
රජරට ඈත ගම්මැදිවල ඇත්තෝ මාරාන්තික වකුගඩු රෝගය සමඟ දශක තුනක පමණ කලක සිට පොර බඳිති. එක් පසෙකින් එය සොබාදහමට පිටුපෑමේ විපාකයකි. පුදබිමේ හදවත බඳු මල්වතු ඔයටත් වැඩි කලක් යෑමට පෙර ඒ විනාශයම අත්වේද? සොබාදහමට ආදරය කරන්නන්ගේ හිඟකම නිසාත්, හදි කටිනවුන් වැඩි නිසාත් මල්වතු ඔයට හුදකලාවම හුස්ම අදින්නට සිදුව ඇත.
* විනාශය ගැන ප්‍රජාව දැනුවත් කරමින් පා ගමනක්
* මල්වතු ඔය රකින්න රජරට විශ්වවිද්‍යාලය පෙරට
* නගරයේ හෝටල් සහ නේවාසිකාගාරවල අපද්‍රව්‍ය කෙළින්ම මල්වතු ඔයට
මල්වතු ඔය මෙරට පැරැණිතම ස්වභාවික ජල මුලාශ්‍රය ලෙස පිළිගැනේ. රිටිගල කඳු යායෙන් ආරම්භ වී මන්නාරමෙන් මුහුදට එකතු වන මල්වතු ඔය දිගින් මහවැලි ගඟට පමණක් දෙවැනිවන්නකි. කිලෝ මීටර් 164 ක් නොඑසේනම් සැතපුම් 102 ක් පුරා ගලායන මල්වතු ගං කොමළිය අවසන මන්නාරම් තොටේදී මහා සමුදුර හා යුග දිවි අරඹයි. ඒ යන අතරමඟදී කුඩා පරිමාණ වැව් 179 කුත්, මධ්‍ය සහ මහා පරිමාණ වැව් 15 කුත් මල්වතු ඔයෙන් පෝෂණය ලබයි. වර්තමානයේ මේ ස්වභාවික ජල මූලාශ්‍රය අනුරාධපුර නගර සීමාවේදි දැඩි පාරිසරික හානියකට සහ දුෂණයකට ලක්වෙමින් පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ ආචාර්ය තුෂිත අමරසේකර මහතා පවසයි.
අනුරාධපුර පුජා නගරයේ විරාජමාන ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ද ලැබ දහසකට ආසන්න ගම්මැදි පසුකොට සියවස් ගණනක් පුරා හැල්මේ ගලාගිය මල්වතු ගං කොමළිය වත්මනදී අභියෝග රැසකට මැදිව සිටින්නීය. මල්වතු ඔය මෙරට සාම්ප්‍රදායික ජන ජීවිතයේ ආර්ථික සමෘධියේත්, සහජීවන දිවි පෙවෙතේත් ජීවමාන සාක්ෂිකරුවෙකි. දිය කඳක් පමණකුදු නොව සංස්කෘතික දායාද රැසක ගුණ සුවඳ ද ඒ දිය සිසිල හා මුහුව ඇත. එහෙත් වත්මන දී අනුරාධපුර නගරය මැදින් දිවෙන ඇළ මාර්ග තුනක් ඔස්සේ එන අප ජලය සහ විවිධ අපද්‍රව්‍ය මල්වතු ඔයට ගලායෑම මගින් එහි ජලය දැඩි දුෂණයකට ලක්වන බව ආචාර්ය අමරසේකර මහතාගේ පැහැදිලි කිරීම වී ඇත.
රජරට කෘෂි පීඨ පර්යේෂණය
අනුරාධපුර මහ රෝහල පිටුපසින් ගලා යන ඇළ මාර්ගය, කුබිච්චන්කුලම සහ කඩ පනහ වැව්වලින් ඇරඹෙන ඇළ මාර්ගය සහ පැරණි බස් නැවතුම්පළ හා මාර්කට් පෙදෙස හරහා ගලා යන ඇළ මාර්ගය මගින් ගලා එන අප ජලය සහ විවිධ අපද්‍රව්‍ය මල්වතු ඔයට එක්වීමෙන් මෙම අවධානම මතුව ඇත. රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මගින් සිදුකළ පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ නගර සීමාවේ මල්වතු ඔයට යාබදව පිහිටි හෝටල් සහ නේවාසිකාගාර මගින් මුදාහැරෙන අපද්‍රව්‍ය මල්වතු ඔයට සෘජුව මුදාහැරීම මගින් මෙම අවධානම තවදුරටත් උත්සන්න වී ඇති බවය.
විජය කුමරු සහ ඔහුගේ සහචර ඇමතිවරුන් මෙරට ට අහම්බෙන් සේන්දු වී පසුකලෙක මල්වතු ඔය අසබඩ ජනාවාස පිහිට වු බව ප්‍රකට ඉතිහාස කතාව වේ. එකල්හි අනුරාධ නම් ඇමතියා විසින් පිහිට වු අනුරාධගාමය අද අනුරාධපුරය වී තිබේ. එකල පටන් මල්වතු ඔය අනුරාධපුරයේ හදවත බඳුය. සුවහසක් සත්වයින්ගේ පානීය ජල අවශ්‍යතාවත්, කෘෂිකාර්මික කටයුතු සඳහාත් ජලය සපයමින් හැල්මේ ගලා බසින මනස්කාන්ත මෙම ජල ප්‍රවාහය රිටිගල රක්ෂිතයෙන් පිරිසුදු දිය පහරක්සේ ඇරැඹී අනුරාධපුරය පසුකරත්ම දුෂණයට ලක්වීම කෙතරම් නම් අභාග්‍යයක්ද?
ජල සාම්පල පරික්ෂා
රිටිගල සිට සැතපුම් ගණනාවක් උපද්‍රව රහිතව ගලාඑන මල්වතුඔය අනුරාධපුර නගරය පසුකොට ගලා යත්ම විවිධ හේතු පදනම්ව දැඩි දුෂණයකට ලක්ව ඇති බව ජල සාම්පල පරීක්ෂාව මගින් තහවුරු වී ඇතැයි ආචාර්ය අමරසේකර මහතා හෙළි කළේය. ගෘහාශ්‍රිතව මුදාහැරෙන අපජලය, නාන කාමර අපජලය, ගෙවතු අපජලය, නිවාසවල බහිස්ස්‍රාවි අපද්‍රව්‍ය ආදිය ඔයෙහි දිය දුෂණය වීමට හේතුවී ඇත. බැරලෝහ අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය එනම් කෘමිනාශක සහ වල්නාශක, නයිට්රේට්, පොස්පේට් අඩංගු පොහොර අධි භාවිතය, සත්ව පාලනය ආශ්‍රිතව මුදාහැරෙන අප ජලය ආදි කෘෂිකාර්මික අපද්‍රව්‍යවල බලපෑමද මල්වතුඔයේ ජලය දුෂණයට හේතුවී ඇති බව ද තහවුරු වී ඇත. එමෙන්ම කර්මාන්ත ආශ්‍රිතව මුදාහැරෙන තෙල්, ග්‍රීස් වැනි බැර ලෝහ සහිත අපජලය, අධික උෂ්ණත්වයෙන් යුතු ජලය ද මෙම පාරිසරික හානිය සඳහා හේතුවන බව හෙළිවී තිබේ.
වගකිවයුත්තන් නිහඬයි
ලැගුම්හල්, විවිධ මාදිලියේ හෝටල් හා ආපනශාලා විශාල සංඛ්‍යාවක් පිහිටා ඇති නගර අතර අනුරාධපුරය ද පෙරමුණේ වෙයි. එවැනි ස්ථාන ගණනින් පන්සියය ඉක්මවන බව නම් නිසැකය. එසේම මෙපුර ස්වභාව සෞන්දර්යත්, ඓතිහාසික වටිනාකමත් තොරොම්බල් කරමින් රුපියල් ශත සොයන්නෝ ද බොහෝ වෙති. කරුණු එසේ වුව ද අනුරාධපුරයේ පාරිසරික සුරක්ෂිතතාව කෙරෙහි වගකිවයුත්තන්ගේ සහ මෙබිමෙහි වටිනාකම් විකුණා මුදල් උපයන්නවුන්ගේ ඇති සැලකිල්ල කොතෙක් ද යන්නට මල්වතු ඔයේ විනාශය තවත් එක නිදසුනක් පමණකි.
ඔය ආශ්‍රිතව ඇති ලැගුම්හල් සහ හෝටල් විශාල ගණනකි. මේ බොහෝ තැන්වල අපජලය බැහැර කිරීමේ කාණු හෝ නළ සෘජුවම මල්වතු ඔයට යොමුකොට තිබීම මෙතෙක් වගකිවයුතු කිසිවෙකු නොදුටු විනාශයකි.
කිස්තු වර්ෂ 1660 අප්‍රේල් මස 04 වැනි දින අහම්බෙන් මෙරටට ගොඩබට නාවිකයෙකු වු ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් මහතා මෙරට කන්ද උඩරට රාජධානියේ සිරකරුවෙක් ලෙස සිට ඇත. වසර දහනවයකුත් මාස හයකට ආසන්න කාලයකට පසුව මෙරටින් සිය මව්බිමට පැනගොස් පසුකාලීනව මෙහි ජන ජීවිතය අළලා ඔහු විසින් රචිත කෘතිය ලොව පුරා පර්යේෂකයින්ගේ අවධානයට සහ පිළිගැනීමට පාත්රවුවකි. ඩේවිඩ් කරුණාරත්ත සුරින් එම කෘතිය එදා හෙළදිව නමින් සිහල බසට අනුවර්තනය
කරනුයේ එවක මෙරට ජන සමාජයේ ස්වභාවය මැදහත්ව විනිවිදි ආගන්තුකයෙකුගේ අත්දැකීම් වත්මන් සමාජයට දායද කිරීමේ මඟ පාදමිනි. මෙම අනුවර්තිත කෘතියට අනුව අනුරාධපුරය නගර මධයෙන් ගලා ගොස් මන්නාරම් ද්‍රෝණියෙන් මුහුද හා මුහුවන ඔයක් නොඑසේනම් ගඟක් පිළිබඳ තොරතුරු දක්වා ඇත. එය මල්වතු ඔය නම් වෙයි.
මේ ඔය ඔස්සේ මන්නාරම් තොටට ගොස්, ඉන් යාපනයටත්, අනතුරුව කොළඹටත් පසුව එහි සිට නැව් නැග සිය මව්රට වන එංගලන්තයට පැනගිය රොබට් නොක්ස් සිය කෘතියේ පරිච්ඡේද දෙකක් පමණ මල්වතු ඔය වෙනුවෙන් වෙන්කොට ඇත. මල්වතු ඔයෙන් පාර අසා සිය මව් රටට පැන ගිය ඔහු තම කෘතියෙහි අවසන් භාගයෙහි ඒ වග මෙපරිද්දෙන් විස්තර කොට ඇත.
රොබට් නොක්ස් දුටු මල්වතු ඔය
‘අපගේ ජීවිතයේ කිසිම දිනෙක නොගොස් තිබුණු මෙම අනුරාධපුර නගරයට යන මං තොරතුරු කිසිවක් අප නොදැන සිටි බව සැබෑ ය. එහෙත් අනුරාධපුරයට යන පාර කිසිවෙකුගෙනුත් නො අසන්නට අපි විශේෂයෙන් පරෙස්සම් වීමු. ඒ අප ගැන සැක ඇති වෙතියි බියෙනි. එහෙත් අපි නිවැරිදි මඟ හැටියට අපට පෙනී ගිය මාර්ගය ඔස්සේ හුදෙකලාව කැලෑව මැදින් ගමන් කෙළෙමු. අප අනුමානයෙන් හරි මඟ යැයි සිතු මාර්ගය සැබැවින් ම හරි මඟ වුයේ ය. එහෙයින් එක එල්ලේම අපේ අභිමත ස්ථානයට පැමිණෙන්නට අපට පුළුවන් විය. මෙම නගරයට එන්නට පෙර වනාන්තරය අතරින් ගලා ගිය සිංහලයින් විසින් මල්වතු ඔය යැයි කියනු ලබන කුඩා ගංගාවක් තරණය කරන්නට අපට සිදුවිය. මෙම ගඟ හොඳාකාර පරීක්ෂා කළ අපි සමුද්‍ර ආසන්නයට යන්නට වඩා සුදුසු මාර්ගයක් නොලැබුණහොත් මේ ගංගාව දිගේ වත් ගමන් කොට මුහුදු වෙරළට පැමිණිය හැකි බව සිතා සැනසුනෙමු. සෙසු හැම මඟක් ම වැරදී ගිය ද මෙම ගංගාව අපට මහා සමුද්‍රයට මාර්ගය කියන බව අපි ඉඳරා ම විශ්වාස කළෙමු. එහෙයින් පළමු කොට අනුරාධපුරයට පැමිණියෙමු.’
මෙනයින් පාරිසරික මෙන්ම ඓතිහාසික වටිනාකමින් ද අනුන මල්වතු ඔය දෙස් විදෙස් සංචාරක අවධානය නොඅඩුව දිනන අනුරපුර නගර මධ්‍යයේ දී ඉමහත් අභාග්‍යයකට මැදිවීම සංවේගය දනවන්නකි. අනාගත පරපුරෙන් ණයට ගත් මේ පාරිසරික දායාද සුරක්ෂිත කිරීම මානව දයාවෙන් සහ නිර්ව්‍යාජ හැගීමෙන් යුතු අයෙකුට පමණක්ම කළ හැක්කකි. මෙම අවධානම් සහගතතත්වය පිළිබඳප්රජාව දැනුම්වත් කිරීම සදහා සංවිධානය කළ පා ගමනක් රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිට අනුරාධපුර නව නගරය දක්වා ඉකුත් දා පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් එක්ව පිහිටුවා ඇති මල්වතුඔය සුරැකීමේ සංසදය මගින් පා ගමන සංවිධාන කොට තිබිණි. සංසදයේ සම්බන්ධීකාරක සදරූ හසරංග ශාන්තප්‍රිය පැවසුයේ විවිධ ස්වේඡ්චා සංවිධාන සහ පාසල් මට්ටමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඉදිරියේ දී පැවැත්වීමට සැලසුම් කොට ඇති බවය.
රෝහල් හා ගෘහාශ්‍රිත අප ජලය සෘජුවම ඔයට මුදා නොහැරීම, හෝටල් හා ගෘහාශ්‍රිතව සනීපාරක්ෂක වැසිකිලි භාවිතය, ප්ලාස්ටික්, පොලතීන් වැනි නොදිරන අපද්‍රව්‍ය ඔයට බැහැර නොකිරීම, පොහොර භාවිතයේ දී නියමිත ප්‍රමාණය පමණක් නියමිත කාලය තුළ නිවරිදි ක්‍රම අනුගමනය කර යෙදීම, ඔය දෙපස ඇති කුඹුක් ගස්, පඳුරු හෝ තෘණ වර්ග ඉවත් නොකිරීම, රසායනික පොහොර වෙනුවට හැකිතරම් කාබනික පොහොර භාවිතය, කෘමිනාශක වෙනුවට ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් මල්වතු ඔයේ අනාගත පැවැත්ම සහතික කළ හැකිය යන්න පර්යේෂකයින්ගේ පැහැදිලි කිරීම වී ඇත.
පිරිසුදු පානීය ජලයේ ඇති හිඟකම නිසාම රජරට ඈත ගම්මැදිවල ඇත්තෝ මාරාන්තික වකුගඩු රෝගය සමඟ දැන් දශකතුනක පමණ කලක සිට සටන් වැද සිටිති. එක් පසෙකින් එය සොභාදහමට පිටුපෑමේ විපාකයකි. මේ ගහට කොළට, ඇළට දොළට, සතා සිවුපාවුනට, වැව් අමුණුවලට පෙම් බඳින කවරෙකු හෝ වෙත්නම් අත රැඳි ටොපි කොළයක් හෝ හැල්මේ අත නොහරිනු ඇත. එහෙත් එවැන්නන්ගේ හිඟකම නිසාත්, හදි කටිනවුන් වැඩි නිසාත් මල්වතු ඔයට හුදකලාවම හුස්ම අදින්නට සිදුව ඇත.
ඩබිලිව්. ප්‍රදීප්
ඡායාරූප - තඹුත්තේගම විශේෂ