
• තරගයට රටවල් 118කින් තරගකරුවන් 8000ක්
• දිනුගට වයස අවුරුදු 5යි.
වැඩිහිටියන්ට මෙන්ම පුංචි හපනුන්ටද ශ්‍රී ලාංකේය නාමය අන්තර්ජාතිකව බැබළවිය හැකි බව පසක් කරන පුවතක් පසුගිය දිනෙක අපට වාර්තා විය. වයස අවුරුදු පහක තරම් කුඩා වයසක පසුවන දිනුග ධම්යුත් ද සිල්වා පුංචි පුතු එලෙස තම උපන් බිමට කීර්තිය ගෙන දීමට සමත් වූ හපනායි.
ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඔක්තෝබර් 11 දිනට යෙදෙන ලෝක ආහාර දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වන ගෝලීය චිත්‍ර හා පෝස්ටර් තරගයෙන් ලෝකයෙන්ම ප්‍රථමයා වෙමින් සුවිශේෂ වූ ජයග්‍රහණයක් ලබමිනි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සියලුම සාමාජික රටවල දරුවන්ට විවිධ වයස් කාණ්ඩ යටතේ මේ තරගාවලියට ඉදිරිපත් විය හැකිය.
2018 වර්ෂයේ ලෝක ආහාර දිනයට සමගාමීව ‘අපගේ ක්‍රියාමාර්ග අපගේ අනාගතයයි. 2030 වන විට කුසගින්න තුරන් කළ ලොවක් බිහි කළ හැකියි’ යන තේමාව යටතේ පවත්වන ලද චිත්‍ර හා පෝස්ටර් තරගය සඳහා පුංචි දිනුග ඉදිරිපත් කළේ අවුරුදු පහත්, අටත් අතර තරග කාණ්ඩයටය. ඒ සඳහා රටවල් 118කින් ළමා අයදුම්කරුවෝ 8000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටියහ. තරගයට දිනුග ඉදිරිපත් කළ එළවළු පලතුරු වැස්සක් වසින චිත්‍රයට ප්‍රථම ස්ථානය ලැබී තිබුණේ මෙරට දරුවකු එවන් තරගාවලියකදී ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසිනි. එම තරගයේ දෙවැනි ස්ථානය ඇමෙරිකානු දරුවෙක් ලබද්දී තෙවැනි ස්ථානය බංග්ලාදේශ දරුවකු විසින් දිනා ගනු ලැබිණ.
දිනුගට එම හපන්කම වෙනුවෙන් පිරිනැමුණු සහතික සහ ත්‍යාග ප්රදානය පසුගියදා සිදු කෙරුණේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැති උත්සවයකදීය. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත නිනා බ්‍රැන්ඩ්ස්ට්‍රප් මහත්මියයි. දිනුග සිය ත්‍යාගය ලබා ගත්තේ ඇය අතිනි.
“පෝෂ්‍යජනක ආහාර නිෂ්පාදනය හා පරිභෝජනයෙන් සාගින්න තුරන් කිරීම සාක්ෂාත් කරගැනීමට උදවු වන බව පුංචි දිනුගගේ පෝස්ටරයෙන් මනාව දිස් වෙනවා. ඒ වගේම අප එක්ව වැඩ කළහොත් සියලු ආකාරයේ සාගින්න හා මන්දපෝෂණය අවසන් කළ හැකි බව ලෝක ආහාර දිනය ලොවට මතක් කර දෙනවා. දිනුග තමන්ගේ පෝස්ටරය මඟින් මේ පණිවිඩය මනාව ප්‍රචලිත කර තිබෙනවා. එය තමයි මේ චිත්‍රය ලෝකයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගැනීමට හේතු වුණේ. මේ අන්තර්ජාතික තරගයෙන් ජය ලබා දිනුග ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් අත්කර දීමට සමත්වීම ගැන රටේ සියලු දෙනාම ආඩම්බර විය යුතුයි” යනුවෙන් ඇය ඒ උත්සවයේදී පැවසුවාය.
තමන් ලද ජයග්‍රහණය ගැන පුංචි දිනුගටද තිබෙන්නෙ ඉහවහා ගිය සතුටකි.
“මං චූටි කාලේ ඉඳන්ම බලිකුරුටු අඳින්න ආසයි... අම්මා කියන්නෙ මම හැමදාම බිත්තිවල චිත්‍ර අඳිනවා කියලයි... ඉතින් ඒ විදිහට මම චිත්‍ර අඳිනවා දැකලා අම්මා තමයි මේ තරගාවලියට මගේ චිත්‍රය යැව්වේ. මං ඉස්සරහට තවත් චිත්‍ර අඳිනවා.”
තවම හරිහැටි යමක්-කමක් නොතේරුණද පුංචි දිනුග මේ වන විට රටට කීර්තිය ගෙන දී අවසානය.
දිනුග පදිංචිව සිටින්නේ බත්තරමුල්ල පැලවත්තේය. ඔහු ඉගෙනුම ලබන්නේ සල පැලවත්තෙ ලිට්ල් අයින්ස්ටයින් පෙර පාසලේය. මෙවන් ජයග්‍රහණයක් ලබා රටට කීර්තිය ගෙන දීමට දිනුගට යෝධ සෙවණැල්ල වූයේ මෑණියන්ය.
දිනෙත් ප්‍රසන්න ද සිල්වාගේ සහ ජල සම්පාදන අමාත්‍යංශයේ සේවය කරන චමිලා ද සිල්වා මහත්මියගේ වැඩිමහල් දරුවා වන දිනුගට වයස අවුරුදු ඒකහමාරක පුංදි නංගියෙක් සිටී. ජයග්‍රහණය ගැන චමිලා අපට කීවේ මෙලෙසිනි.
“පුතා ලබපු ජයග්‍රහණය ගැන කියන්න වචන නෑ. දරුවා තරගයකට කියලා චිත්‍රයක් ඇඳපු ප්‍රථම අවස්ථාව තමයි මෙය. මෙයා නිතරම බිත්තිවල, ටයිල්වල චිත්‍ර අඳිනවා. දවසක් මම අන්තර්ජාලය පිරික්සන කොට අහම්බෙන් මෙන් මේ තරගාවලිය ගැන තොරතුරු දැක්කෙ... ගිය වසරේ නොවැම්බර් නවය තමයි තරගාවලියට ඉදිරිපත් වීමේ අවසන් දිනය යෙදුණේ... පුතාට මේ ගැන කියලා චිත්‍රයක් අඳින්න කිව්වම එයා ඇන්දෙ එළවළු, පලතුරු සහ ඇට වර්ග වැටෙන වැස්සක්... එයා කියන්නෙ ඒ ඇට සහ පලතුරු වැටෙන්නෙ එයාගේ නංගිටයි පෙර පාසලේ යාළුවන්ටයි කන්න කියායි. ඒ වගේම ඇට වැටිලා පැලවුණාම ගෙඩි හැදිලා කන්න පුළුවන් කියලත් කියනවා.
පස්සෙ අපි ඒ චිත්‍රය ස්කෑන් කරලා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය තියෙන ඉතාලියේ රෝමයට මේල් කළා. දෙසැම්බර් 12 වැනිදා තමයි පුතාගේ චිත්‍රය ලෝකයෙන්ම හොඳම චිත්‍රය ලෙස තෝරාගෙන තිබුණේ.”
එලෙස අහම්බෙන් චිත්‍ර තරගාවලියකට ඉදිරිපත්ව රටට කීර්තිය ගෙන දුන් දිනුගගේ චිත්‍ර තව තවත් අන්තර්ජාතික තරගාවලි කිහිපයකටම ඉදිරිපත් කිරීමට ඔහුගේ මෑණියන් මේ වන විට කටයුතු කරමින් සිටී.