
උපාලිකා අත්තනායක හේරත් විශ්‍රාමික ගුරුවරියකි. පුරා හතළිස් වසරක් ගුරු සේවයේ යෙදී ඇති ඇය දැන් අසූ හතර හැවිරිදි වියේ පසුවන්නීය. මේ ඒ විශිෂ්ට ගුරුමාතාවගේ අතීත මතකය අතර සැඟවුණු රස පූර්ණ කතාවය.
පනාමල් දෙණිය මුදියන්සේලාගේ ඩිංගිරිමැණිකේ මගේ අත්තාම්මාය. තාත්තාගේ අම්මා ඇයය. අත්තම්මා උපන්නේ 1878 අවුරුද්දේය. ඒ යටිනුවර මැණික්දිවෙල නාලියගොඩ ගමේය. හාරිස්පත්තුවේ මැදඔයපත්තුවේ මැදවල මැද්දේගෙදර අත්තනායක මුදියන්සේලාගේ කළුබංඩා මගේ ලොකු අත්තාය.
අත්තම්මා පෝය හතරටම සිල් ගත් උපාසිකාවකි. ඇය පිළිහුඩුවක් කට නොතැබූ නිර්මාංශ අයෙකි. ගෙදර බුදු මැදුරක් සාදාගෙන දවසේ තුන් වේලෙහිම පිළිම වහන්සේට දන් පැන් ගිලන් පස පූජා කළ අයෙකි. දිනපතා උයන සෑම වේලකින්ම හාල් මිටක් ළිප ලඟ තබාගෙන ඇති සෙම්බුවකට (කුඩා කළයක්) ‘අග්‍ර වූ කොටස’ බුදුන් වෙනුවෙන් කියා දමන්නීය. මෙවැනි ‘මිටිහාල් සෙම්බු’ ඉතා අලංකාර ලෙස පිළිවෙළට තබා තිබීම ඉතා සුන්දර දසුනකි. මෙය ගමේ සෑම ගැමි ගෙදරකම පවත්වාගෙන පැමිණි පුරුද්දකි.
නෙළන දා කුස්සිය පිරිමින්ට
ඒ වකවානුවේ ගෙදර සිටි පිරිමි ද ගැහැනුන් මෙන් ම ආහාර පිසීමට දක්ෂයෝ වූහ. බොහෝ ගෙවිලියන් මස් මාළු පිසීමට රුචි වූයේ නැත. මැදවල ගමේ නම් බොහෝ කාන්තාවෝ නිර්මාංශ වූහ. කඩපිලකට ගොස් මස් මාළු මිලදී ගැනීමවත් නොකළහ. එබැවින් තමාට හා දරුවන්ට අවශ්‍ය මස්, මාළු පිළියෙල කළේ පිරිමින් විසිනි. ගොවිතැනේදී කාන්තාවන්ගේ කාර්ය භාර්ය වූ කුඹුරේ වල් නෙළීම, ගොයම් පැළ සිටුවීම කරන කාලයේ කුස්සිය භාර වූයේ පුරුෂ පක්ෂයටය.
ගැහැනු හෝ පිරිමි කුඹුරේ වැඩ කරන විට ජැන්ඩියට ඇඳගෙන බලාගෙන සිටින්නෝ එකල ගැමියන්ගේ අවඥාවට ලක් වූහ. වහරේ එන එවැනි එක් කතාවක් කුඩා කලදී අත්තම්මා මට කීවා මතකය. කුඹුරේ වල් නෙළමින් සිටි කණ්ඩායමක් දෙස කුඹුර අයිතිකාර වලව්වේ මැණිකේ ජැන්ඩියට ඇඳගෙන නියර පිට සිටගෙන බලා සිටියාය. ගොයමේ වල් නෙළමින් සිටි කටකාර තරුණියක් නෙළුෑ මිටෙහි මඩ මැණිකේ දෙසට ගසා දැමුවාය. මඩ දිය මැණිකේගේ ඔසරියේ වැදුණි. මැණිකේ කෝපයෙන් දිලිසෙමින් තරුණිය දෙස බලා දත්මිටි කෑවාය. එවිටම අර තරුණිය ඉතා මිහිරි හඬින් මේ කවිය ගයා තිබිණි.
ඈත සිටන් ආවෙමු අපි නෙළුමකට
මැණිකේ ඇවිත් සිටගත්තයි නියරෙ පිට
වතුර පොදක් වැටුණයි නෙරී කැරැල්ලට
මැණිකේ ඉතින් යනවාකෝ වලව්වට
මැණිකේ කෝපය සඟවාගෙන වලව්වට ගියාය. මිනිසුන් විරෝධය ප්‍රකාශ කළේත්, වැඩ කළේත්, කලාකෘතියක් රස විඳිනවාක් බඳු ප්රීතියකිනි. ජීවිතයේ සහජීවනය තිබිණි.
අත්තම්මා ජීවත් වූණේ ‘හතර ඈඳපු ගෙදර’ යන නමින් හැඳින්වූ ගෙදරය. ඒ කාලයේ මැදවල සහ අවට ගම් හැම එකක්ම වාගේ එලෙස සෑදු ගෙවල් විය. මැද මිදුලක් සහිත ‘හතර ඈඳපු ගෙදර’ වටේට ම වහලකින් යුක්ත වු කාමර රාශියක් ඇති නිවාස සංකීර්ණයක් බඳුය. මෙවැනි නිවාසයක පවුල් දෙකක් හෝ තුනක් ජීවත් විම එකල සිරිතක් විය. මැද මිදුලට හා එළියේ මිදුලට වැහි වතුර ගලා යන සේ හතර පැත්තටම බාන ලද වහලවල් හතරකි. හතර ඈඳූ ගෙවල් යැයි මේ ගෙවල්වලට කියන්නේ ඒ නිසාය. ගෙවත්තේ ඇති දෙල් කොස් පුවක් ආදි ගස්වල අස්වැන්න නිවැසියෝ පොදුවේ භූක්ති වින්දහ. එහෙත් පොල් ගස් සහ කිතුල් ගස් එකිනෙකා වෙන් කරගෙන තිබිණි.
ඒ කාලයේ මගේ වයස අවුරුදු 07ක් පමණ වන්නට ඇත. වී කොටන මඩුවට මුහුණට මුහුණලා ඇති නිවාස දෙකේ අපේ අත්තම්මාත් ඇයගේ නෑනා හෙවත් අත්තාගේ එකම නැඟණියත් ජීවත් වූහ. අප උන්දෑට කීවේ පහළගේ ආත්තම්මා කියාය. පහළගේ අත්තම්මාට අයිති පොල් ගසක ගෙඩියක් ගසෙන් වැටී තිබුණේය. මම එය අහුලාගෙන දෑතින්ම පපුවට සිරකරගෙන ගෙට ගෙන ආවෙමි.
මෙය දුටු අත්තම්මා හොඳටෝම කිපුණාය. “කොහෙන්ද ඕක ඇහිලුවේ.” ඇය දත් මිටිකමින් මගෙන් ඇසුවාය. මම බියපත්ව පොල්ගෙඩි ඇහිලූ ගස ඇයට පෙන්නුවෙමි. මා බියගෙන සිටි බව දුටු ඇය ඉතා ආදරයෙන් මට කතා කළාය. පිලේ ඉඳගෙන ඔඩොක්කුවට ගත්තාය.
“උදේ බුදුන් ඉස්සරහ වැඳලා අනුන්ගෙ දෙයක් ගන්නෙ නෑ කියලා පොරොන්දු වුණා නේද?. කවදාවත් අනුන්ගෙ දෙයක් ගන්න එපා.” හිස අතගාමින් කීවාය. එදා කී වචන ටික දැන් අවුරුදු 84 වූ මට අද වගේ මතකය. එදා සිට අද දක්වා මම කිසිම කෙනෙක් මාහට නුදුන් කිසිම දෙයක් නොගත්තෙමි. කිසිවකුගේ හෝ ශ්‍රමය සොරා නොගත්තෙමි. ගුරුවරියක වශයෙන් පුරා අවුරුදු හතළියෙන් මැදවල හා අවට ගම්වල පාසල් කිපයකම සේවය කළ මම කිසිදිනක ශිෂ්‍යයන්ගේ කාලය සොරා නොගත්තෙමි. මගේ අත්තම්මා මට ‘අදින්නා දානා’ සිල්පදය සමාදන් කරවු දා සිට මම එය පණසේ රැක්කෙමි.
ඒ කාලයේ අපේ ගම්වල සෑම ගෙදරකම සමන් පිච්ච, ගැට පිච්ච, ඉද්ද වැනි සුදු මල් පිපෙන ගස් වවා තිබුණි. ඊට අමතරව දහස් පෙතියා, කපුරු, ආදිය පාත්ති වශයෙන් මිදුල පුරා වවා තිබුණි. ගෙදර දරුවෝ දෙමාපියන්ගේ උදව් උපකාර ඇතිව තම තමන් වෙන් වෙන් වශයෙන් වතුර පොහොර යොදා මේ මල් පාත්ති නඩත්තු කළහ. පෝයදාට පන්සල් යන විට තමනන්ට පුජා කරන්න මල් වට්ටියකුත් පන්සලේ හමුදුරුවන්ට පූජා කරන්නට මල් වට්ටියකුත් රැගෙන යාම සිරිත විය. මල් කැඩුවේ තම තමන්ගේ වත්තේ තම තමන් කැපවීමෙන් නඩත්තු කළ මල් පාත්තිවලිනි.
ගැමි දරුවන් ශික්ෂණය කිරීමට එකල අපූරු සාහිත්‍යයක් විය. විශේෂයෙන්ම ගැහැනු දරුවන් නිසි මඟ ගැන්වීම සඳහා මේ උපදේශාත්මක කතන්දර වැදගත් විය. ඇය මට යමක් තේරෙන අවධියේ දී මහසෝනා ගැන කියා දුන්නාය. එදා ඒ කතා කියමින් ගැමි දැරියන් වූ අපේ චර්යාවන් හැඩ ගැස්වූ ආකාරය තාම සිහියට නැගේ.
සිරික්කිය තහනම්
“ගෑනු ළමයි රෝස මල් වගේ. ලොකු මහත් වී වැඩෙනකොට මහසෝනා හතර වටෙන්ම එබිකම් පානවා. උසුළු විසුළු කරනවා. මෝඩ කෙල්ලෝ ඌට අහුවෙනවා. එතකොට ඌ ආවේස වෙනවා. බලි තොවිල් කියලා දේවාලේ කපුවෝ මායම් වෙනවා වගේ මායම් කරලා තමයි මහසෝනා එළවන්න වෙන්නේ. තොවිලේ කරන කොට මුළු ගමම එනවා බලන්න. ඉතින් ඒ කෙල්ල සනිප වුණත් අම්මාට අප්පට නෑයින්ට වස ලැජ්ජාවයි. ඒ හින්දා උඹලා පරිස්සම් වෙන්න ඕනෑ. ඉහ සෝදා නාලා පුසුඹ සබන් ගාලා සැන් පියරු දාලා කොණ්ඬේ කඩාගෙන කරදෑලේ දාගෙන ‘සිරික්කිය’ දාගෙන තනි පංගලමේ යන්ට එපා. මහසෝනා පිටිපස්සෙන් එනවා. හන්දි ගානෙ හැඩ වැඩ වෙලා පාරේ යන කෙල්ලෝ දිහා බලා ඉන්නවා. ඒ කරලා එයින් කෙල්ලක් අල්ලා ගන්නවා. උඹලා පාරේ යනකොට වටපිට නොබලා කෙළින් බලාගෙන ගාටන්නේ නැතිව ඉක්මනින් යන දිහාවකට යන්ට ඕනෑ. වැඩිහිටියෙක් නැතිව තනි පංගලාම් යන්නේ එහෙම නෑ. එහෙම යනකොට සමහර විට විසිල් ගහනවා ඇහෙන්න පුළුවන්. සූ සද්ද ඇහෙන්න පුළුවන්. අත්පුඩි ගහනවා ඇහෙන්න පුළුවන්. හැබැයි උඹලා කවුරුත් ඔළුව හරවලා ආපහු බලන්ට එපා. එහෙම බැලූවොත් මහසෝනා වැහෙනවා. ගැලවීමක් නෑ. මහසෝනාගේ ඔළුව තියෙන්නේ මුහුණේ පිටපැත්තට හැරිලා. ඌට තියෙන්නේ වලහගේ මූණක්. උඹලාගේ ඔළුව හරවලා පිටිපස්ස හැරිලා බැලූවොත් ඌ වැහෙනවා. ඉස්සරහ බලාගෙන තමාගේ පාඩුවේ යන අයට උගෙන් කරදරයක් නෑ.” අත්තම්මා කී මහසෝනා කවරෙක්දැයි අපට අවබෝධ වුණේ වයසින් බොහෝ සේ මේරූ පසුය.
අපේ ගමේ හැම පවුලකටම එදා අක්කරයක් දෙකක් පමණ වූ ගෙවත්තක් තිබිණි. එහි පුවක්, පොල්, සාදික්කා, කරාබු, කිතුල්, කරුඳු, එනසාල්, පළතුරු වර්ග අල, බතල, කොස්, දෙල් වැනි ආහාර බෝග වවා තිබුණි. සෑම ගම්වැසියකුටම අඩුම තරමින් පෑලකවත් කුඹුරක් තිබුණේය. ගම ස්වයංපෝෂිත තැනක් විය. පුත්තලමෙන් ලුණු ගෙනාවේය. එපමණය.
කුස්සි ළිපේ නොනිවෙන ගින්දර
‘ඉංග්‍රීසි නානා’ නම් වූ මුස්ලිම් වෙළෙන්දකු රෙදි පොට්ටනියක් හිසේ තබාගෙන අවුරුද්දට දෙවරක් පමණ ගමේ ඇවිද්දේය. ගැමියෝ ඔහුගෙන් රෙදි පිළිගත්හ. තොරොම්බෝල්කාරයා පෙට්ටියක මාල, වළලු කූරූ, කරාබු, සැන්ට්, පවුඩර් ආදි විසිතුරු බඩු රැගෙන ගමට ආවේය. ගමට ගිනි පෙට්ටිවල ඒතරම් අවශ්‍යතාවක් තිබුණේ නැත. කඩ කෑම නැති නිසා ගෙදර කුස්සියේ ළිප නිතරම පත්තුවුණේය. දර වල අඩුපාඩුවක් නොවීය. ගෙදරම වී කොටන නිසා දහයියා යහමින් තිබිණි. කෑම උයා පිහා අවසාන වූ විට දර අඟුරු මතට දහයියා දැම්මේය. ඒ නිසා උදේටත් ගින්දර ළිපේ ඉතිරි වී තිබේ.
සාදික්කා, කරාබු, පුවක් විකිණීමට නුවර බලායන පිරිමි ඇත්තෝ එසේ ගොස් එන විට රෙදිපිළිවලට අමතරව නොවරදවාම හොඳ ලොකු කරවල කූරියකු ගෙනාහ. කරවල කූරියා කොළපතක ඔතා දුමේ එල්ලා තැබුවේය. කරවල කූරියා දිය බේරෙන්නේ නැතිව හොඳින් ආරක්ෂා වී සෑහෙන දවසක් තබා ගැනීමට හැකි විය.
සෑම ගෙවත්තකම කිතුල් ගස් දෙක තුනක් විය. ඒ කිතුල් ගස් බැඳ තෙලිජ්ජ ලබා ගැනීමට දක්ෂ අයත් බොහෝ දෙනෙක් ගමේ වූහ. ගස අයිතිකරුට එක දවසක මුරයත් මල කපන අයට ඊළඟ දවසේ මුරයත් යනුවෙන් මාරුවෙන් මාරුවට තෙලිජ්ජ බෙදා ගනු ලැබේ. ඉන් පැණි හා කිතුල් හකුරු දෙවර්ගයම සාදා ගන්නා ලදී. සීනි භාවිතයක් තිබුණේම නැති තරම්ය.
පන්සලෙන් ලද ශික්ෂණය
ගොවි කර්මාන්තය, කුඹල් කර්මාන්තය, රන් රිදී මැණික් අවි ආයුධ කර්මාන්තය වගේම මල් කැපීමේ කර්මාන්තයත් ඉතිහාසය පුරා රටේ ප්රමුඛව පැවතුණේය. රා බොන සුරාධූර්ථයන් පිළිබඳ කතා සද්ධර්ම රත්නාවලිය වැනි බණපොත්වල අනන්තවත් විය. රා ඩිංගක් කටේ ගා ගත් උදවිය එකල ගම්වල වූහ. එහෙත් රා බී කලහ කරමින් අවලං හැසිරීමේ යෙදුණෝ නොවූහ. එළිපිට උත්සවාකාරයෙන් සුරා පානය ගම්වල සිරිත නොවීය.
එදා අපේ ගම්වල මිනිස්සු අද ප්රශස්ත යැයි කියනු ලබන අධ්‍යාපන මිමිවලට අනුව නූගත්තුය. සාක්ෂරතාව නැත්තෝය. පාසලකට පය නොතැබූ බොහෝ දෙනෙක් ගම්වල වූහ. එහෙත් මනුෂ්‍යයන් පිළිබඳ ගෞරවයක්, සමාජය සම්බන්ධව වගකීමක්, පන්සලෙන් ලද ශික්ෂණයක් සහිතව පිරිපුන් සංස්කෘතික මිනිස්සු ලෙස ඔවුහු ජීවත් වූහ. අපේ අධ්‍යාපනයෙන් අතහැරී අත්තේ ඒ විශිෂ්ට සංස්කෘතික හැඩගැස්මය.