
“ලංසි කෙල්ලො නම් ලස්සනයි තමා. ඒත් ඉතිං කෙල්ලො ලස්සන වෙලා විතරක් හරියන්නෑ බ්‍රයන්.” “හා හා.. එතකොට කෙල්ලො තමුසෙ වගේ හිතුවක්කාර... මෝඩ... පට්ට කපටි....” ඔහුට ඒ වැකිය හමාර කරන්නට ඉඩ නොදෙන ඇය කඩා පනින්නේ කුපිත වූ ව්‍යාඝ්‍ර ධේනුවක් පරිද්දෙනි. ඇගේ දෑතේ සවි ශක්තිය හොඳින් හඳුනන ඔහු පැන දුවයි.
ඔවුන් වෙත පැමිණෙන තරුණයා අත අයිස්ක්රීමයකි.
“තාත්තා...”
කල්පයකින් සිය පියා දුටුවාක් මෙන් කෑ ගෑ අෂේන් “අරයා මගෙ බෝලෙට පයින් ගැහුවා තාත්තා.” යි චෝදනා කළේය. එහෙත් අපහසුතාවෙන් හැකිළෙන බ්‍රයන් දෙස නොව තරුණයා බලා සිටියේ බෝලය වෙත අත දිගු කරන යුවතිය දෙසය. ඔහු අපමණ විමතියෙන් දෑස දල්වා ගත්තේය.
“අමා...” යි බ්‍රයන් කෑගෑවේ ඇගේ රැකවරණය පිළිබඳ තැති ගත් බැවිනි.
විස්මිත නෙත් නොතැකූ අමාලි සිය කාර්යය නිමවා ගසින් බසින්නට පටන් ගත්තාය. ඇගේ අතැඟිලි පහසින් කුල්මත් වූ කලෙක මෙන් ඒ රත් පැහැ බෝලය බිම පතිත වූයේ අයිස්ක්රීමයද ඩැහැගනිමිනි. තමා වෙනුවෙන් ගෙන ආ අයිස්ක්රීමයට අත්වූ ඉරණම පිළිබඳව කරදර නොවූ අෂේන් බෝලය පසුපස දිව්වේය. ඔහුගෙන් හෝ ඔහුගේ පියාගෙන් ස්තුතියක් තබා සිනාවක්වත් අපේක්ෂා නොකළ යුවතිය යුහුසුලු වූවාය.
යතුරුපැදියට නැඟි බ්‍රයන්ට නැවතත් ගමනාන්තය විමසන්නට වුවමනා වූයේ නැත. රියැදුරු භූමිකාව අමාලි පවරා ගත් බැවිනි.
“මේ.. තමුසෙ ඕන මඟුලක යනවා මාව ගෙදරට ඩ්‍රොප් කරලා.”
ඔහු සිය නොමනාපය නොසඟවා පළ කළේය.
“තමුසෙගෙ මේ කබලෙ මඟුලෙ නෙමේ අවමඟුලෙවත් යන්න බෑ..”
අඬදබරයේදී පසු නොබසින ඇය එසේ කී කල ඔහුට සිනා පහළ විය.
“ආ.. එහෙමද මැඩම්? එහෙනම් මගේ කබලෙං බැහැලා ඕන විදියකට යන එකයි ඇත්තේ..”
ඇය යතුරුපැදිය පාරේ පසෙකට කොට නවතාලූයේ හිටි හැටියේ ගමන අත්හිටුවූ නිසා නොවේ. ඔහු වහා බිමට බැස්සේය. හිස් ආවරණය ගලවමින් ඇයට මුහුණලා සිට ගත්තේය. ඇය තමා දමා යන්නට බැරි නැතැයි සැකයෙන් යතුර ද ගලවා ගන්නට අමතක නොකළේය. කිසිවක් හෝ කිසිවෙකු මායිම් නොකරන මේ යුවතිය සමඟ කටයුතු කළ යුත‍්තේ කොතරම් පරිස්සමින්දැයි ඔහු දැනටමත් ඕනෑවටත් වඩා පසක් කරගෙන සිටියි.
“කරුණාකරලා බහින්ඩ. මගේ කබල මට දෙන්න...”
ඔහු අධිරංගනයක යෙදෙන නළුවෙකු විය මොහොතකට.
“සල්ලි තියෙනවද?”
“මොකක්?”
ඒ අනපේක්ෂිත පැනයෙන් ඔහු විපිළිසර විය.
“මං අහන්නෙ ඔය කෙහෙල්මල් පර්ස් එකේ සල්ලි කීයක් විතර තියෙනවද කියලා..”
“ඇයි?”
ඇය තමාගේ යතුරුපැදියට පමණක් නොව විදේශගත ඥාතියෙකු එවන ලද අගනා පසුම්බියට ද අවමන් කරන බව සිතමින් ඔහු රවා බැලුවේය.
“මා ළඟත් තියෙනවා දාහක් විතර.”
“මරුනෙ..” බ්‍රයන් සොම්නසින් ඉපිළුණේය.
“පීසා හට් යන්න නම් හිතන්වත් එපා.”
“එහෙනං කොහෙද යන්නෙ?”
ඔහු මෝදුවන කනස්සල්ලෙන් ඇසුවේය.
“අපි අම්මගෙ ගමෙයි තාත්තගේ ගමෙයි හෙව්වට වැඩක් වුණේ නෑෙන්...”
තමා බැරෑරුම් යමක් කතා කරන්නට සූදානම් වන බව හුවා දක්වන්නට මෙන් ඇය හිස් ආවරණය ගලවා දැමුවාය. කොලුවෙකු මෙන් දිස්වන කෙල්ල දෙස ඔහු බලාගත් වනම සිටියේය.
“අපි හරි මෝඩයි බ්‍රයන්...”
“අපි නෙමේ... ඔයා...ඔයා මෝඩයි කියන්න. මෝඩ නැත්තං අර බෝලයක් හිංදා ගස් නඟීද...?”
ඇගේ වියළි දෙතොල’තර සිනාවක් නැඟිණ.
“බෝලයක් හිංදා නෙමේ බ්‍රයන්... අර පොඩි එකා හිංදා...”
“ඒ වුණාට අමා ඔහොම කරනවද කිසිම කෙල්ලක්...? මටත් මාර සවුත්තුවනෙ... පොඩි එකාගේ තාත්තා හිතන්න ඇත්තෙ ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. කෙල්ල ගස් නඟිද්දි කොල්ලා බලන් ඉන්නවා... ෂික්..”
ඇය හඬ නගා හිනැහුණාය. ඔහුගේ සිත වෙලාගත් කණස්සල්ලද වියැකිණ.
“නඟින්න නඟින්න... පරක්කු වෙනවා..”
සැණෙකින් ඇය පෙර රළු පරළු බවින් ම අණ කළාය.
“කොහෙද යන්නේ?”
* * * *
කුඩා ලී මැස්ස මත වූ පලතුරු අතරින් වඩාත් කැපී පෙනුණේ කොමඩු ගෙඩි කන්දරාවය. එහෙත් ඔහු ප්‍රිය කළේ තැඹිලි ගෙඩියක් බොන්නටය.
“ගෙඩියම බොන්න එපා. මටත් බාගයක් ඉතුරු කරන්න.” යි ඇය අණ කළේ ඔහු කුඩා කොලුවෙකු සේ සලකමිනි.
“ඔයාට ඕන කීවෙ කොමඩුනෙ..”
පලතුරු වෙළෙන්දිය කොමඩු ගෙඩියක් කැබලිවලට කපමින් සිනාවක් පෑවාය. මෙවන් ආදර දබර ඇගේ සිතට සතුටක් ගෙන එයි.
“මගේ කොමඩු ගෙඩියෙන් බාගයක් දෙන්නෙ ඔයාගෙ තැඹිලි ගෙඩියෙනුත් මට බාගයක් දුන්නොත් තමා..”
ඔහු නොදන්නා සහගත බැල්මක් හෙළුවේය.
“කොමඩු ගෙඩියක් තනියම කන්න පුළුවංද..?”
“ඇයි බැරි..? මොනවද ඔට්ටු...?”
ඔට්ටු අල්ලන්නට ඇය දක්වන කැමැත්ත සිහිපත් කළ ඔහු නිහඬ විය.
“අද වහියි වගේ” යි ඔහු බැරි වෙලාවත් කී කල ඇය එක හෙළා එරෙහි වෙයි.
“අද වහින්නෑ... මොනවද ඔට්ටු”
පසුම්බියේ කල දවස යහපත් නම් ඔහුද මහත් උනන්දුවෙන් ඔට්ටු අල්ලයි.
“රුපියල් සීයක් ඔට්ටුයි. අද වහින එක වහිනවමයි.”
ඇය මුව කොන නටවා හිස දෙපසට සලයි.
“සීයට ඔට්ටු අල්ලන්නෙ කව්ද හලෝ... පන්සීයක් ඔට්ටුයි.”
ඔහු හෙළන්නේ සැක මුසු බැල්මකි.
“හරි දැං ඔයා ළඟ රුපියල් පන්සීයක් තියෙනවද?”
“දැන් නැති වුණාට ඔට්ටුව දිනන්නෙ මමනෙ. එතකොට ඉතිං පන්සීයක් මා අතේ තියෙයි..”
කෝකටත් කියා ඇය ඔහුගේ අතට අසුවන මායිමෙන් මඳක් ඈතට වී සිටින්නට වග බලාගත්තාය.
“තමුසෙ වගේ කපටි කෙල්ලක් නං මං දැකලා නෑ කවදාවත්...”
“ඕගොල්ලො දකින්නෙ ඉතිං බෝනික්කියෝ වගේ ලස්සන කෙල්ලොනෙ..”
ඔහු සාඩම්බරයෙන් සිනාසෙයි.
“අපේ ගර්ල්ස්ලා ලස්සනයි තමා”
ඇගේ අවඥා සහගත බැල්මෙන් ඔහුගේ සාඩම්බර සොම්නස උදුරාගනියි.
“ලංසි කෙල්ලො නම් ලස්සනයි තමා. ඒත් ඉතිං කෙල්ලො ලස්සන වෙලා විතරක් හරියන්නෑ බ්‍රයන්.”
“හා හා.. එතකොට කෙල්ලො තමුසෙ වගේ හිතුවක්කාර... මෝඩ..., පට්ට කපටි....”
ඔහුට ඒ වැකිය හමාර කරන්නට ඉඩ නොදෙන ඇය කඩා පනින්නේ කුපිත වූ ව්‍යාඝ්‍ර ධේනුවක් පරිද්දෙනි. ඇගේ දෑතේ සවි ශක්තිය හොඳින් හඳුනන ඔහු පැන දුවයි. හඹා ගොස් අල්ලා ගන්නට අපොහොසත් වූ කල ඇය හතිලමින් බැණ වදියි. ඉනික්බිති දින කීපයක් ම ඇය හමු වීමෙන් ද ඇගේ ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමෙන් ද වැළකී සිටින තරුණයා විපිළිසර කරවමින් ඇය ඔහු සොයා ගෙදරට එයි.
“මං නෑ කියන්න මමා.. මං නෑ කියන්න..” යි කියමින් ඔහු කාමරයට දුවයි.
“කෝ ආන්ටි බ්‍රයන්?”
නොපැකිළ ප්‍රශ්න කරන යුවතිය දෙස ශ්‍යාමලී හෙළන්නේ විමසිලිමත් බැල්මකි.
“වාඩි වෙන්නකෝ දූ... අපි මොනා හරි බීලා ඉමු..” යි ඇය ඉල්ලා සිටින්නේ කොලුවෙකු මෙන් දඩබ්බර කෙල්ල කෙරෙහි හට ගන්නා කරුණාවෙනි. අමාලිගේ මව අතුරුදහන්ව සිටින බ ව දැන සිටියද කිසි විටෙකත් ඒ පිළිබඳව විමසන්නට ඇය උත්සුක නොවෙයි.
“අර ළමයගෙ අම්මා ගැන ආරංචියක් නැද්ද පුතා?” යි ඇය ඉඳහිට අසන්නේ සිය පුත්රයාගෙනි.
“මැරුණු කෙනෙක් ගැන ආරංචියක් එන්නෙ කොහොමද මමා?”
ශ්‍යාමලීගේ දෙනෙත මහත් සේ ඇරෙයි.
“මැරිලා..? ඔයා කොහොමද එහෙම කියන්නේ..? ඔයා මොනා හරි දන්නවා නම් ඇයි ඒ ළමයට නොකියන්නේ..?”
ඇය අපමණ ශෝකයෙන් අසයි.
“මැරිලා නැත්තං තමුන්ගෙ දුවට මොනා හරි පණිවිඩයක් එවන්නැතුව ඉන්නවද මමා...?”
“මැරිලම කියල කියන්න බෑ නෙ පුතා.. සමහරවිට සිහිය වෙනස් වෙලා... ඒ කියන්නේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් නිසා මතකය නැති වෙලාද කවුද දන්නේ.”
මවගේ ඒ සැකය එක්වරම බැහැර නොකරන බ්‍රයන් හිස සලයි.
* * * *
“මට පරක්කු වෙනවා ආන්ටි. මේ මෝඩයාට මම කොයිතරම් කෝල්ස් ගත්තද... කෝ... ආන්සර් කරන්නෙම නෑනේ...”
අමාලිගේ නෝක්කාඩුවෙන් විමතියට පත් ශ්‍යාමලී කිව යුතු යමක් සොයා තැතනුවාය.
“අල්ලගත්තොත් මම අද හොඳ වැඩක් කරනවා..”
මේ ආගන්තුක කෙල්ල මේ අන්දමින් තර්ජනය කරන්නේ තමාගේ පුත්‍රයාට බව සිහිපත් වූයෙන් ඇය කැලඹී ගියාය.
“ඇත්තමයි ආන්ටි.. ඔන්න මා එක්ක තරහ වෙන්න නම් එපා.. මම අද ගහන එක ගහනවාමයි.”
බ්‍රයන් හා මේ යුවතිය අතර ආදර සබඳතාවයක් ඇතැයි සැකයෙන් පසු වූ ගැහැනිය අන්දමන්ද වූවාය.
“බ්‍රයන්.. බ්‍රයන්..” යි හඬගාමින් අමාලි විසිත්ත කාමරය හරහා කඩිනමින් ගමන් කළාය. ශ්‍යාමලී ඇය පසුපස ඇදුණේ හදිසියේ ගිලන් වූවකු පරිද්දෙනි. පුත්‍රයා ඉල්ලා සිටියද බොරුවක් පවසන්නට ඇය අපොහොසත් වූවාය.
“පුතා... පුතා..” යි ඇය තතනන කල අමාලි අනුකම්පා සහගත බැල්මක් හෙළුවාය.
“ගෙදර නෑ කියන්න කියලා කීවද?”
ශ්‍යාමලී ගල් ගැසී සිටියදී යුවතිය කාමරයට ඇතුළු වූවාය.
“ඒයි.. මෝඩයා... නැඟිටිනවා..”
සියොලඟ වැසෙන සේ පොරවාගෙන හුන් පොරෝනය ඇද පසෙකට විසි කළ අමාලි මහ හඬින් අණ කළාය. දෑතින් දෙකන වසා ගත් බ්‍රයන් ඇඳ මත ගුළි විය.
“ඇයි මගෙ කෝල්ස්වලට ආන්සර් නොකළේ? බැරිම තැන මම මැසේජස් කීයක් නම් එව්වද... මොකෙක්ද මංදා...”
මේ කවර නම් ආදර සබඳතාවයක්දැයි වටහා ගත නොහැකි වුවද ශ්‍යාමලී ඔවුන් අතරට පැන්නාය.
ලබන සතියට...