
ඔහු යතුරු පැදියේ වේගය වැඩි කළේ ඇගේ කතාව සත්‍යයක් නොවන්නේ දැයි සිතමිනි. ඇය අවුළුවාලන කෝපය ඇයම නිවා දමයි. ඔහු ඇගේ සුවච කීකරු මිතුරා බවට පත්වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ගමනාන්තය ඇගේ බලාපොරොත්තු කඩ කළේ ය. ඒ පටුමඟ වළ ගොඩැලි යතුරු පැදියේ වේගය උදුරා ගත්තේය. ඔවුන් යතුරු පැදියෙන් බස්වා පා ගමනින් යාමට පොලඹවන තරමට මඟ දුෂ්කර විය.
“පුතාට ටිකක් සනීප මදි දූ...”
“මොකක්ද අසනීපෙ?”
අමාලි ඇසුවේ දුක සැප විමසන සෞම්‍ය ලීලාවෙන් නොවේ.
“මට නම් පේන්නෙ නෑ කිසිම අසනීපයක්...”
බ්‍රයන් ඇඳෙන් බැස්සේ කෝපයෙන් පිපිරෙමිනි.
“මගෙ ලෙඩේ තමුසෙ. තේරුණාද..? තමුසෙ එහෙම පිටින්ම ලෙඩක්.. ලෙඩ ගොඩක්..”
“ආ... මේ බලන්නකො ආන්ටි මෙයාගෙ සැර...”
දඩබ්බර ‘කොලුවා’ ක්ෂණිකව සියුමැලි ළමිස්සියක බවට හැරී ශ්‍යාමලීගේ ඇඟේ එල්ලුණාය.
* * * * *
තැඹිලි ගෙඩිය මුළුමනින්ම බී හමාර කළ බ්‍රයන් යෙහෙළිය වෙත හැරුණේ ඒ අතීත මතකයන්ගෙන් රසවත් වෙමිනි.
“කෝ.. නෑ නෙ චුට්ටක්වත්.”
හිස් තැඹිලි ගෙඩියට මුව තැබුවද පලක් නොවූයෙන් අමාලි නහයෙන් හැඬුවාය.
“සේරම බීවද...? මහ පෙරේතයෙක්..”
පලතුරු වෙළෙන්දිය වහා මැදිහත් වූවාය.
“හරි.. හරි.. මම තව ගෙඩියක් කපන්නම්කො...”
“එපා... එපා...” යි බ්‍රයන් සිය විරුද්ධතාවය පළ කළේය.
“මා ළඟ සල්ලි නෑ..”
ඔහු අමාලි දෙස රවා බලන්නට ද අමතක නොකළේය.
“තැඹිලි ගෙඩියක් කපන්න.. මගෙ ගානේ.”
හිටි හැටියේ පහළ වූ දානපතියා කවුරුන්දැයි විමතියෙන් අයා ගත් ඇස් අබියස හිනැහුණේ කුඩා පිරිමි ළමයෙකි. ඔහුගේ පියාගේ මුළු මහත් අවධානය යොමුව තිබුණේ කොමඩු කැබැල්ලක් අතැතිව පසුවන යුවතිය වෙතය.
“තෑන්ක්ස් කරන්නත් බැරි වුණා.. ඇත්තට ම තාමත් පුදුමයි ඔයා ඒ ගහට නැඟලා පුතාට බෝලෙ අරන් දුන්නාය කියලා මතක් වෙද්දි..”
“එයාට බෝලෙ අරන් දෙන්න ඇත්තෙ ඔයානේ..” යි නොසැලකිල්ලෙන් කී අමාලි කුඩා දරුවා වෙත කොමඩු කැබැල්ලක් දිගු කළාය.
“ඒ වගේ අවදානමක් ගත්තේ අපරාදෙ.. බැරි වෙලාවත් ඔයා වැටුණා නම්..”
බ්‍රයන් සරදම් සිනාවක් පෑවේය.
“නෑ.. මෙයා වැටෙන්නෙ නෑ.. මොකද මෙයාට හොර කුරුම්බා කඩල හොඳට පුරුදුයි..”
“රියලි?” යි විස්මය පළ කළ තරුණයා “මම නලින්” යි තමා හඳුන්වා දුන්නේය.
“මම ටානියා.. මෙයා නීල්..”
අමාලි බොරු කියන්නේ මන්දැයි වටහාගත නුහුණුව බ්‍රයන් දෑස හකුළා ගත්තේය.
“ඔයාටත් තෑන්ක්යූ නීල්... ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගහකට නඟිනකම් බලා හිටියට.. අඳුනන්නෙ නැති ළමයෙක් වෙනුවෙන්.. ඔයාලා දෙන්නම මාරයි.. ඇත්තට ම ... ඇත්තට ම මට පුදුමයි...”
අමාලි අතවූ තැඹිලි ගෙඩිය බිම වැටිණ. එකට හමු වූ මිතුරු නෙත් අරා ඉතිරි පැතිර ගියේ විස්මයයි.
“දෙන්නත් එක්කම වෙලාවක අපේ ගෙදර එන්න. අපි දෙන්න විතරනේ. අපට අමුත්තොත් ඇත්තෙම නැති තරම්. අශේන් හරි ආසයි කවුරු හරි එනවට..”
ඒ ආරාධනාව සිත් ගන්නා සුලු වුවද අමාලිගේ අවධානය විගස දිනා ගත්තේ එය නොවේ.
“ඇයි අෂේන්ගේ අම්මා...?”
ඒ ප්‍රශ්නය නො අසා සිටියේ නම් කොපමණ හොඳදැයි ඇයට පසක් කර දෙමින් ඔහුගේ මුහුණ අඳුරු විය. ඒ අඳුරේ අරුත නියමාකාරයෙන් වටහාගත නුහුණු යුවතිය ඔහු දෙස බලා ගත්වනම සිටියාය. ඒ නෙත් කැල්ම විඳ දරා ගැන්ම අපහසු වූයෙන් නලින් ඉවත හැරුණේය.
“බබාටත් තැඹිලි ගෙඩියක් කපන්නද මහත්තයා?”
වෙළෙන්දිය මුව පුරා පැති ගිය සිනාවෙන් යුතුව ඇසුවාය. දරුවාගේ හුරුබුහුටි බවින් ඇය විඳින්නේ ඉමහත් සොම්නසකි.
“ඔයාට ඕනද අෂේන්?”
නලින්ගේ ස්වරයෙහි පෙර නොවූ ශෝකී හා ගැඹුරු බවක් ගැබ්ව තිබිණ.
“හා...”
අෂේන් සිය කුඩා හිස සැලුවේද අමාලි දෙස බලමිනි. ඔහු වඩා ගත් ඇය පසෙක වූ ලී බංකුව මත හිඳ ගත්තාය. ඇගේ ඇකයේ හිඳගෙන තැඹිලි ගෙඩිය බොන දරුවා දෙස විටින් විට බලමින් නලින් තරුණයා සමඟ පිළිසඳරෙහි පසුවිය.
“ළඟදිද මැරි කළේ?”
ඒ අනපේක්ෂිත ප්‍රශ්නය බ්‍රයන්ට සිනාවට කරුණකි. හඬ නඟා හිනැහෙන තරුණයා නලින්ගේ විමතියද කුහුලද වඩවයි.
“මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න එකම කෙල්ල වුණත් මං නං මැරි කරන්නෑ එයාව...”
“මට තේරුණේ නෑ... එතකොට ඔයාලා...?”
“අපි යාළුවෝ... ඇත්තම කියනව නම් එයා යාළුවෙක් නෙමේ හතුරෙක්...”
නලින් තැඹිලි කෝම්බය වෙළෙන්දිය වෙත දිගු කළේය.
“පළලා දෙන්ඩද මහත්තයා?”
හිස සැලූ ඔහු නැවතත් බ්‍රයන් වෙත හැරුණේය.
“ඔයා විහිළු කරනවා නීල්..”
“නීල්...?”
බ්‍රයන් විස්මයෙන් හඬ ගෑවේය.
“ඔයා නීල් නේ? අර ගර්ල් කීවෙ එහෙම නේද? මම වැරදිද...?”
බ්‍රයන් හඬ නඟා හිනැහුණේය. ඒ සිනාවට හවුල් නොවූ නලින් විස්මය නොසඟවා පළ කළේය.
* * * * *
හිරු කොතෙක් සැඩ වුව ද මඳනල සිහිලැල්ය. මඟ දෙපස කෙත් වතු මවා පෑ මනරම් බවින් තුටු පහටු වන්නට තරම් ඉස්පාසුවක් ඔවුන් වෙත නොවිණ.
“තව ටිකක් හයියෙන් යමං බං... මෙහෙම බඩගාලා කීයට යන්නද...
ඒ නොරිස්සුම් සහගත හඬ ඔහුගේ නොව ඇගේ මුවින් ගිලිහිණ.
“තවත් ස්පීඩ් කළොත් ඉතිං යන්න වෙන්නෙ අලව්වට නෙමේ කනත්තට”
පැය කීපයක් යතුරු පැදිය ධාවනය කිරීමෙන් බ්‍රයන් වෙහෙසට පත්ව සිටියේ ය.
“මටත් පිස්සුනේ.... පණ බයේ ඩ්‍රයිව් කරන එකෙක් එක්ක මේ වගේ ගමනක් ආපු එක...”
ඇගේ නිර්දය බසින් ඔහු කොතරම් තදින් කිපුණේ ද කිවහොත් යතුරුපැදියේ තිරිංග තද කළේ ය.
“ඇයි?”
ඔහු හිටිහැටියේ යතුරුපැදිය නවතාලීම වටහා ගත නුහුණු අමාලි අපමණ කුහුලින් ප්‍රශ්න කළා ය.
“බහිනවා...”
ඔහු සිය මිතුරියට අණ කළේ ඉහ වහා ගිය කෝපයෙනි.
“මොකද වුණේ?”
යතුරුපැදියේ කිසියම් ගැටලුවක් උද්ගත වූ බව සිතූ ඇය වහා ඇසුවා ය.
“මං ඒත් හිතුවා මේ කබලෙ එනකොට මඟ නවතී කියලා...”
“ඒක තමයි කියන්නෙ කබලෙන් බැහැලා ඕන බම්බුවක නැඟලා යන්න කියලා. මමයි ඩැඩයි කෝල් දෙනවා අම්බානක. ඒ අස්සෙ අමා ඔයා මගෙ යකා අවුස්සනවා.
මිතුරා කෝපයට පත්ව හිඳින බව වටහාගත් ඇය පළමුව හිනාවුණා ය.
“කවුද දන්නෙ මෙච්චර මේ හැන්ඩ්සම් කොල්ලෙක් අස්සෙ යකෙකුත් ඉන්නවා කියලා කෙල්ලෙක් විහිළුවක් කළාම ඇවිස්සෙන්න බලාගෙන...”
ඒ කියුම ඔහුගේ කෝපය තුනී කර දමයි.
“මේ නිකං බොරු ගමනක් අමා... අනිත් එක අපි ආපහු යන්නෙ කීයට ද....? ඔයා නැන්දට මොනවද කිව්වේ...?”
“මගේ නැන්දයි තාත්තයි ගැන මම බලාගන්නම්. ඔයා ඔයාගේ මමයි ඩැඩයි ෂේප් කර ගන්නකෝ...”
මුව ඇද කළ තරුණයා නැවතත් යතුරුපැදිය පණ ගන්වා ගත්තේ ය.
“බලා ගනී තමා...” ප්‍රින්සිපල් කාරයා කෝටුමස් කරයි මේ පාර නම්...”
ඇය හඬ නගා හිනාවුණා ය.
“එයාගෙ වේවැලට බය වෙලා බෑ බ්‍රයන්. ඒ ගොල්ලන්ගෙ ඔය කෝටු මස් කිරිල්ලෙන් ළමයි හැදුණ නම් අද මේ රට දිව්‍ය ලෝකයක්...”
ඔහු යතුරුපැදියේ වේගය වැඩි කළේ ඇගේ කතාව සත්‍යයක් නොවන්නේ දැයි සිතමිනි. ඇය අවුළුවාලන කෝපය ඇයම නිවා දමයි. ඔහු ඇගේ සුවච කීකරු මිතුරා බවට පත්වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
ගමනාන්තය ඇගේ බලාපොරොත්තු කඩ කළේ ය. ඒ පටුමඟ වළ ගොඩැලි යතුරුපැදියේ වේගය උදුරා ගත්තේය. ඔවුන් යතුරු පැදියෙන් බස්වා පා ගමනින් යෑමට පොලඹවන තරමට මඟ දුෂ්කර විය.
“කොහෙද යකෝ අපි මේ යන්නේ...?” යි ඔහු ඇසුවේ බැරිම තැන ය.
“මේ අපේ අත්තම්මගේ ගම. මං පුංචි කාලෙ අම්මත් එක්ක ආවා මතකයි...”
මඟ හමාර වූ බව කියාපෑවේ ගරා වැටෙන ගෙයකි. ගෙමිදුල පවා කිසිදු කලඑළියකින් තොරය.
“මේකද පොට් එක?” යි ඔහු මෙතෙක් වේලා තල්ලු කරගෙන ආ යතුරු පැදියට සියඹලා ගස යට ගිමන් හරින්නට ඉඩ හැර ඇසුවේය. ඇය හිස සැලුවා ය.
“ඉතිං අඬ ගහනවා අත්තම්මට...”
“අ... අපි ආවෙ අත්තම්මගෙ මළ ගෙදර...”
බ්‍රයන්ගේ වමත නළල තෙක් එසැවූවේ නිතැතිනි.
“මොකක්ද?”
ඈ පැවසූ දේ ඉතා හොඳින් ඇසුණ ද ඔහු ප්‍රශ්න කළේ මහත් සේ විපිළිසර වෙමිනි.
“අම්මයි මායි අන්තිමට ආවෙ අත්තගේ මළ ගෙදර...”
ඔහු අතකින් හිසකේ අවුල් කරමින් වටයක් කැරකුණේ ය.
“එහෙනම් ඉතිං මොන මඟුලකට ද මෙච්චර දුරක් මේ ආවෙ?”
ඇය නිය විකමින් වටපිට බැලුවාය.
“මහ මෝඩ පිස්සු විකාර ගමනක්නෙ මේ ආවෙ... ඇත්තටම අමා...”
තමාගේ අප්‍රසාදය පළ කරන්නට තරම් වචන සොයා ගත නුහුණු තරුණයා “ආ යූ මෑඩ්?” යි එක එල්ලේ ප්‍රශ්න කළේ ය.
ඇය නිහඬවට ගෙපිලට නැංගාය.
“මටත් හිතාගන්න බෑ බ්‍රයන් ඇයි මං මෙහෙ ආවෙ කියලා. ඒත් මගෙ හිත කියනවා අම්මා මෙහෙ ඇති කියලා...”
“එතකොට මේ ආවෙ හරියට දැනගෙන නෙමේ... හිත කියන හිංදා... හරි ෂෝක්... මරු. පට්ටම පට්ටයි...”
ලබන සතියට...