ගොවි දුක නිවූ කොළඹ හතේ වට්ටක්කා සැණ­කෙ­ළිය | Page 2 | සිළුමිණ

ගොවි දුක නිවූ කොළඹ හතේ වට්ටක්කා සැණ­කෙ­ළිය

වට්ටක්කා කියන්නේ පෝෂ්‍ය­දායී එළ­ව­ළු­වක් මේවා මහා පරි­මා­ණව වගා කෙරෙන්නේ කොළ­ඹින් ඈත දුෂ්කර පළා­ත්වල හේන්වල.

පසු­ගිය 22 වැනි දා කොළඹ හතේ වට්ටක්කා සැණ­කෙ­ළි­යක් පැවැ­ත්වෙන බව අපට දැන­ග­න්නට ලැබුණා. අපි මීට පෙර මේ වගේ දේවල් අහලා තිබුණේ විදෙස් රට­ව­ලින්. වට්ටක්කා තක්කාලි සැණ­කෙළි පැවැ­ත්වෙන ලොව රට­වල් කිහි­ප­යක්ම තිබෙ­නවා.

අපේ රටේ පසු­ගිය දා පැවැ­ත්වුණු මේ වට්ටක්කා සැණ­කෙ­ළි­යත් ජාත්‍ය­න්ත­ර­යට ගන්නට තරම් වටිනා එකක්. වෙසක්, පොසොන් නත්තල් සැණ­කෙළි කාලෙට කොලො­ම්පු­රය නෙක වර්ණ අලං­කාර විදුලි බුබු­ළු­ව­ලින්, තොර­ණ­ව­ලින් සර­සනවා වගේ පසු­ගිය සතියේ 22 දා කොළඹ නෙළුම් පොකුණ සමී­පයේ ග්‍රීන් පාත් මාවත ලස්ස­නට සර­සලා තිබුණා. වට්ටක්කා ගෙඩි­ව­ලින් විශාල තොර­ණ­කුත් හදලා තිබුණා. මේ උලෙළ නම් කරලා තිබුණේ වට්ටක්කා ගොවීන්ගේ සැණ­කෙ­ළිය (PUMPKIN Farmers Festival-2019) නමින්. එදින උදේ 9.00 සිට රෑ වනතුරු පැවැ­ත්වුණු මෙම වට්ටක්කා සැණ­කෙ­ළිය පව­ත්වන්න මුල් වුණේ සර්වෝ­දය ආය­ත­නයයි. ලංකාවේ ඈත දුෂ්කර පළා­ත්වල ගොවීන් වට්ටක්කා අස්වැන්න අලෙවි කර­ගන්න බැරුව අන්ත අස­රණ වුණු නිසා ඔවුන් දිවි ගෙව්වේ ඇඬු කඳුළින්. එවන් අව­ස්ථා­වක තමයි සර්වෝ­දය ඔවුන්ට අත­හිත දුන්නේ. ලොරි විශාල ප්‍රමා­ණ­ය­කින් ගෙනාව වට්ටක්කා ගෝනි ගණන් අලෙවි වුණා. කිලෝ 03 න් පමණ යුත් කුඩා වට්ටක්කා ගෙඩි­යක් රු. 50ක් කිලෝ 05 පමණ යුත් ලොකු වට්ටක්කා ගෙඩි­යක් රු. 100 ක් ලෙස තමයි මිල නියම වුණේ. සර්වෝ­දයේ තරුණ තරු­ණි­යන් කඩි­ස­රව වට්ටක්කා අලෙ­වියේ යෙදුණා. ඒ අත­රට දුර පළා­ත්වල වට්ටක්කා ගොවීන්ද තම ලොරි­ව­ලින් වට්ටක්කා ගෙනැ­විත් තිබුණා.

වට්ටක්කා ආශ්‍රි­තව පිළි­යෙල කරන ලද විවිධ කෑම බීම වර්ග රාශි­යක් රස බල­න්නට තිබී­මත් මෙම සැණ­කෙ­ළියේ විශේ­ෂ­ත්ව­යක්.

වට්ටක්කාවල ගුණ කිය­න්නට රජයේ ආයු­ර්වේද වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය එකතු වී සිටි අතර පාරි­භෝ­ගික ජන­තාව පින­ව­න්නට ගායන, වාදන රස­යද මුසු වීමෙන් සැණ­කෙ­ළියේ අසි­රිය තවත් වැඩි වුණා.

බො‍රැල්ලේ මාලනී කොඩි­තු­වක්කු (55) හා මොර­ටුවේ වාසනා පෙරේරා දෙදෙනා සාම්ප්‍ර­දා­යික ලෙසට වට්ටක්කා තම්බලා පොල් සම්බෝල හා ලුණු­මි­රිස් සමඟ නෙළුම් කොළේ අලෙවි කළා. නෙළුම් කොළයේ ලුණු­මි­රිස් හා පොල්ස­ම්බෝල සමඟ එකක් රු.60යි. අඩු විය­ද­ම­කින් වේලක් පිරි­ම­හ­ගන්න පුළු­වන්. පෝෂ්‍ය­දායි ආහාර වේලක්.

“අපි උදේ ඉඳලා වට්ටක්කා තම්බලා විකු­ණ­නවා. මෙත­නම තමයි කෑම හදන්නේ හුඟාක් අය මිලට ගත්තා. අපි සර්වෝ­දයේ වැඩ කරන්නේ. වට්ටක්කා අලෙවි කර­ගන්න බැරි ගොවීන්ට උද­ව්වක් වශ­යෙන් තමයි මේ කට­යුත්ත කරන්නේ” මාලනී මහ­ත්මිය පැව­සුවා.

බැද්ද­ගාන පාර පිට­කෝට්ටේ සුමනා දිසා­නා­යක (66) මහ­ත්මිය වට්ටක්කා වලින් කෑම වර්ග 3ක් ඉදි­රි­පත් කරලා තිබුණා. වැට­කොලු කෙන්දෙන් කරන නව නිර්මාණ සඳහා ඇයට පේටන්ට් බල­ප­ත්‍ර­ය­කුත් තිය­නවා. උදෑ­සන ආහා­රය සඳහා වට්ටක්කා පොල් බෝල වට්ටක්කා පුඩිම, වට්ටක්කා චට්නි, ගල්කිස්ස මහ හෝට­ලයේ ප්‍රධාන සුප­වේදී පබ්ලිස් සිල්වා මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් ගල්කිස්ස හෝට­ලය මගින් ඉදි­රි­පත් කෙරුණු කුටි­යෙන් තම්බන ලද වට්ට­ක්කා­ව­ලට අම­ත­රව වට්ටක්කා ජුස් (පාන­යක්) සක­ස්කර නොමිලේ බෙදා දුන්නා.

කොළඹ ප්‍රදේ­ශයේ පාසල් සිසුන් තිදෙ­නෙක් වට්ට­ක්කා­ව­ලින් රස­වත් කේක් පිළි­යෙල කර එම කේක් අලෙවි කර ලැබෙන මුද­ලින් දඹාන ආදි­වාසී දරු­වන්ට උප­ක­රණ ලබා­දී­මට කට­යුතු කර තිබුණා. කොළඹ රද­ගුරු විද්‍යා­ලයේ සනා­රාද සිල්වා (14), ශාන්ත තෝමස් විද්‍යා­ලයේ ලිවේන් ගනේ­ගම (12), රාජ­කීය විද්‍යා­ලයේ සචින්ද සිල්වා (8) යන සිසුන් තිදෙනා පාසල් නිවාඩු කාල­ව­ලදී මේ වගේ සමාජ සේවා කට­යු­තු­වල යෙදෙන බව සනා­රාගේ මව වන කිරු­ල­පන සදී­වාද සිල්වා මහ­ත්මිය පැව­සුවා.

වට්ටක්කා කේක් එක හදන්න කලින් වට්ටක්කා ගෙඩිය දෙකට කපලා මුණින් හර­වලා අවන් එකේ දාලා බේක් කර­ගන්න ඕනෑ පල්ප් එක ගන්න. බේක් කළ වට්ටක්කා බ්ලෙන්ඩර් කරලා සාමාන්‍ය කේක් මිශ්‍ර­ණ­ය­කට අවශ්‍ය දේ එකතු කරලා උඳුනේ පුලුස්සා ගන්න ඕනෑ. වට්ටක්කා කේක් කෑල්ලක් රු.50/- ගාණේ අලෙවි කළා. උණු කැවුම් වගේ වට්ටක්කා කේක් අලෙවි වුණු බවක් කිය­න්නම ඕන.

වට්ටක්කා වලින් තවත් රස­ව­ත්කෑම කිහි­ප­යක් අජිත් නාක­න්දල මහතා ප්‍රමුඛ පිරිස අලෙ­විය සඳහා හදලා තිබුණා.

වට්ටක්කා සුප්, වට්ටක්කා ඩෙවල්, වට්ටක්කා දෝසි, වට්ටක්කා චට්නි වගේ විවිධ කෑම බීම­ව­ලට හොඳ අලෙ­වි­ය­කුත් තිබුණා. විශේ­ෂ­යෙන් මස්, මාළු, අනු­භව නොක­රන අයට කදි­මයි. උදේ වරුවෙ ගෙඩි 1000 හැදුව වට්ටක්කා සුප් එක පැය ගණ­නින් ඉවර වුණේ එහි ඇති රසය නිසා­මයි. වට්ටක්කා ඩෙවල් එක අලෙවි කළේ රුපි­යල් සිය­ය­කට.

නිමල් ජය­සූ­රිය කෝකි මහතා වට්ටක්කා වලින් හරි අපූ­රු­වට විසි­තුරු කැට­යම් කපලා තිබුණා. මිනිස් රූප, මාළු. රෝස­මල්, ගිනි­ම­කරා, කාන්තා රූප, ටජ්ම­හල, කුරු­ල්ලන්, මල් වගේ අලං­කාර කැට­යම් වට්ටක්කා ගෙඩි­ව­ලින් කැට­යම් කපලා නිර්මා­ණය කරලා තිබුණා. ඕනෑම උත්ස­ව­යක කෑම මේසය සර­සන්න මේ නිර්මාණ කදි­මට ගැළ­පෙ­නවා.

ගමේදි අලෙ­වි­කර ගන්න බැරි වූ වට්ටක්කා ලොරි­යක් අරන් ආව නොච්චි­යා­ගම, තාරුක ධනං­ජය, රංග නිරෝ­ෂාන් රස­ඳු­නට මෙහෙම කිව්වා.

“මේ අවු­රුද්ද අපිට වට්ටක්කා අලෙවි කර­ගන්න බැරි වුණා. කිලෝ එක රු.7‍ට - 8ට තමයි ඉල්ලන්නේ. අඩු­ගාණේ වගා විය­ද­ම­වත් හොයා ගන්න බැරුව හිටියේ. සර්වෝ­දය අපට උදව් කරන්න ඉදි­රි­පත් වුණා. මේ වන විට කිලෝ 20 000 විතර අලෙවි වී අව­සන්. කොළඹ හුඟාක් අය වාහ­න­ව­ලින් ඇවිත් අපට උද­ව්වක් වශ­යෙන් වට්ටක්කා අරන් ගියා. වට්ටක්කා වගේම තමයි මේ කන්නෙදි බටු,මිරිස්, වැට­කොලු වැනි එළ­වළු ගමේදි විකුණ ගන්න බෑ. මිරිස් කිලෝ එකක් කඩන්න සේව­ක­ය­කුට රු.25 දෙනවා. එත­කොට ඉතිං ලාභ­යක් නෑ.”

වට්ටක්කා සැණ­කෙ­ළි­යට නොක­ඩවා වාහ­න­ව­ලින් පැමිණි අය වට්ටක්කා මිලදී ගත්තේ හරිම උන­න්දු­ව­කින් .

බත්ත­ර­මුල්ලේ ඉඳලා ආව සුගලා සේනා­නා­යක මෙහෙම කීවා.

“‍‍ෂෝෂල් මීඩි­යා­ව­ලින් තමයි දැන­ගන්න ලැබුණේ මේ ගැන මේක බල­න්න­මයි ආවේ. අපි දැන­ගෙන හිටියේ නෑ වට්ටක්කා ගොවීන්ට මේ වගේ කර­ද­ර­යක් වෙලා කියලා. මාකට් වලත් වට්ටක්කා අඩු­ක­රලා නෑනේ. අපි වට්ටක්කා මිලට ගත්තා. විවිධ කෑම වල රස බැලුවා. වට්ට­ක්කා­ව­ලින් මේ තරම් දේවල් කරන්න පුළු­වන් කියලා අපි දැන­ගෙන හිටියේ නෑ.”

බළ­න්ගොඩ ඉඳලා ආව සී. වික්ටර් මහතා මෙහෙම කීවා.

“මම කොළඹ මහ රෝහ­ලට ආව ගමන් ආවේ. වට්ටක්කා වලින් හදපු කෑම බීම රසයි. ගෙදර ගෙනි­යන්න වට්ටක්කා මිලට ගත්තා වට්ටක්කා ගොවීන්ට සහ­න­යක් වශ­යෙන් දියත් කරපු මේ වැඩ­ස­ට­හන හුඟක් හොඳයි”.

වට්ටක්කාවල ගුණ කිය­න්නට රජයේ ආයු­ර්වේද වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­ම­යත් පැමිණ සිටියා.

ආයු­ර්වේද වෛද්‍ය තාරක සමන්ත ශ්‍රී මහතා කට­හඬ අව­දි­කළා.

“අපි ආහා­ර­යට ගන්නා හුඟාක් එළ­වළු වර්ග වස විසෙන් පිරිලා. නමුත් වට්ටක්කා වලට තෙල් පෝර ගහන්නෙ නෑ. පෝෂ්‍ය­දායි ගුණය අතින් ඉහ­ළයි.

තම්බන ලද වට්ටක්කා අඩු කෝප්ප­යක් ආහා­ර­යට ගත්තාම විට­මින් A, E, C දෙගු­ණ­යක් ලැබෙ­නවා. මළ­බ­ද්ධය, දුරු­ක­රන වට්ටක්කා වකු­ගඩු, හෘදය වස්තු­වත් රකි­නවා. ආහා­ර­යක් විත­රක් නෙමෙයි. හොඳ ඹෟෂ­ධීය ගුණ­ය­කුත් වට්ට­ක්කා­වල තියෙ­නවා. ශරී­රය පැහැ­පත් වෙනවා විත­රක් නෙවෙයි වට්ටක්කා අනු­භව කළාම ලස්සන වෙනවා.”

ආයු­ර්වේද වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ මාධ්‍ය ලේකම් දිනේෂ් විද්‍යා­රත්න මහතා වට්ටක්කා වලින් සාදා­ගන්නා හැකි විකල්ප ආහාර වර්ග කීප­යක් ගැන සඳ­හන් කළා.

“සම­හර අය වට්ටක්කා තබ්බලා කන්න කැමැති නෑ. ඒ නිසා ගම් පළා­ත්වල වට්ටක්කා නිය­ඹ­ලාව හද­නවා. කලු­පොල් මාළුව වගේ තමයි මෙය හදන්නේ. වට්ටක්කා දලු කල­වම් පලා­ ව­ර්ග­යක් ලෙස සක­ස්ක­ර­ගන්න පුළු­වන්. වට්ටක්කා ඇට ඉතා ගුණ­දා­ය­කයි. ධාතු ශක්තිය වර්ධ­නය කර­නවා විත­රක් නෙමෙයි පිය­යුරු පිළිකාවල­ටත් හොඳ ඖෂ­ධ­යක්. රාත්‍රී නින්දට පෙර වට්ටක්කා ආහා­ර­යට ගත්තාම සුව­දා­යක නින්දක් ලැබෙ­නවා. පැණි වට්ටක්කා කියලා වට්ටක්කා කල්තබා ගැනීමේ ක්‍රම­ය­කුත් තිය­නවා. සහ­න­දායි මිල­කට වෙළෙ­ඳ­ප­ළෙන් මිලදී ගත හැකි වට්ටක්කා හැබෑ­ව­ටම ගුණ සාග­ර­යක් වගෙයි”

වට්ටක්කා වලින් නිෂ්පා­දිත දේශීය ඹෟෂධ පෙති හා කරල් වශ­යෙන් ද අලෙ­විය සඳහා තිබුණා. ඊට අම­ත­රව, සුව­ඳැල්, කළු හීනටි, කුරු­ලු­තුඩ, මඩ­ත­වාලු, ඕලු හාල් ආදී දේශීය සහල් වර්ග රැසක් අලෙ­විය සඳහා තිබුණා. පෝෂ්‍ය­දායී කැඳ­වර්ග පිළි­යෙල කළ හැකි පිටි­වර්ග, ඖෂ­ධීය තෙල්ව­ර්ගත් දැක­ගත හැකි­වුණා.

වට්ටක්කා සැණ­කෙ­ළි­යෙන් බොහෝ දෙනෙක් වට්ටක්කා ගැනත්, වට්ට­ක්කා­ව­ලින් හදන්න පුළු­වන් රස­වත් කෑම බීම ගැනත් හුඟක් දේවල් ඉගෙන ගත්තා. ආව ගිය කොයි කාටත් හරි අපූරු අත්දැ­කී­මක් වුණා. ඒ සිය­ල්ල­ටම වඩා ගතින් සිතින් විඩා­වට පත්වෙලා හිටිය අස­රණ වට්ටක්කා ගොවීන්ට නම් ඉම­හත් සැන­සි­ල්ලක් ලබා දුන්නා.

නිශානී හේරත් බන්නැ­හැක
ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments