උඹ හින්දා මට කෙල්ලෙක් දාගන්නත් බෑ | Page 7 | සිළුමිණ

උඹ හින්දා මට කෙල්ලෙක් දාගන්නත් බෑ

“ඔයා නං වෙන වෙන ක්‍රම­ව­ල­ටත් ඇතුළු වෙනවා කියලා මං දන්නවා. ජනේ­ල­යෙන් විත­රක් නෙමේ වහ­ලෙ­නුත් ඔයා බැස්සොත් මං පුදුම වෙන්නෙත් නෑ. හැබැයි ශිෂ්ට සම්පන්න මිනිස්සු කාම­රේ­කට ඇතුළු වෙන්න කලින් දොරට තට්ටු කර­නවා.
ඔහොම කඩා­ගෙන බිඳ­ගෙන එන්නෙ නෑ.. ඒක හරි කැතයි, අසෝ­බ­නයි.”

සාමා­න්‍ය­යෙන් දිය­ණි­යගේ මුඛ­රි­කම පිටු දකින සුනන්දා අන් කිසි දිනෙ­ක­ට­වත් වඩා මේ මොහො­තේදී ඇගේ මුවින් වද­නක් බලා‍පො­රොත්තු වෙයි.

“ඉන්න හැටි ගොළුවා වගේ...” යි කොඳු­ර­මින් සුනන්දා කුස්සි­යට ගියාය.

“අයියා උදේට කෑවෙත් නෑ.. දවල් බත් එකත් සීතල වෙලා.. අනේ ඇත්තට ම තාත්තා කෙනෙ­කුට දුවෙක් කියන කතා­වක්ද ඒ කීවේ? අපේ අයියා මොක­දට තමුන්ගෙ ගෑනිව මරන්නෙ...? ඒ වගේ ගුණ යහ­පත් ගෑනි­යෙක් මරා ගන්න­වද මේ ලෝකෙ මනු­ස්ස­යෙක්...?”

ඇය ඇගේ සිත දවන දුක කියා පෑවේ හැළි­වලං එක්කය.

“මොකද ආයෙ හෙව්වෙ නෑ කිය­ලද... රෑ දවල් නැතිව හෙව්වා නේද... ග‍ඟේ ගිලිච්චි කෝච්චියේ හැප්පිච්චි කෙනෙක් හිටි­යොත් මේ රටේ කොත­නට වුණත් ගියේ නැද්ද අපේ අයියා... සාත්ත­ර­කා­රයො පස්සෙ වැටී­ගෙන මොන තරම් සල්ලි­යක් නැති නාස්ති කර­ග­ත්තද... කිසිම ආරං­චි­යක් නෑනෙ අවු­රුදු දෙකක් ගිහි­ල්ලත්... ඒකට ඉතිං අපේ අයියා මොකද කරන්නෙ... ඒක අක්කගෙ කරුමෙ... මෙච්චර හොඳ මිනි­හෙක් එක්ක ඉන්න එයාට වාස­නාව නැතිව ගියා... මොකක් හරි ගිය ආත්මෙ කරපු පාප­යක්... පව් පල දෙන­වනෙ කියන්නෙ ආත්ම හතක් ගියත්...”

වැඩක් පලක් කර­න්නට බැරි තර­මට විය­වුල්ව හුන් සුනන්දා නැව­තත් විසිත්ත කාම­ර­යට ගියාය. මේ හිතු­ව­ක්කාර කෙල්ලගේ කටින් වච­න­යක් පිට­තට ගන්නා­තුරු ඇයට ඉව­සි­ල්ලක් නැත. එහෙත් සෝපාව හිස්ව තිබිණ. ඒ මත අමා­ලිගේ පිය­කරු සිරුර දක්නට නොලැ­බී­මෙන් තිගැ­ස්සු­ණාය.

“අමා...”

කඩි­මු­ඩියේ හැඳ පැල­ඳ­ගන්නා අමාලි ඒ උච්ච ස්වර­යෙන් නොකැ­ල­ඹු­ණාය. ඇය අත් බෑග­යද උර­හි­සක එල්ලා­ගෙන කාම­ර­යෙන් පිට වූයේ නැන්ද­ණිය මුහු­ණට මුහුණ සම්මුඛ වන බව දැන දැන­මය.

“කොහෙ යන්නද මේ?”

ලිහිල් බ්ලවු­ස­ය­කින් සහ දිගු කලි­ස­ම­කින් සැර­සුණු දිය­ණි­යගේ රුවින් ප්‍රීති වනවා වෙනු­වට සුනන්දා කෝප­යට පත්වූ­වාය.

“තාත්තව හොයන්න...”

“මොනවා?”

නැන්ද­ණි­යගේ විම­තිය නොතැකූ අමාලි යුහු­සු­ළුව නික්ම ගියාය.

“ඊට පස්සෙ මට යන්න වෙයි ඔයාව හොයන්න. අනේ මේ විකාර නැතුව මෙන්න මෙහෙ ඉන්න අමා...”

සුනන්දා ඇය හඹා යමින් කෑගැ­සු­වාය.

“ගෙද­රට වෙලා උඩ බලා­ගෙන ඉඳලා හරි­ය­න්නෑනේ... ටිකක් හොයලා බලන්න ඕනනේ.. ඔයා එක්ක රණ්ඩු කර කර ඉන්නද ඔයා මට කියන්නේ...”

“බස් එකේ ගිහි­ල්ලද හොයන්නෙ..? තව ටික­කින් රෑ වෙනවා.. නිකං මෝඩ වැඩ කරන්න එපා අමා..”

අමාලි බසයේ ගමන් නොක­රන බවට සාක්ෂ්‍ය දර­න්නාක් මෙන් යතු­රු­පැ­දිය මත හිඳ­ගෙන හුන් තරු­ණයා හිස් ආව­ර­ණය ගලවා මුහුණ කට පෑවේය. දන්නා හඳු­නන මුහු­ණක් වුවද සුන­න්දාගේ කෝපය ද නොඉ­ව­සිල්ල ද තුනී වූයේ නැත.

“බ්‍රයන්..?” “බ්‍රයන්.”

ඇය තමා හඳුනා ගැනීම පිළි­බඳ සතුටු වන්නාක් මෙන් බ්‍රයන් සිනා­සු­ණේය.

“ඔයා කොයි‍ ­වෙ­ලා­වෙද ආවෙ?”

ඇය මහත් කුහු­ලින් ප්‍රශ්න කළාය. බ්‍රයන් හා අමාලි අතර මිත්‍ර­ත්වය ඇය කිසි­සේත් රුස්සන්නේ නැත. හිස වර්ණ ගැන්වූ කන් පෙත්තක කරා­බු­වක් පැලඳි මේ සංකර තරු­ණයා සමඟ ඇසුර අමා­ලිට හානි කර බව ඇය නිතර සිතයි.

“දැන­ට­මත් හැමෝම කිය­නවා ඇති අමා මේ කොල්ලා එක්ක යාළුයි කියලා.” යි ඇය සිතන්නේ මහත් ළතැ­වු­ලිනි.

‘ඒ ලංසි කොල්ලා එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?” සිරි­මා­න්නද වරක් විමසා සිටි­යේය.

“එයා මගේ යාළු­වෙක්...”

අමාලි නොපැ­කිළ උත්තර දුන්නාය.

“කෙල්ලෙ­කුට යාළු­වෙක් වෙන්නෙ කෙල්ලෙක් නේද?”

යුව­තිය දෙබැම ඉහළ නංවා ඒ ආක­ර්ෂ­ණීය විස්මය පළ කළාය.

“ඇයි කෙල‍්ලෙ­කුට කොලු යාළු­වෙක් ඉන්න බැරිද? කොල්ලෙ­කුට කෙලි යාළු­වෙක් ඉන්න බැරිද?”

“අමා... මේක ඇ‍මරි­කාව එංග­ලන්තෙ නෙමේ. ලංකාව... කෙල්ලෙ­කුයි කොල්ලෙ­කුයි එකට ඇවි­දින කොට අනිත් මිනිස්සු හිතන්නෙ නෑ ඒක නිකම් යාළු­ක­මක් කියලා...”

සිරි­මාන්න පැහැ­දිලි කළේ කෝපය යට­පත් කර ගනි­මිනි.

“ඇයි? ලංකාවෙ තහ­නම්ද කෙල්ලෙ­කු­ටයි කොල්ලෙ­කු­ටයි යාළුවෝ වෙන්න...”

“තහ­නම් කතා­වක් නෙමේ මං කියන්නේ... මේ සමාජෙ... මේ සංස්කෘ­තිය එහෙම යාළු­කම් පිළි­ගන්නෙ නෑ...”

ඇය දෙවුර හකුලා අප්‍ර­සා­දය පළ කළාය.

“ඒකට අපි මොනවා කර­න්නද? ඒක රටේ වැරැද්ද... ඇයි අපි අනිත් අයට ඕන විදි­යට ඉන්නෙ? අපිට ඕන විදි­ය­ටනෙ අපි ඉන්න ඕන...”

කිසි­වක් පිළි­නො­ගන්නා දිය­ණි­යට පහර දෙන්නට ඔහුට උව­මනා වෙතත් සුනන්දා කඩා­පාත් වෙයි. ඇය බැල්ලක සිය පැටවා රැක ගන්න­වාක් මෙන් ඔහුගේ අතුල් පහ­රින් අමාලි රැක ගනියි. කොත­නක සිටි­යද හරි­ය­ටම වෙලා­වට ප්‍රාදූ­ර්භූත වීමට ඇය දක්වන්නේ මහත් දක්ෂ­තා­ව­කි.

“අමා ඉන්න... මම යන්නම් බ්‍රයන් එක්ක...” යි සුනන්දා පැව­සුවේ බ්‍රයන් හා අමාලි යතු­රු­පැ­දියේ ගමන් කරන අයුරු බලා ඉන්නට අකැ­මැ­ත්තෙනි. දැනට ඔවුන් අතර ඇත්තේ හුදු මිත්‍ර­ත්ව­යක් වුවද කාල­යාගේ ඇවෑ­මෙන් එය ප්‍රේම­ය­කට පරි­ව­ර්ත­නය නොවන බවක් කිව හැකි­දැයි ඇයට සිතිණ.

ජේත්තු­කාර ලංසි කොල්ලෙකු බෑණා වශ­යෙන් බාර ගන්නට සිය සොහො­යුරා කිසි­සේත් කැමති නොවන බව ඇය දනියි.

“නෑ නෑ... මම යන්නට ඕන. මං හින්දනේ තාත්තා ගෙද­රින් යන්න ගියේ. ඉතිං මංම තමා අඬ ගහ­ගෙන එන්න ඕන.” යි කිය­මින් අමාලි යතු­රු­පැ­දි­යට නැංගාය.

“අනේ මංදා... මේ ළමයා කියන දෙයක් අහ­න්නෙම නෑනේ...”

සුනන්දා කන­ස්ස­ල්ලෙන් හිස කැසු­වාය.

“තාත්තා ආවොත් මට කෝල් එකක් දෙන්න පොඩි නැන්දේ...”

යතු­රු­පැ­දියේ කර්කශ හඬ ළතැ­වු­ලින් හේබා ගිය ගැහැ­නිය ඒ වදන් ගිල ගත්තේය.

“ඕන දෙයක් කර ගත්තදෙං කියන දෙයක් නම් අහ­න්නෙම නෑනෙ මේ ළමයා...” යි කොඳු­ර­මින් ඇය ගෙට වැදුණේ යළිත් වරක් සොහො­යුරා අම­තන අද­හ­සිනි.

සිය පියා පාස­ලට යන්නට ඇතැයි අමාලි අනු­මාන නොක­ළාය. එහෙත් බ්‍රයන් තරයේ කියා සිටියේ පාස­ලට ගොස් සොයා බැලිය යුතු බවය. ඒ කුඩා පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා ලෙස සිරි­මාන්න මහත් වෙහෙ­සක් දරන බව ඇයද දැන සිටි­යාය. ඔහු නග­රයේ පාස­ල­කට යෑමට ඉඩ ප්‍රස්තාව සැලසී තිබු­ණද ගමේ පාසල අත­හැර නොගි­යේය.

“තව වැඩ ටිකක් තියෙ­නවා...” යි ඔහු නිතර කීවේය. බිරි­යගේ හදිසි අතු­රු­ද­න් වීමෙන් පසුව ඔහු පාසල වෙනු­වෙන් ම ඇප කැප විය. නිතර ඇමි­ණෙ­න්නට මාන බලන දිය­ණි­යද ඔහු පාසල වෙත­ටම තල්ලු කර­න්නට නොම­සු­රුව දායක වූවාය.

අතුරු පාරේ ගමන් ගන්නා විට පවා අමාලි කල්පනා කළේ මෙය නිෂ්ඵල ගම­නක් බවය. අම්මා සොය­න්නට ද ඇය බොහෝ විට ගියේ බ්‍රයන් සම­ඟිනි.

“උඹ හිංදා මට කෙල්ලෙක් දාගන්න බෑ බං...” වරෙක ඔහු මැසි­විලි නගයි.

“ඒ මොකද?” යි අමාලි අසන්නේ පුදු­ම­යෙනි. ඇය ඇම­තු­මක් ලබා දුන් සැණින් පෙනී සිටින ඔහු කෙරෙහි මිත්‍ර­ත්ව­යක් මිසක ඇය තුළ අන් කිසිඳු හැඟී­මක් පහළ නොවෙයි.

“ඇයි බං... උඹත් එක්ක නිත­රම රවුම් ගහද්දි ඕන කෙනෙක් හිතන්නෙ උඹ මගේ කෙල්ල කිය­ලනේ...”

“ආ... ඇයි අනේ අයි­යලා නංගිලා ගමන් බිමන් යන්නෙ නැද්ද? යාළු­වෙක් කියන එක අවුල් නම් අයියා කියන එකනෙ ඇත්තෙ... ඔයා අයියා... මම නංගි...”

එවන් වාද විවාද හා බහි­න්බ­ස්වීම් අතරේ ඔවුන්ගේ මිත්‍ර­ත්වය දලුලා වැඩේ.

නිවාඩු කාලය බැවින් පාසල පුරා තැවරී තිබුණේ පාළු නිසං­සල බවකි. එය කෙනෙ­කුගේ හද රිද­වන තර­මට දැඩි විය.

අමාලි එක එල්ලේ ගමන් කළේ ප්‍රධාන ගොඩ­නැ­ඟිල්ල වෙතය. එහි කෙළ­වරේ කන්තෝරු කාම­රය පිහි­ටි­යේය. දොර විවර තිබිණ. ඇය කාම­ර­යට ඇතුළු වූයේ “තාත්තේ” යි හඬ ගාමිනි.

“තාත්තේ” එවර ඇගේ ස්වර­යෙහි බියක් දැවටී තිබිණ.

ඇයට පම­ණක් නොව සිතට ද දැනෙන හැ‍ඟෙන පාළු සෝබර බව නොතකා සිටි­න්නට දරන ලද උත්සා­හය මුළු­ම­නින්ම සාර්ථක නොවීය. එහෙත් ඇය කන්තෝරු කාම­ර­යට වැදුණේ සැහැල්ලු සේම දඟ­කාර අන්ද­මිනි. ඇගේ මාතලී තරු­ණයා යතුරු පැදි­යෙන් බසි­න්නට කැමති නොවීය.

“ඔය ප්‍රින්සි­පල්ලා ඉන්නවා නේද...”

ඇගේ විම­සි­ලි­මත් බැල්ම ඔහුට සිනා­වට කරු­ණකි.

“ඒ ගොල්ලන්ට මාව පේන්න බෑ.. මට ඒ‍ ගො­ල්ලන්ව පේන්න බෑ...”

ඇය මුව කොන ඇද කළාය.

“ඇත්තට...?”

“යනවා යනවා... තමුන්ගෙ තාත්තා ළඟට යන්න තව කෙනෙක් ඕනද...?”

ඇය දිව ගියේ ඔහුගේ අතැ­ඟිලි අතරේ සැලුණ යතුර ද උදුරා ගෙනය.

“ඒයි ඒයි...” යි ඔහු කෑගෑ­වේය.

“මාව දාලා ගියොත් එහෙම... අද කාලේ විශ්වාස කරන්න බෑනේ කිසිම කෙනෙක්ව... විශේ­ෂ­යෙන් කොල්ලන්ව.” ඇය හඹා ගොස් යතුර උදුරා ගන්නට සිත් වුවද ඔහු නොරි­ස්සුම් සහ­ගත හඬක් නැංවූවා පමණි. ඇයගේ විදු­හ­ල්පති පියා සමී­ප­යෙහි සිටින නොසි­ටින බව තහ­වුරු කර නොගෙන ඇය සමඟ දබර කර ගන්නට ඔහු මැලි විය. කන්තෝරු කාම­රයේ දොර විව­රව තිබෙන අයුරු යාම්තම් දැක ගත් විගස අමාලි තුටු­ප­හුටු වූයේ පියා එතුළ සිටින බව පසක් කර ගනි­මිනි. එහෙත් සිය දිය­ණිය චාර­යක් නැතිව කඩා වැදීම පිළි­බ­ඳව සිරි­මාන්න නොස­තුටු විය.

“තමා මොකද මෙතන කරන්නෙ?”

ඇය හැරී බැලුවේ තවත් කිසි­වෙකු දකින අටි­යෙනි. එය ඇගේ රංග­න­යක් බව ඔහු දනියි. මවා පෑමෙ­හිලා මේ යුව­තිය අති­ශ­යින් බුහු­ටිය.

“තමා? ඒ කවුද තාත්තෙ? අමුතු නමක් නේද..? හැබැයි ලස්ස­නයි. තමා... ‍ෂෝට් ඇන්ඩ් ස්වීට්...”

මේසය පෙරළා දම­න්නට පවා ඔහුට සිතිණ. ඇගේ මේ සෝප­හාස ස්වරය ද බැල්මද ඔහුට ඉව­සිය නොහැක.

“කාම­රේ­කට ඇතුළු වෙන්න විදි­යක් තියෙ­නවා අමා...”

ඇය දෙබැම ඉහළ නංවා විම­තිය පළ කළාය. එයද එයාට විම­ති­යක් බව ඔහු දනියි.

“දොරෙන්... දොරෙන්නෙ ඇතුළු වෙන්නෙ. මං හරි නේද තාත්තා...?”

ඔහු උපැස් යුවළ ගලවා මේසය මත තැබු­වේය.

“ඔයා නං වෙන වෙන ක්‍රම­ව­ල­ටත් ඇතුළු වෙනවා කියලා මං දන්නවා නෙවිණි. ජනේ­ල­යෙන් විත­රක් නෙමේ වහ­ලෙ­නුත් ඔයා බැස්සොත් මං පුදුම වෙන්නෙත් නෑ. හැබැයි ශිෂ්ට සම්පන්න මිනිස්සු කාම­රේ­කට ඇතුළු වෙන්න කලින් දොරට තට්ටු කර­නවා. ඔහොම කඩා­ගෙන බිඳ­ගෙන එන්නෙ නෑ.. ඒක හරි කැතයි. අසෝ­බ­නයි.”

ඇය ළදැ­රි­ය­කගේ අවි­හිං­ස­ක­ත්වය ආරූඪ කර ගත්තාය.

“දොර වහලා තිබ්බා නම් මං අනි­වා­ර්යෙන් ම තට්ටු කර­නවා තාත්තා. ඉතිං ඇරල‍නේ තිබ්බෙ...”

ඔහු ඇය දෙස එක එල්ලේ බැලු­වේය. ඒ බැල්ම කොතෙක් තියුණු වී දැයි කිව­හොත් ඇයට හැඟුණේ තමා දරුණු ආඥා­දා­ය­ක­යෙකු අබි­යස සිටින බවක්ය.

“මැනර්ස් කියලා දෙයක් තියෙ­නවා කියන එක අම­තක කරන්න එපා අමා..” යි ඔහු ගැඹුරු හඬින් අව­ධා­ර­ණය කළේය. සිය පියා වෙතින් පියෙකු මිස විදු­හ­ල්ප­ති­ව­ර­යෙකු දකි­න්නට ප්‍රිය නොකළ යුව­තිය “තියෙ­නවා තියෙ­නවා” යි හිස සැලු­වේද සර­ද­මට මෙනි.

“හරි ඒ ඔක්කොම පැත්ත­කින් තියමු. දැං මට කිය­න­වද කා එක්කද ආවෙ කියලා..”

ඇය මුල්ව­රට පැමි­ණි­යෙකු පරි­ද්දෙන් කාම­රය සිසාරා බැල්මක් හෙළු­වාය. පද­ක්කම් කුස­ලාන අසුරා තිබෙන අල්මා­රිය වෙත ගියාය.

“තාත්තගෙ ශිෂ්‍යයෝ හරි දක්ෂයි නේද?”

“මගේ එකම දරු­වගෙ කියන්න තරම් දක්ෂ­මක් නැතත් මේ අහිං­සක ළමයි හුඟක් දක්ෂයි තමා..”

ඇය හඬ නංවා හිනැ­හු­ණාය. එයින්ද ඔහු කිපෙන බව නොදැන නොවේ.

“අමාලි”

සිරි­මාන්න තර­වටු කළේ ඉව­සුම් නොදෙන කෝප­යෙනි.

“ආපෝ... හිනා­වෙ­න්නත් බෑද...? ඇත්තට ම මේ ප්‍රින්සි­ප­ල්ලාට මොකද වෙලා තියෙන්නේ? ඒගො­ල්ලන්ට හොඳ රොබෝලා.. මනු­ස්සයෝ නෙමේ.”

ඔහු නැඟී සිටියේ හඩ නැ‍ඟෙන සේ පුටුව පසෙ­කට ඇද දම­මිනි. එය ම අන්ත­රාය හඟ­ව­න්නක් වුවද ඇය නොකැ­ල­ඹු­ණාය.

“ඔන්න ‍රොබෝලා නම් ඔන් කළා­වගෙ වැඩ. හිනා­වෙන්නෙ නෑ. අඬන්නෙ නෑ. කල්පනා කරන්නෙ නෑ. ඕගො­ල්ලන්ට තියෙන්නෙ ඔන් ඕෆ් කරන්න විත­රයි. මිනිස්සු එක්ක එහෙම බෑනෙ තාත්තා...”

ඔහු මේසය මත ඉසි­ඹු­ලන වේවැල අතින් ගත්තේය.

“ළමයි එක්ක වගේම මිනිස්සු එක්කත් වැඩ කරන්න ඕන කොහො­මද කියලා මම හොඳට දන්නවා අමා...”

ඇය වේවැල දෙස බලා සිටියේ කිසි දින­කත් එවැ­න්නක් නුදුටු විලා­ස­යෙනි.

ලබන සතියට‍...

 

Comments