සුද්දා ගල විදපු තැනෙන් පාර­පුරා විහි­දෙන පොල් රොටී සුවඳ | සිළුමිණ

සුද්දා ගල විදපු තැනෙන් පාර­පුරා විහි­දෙන පොල් රොටී සුවඳ

නයි මිරිස් සම්බෝ­ලය සමඟ උණු උණු පොල් රොටී කමු” සැරද මන්දා කාලා බලමු’ පාර අයිනේ එක් වෙ‍ෙළඳසලක සවි කැර තිබූ පුව­රු­වක වූයේ අපූරු වැකි­යකි. එවැනි රොටී කඩ පන­හක් හැටක් පමණ දැන් පාර පුරා ඇත. කිලෝ මීටර් දෙකක පමණ මාර්ගය දෙප­සම ඇත්තේ රොටී කඩ­වල්ය. පහළ කඩු­ග­න්නාව පුරා­මත් මේ වෙ‍ෙළඳසල් පිරී තිබේ. ගනේ­තැන්න ඒ ආසන්න ප්‍රදේ­ශ­යයි. එහිද තැන් කීප­ය­කම රොටී කඩය. එදා සුද්දා ගල විදපු ඉසව්ව වුවත් මේ ඉසව්ව අද සුද්දාට රොටී විකු­ණන පුර­යකි.

කන්ද උඩ­රට බලා දිවෙන ප්‍රධාන මාර්ගයේ ‘සුද්දා ගල විදපු ඉසව්ව’සැම­තින්ම සුන්දර දසුන් මවන ප්‍රදේ­ශ­යකි. බත­ලේ­ගල, දෙව­න­ගල, බැලු­ම්ගල හා අල­ගල්ල කඳු­ව­ලින් වටවී ඇති මේ ඉසව්ව ස්වභාව සෞන්ද­ර්යයේ අපූ­රු­තම නිමැ­වු­මක් ලෙසින් ගුවන් සැත­පුම් දහස් ගණ­නක් ඈතට දිස්වේ. කොළො­ම්පුර දෙසින් උඩ­ර­ටට ඇතුඵ වන දොර­ටු­වද මෙයයි. මෙම දොර­ටුව අභි­ය­සට ළඟා­වන විට දැනෙ­නුයේ පුද­මා­කාර සිසිල් බවකි. කොළ­ඹදී දැනුණු ඝෝෂා­කා­රී­බව නුවර පාර පුරා තිබුණ ද මේ ප්‍රදේ­ශ­යට ළංවෙද්දී පරි­ස­රයේ දැනු‍ණේ දැඩි වෙන­සකි.ගමනේ විඩා නිවා­ල­න්නට එතැන කදිම ගිමන් හලක් වීම නිසාම එදා සිටම පළාතේ ගැව­සෙන වෙළෙ­ඳුන්ගේ අත­මි­ටට හිඟ­යක් නැති­බව පෙනේ. කල­කට පෙර ඒ පළා­තෙන් ඇසුණේ ‘ඉරිගු ඉරිගු බඩ ඉරිගු කිරි කරල්’යන හඬය. දුම් දමන ඉරිගු කරල් පුරෝ ගත් බේසම් කර­මත තබා ගත් වෙළ­දුන් එදා එහෙ මෙහෙ ඇවිද ගියද අද පාර පුරා දක්නට ඇත්තේ උණු උණු පොල් රොටී අලෙවි කෙ‍රෙන තැන්ය.

‘නයි මිරිස් සම්බෝ­ලය සමග උණු උණු පොල් රොටී කමු’‘සැරද මන්දා කාලා බලමු’ පාර අයිනේ එක් වෙළද සලක සවි කැර තිබූ පුව­රු­වක වූයේ අපූරු වැකි­යකි. එවැනි රොටී කඩ පන­හක් හැටක් පමණ දැන් පාර පුරා ඇත. කිලෝ මීටර් දෙකක පමණ මාර්ගය දෙප­සම ඇත්තේ රොටී කඩ­වල්ය. පහළ කඩු­ග­න්නාව පුරා­මත් මේ වෙළ­ද­සල් පිරී තිබේ. ගනේ­තැන්න ඒ ආසන්න ප්‍රදේ­ශ­යයි. එහිද තැන් කීප­ය­කම රොටී කඩය.

එදා සුද්දා ගල විදපු ඉසව්ව වුවත් මේ ඉසව්ව අද සුද්දාට රොටී විකු­ණන පුර­යකි. අපේ ඇත්තන් මෙන්ම විදේ­ශි­ක­යන් ද උණු උණු පොල් රොටී කන්න දක්වන්නේ පුදු­මා­කාර ආශා­වකි. රොටී කන්නට දෙන්නේද අපූරු වෑංජ­නය. වෙල් අල­කොළ ඇඹුල, දෙල්, බිම් මල් මාළුව, පොලොස් හා මඤ්ඤාක්කා ඉන් සම­හ­රකි. නයි මිරිස් සම්බෝ­ලය එහි අනි­වා­ර්යය. මෙයින් වැඩිම ඉල්ලුම ඇත්තේ වෙල් අල­කොළ ඇඹු­ල­ටය. ඒ නිසා එය සෑම වෙළඳ සල­කම වර­දින්නේ නැත. මෙරට ඇත්තන් මෙන්ම වෙන රට­වල ඇත්තන් ද වැඩි­පුරා ඉල්ලන්නේ අල­කොළ ගොබ ඇඹු­ලයි.

උණු උණු රොටී සම­ගින් නයි මිරිස් සම්බෝල පීරි­සි­යක් එක් බන්දේ­සි­ය­කද, අනෙක් බන්දේ­සියේ අල­කොළ මාඵව හා තවත් දේශීය ව්‍යංජන හත­රක් පහක් තැබේ. මේ බන්දේසි දෙකම එහි යන බොහෝ දෙනෙකු හිස් කර­නුයේ කිසිදු ආයා­ස­ය­කින් තොර­වය. එම වෑංජන එත­රම්ම රස­වත් නිසාය. දව­සින් දවස මෙහි රොටී කඩ­වල් වැඩි වුවද ඉල්ලුම වැඩි වෙනවා මිස අඩු නොවේ. අත කට පිච්චෙන තර­මට රොටී කොත­රම් උණු උවද ඔවුන් කටින් පිඹ පිඹ හෝ රොටී කන්නේ රස වගේම එය කලා­තු­ර­කින් ලැබෙන අව­ස්ථා­වක් නිසාය.

පයින් යන්නන් මෙන්ම පා පැදියේ යතුරු පැදියේ හා ත්‍රීරෝද රියේ සිට අධි සුඛෝ­ප­භෝගී ජීප් රථ මෝටර් රථ දක්වා එන යන පිරිස් මෙහිදී එකම මේස­වල රොටී කති.

මෙයට වසර තුන හත­ර­කට පෙර නුව­රට බඩු ගෙන යන ලොරි රථ­වල පිරිස් ඉලක්ක කැර නයි මිරිස් සමඟ උණු උණු රොටී මෙහි අලෙවි කළද දැන් මැති ඇම­තීන් ඇතුඵ ප්‍රභූන්ගේ වාහ­නද මේ රොටී හල් ඉදි­රි­පිට දැක ගත හැක. කොළඹ හතේ ශීත කාම­ර­වල සැප විඳිනා නෝනා­වරු ෆැෂන් එකට මේ හෝට­ල්වල රොටී කකා සෙල්ෆි ගසති. ගල් ගෙන­යන, වැලි ගෙන යන, බඩු ගෙන යන ලොරි­ක­රුවෝ තවත් පසෙක තලු මර­මින් රොටී බුදිති. උණු උණු රොටිය අතට ගෙන දෙපැත්ත දමා දමා නයි මිරිස් සම්බෝ­ල­යෙන් ටික ටික ගෙන කන රට රට­වල සුදු නෝනලා මහ­ත්ව­රුන්ගේ මුහුණු රතු වන්නට ගත වන්නේ මිනි­ත්තු­වකි. දෙකකි. ඔවුන්ගේ පැහැ­පත් අත්ල ඊටත් පෙර රතු වී හමා­රය. එහෙත් මේ නෝනා මහ­ත්ව­රුන්ට රොටී කෑම එපා වෙන පාටක් පෙනෙ­න්නට නැත.

පහළ කඩු­ග­න්නාව ඉපැ­රැණි අම්බ­ලම කොළඹ නුවර පාරේ ඓති­හා­සික ස්ථාන­යකි. එය කන්ද උඩ­රට ප්‍රවේශ දොර­ටුවේ ප්‍රථම මං සල­කු­ණයි. ඒ ඉදි­රි­පිට ඇති රොටී වෙළ­ද­සල 1981 දී ආරම්භ කෙරුණු පැරැ­ණි­තම වෙළ­ද­ස­ලයි. එච්. බී. ජය­රත්න මහතා එහි හිමි­ක­රුය. අම්බ­ලම ඉදි­රි­පිට කඩේ නිසා අම්බ­ලම ඉස්ස­රහා රොටී කඩේ ලෙසින් එදා සිටම මෙය ජන­ප්‍රිය විය. තිදරු පියකු වන ජය­රත්න මහතා සිය දරු පවුල රකින්නේ මෙහි ආදා­ය­මෙනි.

“මං මෙතැ­නට ආපු මුල් කාලයේ මෙතෙන්ට ආවේ පොල් අතු, දර හා භූමි­තෙල් කර­ත්ත­කා­රයො. ඒ අය අම්බ­ලම ළඟ කර­ත්තය බැඳලා තේ බොන්න මෙතෙන්ට ආවා. ඒ කාලයේ රොටී සමඟ ලුණු මිරිස් විත­රයි දුන්නේ. ඒත් මීට අව­රුදු හත­ර­කට පමණ ඉස්සර රොටී­ව­ලට නයි මිරිස් සම්බෝල දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දෙල්, කොස් පොලොස් වගේ ‍දේවල් දුන්නා. වෙල් අල­කොළ ගොබ මාඵව රොටි­යට දෙන්න පටන් ගත්තට පසසේ තමයි මේකේ ගොඩක් වෙන­සක් වුණේ. මේක අලුත්ම කෑම සංස්කෘ­ති­යක්. ලොකුම ලොකු වෙන­සක් අපි දකි­නවා.”

අප එතැන කතා­බහේ යෙදී සිටි­යදී කදක් කර­මත තබා­ගත් පුද්ග­ල­යෙක් “මුද­ලාලි මුද­ලාලි” යනු­වෙන් ජය­රත්න මහතා විම­සීය.

“කොච්චර තියෙ­න­වද? අද වැඩිද?” ජය­රත්න මුද­ලාලි ඇසුවේ එප­ම­ණකි.

“ඔව් ටිකක් තිය­නවා”

මේ කතා­වෙන්නේ කුමක් ගැනද? මගේ සිතේ ඇති­වූයේ කුහු­ලකි.

“මුද­ලාලි මොන­වද ඒ ගෙනාවේ”

“ඒ තමයි වෙල් අල­කොළ ගොබ”

පොහොර උර­ය­කින් ඔතන ලද දලු වෙල් අල­කොළ ගොබ කිලෝ ගණ­නක් එතැන විය.

“මේවා කොහෙන්ද?”මම විම­සු­වෙමි.

“මේ ළඟ­පා­තින්ම තමා”

මා සමග කතා බහට එක්වූ සෙන­රත් මල්ග­ම්මන මහතා කඩු­ග­න්නාව මාවෙල පදිං­චි­ක­රු­වෙකි.

“මේ රොටී කඩ­ව­ලට ඕනෑ ගමේ දේවල් ගොඩක් ගේන්නේ මමයි. හොයා­ගන්න අමා­රුම දේ තමයි වෙල් අල­කොළ ගොබ. කොස්, පොලොස්, මඤ්ඤොක්කා, පොල් වගේ දේවල් වගේම රම්පේ කර­පිංචා ගෙනත් දෙන්නේ මමයි. මේවා­යින් විත­රක් මම දව­සට රුපි­යල් 1500 ක් විතර හොය­නවා. පහු­ව­දාට ඕනෑ දේවල් කලින් දවසේ හව­සට ගේනවා. මේවා­යින් සම­හර දේවල් මං වගා කර­ලත් තිය­නවා. එදා වගේ නෙවේ අද වෙන කොට මේ පැත්තේ රොටී කන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. පිට­ර­ට­වල වගේම රටේ හැම තැනම අය මෙතැ­නදී අපිට හම්බ වෙනවා.”

මම යළි ජය­රත්න මුද­ලාලි වෙත හැරු­ණෙමි.

“මං උදේ 7.00 ට තමයි මෙතන වැඩ පටන් ගන්නේ. තනි­වම තමයි වැඩ කරන්නේ. සම­හර දව­ස්ව­ලට රොටී හාර පන්සි­ය­කට වැඩිය පුච්ච­නවා. රොටි­යක් විකු­ණන්නේ රුපි­යල් තිහ­ටයි. මොන තාක්ෂ­ණය ආවත් එදා ඉද­ලාම මං රොටී පුච්චන්නේ දර ළිපේ. ගොඩක් අය කිය­නවා ඒ රොටී රසයි කියලා.”

කොළඹ නුවර පාරේ පහ­ළට අපි ඇවිද ගියෙමු. අපට අහ­ම්බෙන් මෙන් හමු­වුණේ බඩ­ඉ­රිගු වෙළෙ­න්දි­යකි. ඇය නිලන්ති පුෂ්ප­ල­තාය. හත­ළිස් දෙහැ­වි­රිදි නිලන්ති කෑගල්ල ලාහු­පාන පදිං­චි­කා­රි­යකි. කඩු­ග­න්නාව අම්බ­ලම පුව­රුව අස­ලම බඩ­ඉ­රිගු විකු­ණන ඇය පව­සන්නේ මේ දින­වල ඒ වෙළ­දා­මට කණ­කොකා හඬා ඇති­බ­වය. වසර දහ අටක සට බඩ­ඉ­රිගු වෙළ­දාමේ නිරත ඇය ඉන් දොළොස් වස­රක්ම මේ ස්ථානයේ වෙළ­දාමේ යෙදෙ­න්නීය. කල­කට පෙර ඉරිගු කරල් දෙසී­යක් පමණ විකිණූ ඇයට මේ දින­වල කරල් දහ­යක් දොළ­හ­ක්වත් විකු­ණා­ගන්න බැරි තරම්ය.

සේනා දළඹු වසං­ග­තය බඩ ඉරිගු අලෙ­වි­යට හරස් වන්න­ටත් පෙර ‘රොටී ට්‍රෙන්ඩ් එක’එයට හරස් විණි. රොටී කන්න මඟ දෙපස කඩ­ව­ලට පැමි­ණෙන පිරි­ස­ගෙන් උදේ හවස කඩ සියල්ල පිරී තිබේ. නිවාඩු දින­වල එය තුන් හතර ගුණ­ය­ක­ටත් වඩා වැඩිය. සති අන්ත දීර්ඝ නිවාඩු කාල­වල ඊටත් වැඩිය.

මට අතී­තය මත­ක්විය. එදා අප පාසල් අව­දියේ තැම්බූ බඩ ඉරිගු රැගෙන බස්රි­යට ගොඩ­වන වෙළෙ­න්දන් ‘බඩ ඉරිගූ‘ කිය­මින් නඟන හඬ දැන් ඇසෙන්නේ නැති­ත­රම්ය. අද බොහෝ වෙනස්ය. කොළඹ නුවර පාරේ ඇදෙන බොහො­ම­යක් වාහන අද රොටි කඩ­යක් අසල නැවැ­ත්වී­මට අම­තක නොක­ර­න­ත­රම්ය.

සැඳෑ අඳුර වැටී ගෙන එද්දී රොටී කඩද කාර්ය­බ­හුල වෙයි.

කාන්ති අබේ­සිංහ මහ­ත්මිය ගම්පොළ රොටී කඩේ හිමි­කා­රි­යයි.

කල­කට පෙර විවිධ කෑම වර්ග සකසා වෙළ­ඳ­ස­ල්ව­ලට දැමූ ඇය අද ද තනි­වම මෙම ව්‍යාපා­රය කර­ගෙන යන්නීය. එහි සිටින්නේ සේවි­කා­වන් පමණි.

“මේ ව්‍යාපා­රය පටන් අරන් වසර හත­රක්. අපේ හෝටලේ පැය විසි හත­රම විවෘ­තයි.රොටී­ව­ලට තියෙන්නේ පුදුම ඉල්ලු­මක්. සෑම තරා­ති­ර­ම­කම අය මෙත­නට එනවා. ගොඩක් අය කන්න කැමති වෙල් අල­කොළ ගොබ මාඵව එක්ක රොටී. වෙල් අල­කොළ හැමෝ­ටම

උයන්න බැහැ. ඒක හරි­යට ඉව්වේ නැත්තම් කන්න බෑ කට කස­නවා. උයන්න අල­කොළ ගොබ කපන කෙනා ශබ්ද නැතිව ඒවා කපා ළිපේ තියන්න ඕනෑ. කතා­වට ගිහින් වැඩේ වර­ද්ද­ග­ත්තොත් කන්න බැරි තර­මට කට කස­නවා. රොටී කන්න ආපු පිට­ර­ට­වල අය එහෙ ගිහින් පවා අපට කතා කර­නවා. සම­හර මැති ඇමැ­ති­වරු නඵ නිළ­යන් පවා මෙත­නින් රොටී කාලා ෆොටෝ අරන් ගිහින් තිය­නවා. හොර බොරු නොකර අපි පාරි­භෝ­ගි­ක­යන් හැමෝ­ටම එක වගේ සල­කන්න ඕනෑ. එත­කො­ටයි ඒ කවු­රුත් නැවත පැමි­ණෙන්නේ.”

අප ඉදි­රියේ දිගින් දිගට ඇත්තේ රොටී කඩය. ඒ සෑම කඩ­යක් ඉදි­රි­යේම නතර කළ වාහ­නය. ඇතැම් වාහ­න­වල විදේ­ශි­ක­යන්ය. සෑම ජාති­ය­කම සෑම තරා­ති­ර­ම­කම අය මෙහි වෙති. ඒ සැවොම මෙතැ­නට පැමිණ එකම මේස­යක හිඳ රොටී කති. රොටි­යද ඉන්දීය කෑමකි. රොටී කෑමට දෙන අල­කොළ, කොස්, පොළොස් අපේ රටේය. මේ විවි­ධ­ත්වය සුද්දා ගල විදපු ඉසව්වේ සිට කොයි කවු­රුත් භුක්ති විදි­නුයේ අපූරු චම­ත්කා­ර­යක්ද විඳි­මිනි.

ඡායා­රූප - රුවන් මීග­ම්මන

Comments