
මුනුපුරු වරුණ
ඇවිත් බෙහෙත්වල ගුණපණ කියන්නැයි දොස්තරමහතා කියා තිබූ බැවින් ආච්චි අම්මාට ඔහු හමුවීමට යෑමට සිදුව තිබිණ. එහෙත් තමාගේ පොඩි දරුවා අසනීප වී සිටි බැවින් සිය මව දොස්තර ගෙදර කැඳවාගෙන යෑමට ඇගේ ලොකු දියණියට හැකියාවක් නොවී ය. එහෙයින් ඕ මේ ගමනට තම ලොකු පුතු සූදානම් කර දුන්නා ය.
ආච්චිඅම්මාත්, මුනුපුරාත් අතුරුපාරෙන් බස් පාරට ආහ. බස්පොළෙහි නැවතුණහ.
රියක් හෙමිහෙමින් ගියේ ය. එහි සිටි දැරියක් ‘අයියේ’ යයි පිටතට ඇමතුවා ය. ඒ හඬ ඇසී මුනුපුරා කලබල විය.
‘ආච්චිඅම්මෙ පුංචිලගෙ කාර්එක යනව’
‘ඈ අපේ බාල එකීගෙ?’
‘ඔව් පුංචිගෙ. පුංචි නංගි මට අයියේ කියල කෑගැහුව. ඒක තාමත් යන්නෙ හරි හෙමින්. මං කෑගහල නවත්තගන්ඩද ආච්චිඅම්මෙ?’
‘එපා! දුව අපිව දැක්ක නං අම්මණ්ඩිත් දකින්ඩ ඇතිනෙ. ඔහෙ ගියදෙං! අපි බස්එකේ යං’
දොස්තර මහතා ආච්චිඅම්මා කරුණාවෙන් අමතා ගුණාගුණ ඇසුවේ ය. උන්දෑ ද සතුටින් පිළිතුරු දෙනු මුනුපුරා බලා සිටියේ ය.
ඒ ටිකකින් මුනුපුරා ආච්චිඅම්මා ගෙදර කැඳවාගෙන ආවේ කුලී ත්‍රිරෝද රියකිනි. ආච්චිඅම්මා කුලී ගාස්තුව ගෙව්වා ය.
‘පොඩි දරුවට කොහොමද දුවේ?’ ආච්චිඅම්මා ගෙට පය ගැසූ හැටියේම ලොකු දුවගෙන් ඇසුවා ය.
‘බේත් බීල නිදි’
‘ඔය බේතින්ම අඩුවෙලා යයි දුවේ’
‘අම්මට මහන්සි ඇති නේද?’
‘එච්චර මහන්සියක් නෑ දුවේ’
‘මං තේ ටිකක් හදනකල් අම්මයි පුතයි දෙන්නම ගිහිං හොඳට මූණකට හෝදගන්ඩකො. ලෙඩ්ඩු එන තැනකටනෙ ගියේ’
තේ බිවූ පසු ආච්චිඅම්මා සිය පොඩි දුවට දෙහි කපන්නට වූවා ය.
‘දකින්ඩ නැතුව ඇති අම්මෙ’ ලොකු දුව කීවා ය.
‘මොකද දකින්ඩ නැතුව ඇත්තෙ. අර පොඩි දැරිවි කියන්ඩ ඇතිනෙ ආච්චිඅම්මත් එක්ක අයිය එතන ඉන්නව කියල’
‘අනේ අම්මෙ ඕව ගණන් ගන්ඩ එපා. මල්ලියි අපේ පවුලෙ අයයි අම්මව හොඳට බලා ගන්නවනෙ’
‘මං දන්නව දුවේ. ඒත් එයා බඩපිස්සි කියල මගෙ ඔඩොක්කුවෙ නැළවෙච්චි විදිහ මට මතක්වෙනව දුවේ’
‘අනේ අම්මෙ ඕව ගැන හිතල ආයෙත් ලෙඩවෙන්ඩ එපා. තව ටිකකින් බත් ටිකක් කාල හාන්සිවෙන්ඩ බලන්ඩ’
ටිකකින් මුනුපුරා අච්චිට ළං වුණේ ය.
‘ආච්චිඅම්මෙ මං ඉගෙනගෙන රස්සාවකට ගිහිං වාහනයක් ගත්තම ආච්චිඅම්ම යන්ඩ කැමති දිහාවලට වන්දනාවෙ එක්ක යන්නං’
මුනුපුරා එසේ කී කල ආච්චිඅම්මා ඔහුට තෙරුවන් සරණ පතනු යාබද ගෙදර සිටි මට ඇසිණ.
කොළොන්නාවේ මාලිනී වීරසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
ගුරු බලය
මම වැඩක් කරවා ගනු පිණිස නගරයක ටයිප්සෙටිං කරන තැනකට ගියෙමි. එහි හිමිකරු මගේ විශ්වාසය දිනාගත්තෙකි. එහෙත් ළාබාල යුවතියක මිස ඔහු දක්නට නොවී ය.
‘ඇයි?’ කියමින් ඇය මදෙස බැලුවා ය.
‘කෝ ලොක්ක?’
‘අයිය නෑ. මොකක්ද කරගන්ඩ ඕනැ?’
මම අදාළ කටයුත්ත කුමක්දැයි ඇයට පැහැදිලි කළෙමි. එය තමාට බර වැඩි යැයි ඇඟවෙන ඉරියව්වක් පෑ ඇය මොහොතක් නිහඬ ව සිට ‘අක්ක එනකං පොඩ්ඩක් ඉන්ඩ’ යැයි කීවා ය.
ඇය අත දිගු කළ දිසාවට මගේ ඇස ගියේ ය. එවිට ම දොරක් ඇරගෙන මතු වූයේ ගැබ්බර තරුණියකි. එවිට අර යුවතිය මා ඉඟියෙන් පෙන්නා ඇගේ අවධානය මවෙත යොමු කළා ය.
‘මොකක්ද සර්?’ කියාගෙන ඇය කවුන්ටරය ඉදිරියට ආවා ය.
‘ආ එන්ඩ! එන්ඩ! ඔයා මාව දන්නෙ නැද්ද?’ ඒ නියෝගය නැගුණේ මට පිටුපසිනි. හැරී බැලූ මා දුටුවේ මැදිවියේ කතකි. ඇය බලෙන් ම ගැබ්බර තරුණිය ගේ අවධානය මගෙන් ඉවත් කරවා තමාවෙත ඇද ගත්තා ය. ගැබ්බර තරුණියත් ළාබාල යුවතියත් විමතියෙන් ඈ දෙස බැලූහ.
‘ඇයි මාව දන්නෙ නැද්ද? මං ----- ඉස්කෝලෙ ටීචර් කෙනෙක්’ කියමින් තමාම හඳුන්වා ගත් ඇය ‘මේක දැන්මම ටයිප් කරගන්ඩ ඕනැ’ කියමින් ගැබ්බර යුවතියට පෑවා ය. දැන් මා මුළුමනින් ම අමතක ව ගොසිනි. ඇය දැන් මට පසුව පැමිණි කත ගේ ආධිපත්‍යයට නතු ව සිටින්නී ය.
‘මිස් මේක පැහැදිලි නෑ. පැහැදිලිව ලියාගෙන එනවද? වැරදුණොත් එහෙම!’ ගැබ්බර තරුණිය ලියැවිල්ල බාර ගැනීමට මැළිවූවා ය.
‘ඇයි අපැහැදිලි? මේක පැහැදිලීනෙ’
‘නෑ මේ අකුරු බාගෙටනෙ ලියවිලා තියෙන්නෙ . ඒකයි මං කිව්වෙ’
‘බාගෙට ලියවිලා නං ඔයා සම්පූර්ණ කරගන්ඩකො! කෝ පෑනක් අරගන්ඩකො!’ ගැබ්බර තරුණිය පෑනක් ගෙන අපැහැදිලි අකුරු පැහැදිලි ලෙස ලියන්නට වූවා ය.
‘එහෙනං හරිනෙ. මං දැං යනව. වහාම ගහන්ඩ!’
‘මිස් යන්ඩ එපා! අපැහැදිලි තැන් ගොඩක් තියෙනව. වැරදුණොත් ප්‍රශ්නයක්නෙ’
‘එහෙනං ඔයා ටක් ටක්ගාල ඒව හරියට ලියාගන්ඩකො’
ගැබ්බර තරුණිය කීකරු සිසුවියක සේ ගුරුවරියගෙන් එකින් එක අසමින් ලියන්නට වූවා ය.
‘මේවට නියමිත තැන්වල පින්තූරත් දාන්ඩ ඕනැ හරිද?’
‘මිස්ට පින්තූර තෝරල දෙන්ඩ වෙයි. නැතුව මං දන්නෙ නෑනෙ’
‘නෑ නෑ මං ඕනැ නෑ. හොඳ ඒව බලල ඔයා දාන්ඩ. හරියටම තියෙන්ඩ ඕනැ හරිද?’
‘මිස් මේකෙ පෘෘෆ් එකක් බලන්ඩ එනව නේද?’
‘නෑ නෑ මං එන්නෙ නෑ. ඒවට වෙලාවක් නෑ‘
‘එතකොට වැරදි යයිනෙ මිස්’
‘නෑ නෑ. ඔයා හොඳට බලල පින්තූර දාල හරියට ටයිප්සෙට් කරන්ඩ’
‘මිස් වැදුණොත් එහෙම ඒ වගකීම බාරගන්නෙ කොහොමද?’
‘හරියට කරනව නං වරදින්ඩ විදිහක් නෑනෙ. ඕකෙන් පිටපත් පන්සීයක් ගහල තියන්ඩ. පැය දෙකකින් මං කෙනෙක් එවනව. පරක්කු කරන්ඩ එපා හරිද?’ කියමින් ඇය වීදුරු දොර තල්ලු කරමින් පිටව ගියා ය.
මට ඇගෙන් ඉගෙන ගන්නා දරුවන් ගැන මහා කනගාටුවක් ඇති විය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් එවන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.