
සිරිපා මළුව වටා ප්රාකාරයක් බැඳ තිබූ බවත් එහි දොරටු තුනක් වූ බවත් හෙන්රි මාර්ෂල් පවසයි. ඉන් එකක් කුඩා දිය උල්පතකට ළඟා වන්නට තිබූ දොරටුවක් බවත්, අනෙක්වා පිළිවෙළින් හැටන් සහ රත්නපුරා පාරට විවර වූ බවත් ඔහු දක්වා ඇත. හෙන්රි මාර්ෂල් එහි ළඟා වන විට මළුවේ බැතිමතුන් හතළිහක් පමණ වන්දනා මාන කරමින් සිට ඇත. ඔවුන් පිරිසුදු ඇඳුමින් සිටි බව මාර්ෂල් විශේෂයෙන් සඳහන් කර ඇත.
සිරිපා නැඟීමෙන් මතුවූ වෙහෙස නිවාගන්නට අවශ්‍ය නිසා කෙටි නින්දකට වැටුණු ඩේවි, ශ්‍රීපාදයේ කාලගුණය ගැන සඳහන් කරන්නේ උෂ්ණ කලාපික රටකදී විඳින්නට ලැබුණු කර්කෂම සීතලක් දැනුණු රාත්‍රිය ලෙසය. තෙහෙට්ටුව නිසා නින්ද ගිය ඩේවිට ඇහැරී ඇත්තේ ඉරුසේවය දැක බැතියෙන් සාධුකාර දෙන වන්දනා නඩයක ඝෝෂාව නිසාය. ඒ මොහොතේ වන ලැහැබක වූ කුටියකින් මළුවට වැඩම කළ භික්ෂුවක පැමිණි බැතිමතුන් පංචශීලයේ පිහිටුවා, යළි ගල්ලෙනට වැඩි බවද ඩේවි කියයි. මෙම භික්ෂුවට පැමිණ සිටි පිරිසෙන් බුලත්, පුවක්, හාල් ස්වල්පයක්, රෙදිකඩක් පූජා වශයෙන් ලැබුණු බවත්, භික්ෂුව වෙනුවෙන් ආවතේවකරුවෙකු ඒවා භාරගත් බවත් ඩේවි පවසයි. මෙම සියලු පූජා භාණ්ඩ අවසානයේ උරුම වන්නේ මල්වතු මහා විහාරයට බවට ඩේවි පවසන්නේ ක්‍රි.ව. 1786 දී රාජාධිරාජසිංහ රජු විසින් ශ්‍රිපාදයේ වගකීම් වේහැල්ලේ සඟ පරපුරෙන් ඉවත් කොට මල්වතු විහාරයට පැවැරූ නිසාය.
කිසිදු ආකාරයක සරු පසක් රහිත මළුව අවට ගල්තලාවේ සරුවට වැවෙන රත් පැහැති “අශෝක මල්” හෙවත් මහරත්මල ගැන සිරිපාද බැතිමතුන්ගේ විශ්වාසයන් ගැන සටහන් කරන ඩේවි එය මනංකල්පිතයක් පමණක් බවට විස්තර කරයි. බුදුහිමියන් සිරිපා සටහන තැබූ විගසම, එයට පූජා පිණිස සමන් දෙවියන් මේ මල් සහිත ගස සිටවූ බව බැතිමතුන් ඩේවිට පවසා තිබේ. නමුත් ඩේවි පවසන්නේ අඩි දෙදහට වඩා උස් කඳු මුදුන්වල වැවෙන මේ ගස සිරිපාද මළුවට පමණක් ආවේණික එකක් නොවන බවයි. එය බොහෝදුරට සත්‍ය වන නමුත් මහරත්මල් ලංකාවට පමණක් ආවේණික ඒක දේශීක ශාකයකි. මධ්‍යම පළාත් පුෂ්පය වන මහරත්මල මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ට වඩා උසින් පිහිටි හෝර්ටන් තැන්න, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, සඳතැන්න ආදී නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශවල වැවෙයි. වඩා හොඳින් වැවෙන්නේ පතන භූමිවලය. වියළි කාලයේදී ලැව් ගින්නට හසුවන පතන බිම්වල සරුවට වැඩෙන මහරත්මල් එම භූමිවලම නැවත වැඩේ.
වෛද්‍ය හෙන්රි මාර්ෂල් යනු 1818 දී වීර කැප්පෙටිපොළ හිස ගසා දමන මොහොතේ ඔහුගේ මරණය තහවුරු කිරීමට රාජකාරිමය වශයෙන් සහභාගී වූ නිලධාරියාය. ඉංග්‍රිසි පාලනයත් සමඟ බ්‍රිතාන්‍ය හමුදාවේ උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියා ලෙස රාජකාරියට පැමිණ මහනුවර පදිංචි වූ හෙන්රි මාර්ෂල් සිරිපා කරුණාව අරඹා ඇත්තේ 1819 මාර්තු 29 දාය. ඔහු සමඟ සෝයර්ස් නම් ආදායම් නිලධාරියාද ගමනට සහභාගී වී තිබේ. ඔහු විසින් රචිත කෘතියේ ඔහුගේ සිරිපා චාරිකාවේ තොරතුරු සටහන්ව ඇත.
මහනුවර සිට සේවකයින් විසින් ඔසවාගෙන ගිය පුටුවක නැඟී අඹගමුව දක්වා ගිය හෙන්රි මාර්ෂල් ඇතුළු පිරිස අඹගමුවට ගොස් ඇත්තේ දින පහක ගමනකින් පසු අප්‍රේල් 02 දාය. පසු දින උදේ 7.15 ට සිරිපා කරුණාව ඇරඹූ ඔවුන් උදේ 9.15 ට සිරිපාද පද්මයට ළඟාවූ බව දක්වා තිබේ. මේ අනුව එකලද දෙපැයකින් නඟින්නට තරම් පහසු මාර්ගයක් ලෙස හැටන් පාර ගොඩනැඟී තිබූ බව අපට විශ්වාස කළ හැකිය.
සිරිපා මළුව වටා ප්රාකාරයක් බැඳ තිබූ බවත් එහි දොරටු තුනක් වූ බවත් හෙන්රි මාර්ෂල් පවසයි. ඉන් එකක් කුඩා දිය උල්පතකට ළඟා වන්නට තිබූ දොරටුවක් බවත්, අනෙක්වා පිළිවෙළින් හැටන් සහ රත්නපුරා පාරට විවර වූ බවත් ඔහු දක්වා ඇත. හෙන්රි මාර්ෂල් එහි ළඟා වන විට මළුවේ බැතිමතුන් හතළිහක් පමණ වන්දනා මාන කරමින් සිට ඇත. ඔවුන් පිරිසුදු ඇඳුමින් සිටි බව මාර්ෂල් විශේෂයෙන් සඳහන් කර ඇත. එසේම එක් වන්දනා වාරයකදී සිරිපා මළුවේ ආදායම පවුම් දෙසිය පනහක් පමණ වන්නට ඇතැයි ඔහු සමග ගිය ආදායම් නිලධාරියා අනුමානව තක්සේරු කර තිබේ.
මෙම සටහන්වලින් අනතුරුව විදේශීය සිවිල් නිලධාරියෙකු සිරිපා කරුණා කළ අයුරු විස්තර කෙරෙන සටහනක් හමුවන්නේ 1886දීය. එකල රත්නපුර දිසාපති වරයා වූ එච්. වේල්ස් මාර්තු 19දා සිරිපා කරුණා කර තිබේ. එදින මැදින් පොහෝ දිනක් වූ බවත්, සිරිපා මළුවේ සිටගෙන සිටින්නට පවා නොහැකි ආකාරයෙන් වන්දනාකරුවන් සිටි බවත් වේල්ස් සටහන් තබා තිබේ. ඉන් අනතුරුව සිරිපාදය දෙස් විදෙස් බැතිමතුන්ට, දේශ ගවේශකයින්ට ආගන්තුක ස්ථානයක් නොවූ අතර පසුකාලීනව නවීන තාක්ෂණය පවා උපයෝගී කොටගෙන සිරිපා වන්දනාව ගැන සටහන් තැබූ ලේඛකයෝ හා දේශ ගවේශකයෝ හමුවෙති.
දේශීය රජවරුන්ගේ සිරිපා පුද සත්කාර
විජයාගමනයෙන් පසු ලක්දිව රජවූ රජවරුන් අතරින් පළමුව සිරිපා කරුණා කොට ඇත්තේ වළගම්බා රජුය. පළමු ධූර කාලයෙන් අනතුරුව, ආක්‍රමණ හමුවේ පලාගොස්, සේනා සංවිධානය පිණිස රට පුරා ඇවිද ගිය හෙතෙම සිය දෙවන රාජ්‍ය සමයේදී (ක්‍රි.පූ. 89-ක්‍රි.පූ.76) සිරිපා කරුණා කොට ඇතැයි විශ්වාස කෙරේ. රටපුරා ලෙන් විහාර ගණනාවක් කළ වළගම්බා රජු ශ්‍රීපාදය වෙනුවෙන්ද පුද පූජා රැසක් කළ බව සඳහන් වෙතත් ඒ මොනවාදැයි පැහැදිලිව දැක්වෙන සටහනක් හමුව නැත.
එහෙත් ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205 රජකම් කළ අසේළ රජු පරදා අනුරාධපුර රාජධානිය අත්පත් කරගත් එළාර රජු ගේ ඇමැතිවරයෙකු වූ දීඝජන්තු සෙනෙවියා එළාර රජු වෙනුවෙන් ශ්‍රීපාදය වැඳපුදාගෙන ආකාශ චේතියට රත් පැහැති පටසළුවක් පූජා කළ බව මනෝරථපූර්ණිය නම් පාලි ග්‍රන්ථයේ සටහන්ව ඇත. සිරිපාදය වඳින්නට පැමිණෙන දමිළ- හින්දු බැතිමත්තු අද ද සිරිපාසටහනට රතු රෙදි පිදීම චාරිත්‍රයක් ලෙස සිදුකරයි.
රජකු වෙනුවෙන් සිරිපා වැන්ද රාජ්‍ය නිලධාරියා
රජෙකු නොවූවද රජෙකු වෙනුවෙන් ශ්‍රීපාද කරුණා කළ ප්‍රථම රාජ්‍ය නිලධාරියා ලෙස දීඝජන්තු සෙනෙවියා දැක්විය හැක. එළාර රජු හා දුටුගැමුණු රජු අතර යුද්ධය පැවැති ක්‍රි.පූ.161ට ආසන්න සමයෙක මෙම සිරිපා ගමන සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැක්කේ මලය රට ජනාවාසවල විශ්වාසය තහවුරු කරගැනීම සඳහාද වන්නට ඇත.
දුටුගැමුණු රජු වෙනුවෙන් සමන්තකූඨය වන්දනා කළ ථේරපුත්තාභය යෝධයා පද්මය සුවඳ මලින් පුදා, පර්වත පාමුලෙහි වූ මරුකන්ද ජනපදයට පිවිස එහි ද්‍රවිඩ බලය බිඳ හෙළූ බව සහස්ස වත්ථූපකරණය හෙළිකරයි. එසේම දුටුගැමුණු රජු සමයේදී රජු කළ පින්කම් ඇතුළත් පින්පොත ථේරපුත්තාභය මහතෙරුන් විසින් කියවන විට එහි “ඒ තෙරුන් වහන්සේ අතුරෙන් ඇඹුල් සහිත තණ බත් ගත් මලියදේව මහා ස්ථිවිර තෙමේ සමන් කුළු පව්හි නව සියයක් භික්ෂූන්ට දන් දී වැළඳූ සේක” යි සටහන්ව තිබූ බව මහාවංශයේ තිස් දෙවන පරිච්ඡේදයේ සටහන්ව ඇත. එම තොරතුරම වඩාත් විස්තරාත්මකව සහස්ස වත්ථූපකරණයේ දක්වා ඇත.
ක්‍රි.ව. 975-991 රජකම් කළ සිව්වන මිහිඳු රජු පෙර සොළී ආක්‍රමණවලදී විනාශ කළ ශ්‍රීපාදයේ පිහිටි සෑයක් ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. අනුරාධපුර රාජධානියේ අවසන් භාගයේදී සාමාජීය, ශාසනික සේවා සඳහා ඉඩකඩ නොලැබුණු බැවින් යළිත් ශ්‍රීපාදය ගැන රාජ්‍ය අවධානය යොමුවන්නේ පොළොන්නරු යුගයේදීය.
ක්‍රි.ව.1056 රජ පැමිණී පළමු විජයබාහු රජු සිය රාජ්‍යත්වයෙන් තිස් අට වැනි වර්ෂයේදී (1094) සිරිපා කරුණා කර තිබේ. ඒ පැමිණෙන අතරමඟදී අඹගමුවේ සෙල්ලිපියද, ගිලීමලේ සෙල්ලිපියද කරවා සිරිපාදයේත්, එහි භික්ෂූන්ගේත්, වන්දනාකරුවන්ගේත් ශුභ සිද්ධිය පිණිස කටයුතු කරන්නට එගම් වැස්සන්ට නියෝග කළේය.
සිරිපා වන්දනා කරන මහා සංඝයා වහන්සේට හා වන්දනාකරුවන්ට ආහාර පාන බෙහෙත් හේත් දීම හා සියලු රැකවරණය දීමට එකතු වන රාජකාරි කරන අයට වැටුප් ගෙවීම සඳහා භවභෝගවලින් යුතු ඉහත කී ගම්මානද සිරිපාද පුදබිමට පවරා තිබුණු බව මහාවංශයේ තවදුරටත් සඳහන්ව ඇත.
නිශ්ශංකමල්ල රජුගේ සෙල් ලිපි
පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1153-1186) සිය ඇමැතිවරුන්ද සමඟ සිරිපා කරුණා කොට තිබූ අතර, සුමන සමන් දේව ප්‍රතිමාවක් කඳු මුදුනට වැඩමකරවා පද්මය අසලින් දේවාලයක්ද ඉදිකොට ඇත.
සිරිපා වන්දනාව අරභයා මෙරට රජවරුන් කළ සම්පූර්ණ සෙල්ලිපි ගණන එකොළහකි. ඉන් දෙකක් පෙර සඳහන් කළ පරිදි පළමු විජයබාහු රජු කරවන ලද ඒවාය. තවත් එකක් පසුකාලීනව දඹදෙණියේ රජ කළ දෙවැනි පැරකුම්බාවන් විසින් ස්ථාපිත කළ අත්තානි කණුවකි. එය පද්මය ආසන්නයේ ස්ථාපිත කළ බව සඳහන් වුවත් මෙතෙක් සොයාගෙන නැත. ඉතිරි සෙල්ලිපි අට ම නිර්මාණය කර ඇත්තේ පළමු පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් රජවූ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුය. (ක්‍රි.ව.1187-1196).
නිශ්ශංකමල්ල රජු කළ සෙල්ලිපි අතර කඳු මුදුනෙහි වූ නිශ්ශංක ලෙනෙහි සෙල්ලිපිය, හැටදාගේ ලිපිය, පඬුවස්නුවර සෙල්ලිපිය, ගල්පොත ලිපිය, කටුගහගල්ගේ ලිපිය, වැලිගත්ත ලිපිය ආදියද දැක්විය හැක. පළමු විජයබාහු රජු ශ්‍රීපාදයට පූජා කළ ගම්වර නැවැත පූජකළ හෙතෙම සිරිපා වන්දනා කර ඇත්තේ තම රාජ්‍ය සමයේ අවසාන කාලයේදීය.
දඹදෙණියේ දෙවන පැරකුම්බා (ක්‍රි.ව. 1236 – 1271) රජුද සිරිපා වන්දනා කළ බව මහාවංශය කියයි. පූජාවලියට අනුව සිය ඇමැතිවරයෙකු වූ දේවප්‍රතිරාජ ගඟසිරිපුරට යවා සමන් දෙවි රුවක් කරවා එය සිරිපා මළුවට වැඩමවා සමන් දේවාලයක් කොට ඇත. තුන් දිනක් මළුවේ ගත කර ඇති රජතුමා, එහි මළුව වටා ප්‍රකාරයක් බඳින්නටද නියෝග කොට ඇත. ශ්‍රීපාද ප්‍රවේශ මාර්ගවල දුර්ග වළකා නවීකරණය කර ඇත්තේද මේ රජතුමාගේ සමය්දීය. රත්නපුර මහ සමන් දේවාලය කරවා ඇත්තේද මේ රජතුමාගේ සමයේදීය.
එතුමා විසින් කළ සියල්ලටම වඩා වැදගත් කටයුත්ත නම් ශ්‍රී පළාබද්දල මහ පිරිවෙන කරවීමයි. පළාබද්දල මහ පිරිවෙනට අමතරව අත්තනගල්ල, පස්යොදුන් රට, මලල දේශය යන ස්ථානවලද පිරිවෙන් ඉදිකරවා ඇත්තේ මෙතුමාගේ සමයේදීය. ශ්‍රීපාදය දිගින් දිගටම බොදු පුදබිමක් ලෙස රැකෙන්නට හේතුපාදක වූයේ දෙවන පැරකුම්බා රජු විසින් නිර්මාණය කළ පළාබද්දල පිරිවෙනයි. රජුගේ ප්‍රධාන ඇමැතිවරයා වන දේවප්රතිරාජයන් විසින් මෙම පිරිවෙන ඉදිකළ නිසා, එයට ගෞරවයක් ලෙස අදද එම පිරිවෙන හැඳින්වෙන්නේ පළාබද්දල දේවප්‍රතිරාජ පිරිවෙන ලෙසය.
සාහිත්‍යයටද ඉමහත් සේවයක් කළ දෙවන පැරකුම්බා රජු විසින් පළාබද්දල දේවප්‍රතිරාජ පිරිවෙනාධිපති සහ උගත් භික්ෂූවක වූ වෙදේහ මහා ස්වාමීන් වහන්සේ ලවා සාහිත්‍ය කෘති තුනක්ද කරවා ඇත. සදෑලඣණය, සමන්ත කූඨ වර්ණනාව, රසවාහිනිය යනු එම කෘති තුනයි.
ගිලන්වූ දෙවන පරාක්‍රමබාහුගෙන් රජකම පැවැරුණු සිව්වැනි විජයබාහු හෙවත් බෝසත් විජයබාහුද සිරිපා කරුණා කොට තිබේ. දඹදෙණි යුගයෙන් පසු ගම්පොළ යුගයේදී සිරිපා වන්දනාවේ යෙදුණු රජ කෙනෙකු ලෙස හතරවන බුවනෙකබාහු රජු හැඳින්වේ. වංශකතා වලද, එකල ලියැවුණු තිසර සන්දේශයේද සිරිපාදය ගැන අලංකෘතව විස්තර කර ඇත.
සමනොළ සිරිපා වරුණේ ලිපි පෙළට අන්තර්ගත විය යුතු යැයි සිතන ඔබ දන්නා ආශ්‍රිත කරුණු සහ සැඟවුණු චමත්කාරයන් වේ නම් outofboxsrilanka@gmail.com ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
(මෙම ගවේෂණය සඳහා අවසර ඉඩහසර ලබාදුන් ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන්ට සහ සියලු පහසුකම් සපයා දුන් ශ්‍රීපාදස්ථානයේ සම්බන්ධීකරණ ලේකම් උපාලි උදයකුමාර මහතාට)
ඡායාරූප - චතුර හේමාල් සහ අන්තර්ජාලයෙනි