කළ සිසුන් නොර­ද­වාම සිංහල ගුරු අභ්‍යාස විද්‍යා­ල­යට අවු­රුදු පතාම තේරිණි. මටද ඒ භාග්‍ය ලැබිණි. ගුරු-පිය­ව­රුන් නොව එවැනි බෝධි­ස­ත්ව­ව­රුන් මේ කාලයේ පහළ නොවන්නේ රටේ අව­ස­නා­ව­ටය. එස්.එස්.සී පන්තියේ ගණි­තය, ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි සාහි­ත්‍යය, සිංහල භාෂාව හා සාහි­ත්‍යය යන ප්‍රධාන විෂ­ය­යන් සිය­ල්ලම අපට ඉගැ­න්වූයේ විදු­හ­ල්පති සෝම­රත්න මහ­තා­මය. ප්‍රජ­ාචා­රය හා සෞඛ්‍යය වික්‍ර­ම­සිංහ මහ­තාට භාර විය. කිසි දා කිසිම කාල පරි­ච්ඡේ­ද­යක් එතුමා මඟ­හැ­රියේ නැත.

අධ්‍යා­පන කාර්යා­ල­යෙන් නිල­ධාරී මහ­තුන් පැමි­ණි­යත් පටන් ගත් පාඩම අව­සන් නොකර පන්ති­යෙන් පිට වී ගියේ නැත. ඒ කාලයේ සේවා හා පහ­සු­කම් ගාස්තු වශ­යෙන් රුපි­යල් දෙකක මුද­ලක් ගෙවිය යුතු විය. එය ඒ වක­වා­නුවේ සැල­කිය යුතු මුද­ලකි. එම මුදල ගෙවී­මට නොහැකි ළමයි බොහෝ වූහ. නමුත් සෑම වාර­යක් අව­සා­න­යේ­දීම පාසල් පහ­සු­කම් ගාස්තු ගෙවා අලුත් වාර­යට අප යන විට විදු­හ­ල්ප­ති­තු­මාගේ කාර්යා­ලයේ අලුත් සුවඳ හමන පුස්ත­කාල පොත් සිය­යක් පමණ ගොඩ­ගසා තිබිණි. පොත් වර්ග කිරීම, නොම්බර දැමීම, පොත් ලැයිස්තු ගත කිරීම ආදි වැඩ රාශි­යක් ද අපේ කර පිට පැට­විණි.

පොත් කිය­වී­මට අපට ඇති ආශාව ඉහ­වහ යන්නකි. සෑම සිකු­රා­දාව ම විදු­හ­ල්ප­ති­තු­මාට විශේ­ෂිත කාර්යයක් තිබේ. සෑම සිකු­රා­දාම පුස්ත­කාල පරි­ච්ඡේ­ද­යක් තිබේ. මේ කාල පරි­චේ­ඡ්ද­යේදී පුස්ත­කාල පොත් දෙකක් (එකක් සිංහල එකකි. අනෙක ඉංග්‍රීසි පොතකි) ලබා ගැනී­මට අව­සර ඇත. විදු­හ­ල්ප­ති­තුමා පන්ති­යට අවුත් වාඩිවී අප එකි­නෙ­කාට දබ­රැ­ඟිල්ල දිගු කරයි. අප එවිට නැඟී සිට අප ඒ සතියේ කියවු පොත් දෙකේ නම් කිව යුතුවේ. එවිට එතුමා එක පොත­කින් එක බැගින් ප්‍රශ්න දෙකක් අපෙන් අසයි. උත්තර දීමට අපො­හො­සත් වුණොත් ඒ සති­යට අලුත් පොත් දෙකක් නොලැබේ.

අහන ප්‍රශ්න­යත් සම­හර විට පොතේ කොහේ හෝ මුල්ලක ඇති අපට අසු නොවු දෙයක් වීමට බොහෝ­දු­රට ඉඩ ඇත. පොත් නැති සතිය අප ගත කරන්නේ ඉතා­මත්ම කන­ගා­ටු­වෙනි. ඒ පොත් කිය­වීමේ පුරුද්ද මෙත­රම් වය­ස්ගත වීත් තව­මත් අත්හර නැත.

ඉඩ­මේ­ගම පාසලේ දී පන්ති­ය­කට එක බැගින් ඉංග්‍රීසි පත්ත­ර­යක් දින­පතා මිලදී ගත් නිසා කර­ද­ර­යක් නැතිව පත්ත­රය කිය­වීමේ අව­ස්ථාව ද අපට ලැබිණි. නැති නම් නුවර යන අයෙ­කුට මුදල් කලින් ගෙවා පත්ත­රය ගෙන්වා ගත යුතු විය. එය ලැබේද නොලැ­බේද යන අවි­නි­ශ්චි­තය. වර්ෂ 1954 දෙසැ­ම්බර් පැවැත්වු එස්.එස්.සී විභා­ග­යෙන් මම ගණි­ත­යට ඒ සාම­ර්ථ්‍ය­යක්ද සිංහල, සිංහල සාහි­ත්‍යය, බුද්ධා­ගම යන විෂ­ය­යන්ට සම්මාන සාම­ර්ථ්‍යය ද ඇතුව සමත් වීමි.

1956 පැවැත්වූ අව­සාන ගුරු සහ­තික පත්‍ර විභා­ග­යෙන් සමත් වූ මට ගුරු පත්වී­මක් ලැබිණි. ඒ ජාතික ප්‍රබෝ­ධ­යක් ඇති වූ අවු­රු­ද්දකි. 1959-1960 වර්ෂ­වල මට පේරා­දෙ­ණිය අභ්‍යාස විද්‍යා­ල­යෙන් ද්විභාෂා පුහුණු ගුරු සහ­තික පත්‍රයක් ලැබිණි. එහිදී මම ‘අධ්‍ය­ය­නය පිළි­බඳ ශිෂ්‍ය නායිකා’ නායිකා පුහු­ණු­වද ලැබු­වෙමි. නෙට්බෝල් ක්‍රීඩා කණ්ඩා­යමේ ක්‍රීඩි­කා­වක් ලෙස ද පුහු­ණුව ලැබු­වෙමි.

මා විදු­හ­ල්පති විභා­ග­යට පෙනී සිටින විට කළු සුද්දන්ගේ ප්‍රජාතා­න්තික ජන­ර­ජ­වාදී ආණ්ඩු­ක්‍ර­මය ස්ථාපිත වී තිබිණි. මම දෙව­රක් විදු­හ­ල්පති ශ්‍රේණි විභා­ග­යෙන් සමත් වීමි. නමුත් දෙව­රම සම්මුඛ පරී­ක්‍ෂ­ණ­ව­ලින් අස­මත් වීමි.

දේශ­පා­ලන හේතු මත විදු­හ­ල්ප­ති­කම් නොලැබු අයට අභි­යා­චන දැමී­මට අව­ස්ථා­වක් දී තිබිණි. මම ඊට ද ඉදි­රි­පත් වුණෙමි. එහෙත් ලිඛිත විභා­ග­යෙන් සමත් වන හැම දෙනාම සම්මුඛ පරී­ක්‍ෂ­ණ­යෙන් සමත් නොවන බවත් පරී­ක්ෂ­ක­ව­රයා මගෙන් විම­සීය. පාස­ලෙන් පිටත ගමේ දියු­ණු­වට ඇති සංවි­ධා­න­වල කි‍්‍රයා­කාරී සාමා­ජි­ක­ත්ව­යක් තිබේ දැයි අන­තු­රුව මගෙන් ප්‍රශ්න කළේය.

අප ගුරු­ව­රුය. ගමේ ඇති සංවි­ධා­න­වල ක්‍රියා­කාරි ලෙස නිර­ත­විය යුතු නම් ඒ පාසල් වේලා­වෙන් පසු­වය. රාජ­කා­රි­යට අම­ත­රව මවක මෙන්ම ගෘහි­ණි­යක ලෙස ගත කරන ජීවි­තය තුළ අපට එවන් අව­ස්ථා­වක් නොලැ­බෙන බව මම ඔහුට පැව­සු­වෙමි. එම සම්මුඛ පරී­ක්‍ෂ­ණය ද අහ­වර විය. ඔහු ඉල්ලා සිටියේ දේශ­පා­ල­ක­යෙ­කුගේ නිර්දේ­ශ­යකි.

එවැනි ගැති විදු­හ­ල්ප­ති­ක­ම­කට වඩා පුංචි දරු­වන් සමඟ විශ්‍රාම යන­තු­රම ගනු­දෙනු කිරීම වාස­නා­වක් යයි මම කල්පනා කළෙමි.

Comments