
ගමනාන්තය තෙක් අමාලි ඉවසා සිටියේ වැර වෑයමෙනි. අසන්නට දහසකුත් ප්‍රශ්න තිබිණි. එහෙත් යතුරුපැදියේ වේගයත්, හිස් ආවරණයත් පිළිසඳරකට ඉඩකඩ අහුරයි. යතුරුපැදියේ තිරිංග තද කළ සැණින් ඇය එයින් බැස ළදරු පාසල ඇතුළට ගමන් කළේ එකදු ප්‍රශ්නයක් හෝ අසන්නට කාලය නාස්ති නොකොටමය. මිතුරා තමා මෙහි කැටිව ආවේ මක් නිසාදැයි වැටහුණෙන් ඇගේ හද ගැහෙන්නට විය.
කුඩා මිදුලේ වැඩි ඉඩකඩක් උදුරා ගත් මෝටර් රියට නැංගේ වෙහෙසකර හා රෝගී ස්වභාවයකින් අසෝබන වූ මිනිසෙකි. සිය සොහොයුරාගේ කනස්සල්ල සුනන්දාටද බෝවී ඇතිවාක් වැන්න. අලුත් දවසක් ගෙනා පැරණි හිරුට නෝක්කඩු කියන්නාක් මෙන් ඇය හකුළා ගත් දෑසින් හා අසහනයෙන් විකෘතව ගිය මුවින් ආපසු හැරුණාය.
පියාගේ සිත රිදවන දියණියට දෝෂාරෝපණය කරන අදහසින් කාමරයට කඩා වැදුණු ගැහැනිය තිගැස්සුණාය. ඇඳ මත වැතිර ගත් කෙල්ලක වෙනුවට ඇය දුටුවේ ඇඳ මධ්‍යයෙහි ඔළුවෙන් හිට ගත්තියකි.
“අමා...” යි සුනන්දා මහ හඬින් කෑගැසුවාය.
“හෙමින් කතා කරන්න අනේ. පේන්නෙ නැද්ද මම ලොකු වැඩක්...”
අමාලි අපහසුව නොතකා ඉල්ලා සිටියාය. ඇගේ කෙස් කලඹින් කොට්ටයේ මල් කිනිත්ත වැසී ගොසිනි.
“මොකද ඔය වෙලා තියෙන්නෙ?”
සුනන්දා ඇසුවේ ඉවසුම් නොදෙන කෝපයෙනි.
“පොඩි නැන්දත් එන්නකෝ චුට්ටක් ඔළුවෙන් හිටගන්න.”
“ඔව්.. ඔව්.. ඔළුවෙන් හිටගෙන තමා දැන් අපට ඉන්න වෙන්නෙ... ඇත්තටම අමා ඔයාට මොනවද වෙලා තියෙන්නෙ? අයියත් ඉන්නෙ දුකෙං...”
යුවතිය දෙපා පහත හෙළුවේ ඉතා සන්සුන් විලාසයෙනි. ඇය සිය නැන්දණිය දෙස හෙළුවේද උපේක්ෂා සහගත බැල්මකි.
“ප්‍රින්සිපල්ලා ඉන්නෙ දුකෙන් නෙමේ පොඩි නැන්දේ කේන්තියෙන්... කොයි වෙලාවෙත් පුපුරනවා...”
“මං කතා කරන්නෙ ප්‍රින්සිපල් කෙනෙක් ගැන නෙමේ අමා... මං කතා කරන්නෙ ඔයාගෙ තාත්තා ගැන.”
අමාලි දෙපා හකුළා ගනිමින් හරි බරි ගැසුණාය.
“එයා නැති තැන එයා ගැන කතා කරන හොඳ මදි නේද පොඩි නැන්දේ...?”
සුනන්දා කිලිටි රෙදි බහාලු කූඩය දෑතින් ගත්තේ කෝපයෙන් අඳුරුව ගිය මුහුණෙනි.
“ඔය වචන හරඹ නවත්තන්න අමා... ඔයා ඔය විදියට අපට වද දෙන එකත් වහාම නවත්තගන්න... මං මේ කියන්නෙ අන්තිම සැරේට...” ඇගේ හඬ වියළි ය. රළු ය.
“මම වද දෙනවා...? හානේ මේ පොඩි නැන්දා කියන කතා... හරි නරකයි... මම කොච්චර හොඳ ළමයෙක්ද... බ්‍රයනුත් කීවා මම හරි හොඳයි කියලා..”
ඒ අරුමෝසම් ඉලන්දාරියා සිහිපත් කළ සැණින් සුනන්දාගේ මුහුණේ අඳුර දැඩි විය.
“හරි ෂෝක්... කොණ්ඩෙ පාට කරගෙන කනත් විදලා කරාබුත් දාගෙන සරුවාංගේ පුරා පච්ච කොටාගෙන ඉන්න එකාද හොඳයි කීවේ?”
අමාලි දෙබැම ඉහළ නංවා විමතිය පළ කළාය. ඒ ව්‍යාජ විමතිය සුනන්දාට හුරුපුරුදුය.
“ඔයා කොහොමද පොඩි නැන්දෙ දන්නෙ එයා සරුවාංගෙ පුරාම පච්ච කොටාගෙන ඉන්නවා කියලා...? කවද්ද කොයි වෙලාවෙද එයා හෙලුවෙන් හිටියෙ...?”
රෙදි කූඩය ගිලිහී වැටිණ. සුනන්දා විලියෙන්ද කෝපයෙන්ද මිරිකුණාය. දැවුණාය.
“මොනවද මේ කියන කතා? දෙයි හාමුදුරුවනේ දරුවෙක් අම්මෙකුට කියන කතාද මේවා...?”
ඇගේ කැලඹීම බිඳකුදු නොතැකූ යුවතිය දිදුලන දෙනෙතින් බලා සිටියාය.
“ඔයා මගේ අම්මා නෙමේනෙ...”
“අම්මා නෙමෙයි තමා... අනේ ඉතිං මම අම්මෙක් වගේ නෙමේද අමා උඹව බලා ගන්නෙ? මීට වඩා හොඳයි මාව මැරුව නම්” යි කී සුනන්දා ඇඳේ අයිනක හිඳ ගත්තාය. අනතුරුව අතකින් දෙඇස වසා ගනිමින් හඬන්නට වූවාය.
“ආ...? මේ මොකද මේ? හෙලුවෙන් කියන වචනෙටත් ඔයාලා මාර බයයිනෙ... ඔහොමත් ෂොක් වෙනවද අනේ?”
අමාලිගේ මුවග මඳහස දුටුවේ නම් සුනන්දා හැඬුම නවතා පහර දෙන්නටද ඉඩ තිබිණ.
“උපන්නෙත් රෙදි නැතුව... ඒ ටික මතක නෑනේ අප්පා මේ මිනිස්සුන්ට...”
සුනන්දා රැලි සායෙන් කඳුළු පිසදා ගත්තාය.
“උඹේ ඔය අමුතු බණ මට කියන්න එපා අමාලි... අම්මා මොකද නැන්දා මොකද... කතා කරන කැත.. කිසිම චාරයක් නෑ.. ගෑනු ළමිස්සියෙක් වෙලත්.”
නැන්දණිය තමාට “උඹ” යි ආමන්ත්රණයකරන්නේ ඉවසුම් නොදෙන කෝපයෙන් බව වටහාගත් අමාලි දෙවුර හැකිළුවාය.
“ගෑනු ළමිස්සියන්ට විතරද චාරයක් තියෙන්න ඕන? ඒක යකාගෙ කතාවක්නෙ...”
“යකාගෙ කතා කියන්නෙ උඹද? මමද?”
තැති ගන්නවා වෙනුවට අමාලි හඬ නඟා හිනැහුණාය.
“අම්මෝ... මෙයාගෙ සැර... මොකද අනේ ඔච්චර සැර...?” යි අසමින් ඇය නැන්දණිය වෙත නැඹුරු වූවාය.
“එපා... එපා මාව අල්ලන්න.”
සුනන්දා ඒ සියුමැලි ස්පර්ශය නොඉවසමින් කෑගෑවාය.
“ආ... මට බැරිද මගේ නැන්දව අල්ලන්න...? ඒක හරි කතාවක්නෙ...”
අමාලි විරෝධය නොතකා ඇය වැලඳ ගත්තාය.
“අතාරින්න... අතාරින්න මාව.”
සුනන්දා කෑගෑවේ කුඩා දැරියක මෙනි. ඇගේ ඇට්ටර ලේලිය නොහික්මුණු කොලුවෙකු ෙමන් ඇගේ මුහුණ සිඹින්නට වූවාය.
“අමා... අනේ ඇයි අමා ඔච්චර හිතුවක්කාර...?”
සුනන්දා කෝපයෙන් නොව ශෝකයෙන් ප්‍රශ්න කළාය.
“මම කොච්චර හොඳද පොඩි නැන්දෙ... ඔයාලනෙ හිතුවක්කාර...”
“අපි? ඒ කියන්නෙ මේ මායි තාත්තයි...?”
ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නට විවර කළ මුවින් නැගුණේ “බ්‍රයන්?” යන විස්මිත ආමන්ත්රණයයි.
“කී සැරයක් කතා කළාද...? බැරිම තැන ඉතිං මම කඩාගෙන බිඳගෙන ඇතුළටම ආවා ඔන්න...”
දොරකඩ රැඳණු තරුණයා සමාව අයදින බැල්මක් හෙළුවේය. සුනන්දා නැඟී සිටියේ කෝපයෙන් අඳුරුව ගිය මුහුණිනි.
“සො... සොරි ආන්ටි.”
ඇගේ දෙනෙත නොමනාපය වහා වටහාගත් බ්‍රයන් ආපස්සට යමින් සමාව අයැද්දේය.
“ඇයි බ්‍රයන්?”
ආගන්තුකයෙකු කාමරයට එබීම පිළිබඳ බිඳකුදු නොතකන යුවතිය කෙරෙහිද සුනන්දා කිපුණාය.
“කෝල් එකක් හරි දෙන්න තිබුණනේ... ඔහොමත් කඩා පනිනවද ගෙවල්වලට...?”
ඇය නොමනාපය වැගිරෙන හඬින් ඇසුවාය.
“හරි හරි... කඩාගෙන බිඳගෙන ආවෙ මොකටද කියලා කියන්නකෝ.”
අමාලිගේ කුහුල ද බ්‍රයන් පෑ ඉඟිබිඟිද සුනන්දා වික්ෂිප්ත කරවයි. ඇය වරින්වර ඒ තුරුණු මුහුණු මත නෙත් රැඳවූවාය.
“මං ටක් ගාලා එන්නම් පොඩි නැන්දා...” යි කී යුවතිය ඔහු පසුපස දිව යන්නට තැත් කළාය.
“අයියා ඇවිල්ලා අහනකොට මං මොනවද කියන්නෙ අමා?”
සුනන්දා මහත් සන්තාපයෙන් ඇසුවාය.
“ඇත්ත ම කියන්න...”
“මොකක්ද ඇත්ත? මාත් දන්නෙ නෑනේ ඔයා මොන තූත්තුකුඩියෙ යනවාද කියලා...”
“කියන්න ඉතිං කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා...”
“අමා...”
සුනන්දා කොතරම් උස් හඬින් කෑගෑවද පලක් නොවීය. යතුරුපැදියේ කටුක හඬ ඒ උච්ච ස්වරය ගිල ගත්තේය.
ගමනාන්තය තෙක් අමාලි ඉවසා සිටියේ වෙර වෑයමෙනි. අසන්නට දහසකුත් ප්‍රශ්න තිබිණි. එහෙත් යතුරුපැදියේ වේගයත්, හිස් ආවරණයත් පිළිසඳරකට ඉඩකඩ අහුරයි.
යතුරුපැදියේ තිරිංග තද කළ සැණින් ඇය එයින් බැස ළදරු පාසල ඇතුළට ගමන් කළේ එකදු ප්‍රශ්නයක් හෝ අසන්නට කාලය නාස්ති නොකොටමය. මිතුරා තමා මෙහි කැටිව ආවේ මක් නිසාදැයි වැටහුණෙන් ඇගේ හද ගැහෙන්නට විය.
සෙල්ලම් මිදුල සෙල්ලමෙහි නිරත දරු දැරියන්ගෙන් පිරී තිබිණ. යුවතිය විමසිල්ලෙන් බැලුවේ ළමයින් බාරව සිටින ගුරුවරියන් දෙදෙනා දෙසය. එහෙත් ඇගේ දෑස දකින්නට අපේක්ෂා කළ රුව ඒ අතර නොවීය.
ආකර්ශණීය පෙනුමකින් යුක්ත ගොඩනැඟිල්ල තුළට ඇය පිවිසුණේ සැලෙන දෙපයිනි. එ’තුළ ද ගුරුවරියෝ දෙදෙනෙක් කිසියම් කාරියක නිරතව සිටියෝය.
“ඇයි?” යි එකියක හිස නඟා බැලුවේ කාරුණික හසරැල්ලක් ද මුව’ග නංවා ගනිමිනි. දරුවෙකුගේ මවක යැයි සිතන්නට තුඩු දෙන යමක් සොයා ඇගේ කුහුල්බර නුවන් අමාලිගේ හිස් මුහුණේ පටන් දෙපයේ ඇඟිලි තුඩු දක්වා සක්මන් කළේය.
“අ.... අනේ මට සමාවෙන්න ඕන.”
තමා මෙපරිද්දෙන් අනවසරයෙන් කඩා පාත්වීම නොමැනවැයි හැඟී ගියෙන් යුවතිය මඳක් තැතනුවාය.
“බබා කව්ද?”
ළදරු පාසලේ පාලිකාව යැයි සිතිය හැකි කාන්තාව මහත් වුවමනාවෙන් ඇසුවාය.
“මොකක් හරි හදිසියක්ද?”
“න්... නෑ.. බබෙක් නෙමේ... මට දැනගන්න පුළුවන්ද චම්පා සිරිමාන්න කියලා කෙනෙක් මෙතන වැඩ කරනවද කියලා...”
ගතව ගිය නිමේෂය කල්පයක් ම විය. ගැහෙන හදවතින්ද අපමණ අපේක්ෂාවෙන් ද අමාලි ඉදිරියට නැමුණාය.
“නෑ... එහෙම කෙනෙක් නම් නෑ.. ඇයි මොකක්ද ප්‍රශ‍්නෙ?”
බලාපොරොත්තු කඩවීමේ වේදනාව යෞවන මුහුණ අඳුරු කළේය.
“කවුරු හරි ටීචර් කෙනෙක් අද ඇවිල්ලා නැද්ද...?”
“ඔව්. එක්කෙනෙක් ආවෙ නෑ...”
මියැදුණු බලාපොරොත්තු නැවතත් පණ ගසන්නට පටන් ගත්තේය.
“එයාගෙ නම චම්පා සිරිමාන්නද?”
“ඉස්සෙල්ලම කියන්නකෝ ඔයා කවුද... මොකදට එයාව හොයන්නෙ කියලා...”
අමාලි උත්තර දුන්නේ මහත් වෑයමෙනි. ඇගේ දෙතොල වියළී ගියේය.
“මම අමාලි සිරිමාන්න. ඒ මගේ අම්මා... අනේ මට කියන්න එයා කොහෙද ඉන්නෙ කියලා...”
පාලිකාව දයාන්විත සිනාවක් පෑවාය.
“අද එක්කෙනෙක් නිවාඩු තමා. හැබැයි එයාගේ නම චම්පා නෙමේ..”
“එහෙනම් මොකක්ද...?”
පාලිකාව මඳක් කල්පනා කළාය.
“ඔයා ඔය කියන්නෙ ඇත්තමද කියලා අපි විශ්වාස කරන්නෙ කොහොමද..? කරුණාකරලා හෙට එන්න...”
මව දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සැලෙමින් සිටි යුවතිය සපුරා වෙනස් එකියක බවට පත් කරන්නට ඒ කියුම සෑහිණ.
“මම මොකටද බොරු කියන්නෙ? ඒ මගේ අම්මා. මගේ අම්මා නැතිවෙලා අවුරුදු දෙකක් වෙනවා. මම හොයන්නෙ මගේ අම්මව. ඇයි මාව විශ්වාස කරන්න බැරි?”
සෙල්ලම් මිදුලට නොගිය දැරියක ඒ උස් හඬින් තිගැස්සුණාය. ඇය අයාගත් දෙනෙතින් ෙම් අමුත්තිය දෙස බලා සිටියාය.
“මෙතන හයියෙන් කෑකෝ නොගහ ඔයාගෙ අයි ඩී එක දෙන්න... ඕන කෙනෙකුට ඕන බොරුවක් කියන්න පුළුවන්නෙ. අපි කොහොමද දන්නෙ ඇත්තද බොරුද කියලා...?”
තමා අත්බෑගය නොගෙනා බව අමාලිට සිහිපත් විය. හැඳුනුම්පත එ’තුළ පසුම්බියේය.
“අම්මා වගේ කෙනෙක් මෙතන ඉන්නවා කියලා ආරංචි වුණාම අයි ඩී හොය හොයා ඉඳීද අවුරුදු දෙකක් තිස්සේ අම්මව හොය හොයා ඉන්න දුවෙක්?”
ඇගේ හඬ පෙරට වඩා උස් හා රළු වූයෙන් නිය විකමින් සිටි ළමයා හඬන්නට පටන් ගත්තේය.
“බලන්න... අර පොඩි දරුවත් බයවෙලා... අනේ මේ කරුණාකරලා ඔයා යනවද මෙතනින්...”
ප්‍රමාදය මක්නිසාදැයි විපරම් කරන්නට පැමිණෙමින් හුන් තරුණයා තිගැස්සුණේය. ළදරු පාසලේ ගුරුවරියන් විසින් පිටමං කරන්නට තැත් කරන මිතුරිය බාර ගන්නට ඔහුට සිදුවිය.
“ගිය තැන වලි. මොකක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ?” යි ප්‍රශ්න කරන්නට තරම් ඔහු කිපුණේය. කෝපයෙන් දැවෙමින් අමාලි ළදරු පාසල් ගුරුවරියන්ට ශාප කළා මිස පිළිතුරක් නොදුන්නාය.
ලබන සතියට...