
* පටන් ගත්තේ තාරා ජෝඩු දෙකෙන්
* උපදෙස් ගත්තෙ මැලේසියාවෙන්
මිනිසුන්ගේ දෛවය විසඳෙන්නේ හරිම පුදුමාකාර අන්දමටය. එකකින් බැට කා මුළු ජීවිතයම කඩාගෙන වැටුණත් යළිත් කොතැනකින් හෝ නැඟී සිටීමට අවස්ථාව සැලසෙයි. දෛවය යනුවෙන් විස්තර වන්නේද මෙයම විය හැකිය.
යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රම් ස්ටාලිනී ගේ ජීවිත කතාව දෙස බලන විටද ඉරණමේ සමච්චලයන් හා දෛවයේ සරදම් පිළිබඳ අපට බොහෝ දේ සිතා ගත හැකි වෙයි.
යුද්ධය ස්ටාලිනීගේ ඉරණම වෙනස් කළේ ඇයගේ ජීවිතය අඳුරු දසාවකට ඇද දමමිනි.
“අපි පදිංචි වෙලා හිටියේ යාපනයේ කොකුවිල් කියන ගමෙයි. තාත්තා රස්සාවට කළේ වතු වගා කරන එකයි. එළවළු පලතුරු ලූනු මිරිස් කියන හැම දේම වගා කළා. මිදි වගාවකුත් තිබුණා ඒ කාලේ මට මතකයි.
පවුලේ අපි ළමයි දෙන්නයි මමයි අක්කයි විතරයි. අපි දෙන්නම ගෑනු ළමයි නිසා තාත්තා අපිට ගොඩාක් ආදරෙන් අපිව බලා ගත්තා.
මේ පළාතට යුද්දේ එන්න පටන් ගත්තට පස්සේ අපේ තාත්තගේ ආදායම අඩු වුණා. පිට වෙළෙන්දෝ අපේ ගම්මානවලට එන්නේ නැතුව ඇරියා. මේ එක්කම කාලතුවක්කු වෙඩි ඇහෙනකොට මෝටාර් උණ්ඩ පුපුරණ කොට අපිට බයේ එහෙ මෙහෙ දුවන්න වුණා. සමහර දාට අපි රෑ ගත කළේ වෙනත් ගෙවල්වල. පහුවදා උදේටයි එන්නේ. මට එතකොට වයස අවුරුදු එකොළහයි. මට මතකයි කාලතුවක්කු වෙඩි සද්දේ..මෝටාර් සද්දේ..අක්කයි මමයි එව්වා ඇහෙනකොට කන් වල ඇඟිලි ගහ ගන්නවා. සද්දේ වැඩියෙන් එක දිගටම ළඟ ළඟ ඇහෙනකොට තාත්තා අපිව ළඟ ගෙදරක බංකරේකට එක්කන් යනවා. අපි ඒකේ තමයි හැංගිලා හිටියේ.
ඒ වෙනකොට අක්කා තරුණයි. තාත්තා නිතරම බයෙන් හිටියේ අක්කවත් කොටි සංවිධානෙට අරන් යයි කියලා. එක දවසක් තාත්තා මොනව හරි දෙකට බය වෙලා ගෙදර ඇවිත් කිව්වා අපි මෙහෙන් යන්න ඕනේ මම හෙට වවුනියාවට ගිහින් ඉන්න තැනක් බලලා එන්නම් කියලා. එහෙම තමයි අපි වවුනියාවට ගියේ. මම ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඒත් හොඳට ඉගෙන ගන්න බෑ. වවුනියාවේ ඉස්කෝලවල කියලා දුන්න දේවල් අපිට තේරුණේ නෑ එහෙ ගොඩාක් උගන්වලා තිබ්බ නිසා.
කොහොම හරි යුද්දේ ඉවර වෙලා අවුරුද්දකට පස්සේ තමයි අපි ආපහු යාපනේට ආවේ. මට ගොඩාක් දුරට ඉගෙන ගන්න බැරි වුණා. ඒක නිසා මට කිසිම රස්සාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ දන්න කෙනෙක් කිව්වා කොළඹ ගාමන්ට් එකකට යනවා මටත් එන්න කියලා. මමත් ගියා. එතන වැඩ කළා. ඒත් ඒ රස්සාව අපිට කරන්න අමාරුයි. එතන මාස නවයක්ම වැඩ කළා. පඩියක් කියලා දෙයක් ලැබුණ නිසා සතුටක් දැනුණා.
ඒ ගාමන්ට් එකේ වැඩ කළ කාලෙ මට යෙහෙළියක් හම්බ වුණා. එයා දෙමළ. හරීම කරුණාවන්තයි. එයාගේ ගම කොළඹ. අපිට සිද්ද වුණු දේ අහලා එයා ගොඩාක් දුක් වුණා. ඔහොම ඉන්නකොට තමයි මට එයත් එක්ක මැලේසියාවට යන්න අවස්ථාවක් ලැබුණේ.
හැමතැනම එක එක එව්වා බල බලා ඇවිදින අතරේ එක දවසක් අපි ගියා ලස්සනම ලස්සන තාරාවෝ ඉන්න ගොවිපළකට. එතැන මට ගොඩාක් ආසා හිතුණු තැනක් වුණා. හැබැයි ඒ ආශාව ඇතිවුණේ මම සත්තුන්ට ආදරේ නිසයි. ලස්සන ලස්සන තාරාවෝ දකින කොට ආශාව වැඩි වුණා. මම දවස් කීපයක්ම එතනට මගෙ යාළුවත් එක්ක ගියා.
මට ඉංග්‍රීසී බැහැ. එයාලටත් ඉංග්‍රීසි හොඳට බැහැ. මගෙ යාළුවා දන්න ඉංග්‍රීසි ටිකෙන් එතන ඉන්න කෙනෙක් සමඟ හිතවත් වුණා. ලංකාවට ආවාට පස්සේ මම ඒ මැලේසියාවේ තරුණියට ඉඳලා හිටලා ගුඩ් මෝනින් වගේ පින්තූර දැම්මා. භාෂාව බැරි නිසා කතා කරන්න වෙන වැඩි විස්තර ලියන්න අමාරුයි. ඒත් හිතවත්කම දිගටම තියා ගත්තා.
කොහොම හරි ගාමන්ට් රස්සාව කරන්න බැරි නිසා මම ඒක දාල ආවා. ගමට වෙලා නිකන්ම හිටියා. ඔහොම ඉන්නකොට මට මැලේසියාවේ තාරා ගොවිපළ මතක් වුණා. මටත් හිතුණා ආශාවට තාරාවෝ හදන්න.''
මිනිසුන්ට යම් යම් අදහස් පහල වන්නේද යම් යම් කාලවලට අනුවය. මේ කතා කරන ස්ටාලිනීට තාරාවන් සැදීමට ආශාවක් පහල වීමේ කතාවත් සමගම ඇගේ මුළු ජීවිතයම වෙනස් වී තිබේ.
ඇය දැන් යාපනයේ සිටින කෝටිපති තරුණියකි. නමුත් ඇය ඒ බව කීමට දක්වන්නේ විශාල මැළිකමකි. ස්ටාලිනීගේ මුළු ජීවිතයම වෙනස් වීමට හේතු වූයේ තාරා ජෝඩු දෙකකි. එසේ නමුත් තාරාවන් ඇති දැඩි කිරීමේ ශාස්ත්‍රය ගැන කිසිවක් කතා කිරීමට ඇය කැමති නැත. ඇය කීයක් හෝ හරි හම්බ කරගන්නා තැනට තවත් අයෙකු ඒ කතාව අසා පැමිණියහොත් ස්ටාලිනීගේ බඩ ගෝස්තරයට වදින බව ඇය දන්නවා විය හැකිය. නිසාම ඇය තාරා ගොවිපළ හා ඒ සත්තු පාලනය ගැන වැඩි යමක් කීමට කැමති නැත. එමෙන්ම තාරා ගොවිපළට කිසිවකු රැගෙන යෑමට ද ඇය අකැමැතිය. ඡායාරූප ගැනීමටත් තාරාවන් තෝරා ගැනීමටත් ඇගේ ගොවිපළ ඉදිරි පස ඇති කූඩු කීපයක තාරාවෝ හා පැටවු රඳවා සිටිති.
තාරා පැටවුන් මිලට ගැනීමට පැමිණෙන අයට සාම්පල් තාරාවන් පෙන්වන්නේ මෙතැනදීය. තාරවන් වර්ගය හා ඔවුන්ගේ තෝම්බුවද ඔවුන්ගේ සෙල්ලම්ද ස්ටාලිනී අමුත්තන්ට පෙන්වන්නේ මෙතැනදීය.
ඇගේ මේ ස්ථානයට එන පොඩිත්තන් විවිධ වර්ගයේ තාරාවන් සමඟ සිට ඡායාරූප ගැනීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. ඒ සඳහා ස්ටාලිනී කිසියම් මුදලක් අය කරන්නීය.
“මේ සත්තුන්ට කන්න බොන්න දෙන්නත් ලොකු වියදමක් යනවනේ. මං ඒකවත් මෙහෙම හරි පිරිමහ ගන්න එපායැ” ඇය පවසන්නේ එවැන්නකි.
ස්ටාලිනීගේ ගොවිපොළ තාරා බිත්තරවලට ද ප්‍රසිද්ධය. තාරා බිත්තර මිලට ගැනීමටද ස්ටාලිනීගේ ගොවිපළ වෙත බොහෝ පිරිසක් පැමිණෙති.
තාරාවන් ජෝඩු දෙකකින් මෙතරම් දුරක් පැමිණි ස්ටාලිනී ඒ කතාව පැවසීමට මැළි නොවන්නීය.
“මම දවසක් ගමේ දන්න කෙනෙකුට කිව්වා මම තාරාවෝ හදන්න ආසයි මට කොහෙන් හරි තාරාවෝ ජෝඩුවක් හොයලා දෙන්න කියලා. ඒයා ගත් කටටම කිව්වේ මෙහෙ කොහෙන්ද? තාරාවෝ හොයන්නේ” කියලයි.
දවසක් එයා ඇවිත් කිව්වා තැනක තාරාවෝ ඉන්නවා ජෝඩුවක් රුපියල් හත්සීයයි කියලා. මම එයාට කියලා තාරාවෝ ජෝඩු දෙකක් ගෙන්න ගත්තා. ඒත් හදන්න දන්නේ නෑ. මම අර මැලේසියාවේ කෙනාට ලිව්වා. එයා ලියන දේ මෙහෙ යාළුවෙකුට කියලා අහගෙන ඒ විදිහට තාරාවෝ හදන්න ගත්තා.
තාරාවන්ගේ වැඩේ හරි ගියත් මට ඉංග්‍රීසි බෑ කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. මම දන්න පල්ලියකින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මම ඉගෙන ගත්තේ මට භාවිත කරන්න අවශ්‍යම ඉංග්‍රීසි ටික විතරයි. කොහොම කොහොම හරි මම තාරා ගොවිපළ ගොඩ නඟා ගත්තේ එහෙම තමයි.
මම දැන් තාරා පැටව් විකුණනවා. තාරා බිත්තර විකුණනවා. මුලින්ම යාපනේ කට්ටිය තාරා බිත්තර ගත්තෙත් නෑ. බයට ඒවා කෑවෙත් නෑ.
මම මැලේසියාවෙන් විස්තර ඇහුවම එයාලා කිව්වේ ප්‍රදර්ශනයක් කරලා ජනතාව දැනුවත් කරන්න කියලයි. වැඩේ හරියටම හරි ගියා මම හෙමින් හෙමින් දියුණු වුණා. තවත් ඉදිරියට මේක දියුණු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.
දැන් මිනිස්සු මෙතෙන්ට අලුතෙන් තාරා පැටව් මිලට ගන්න එනවා.තාරා බිත්තර ගන්න එනවා පුංචි අය ඡායාරූප ගන්න එනවා.කට්ටිය කියන්නේ තාරා ෆාම් එක කියලා. ඇත්තටම මම මෙතෙන්ට තවම නමක් දාලත් නෑ. නමක් ඕනෙත් නෑ කියලා හිතෙනවා.”
රසුල දිල්හාර ගමගේ