මගේ දියු­ණු­වට කෙටි මාර්ග නෑ | Page 2 | සිළුමිණ

මගේ දියු­ණු­වට කෙටි මාර්ග නෑ

ලොස් ඇන්ජලිස් නුවර අවුකන පිළිම අනුරුවක් හදන්න වැඩකරනවා

* ඒ කාලෙ නායකයන්ගෙ හිඟයක් තිබුණා
* ලොස් ඇන්ජලීස්වල ශ්‍රීලාංකික එකමුතුකම 
* අපේ රටේ දරුවන්ට උදව් උපකාර

දැවැන්ත හොලි­වුඩ් නාම පුව­රුව බට­හිර දෙසින් වැටුණු හිරු රැසින් දිලි­සෙ­මින් තිබිණි. අහස සූරන දැවැන්ත ගොඩ­නැ­ගිලි පිරුණු ජනා­කීර්ණ ලොස් ඇන්ජ­ලීස් නග­රයේ ‘විල්ෂය බුල්වාඩ්’ නම් ප්‍රධාන වීදිය දිගේ ඇවි­දි­මින් සිටින සවස් වරු­වක මගේ දෑස් එක් ගොඩ­නැ­ගි­ල්ලක් අභි­යස නතර විය. එහි 11 වන මහලේ පියස්ස මත වූ උද්‍යා­නයේ අමෙ­රි­කානු ධජ­යට යටින් ශ්‍රී ලාංකේය සිංහ ධජය ලෙළ­දෙනු දැකිය හැකි­විය. විදෙස් රටක අපේ ධජය දකි­න්නට ලැබීම නෑදෑ­යකු දැකී­මක් වැනිය. එහෙ­යින්ම මේ ගොඩ­නැ­ගිල්ල කාගේ­දැයි විම­සීමි. ලොස් ඇන්ජ­ලිස් පුර­ව­ර­යම දන්නා ශ්‍රී ලාංකේය ශල්‍ය වෛද්‍ය­ව­ර­යකු වූ වෝල්ටර් ජය­සිංහ මට මුලින්ම හමු­වන්නේ එහි­දීය. සැබ­වින්ම ඔහු පුදුම මිනි­සෙකි. නග­රය ඔහු හඳු­න්වන්නේ ඩොක්ටර් ජේ නමිනි. මේ ඔහු සමඟ කළ කතා­බ­හකි.

ඩොක්ටර් ජේ ලංකාවේ ඔබේ ගම් පළාත් සහ ළමා කාලය ගැන මතක් කර­මුද?

උපන් ගම ගම්පහ - ජාඇල. මගේ පියා වෛද්‍ය­ව­ර­යෙක්. මම ඉප­දුණේ 1937 දී. මට වයස අවු­රුදු 7 ක් වෙද්දී මගේ පියා මිය­ගියා. ඊට පස්සේ මගේ වැඩි­ම­හලු සොයු­රිය මාව බාර ගත්තා. අක්කලා පදිං­චිව සිටියේ කොළඹ නිසා එතෙක් දි මැසි­නොද් විද්‍යා­ල­යට ගිය මාව කොළඹ ශාන්ත පීතර විද්‍යා­ල­යට ඇතු­ළු­කළා. ටික කලක් යන­කොට මගේ සොයු­රි­යගේ සැමියා සූදු­වට ඇබ්බැහි වීම නිසා අය­සට පත් වුණා. අපි ආයෙත් ගම්පහ අස්ගි­රියේ පදිං­චි­යට ආවා. ගෙදර සිට පයින් ගම්පහ දුම්රි­ය­පො­ළට ඇවිත් එතැ­නින් කෝච්චියේ මර­දා­න­ටත් තවත් දුම්රි­ය­කින් බම්බ­ල­පි­ටි­යත් ආවා. ගමන් අප­හ­සුව නිසා කොළඹ ආන­න්ද­යට ඇතුළු වුණා. මර­දානේ සිට ආන­න්ද­යට සත 5හේ ටිකට් එකක් අරන් ට්‍රෑම් රථ­යෙන් ගියා.

ඔබ පාසල් යන කාලයේ දක්ෂ ශිෂ්‍ය­යෙක්ද?

හුඟාක්ම දක්ෂයි කියන්න බැහැ. පළමු දහ­දෙනා අතර නිත­රම හිටියා. කොහොම හරි මුල්ව­රම කොළඹ සර­ස­වියේ වෛද්‍ය විද්‍යා­ල­යට ඇතුළු වුණා. ඒ කාලයේ තමා බණ්ඩා­ර­නා­යක ඝාත­නය සිදු වුණේ. එතු­මාගේ තැන ගැනී­මට කිසි­වෙක් හිටියේ නෑ. අපේ රටේ නාය­ක­යන්ගේ හිඟ­යක් මම දැක්කා. මට දේශ­පා­ල­නය කරන්න ඕනෑ කියා හිතුණා. මම වෛද්‍ය ශිෂ්‍ය සංග­මයේ සභා­පති වුණා .

කොහො­මද ඇමෙ­රි­කා­වට එන්නෙ?

ඒ කාලයේ ඇමැ­ති­ව­ර­යකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩා­ර­නා­යක මහතා වෛද්‍ය වෘත්තීය පිළි­බඳ නීති ගෙනාවා. මම ඒවාට විරු­ද්ධව වර්ජන දියත් කළා. ආණ්ඩුව මා සමඟ තරහ වෙලා හිටියෙ. ඔය අතර වෛද්‍ය ශිෂ්‍ය සංග­මයේ සභා­පති ලෙස ජාත්‍ය­න්තර සමු­ළු­ව­කට ඇමෙ­රි­කාවේ බොස්ටන් නග­ර­යට එන්නට අව­ස්ථා­වක් ලැබුණා.

ඒකා­ධි­පති පාල­න­යක් යටතේ වෛද්‍ය­ව­ර­යකු වෙන­වට වඩා නිද­හස් රටක කම්ක­රු­වකු වෙන එක හොඳයි කියල මං මෙහෙ නතර වුණා! ඒ ආපු ගමන තමා මේ.

එත­කොට වෛද්‍ය­ව­ර­ය­කු­ වීමේ සිහි­න­යට මොකද වෙන්නෙ?

වෛද්‍ය විද්‍යා­ලයේ අව­සාන වසරේ විභා­ගය නොකර මම ආවේ. මෙහෙ අවු­රුදු 5 ක් හිටිය. පස්සෙ මම යැවූ අභි­යා­ච­නය අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා­ලයේ අව­සාන විභා­ගය කරන්න මට අව­ස්ථාව දුන්නා. මම ගිහින් නැවත පාඩම් කරල අව­සාන විභා­ගය සමත් වෙලා වෛද්‍ය­ව­ර­යෙක් වුණා. පසුව දෙහි­වල මෙඩි­කල් සෙන්ටර් කියල ආය­ත­න­යක් පටන් අරන් වැඩ­කළා. ආයෙත් දේශ­පා­ල­න­යට ඇතුළු වෙන්න හිත­න­කොට 71 දී රටේ කැරලි පටන් ගත්තා. මම ආපසු ඇමෙ­රි­කා­වට එන්න හිතු­වත් අතේ සල්ලි තිබුණේ නෑ. ඒ නිසා ලන්ඩ­න­යට ගිහිල්ල වැඩ කරල සල්ලි ටිකක් හොයා­ගෙන ආපසු ඇමෙ­රි­කා­වට ආවා.

මෙහේ වෛද්‍ය­ව­ර­යකු වෙන්න විභා­ග­යක් කරන්න ඕනේ. ඒ විභා­ගය සමත් වෙලා නාරි­වේද විශේ­ෂ­ඥ­යකු ලෙස කට­යුතු කළා .

කොහො­මද ඔබ මේ තරම් සාර්ථක වුණේ. මොකද්ද රහස?

මම එකක් කියන්න ඕනේ. සාර්ථ­ක­ත්ව­යට කෙටි මාර්ග නෑ. මම මෙහාට ආව දවසෙ ඉඳල අවු­රුදු 44 ක් තිස්සේ සෙන­සු­රාදා ඉරි­දාත් සමග උදේ 4 ඉඳල රෑ 11 වෙන­කම් පැය 17ක් එක දිගට වැඩ කළා. දැන් අවු­රුදු 82 ක්. මම තව­මත් වැඩ කර­නවා. මොන දේ කළත් වෙහෙස මහ­න්සි­යෙන් වැඩ කිරීම තමයි සාර්ථ­ක­ත්ව­යට මඟ.

ඩොක්ටර් ජේ, ඔහුගේ මූලි­ක­ත්ව­යෙන් පව­ත්වා­ගෙන යනු ලබන ශ්‍රී ලංකා සංග­මය මගින් ලොස් ඇන්ජ­ලිස් ආස­න්නයේ පැස­දෙනා නග­රයේ ශ්‍රී ලාංකික සැණ­කෙ­ළි­යක් සහ පෙර­හ­රක් වාර්ෂි­කව සංවි­ධා­නය කරයි. දහස් ගණන් ලාංකි­කයෝ ඊට සහ­භාගී වෙති. ඒ පෙර­හරේ කෘත්‍රිම අලි ඇත්තු පවා ගමන් කරති. රටෙන් පිටත එවැනි දැවැන්ත විසි­තුරු පෙර­හ­රක් දැකී­මෙන් මම විස්ම­යට පත් වුණෙමි.

බොහෝ රට­වල පොදු කට­යුතු සඳහා ලාංකි­ක­යන් එකතු කර ගැනීම අප­හසු කලෙක ඔබ කොහො­මද මේ තරම් විශාල එක­මු­තු­වක් නිර්මා­ණය කළේ?

පිට­ර­ට­වල වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් බොහෝ දෙනා වෘත්තීය වශ­යෙන් කණ්ඩා­යම් වලට බෙදී සිටීම දැකිය හැකියි. උදා­හ­ර­ණ­යක් ලෙස වෛද්‍ය වෘත්ති­ක­යන් වෙනම එක­මුතු වෙද්දි කම්ක­රු­වන් වෙනම කණ්ඩා­ය­මක් ලෙස එකතු වෙනවා. පන්සල්වල බෞද්ධ­යන් එකතු වෙද්දි පල්ලි­වල කතෝ­ලි­ක­යන් රැස් වෙනවා. මේ කණ්ඩා­යම් අතර හමු­වී­මක් සිදු වන්නේ නැති­ත­රම්. මගේ ශ්‍රී ලංකා සංස්කෘ­තික සංවි­ධා­නයේ පෙර­හ­රට ලංකාවේ සිය­ලුම ප්‍රධාන පාස­ල්වල ආදි සිසුන් සඳහා පෙර­හරේ ගමන් කෙරෙන ප්‍රද­ර්ශන රථ­යක් නිර්මා­ණය කිරී­මට අව­ස්ථාව දී තිබෙ­නවා. එතැ­නදී ඔවුන් රැස්වන්නේ පාසල මුල් කර­ගෙන. එවිට වෛද්‍ය­වරු කම්ක­රුවො බෞද්ධ කතෝ­ලික ලිපි­කරු ව්‍යාපා­රික දුප්පත් පොහො­සත් කිසිදු භේද­ය­කින් තොරව පාසල් ධජය යටතේ එක­මුතු වෙනවා.

අපේ රට දියුණු කිරී­මට බාධක වශ­යෙන් ඔබට පෙනෙන ප්‍රධා­නම සාධ­කය කුමක්ද?

ක්‍රම­වත් අධ්‍යා­ප­න­යක් නැතිව කොහො­මද රටක් පාල­නය කරන්නෙ? ඇතැම් අය හොර මැර­ක­මින් කීයක් හරි හම්බ කරන් පාර්ලි­මේ­න්තු­වට යනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ජන්දය ඉල්ලීම සඳහා අවම අධ්‍යා­පන සුදු­සු­ක­මක් නම් කළ යුතුයි .

ඔබේ සමාජ සේවා කට­යුතු සහ බලා­පො­රොත්තු මොන­වද?

ලංකාවේ දරු­වන්ට සිංහල, දේශීය නැටුම් ගැයුම් හා කලාව උග­න්වන්න අපි වැඩ පිළි­වෙ­ළක් දියත් කරලා තියෙ­නව. අපේ ශ්‍රී ලංකා සංස්කෘ­තික සංග­මය මගින් ස්වාමී­න්ව­හ­න්සේට ඉංග්‍රීසි සහ පරි­ග­ණක අධ්‍යා­ප­නය නොමි­ලයේ ලබා දීමට අප කට­යුතු කර­නවා. ගුරු­ව­රුන්ට ගෙවී­මක් කර­නවා. ශ්‍රී ලාංකික සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­න­යක් පටන් ගන්නත් අද­හ­සක් තියෙ­නවා.

මගේ බලා­පො­රො­ත්තු­වක් තියෙ­නව ලොස් ඇන්ජ­ලිස් නග­රය මධ්‍යයේ ‘විල්ෂය බුල්වාඩ්’කියන ප්‍රධාන වීදියේ අඩි 32 ක් උස විශාල අවු­කන පිළි­මයේ ආකෘ­ති­යක් ඉදි කරන්න. එහි සැලැස්ම දැන­ට­මත් අප අනු­මත කර­වා­ගෙන තිබෙ­නවා. ලංකාව පිළි­බඳ යහ­පත් ආක­ල්ප­යක් ඇමෙ­රි­කා­නු­වන් අතර තහ­වුරු කිරීම මගේ බලා­පො­රො­ත්තු­වයි.

ඇමෙ­රි­කාව වගේ රටක මෙවැනි බෞද්ධ සල­කු­ණක් ප්‍රසිද්ධ ස්ථාන­යක ඉදි කරන්න අව­ස­රය ලබා ගැනීම පහසු කරු­ණක් කියල මට පෙනෙන්නෙ නෑ. කොහො­මද ඒක කළේ?

ඔව්. ඔවුන් මගෙන් ඇහුව ක්‍රිස්ති­යානි බහු­ත­ර­යක් ඉන්න මේ වගේ පළා­තක ඇයි මේ පිළි­මය ඉදි­ක­රන්නෙ කියල. මම කිව්ව මේක බෞද්ධ සල­කු­ණක් පම­ණක්ම නෙවෙයි. සංස්කෘ­තික කලා නිර්මා­ණ­යක් කියල. මෙහි නිර්මා­ණා­ත්මක ශිල්ප ක්‍රමවල වැද­ග­ත්කම මම ඔවුන්ට පෙන්නුව. පිළි­මයේ සිර­සෙන් විත් නාස් පුඩු­ව­ලින් බිමට වැටෙන වතුර බින්දු­වක් හරි­ය­ටම දෙපා මුලට වැටෙන හැටි මම පෙන්නුවා.

මෙය ලෝක උරු­ම­යක් නිසා එහි ආකෘ­ති­යක් ඉදි­කි­රී­මට අව­ස­රය ගත්තා.

කොහො­මද ඔබේ දු දරු­වන් පිළි­බඳ විස්තර?

මට පුතාල තිදෙ­නෙක් සහ දුවක් ඉන්නව. මගේ වැඩි­මල් පුතා මගේ ව්‍යාපා­රයේ මුල්‍ය පරි­පා­ලන කට­යුතු කර­නව. දෙවැනි පුතා මේ රටේ ප්‍රසිද්ධ ගාය­ක­යෙක්. තුන්වැන්නා සංස්කෘ­තික පද­නමේ ප්‍රධා­නියා. ඔහු­ගේම ව්‍යාපා­ර­ය­කුත් කර­නව. ඔවුන් සියලු දෙනාම බොහොම නිද­හස් අද­හස් දරන අය. හැමෝම ලංකා­වට ආද­රෙයි.

ලොස් ඇන්ජ­ලීස් නග­රය මධ්‍යයේ විශාල කාර්යාල සංකී­ර්ණ­යක් සහ වාහන අංග­න­යක් සහිත ඔහුගේ ගොඩ­නැ­ගිලි දෙකෙන් එකක තවත් අපූරු දර්ශ­න­යක් දැකිය හැකිය. එනම් ඉහළ පියස්සේ උද්‍යා­නයේ බෝ ගසක් රෝප­ණය කර තිබී­මයි . ඈත හොලි­වුඩ් කන්දත්, නග­ර­යත් පෙනෙන මානයේ සිංහ ධජ­යත්, බෝ ගස­කුත් දැකිය හැකි වීම ශ්‍රී ලාංකි­ක­යෙකු වශ­යෙන් ඔහුගේ දර්ශ­නය පැහැ­දි­ලිව පෙන්වයි .

නාරද විජ­ය­සූ­රිය

Comments