
ලොස් ඇන්ජලිස් නගරයෙන් මඳක් ඔබ්බට යන විට ගාබ්‍රියෙල් කඳු වැටිය හමුවේ. පසඩේනා ඒ කඳුවැටිය පාමුල නිම්නයේ ඇති පොහොසත් නගරයකි. වියළි දේශගුණයක් ඇතත් එහි විශාල මල් පිපෙන මග්නොලියා ගස් ද, පාර පුරා නිදැල්ලේ සැරිසරන මොනර රංචුද දැකිය හැකිය. ඉහළ පැළැන්තියේ ඇමෙරිකානුවන් වෙසෙන වීදියක පිහිටි මන්දිරයක ඉදිරිපස උද්‍යානයට යද්දී මා පිළිගන්නට පැමිණියේ නොමිටි මැදි වියේ, ප්‍රිය මනාප පෙනුමක් ඇත්තෙකි. තමා වෛද්‍ය ලක්ෂමන් මාකඳුර බව හඳුන්වා දෙමින් හෙතෙම මා හා කතාව ආරම්භ කළේය.
* අත දුන්නේ ඉංග්‍රිසි ගුරුවරිය
* රෝගීන් වැඩිපුරම ආවේ මට
* රෝගියාගේ දැනුම ගැන සතුටුවිය යුතුයි
මා ඒ නම ලොස් ඇන්ජලිස් නගරයේදී කිහිප වතාවක්ම මා අසා තිබිණි. නගරයේ ජනප්‍රිය වෛද්‍යවරයෙකු වූ ඔහු තමාගේම වෛද්‍ය මධ්‍යස්ථානයක් දිගු කලක් තිස්සේ පවත්වාගෙන යයි.
ඔබේ ළමා කාලය සහ ගම පළාත් පිළිබඳ අපට කියන්න
මම හැදුණේ රත්නපුර, බලංගොඩ. මගේ පවුලේ සහෝදර සහෝදරියන් විශාල සංඛ්‍යාවක් හිටිය. පුංචි කාලෙ කවුරුන් හෝ මගෙන් ඇහුවම අනාගතයේ කවුද වෙන්නෙ කියල, මම කිව්වෙ වෛද්‍යවරයෙක් වෙනව කියල. ඒ කාලේ බලංගොඩ ඉස්පිරිතාලේ දොස්තරල දැක්කා. ඒ අයට හොඳ පිළිගැනීමක් තිබුණා. ඔවුන්ට වෙනස් පෞරුෂයක් තිබුණ. ඒක දැක්කම තමා මට වෛද්‍යවරයෙක් වෙන්න හිතුණේ.
ඒ සිහිනය සැබෑ කරගන්න අත දුන්නෙ කවුද?
මට මතකයි, ඉංග්‍රීසි උගන්නපු ගුරුවරිය මේරි ජින්ජර්. එතුමිය මාව පාසලෙන් පසුව නවත්වාගෙන මට වෙනම ඉගැන්නුවා. අදටත් මම අවුරුදු 82 ක් වූ ඒ ගුරුතුමිය සමඟ කතාබහ කරනවා. මම ගමේ ඉස්කෝලේදීත් හැමදාම පන්තියේ පළවෙනියා. පසුව කොළඹ ආනන්දයට ඇතුළු වුණා. එහිදීත් හැමදාම පන්තියේ පළවෙනියා.
ආනන්දයේදී ලක්ෂ්මි පෙරේරා ගුරුතුමියත් මගේ දක්ෂකම් හඳුනා ගත්තා. මට මඟ පෙන්නුවා .
ඉස්කෝලේ යන කාලේ දඟ වැඩ එහෙම කළේ නැද්ද ?
ඒ කාලේ මම චිත්‍රපටි බලන්න ආසයි. පංති කට් කරලත් චිත්‍රපටි බලනවා. සමහර දවස්වලට සවස 2.30 බලල ඉවර වෙලා යාළුවෝ ඇවිත් ඉන්නවා 6.30 දර්ශනය බලන්න. ඒ අයත් එක්කත් බලනවා. ඊට පස්සේ ගෙදර අයත් එක්ක 9.30 දර්ශනයත් බලනවා. හැබැයි කීයට ගෙදර ආවත් මම පැය දෙකක්වත් පාඩම් කරනවා. මොකද පාසලේ වැඩ කොටස ඉවර නොකළොත් මට ඇතිවෙන්නෙ වරදකාරී හැඟීමක්.
චිත්‍රපට බලන්න යද්දිත්, සුළු විවේකයේදී පාඩම් කරන්න පොතක් අරගෙන යන්නෙ.
කොහොමද ඇමෙරිකාවේ වෛද්‍ය වෘත්තියට පිවිසුණේ?
වෛද්‍ය විද්‍යාලයෙන් පිටවුණාට පසුව ගාල්ල සහ මාතර රෝහල්වල වැඩ කළා. 1985 දී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණු සමයේ බොහෝ දෙනෙක් විදේශ ගත වීමත් සමග මම ඇමෙරිකාවට ආව. මෙහි විශ්වවිද්‍යාලයේ හෘද රෝග පර්යේෂණ අංශයේ හෘද රෝග පිළිබඳ ඉගෙන ගත්තා. පසුව මම නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය උපාධිය හැදෑරුවා. පස්සෙ ආයෙත් කැලිෆෝර්නියාවට ආවා. මේ කාලයේ ආර්ථික අමාරුකම් තිබුණු නිසා පෞද්ගලික වෛද්‍යවරයකු ලෙස රැකියාව පටන් ගත්තා.
මුලින් මම වෛද්‍ය කණ්ඩායමක් එක්ක එකට වැඩ කළා. එතැනදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ආවේ මා හොයාගෙන එතකොට මම කල්පනා කළා මට වෙනම තනියම වැඩ කරන්න පුළුවන් කියලා. මං වෙනම මධ්‍යස්ථානයක් පටන් ගත්තා. දැනට මට සායන 4 ක් තියෙනව.
දැන් ඔබ වරක් කිව්ව රෝගීන් අතර ඔබ ජනප්‍රියයි කියලා. කොහොමද එහෙම වුණේ?
වෛද්‍යවරයෙකුට රෝගීන් පිළිබඳ තිබෙන දයාව කරුණාව ඉතා වැදගත් කියා මා හිතනවා. ඒ නිසා ඔවුන් එක්ක වඩා සමීපව ඔවුන්ගෙ ප්‍රශ්න පිළිබඳ හොයල බලනවා. ඔවුන් මා වෙත එන්නෙ සෞඛ්‍ය ගැටලුවලට අමතරව දහසකුත් එකක් ප්‍රශ්න සහිතවයි. ඔවුන් දෙස දයාවෙන් අනුකම්පාවෙන් කරුණාවෙන් නොබැලුවොත් මානසිකව ඔවුන් වැටෙනවා. එතකොට කොච්චර හොඳ බෙහෙතක් දුන්නත් හරි යන්නෙ නෑ.
ලංකාවේ බොහෝ වෛද්‍යවරුන් පිළිබඳ වැඩි දෙනෙකුගේ මනාපයක් නෑ. ඇතැමුන් රෝගීන්ට පමණක් නොවෙයි හෙදියන්ට සුළු සේවකයන්ට පවා අකාරුණිකයි. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
අධික කාර්ය බහුලකම නිසා වෙන්නත් පුළුවන්. ඇතැමෙකුට වෛද්‍යවරයකු වුණාට පසුව මුල අමතක වෙනවා. තමන් කොහෙන්ද ආවේ කියන එක අමතක වෙනවා. ටිකක් හිස ඉදිමෙනවා. තවත් පිරිසක් ධනයට කෑදරයි. පුළුවන් තරම් කෙටි කාලයකදී වැඩි රෝගීන් ප්‍රමාණයක් බලමින් සල්ලි හම්බ කරන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා රෝගීන් දෙස හෙළන්නෙ නුරුස්නා බැල්මක්. දුප්පත් රටක් ලෙස ලංකවේ රෝගීන් සිය ගණනක් එක දවසකට බලන්න සිදු වෙනවා. ඒක අවාසනාවන්ත තත්ත්වයක්.
මුදල් ගෙවා එන පෞද්ගලික සායනවල පවා බොහෝ විට රෝගියා ඇතුළට ගිය සැණෙන් ආපසු එනවා. වෛද්‍යවරයා රෝග පරික්ෂාවට ප්‍රමාණවත් කාලයක් වැය කරන්නෙ නෑ. ඇමරිකාව ඇතුළු බොහෝ දියුණු රටවල තත්ත්වය සමඟ ඔබ එය සසඳන්නේ කොහොමද ?
මෙහෙ සාමාන්‍යයෙන් දවසකට රෝගීන් 20 - 25 කට වඩා බලන්න බෑ. එක රෝගියකු වෙනුවෙන් විනාඩි 15 - 30 ක් වෙන් කරන්න ඕනෙ. රෝග නිධානය අහල රෝගියා ක්‍රමවත්ව පරීක්ෂා කරල රෝග තත්වය සහ ඖෂධ පිළිබඳ පැහැදිලි කරලා රෝගියාගේ ප්‍රශ්නවලටත් සවන් දීලයි යවන්න ඕනෙ. ඒ වගේම මෙහෙ රෝගීන් වෛද්‍යවරුන්ගෙන් එවැනි සේවාවක් බලාපොරොත්තු වෙනව.
ඇයි මේ බෙහෙත් දෙන්නෙ? එහි අතුරු ආබාධ මොනවද? මේ බෙහෙතෙන් කොහොමද මගේ රෝගය සමනය වෙන්නෙ යනාදි වශයෙන් රෝගීන් ඔබෙන් විමසීම් කළොත් ඔබ කෝප ගන්නවද?
සත්තකින්ම නෑ. වෛද්‍යවරයා තුටු වෙන්න ඕනෙ රෝගියාට ඇති උනන්දුව සහ දැනුම ගැන. එය අපටත් පහසුවක්. සුළුවෙන් හෝ අතුරු ඵල, ඖෂධ ගන්නා ආකාරය රෝගියා කළයුතු නොකළයුතු දෑ පිළිබඳ පැහැදිලි කර දිය යුතුයි.
එසේ වෛද්‍යවරයකු රෝගියාට පැහැදිලි නොකිරීම රෝගියාගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් ලෙස ඔබට පෙනෙන්නේ නැද්ද? ඒ අනුව වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියක් නීති ගත කළ යුතුයි කියල ඔබට හිතෙන්නේ නැද්ද?
එසේ පැහැදිලි කිරීමක් කරන්න වෛද්‍යවරයා බැඳී සිටිනවා. රෝගීන් ආරක්ෂා කරන නීති තිබීමත් අවශ්‍යයි.
වෛද්‍ය ලක්ෂමන් මාකඳුර කැලිෆෝර්නියාවේ හොඳම වෛද්‍යවරයා ලෙස සම්මාන ලබා ඇත. එය ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ආඩම්බරයකි. ඇමෙරිකානු සමාජය තුළ වෘත්තිමය වශයෙන් සාර්ථකත්වයේ හිණි පෙත්තටම නැඟුණු ඔහු ගේ වෛද්‍ය මධ්‍යස්ථානය නවීනතම අංගෝපාංගවලින් සමන්විතය.
කාර්ය බහුල ජීවිතයේ පවා ඔහු විනෝදකාමියෙකි. විනෝදය සඳහා ඔබ මොනවද කරන්නෙ?
ගීත අහන්නත් ගායනයටත් මම කැමතියි. ලංකාවෙන් එන කලාකරුවන් මගේ නිවෙසේ සංගීත සාජ්ජයකට සහභාගී වීම අනිවාර්යයි. බොහෝවිට ඔවුන් වෙනුවෙන් කළයුතු යුතුකම් අප නොපිරිහෙළා ඉටුකරනවා. විශේෂයෙන්ම මගේ බිරිය තුසිතා මගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පරිපාලන කටයුතු මෙහෙයවා. මගේ කලා කටයුතුවලටත් මා දිරිගන්වනවා.
ලංකාව වියදම් කරල ඔබට උසස් අධ්‍යාපනය ලබා දීලා තියෙන්නෙ. ඔබේ රටෙන් දුන් පහසුකම් වෙනුවෙන් ඔබ රටට මොනවද දුන්නේ?
මම මගේ රටේ කීර්තිනාමය නිර්මාණය වන පරිදි ඇමෙරිකාවේ කටයුතු කරනවා. අනෙක උපයන ධනයෙන් සියයට 25 ක් ලංකාවේ දිළිඳු පවුල් වෙනුවෙන් හා අධ්‍යාපනය ලබන්නන් වෙනුවෙන් වියදම් කරනවා. විශේෂයෙන්ම බලංගොඩ ප්‍රදේශය මගේ ගම නිසා එහි පවුල් ගණනාවකටම උදව් කරනවා.
විශේෂ ස්තුතිය - කුමාරි පණ්ඩිතරත්න
නාරද විජයසූරිය
සේයාරූ - අනින්ද සමරසේන
මංජුල පෙරේරා