
ඒ උදැසන මහනුවර නගරය වෙනදා මෙන්ම කාර්යයබහුලය. දෙනෝදාහක් යනෙන මඟතොට ඔවුහු තමන්ගේ පාඩුවේ තැන තැන ඇති කසළ එකතු කරති. ඒවා පොලිතින් උරවලට දමති. ඉඳහිට මෙවැනි සද්කාර්ය කරන්නන් අප අතර සිටියද එදින මහනුවර දී දුටු මේ පිරිස සුවිශේෂිය. ඒ ඔවුන් ශ්රව්යාබාධිතයින් වීමය. මොවුන් මේ සද්ක්‍රියාව ආරම්භ කළේ මහනුවර නගරය පිරිසුදු කිරිම සඳහා යම් දායකත්වයක් දීමේ අරමුණිනි.
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ දෛනිකව එකතු වන කසළ ප්‍රමාණය ටොන් හත්සිය පනහට ආසන්නය. විධිමත් ලෙස මෙන්ම අවිධිමත් ලෙසද බැහැර කෙරෙන මෙම කසළ ඉවත් කිරීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ මහනුවර මහ නගර සභාවටය. අවිධිතමත් ලෙස කසළ බැහැර කිරීම් බහුලව සිදුවන ස්ථානයක් ලෙස මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම හඳුනා ගෙන තිබේ. දිවයිනේ නන්දෙසට ධාවනය කෙරන මගී ප්‍රවාහන බස් රථ ගණනාවක් ගමන්වාර ආරම්භ කිරීම හා අවසන් කිරීම මෙම ස්ථානයෙන් සිදු කිරීම නිසා ගුඩ් ෂෙඩ් බස් නැවතුම දවසේ වැඩි පැය ගණනක් පවතින්නේ ජනාකීර්ණ ස්වභාවයෙනි. වැඩිපුර ජනතාව ගැවසෙන ස්ථානවල වැඩිපුර කසළ එකතු වීම සාමාන්‍යය සංසිද්ධියකි. මහනුවර නගර සීමාවේ දෛනිකව එකතු වන කසළ ප්‍රමාණයට ගුඩ්ෂෙඩ් බස් නැවතුම ආශ්‍රිත ප්‍රදේශයෙන් ටොන් එකසිය තිහක පමණ දායකත්වයක් ලැබෙන බව මහනුවර නගර සභාව පවසයි. මෙම කසළවලින් සෑහෙන ප්‍රමාණයක් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීම කලක පටන් පවතින විශාල ගැටලුවකි. ඇස් පෙනෙන, කන් ඇසෙන, කතා කළ හැකි පිරිස් සිදුකරන මෙම විනාශය දෙස ඇස් කන් පියා බලා සීටීමට නොහැකිවූ පිරිසක් පසුගියදා ගුඩ්ෂෙඩ් බස් නැවතුමට එක්ව අවිධිමත් ලෙස පරිසරයට මුදාහැර තිබූ කසළ එක්රැස් කර නගර සභාවට බාර දීමට පියවර ගත්හ. මෙහි පැවති විශේෂත්වය වූයේ මෙම පිරිස උපතින්ම ශ්‍රව්‍යාබාධිත තත්ත්වයේ පසුවූවන් වීමය.
මධ්‍යම පළාත් ශ්‍රව්‍යබාධිත සුබ සාධක සංගමයේ මෙහෙයවීමෙන් පැවැති මෙම ශ්‍රමදානය සඳහා එම සංගමයේ සාමාජික සාමාජිකාවෝ පනස් දෙනෙක් පමණ සහභාගිවී සිටියහ. ඇමෙරිකාවේ ගැලොව්ඩෙඩ් (GALLAVDED) විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන මහාචාර්ය තිස්ස පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පවැත්වුණු අතර එහිදී පැය තුනක පමණ කාලයක් තුළ ප්ලාස්ටික් හා වීදුරු බෝතල් පොලිතීන් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍යය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් මෙම එකතු කරනු ලැබිණි. සංඥා භාෂාවෙන් අදහස් හුවමාරු කර ගනිමින් මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම පුරා ඇවිදිමින් කසළ එකතු කළ ඔවුන් මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ හික්මීමක් නොමැති බස් රථ රියදුරන් මොවුන් ගැන කිසිදු තැකීමක් නොකර බස් ධාවනය කිරීම නිසා සිදුවිය හැකි අනතුරුවලින් බේරීමය. තොරතෝංචියක් නොමැතිව බස් රථවල නළා හඬින් උපදින ඝෝෂාව සවන් නොවැකීම මෙම පිරිස ලද භාග්‍යයකැයි මට සිතුණි.
“මිනිසත් බවක් ලබන අපි හැමෝටම සමාජය වෙනුවෙන් යහපත් යමක් කිරීමේ වගකීම තිබෙනවා. අපි ජීවත් වන පරිසරය විනාශ කරනු ලබන්නේ අපි විසින්මයි. හුස්ම ගන්න තියෙන වාතය දූෂණය කරන්නේ අපිමයි. ඩෙංගු මදුරුවන්ට පහසුවෙන් බෝ විය හැකි තැන් නිර්මාණය කරන්නේ අපිමයි. ජලය ගලා බසින ගංඟ ඇළ දොළ අවහිර වන විදිහට ප්ලාස්ටික් පොලිතීන් පරිසරයට මුදා හැර ඒවා පිටාර ගලන තත්ත්වයක් ඇති කරන්නේ අපිමයි. මේවා නිවැරදි කර ගැනීම අපේ වගකීමක්. අපේ සමාජය අමතක කර තිබෙන ඒ වගකීම ඔවුන්ට සිහිපත් කර දිය යුතුයි. අපට අවශ්‍ය සාමාන්‍යය ජනතාවට මේ ඔස්සේ පණිවිඩයක් ලබාදී ඔවුන්ද මේ සඳහා සහභාගි කරවා ගැනීමටයි” මහචාර්ය තිස්ස පීරීස් මහතා පවසයි.
රටවල් හතළිස් තුනක සංචාරය කර තිබෙන මහාචාර්ය තිස්ස පීරිස් ජපන්, ස්විස්ටර්ලන්ත හා ඉංග්‍රීසි සංඥා භාෂාව පිළිබඳ විශේෂඥවරයෙකි. ඇමෙරිකාවේ ගැලොව්ඩෙඩ් විශ්වවිද්‍යාලයේ වසර විසි අටක කාලයක් තිස්සේ සේවය කරන ඔහු විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ සුබ සාධනය පිණිස ජාතික මෙන්ම ජත්‍යන්තර වශයෙන්ද ක්‍රියාකාරීව කටයුතු කරන්නෙකි.
“ලෝකයේ දියුණු රටවල විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් විශාල අවධානයකින් කටයුතු සිදු කෙරෙනවා. රූපවාහිනි වැඩසටහන් වුණත් ශ්‍රව්‍යාබාධිත අයට අවබෝධ කර ගැනීමට හැකිවන සේ සංඥා භාෂාවෙන් ඉදිරිපත් කෙරෙනවා. නමුත් අපේ රටේ ඒ වගේ ජාතික මට්ටමේ වැඩසටහන් මේ අය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සංඥා භාෂා පිළිබඳ දැනුම ඇති පිරිස අඩුකම. මේ නිසා විශේෂයෙන් ශ්‍රව්‍යාබාධිත අයට තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා කර ගැනීමේ අපහසුතා තිබෙනවා. මටත් ඒ වගේ අත්දැකීම් තිබෙනවා. අපි සමාජයෙන් අනුකම්පාව ඉල්ලා සිටින්නේ නැහැ. අපට අවශ්‍ය සම තැනයි. මොනතරම් අධ්‍යාපයෙන් ඉහළට ගියත් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකුට අපේ රටේ රැකියාවක් ගන්න පුළුවන්ද? මේවා වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. අද අපි මේ කරන වැඩේට ඇස් පේන, කන් ඇහෙන, කතා කරන්න පුළුවන් අයත් ඉදිරියේදී එකතු වෙනවා නම් ඒක තමයි අපි ලබන ජයග්‍රහණය” ඒ මහතා කීය.
මහචාර්යවරයා සංඥා භාෂාවෙන් ප්‍රකාශ කළ දේ අප හා පැවසුවේ සංඥා භාෂා පරිවර්තිකා හංසමාලි සෙනෙවිරත්න මෙනෙවියයි. ශ්‍රව්‍යාබාධ මව හා පියා සමඟ ඇය මෙම ශ්‍රමදාන අවස්ථාවට එක්ව සිටියාය.
“මම ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සංඥා භාෂා පරිවර්තනය පිළිබඳ ඩිප්ලෝමාවක්, ජාතික අධ්‍යාපන ආයතනයේ සංඥා භාෂා පිළිබඳ ඩිප්ලෝමාවක් හා ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සංඥා භාෂා පරිවර්තනය සම්බන්ධව සහතික පත් පාඨමාලාව හදාරා තිබෙනවා. මගේ අම්මා තාත්තා මේ සංගමයේ සාමාජිකයින්. සංඥා භාෂා පරිවර්තකයින් අපේ සමාජයේ සොයා ගැනීම හරිම අපහසුයි. මගේ අම්මා තාත්තා මේ ගැටලුවෙන් ගොඩක් පීඩා වින්දා. මම ශ්‍රව්‍යාබාධිත අයෙකු නොවූවත් එම ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමේ අරමුණින් මම මේ සංඥා භාෂාව ඉගෙන ගත්තා. අද මේ වැඩසටහනට සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකතුවී සිටිනවා. අද අපේ රටේ තමන් කන ටොෆී කොලය මහ පාරට විසී කරන මිනිස්සු මොන තරම් ඉන්නවාද. මේ පිරිසිදු කිරීමේ වැඩ සටහනේදී අපි ටොෆි කොළ දහදාහක් විතර මේ කොටසේ තිබී එකතු කළා. මිනිස්සු දහස් දෙනෙක් තත්ත්පර කිහිපයකදී කරන ක්‍රියාව නිවැරදි කරන්න මොන තරම් කාලයක් යනවාද. සමහර ඒවා යළිත් යථා තත්ත්වයට පත් කිරීමට පවා නොහැකියි.” හංසමාලි පැවැසුවාය.
මේ කටයුත්ත සඳහා මහනුවර මහ නගර සභාව මගින් පහසුකම් සලසා තිබිණි. නගර සභාව නියෝජනය කරමින් එහි පැමිණ සිටියේ සුළු සේවා පාලක එච්. එම්. සී ජයප්‍රිය මහතාය.
“ශ්‍රව්‍යාබාධිත අය අද දින එකතු කරනු ලබන කැළි කසළ ප්‍රවාහනය කිරීමට අවශ්‍යය පහසුකම් නගර සභාව මගින් සැලසුවා. ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ දිනකට ටොන් එකසිය අසූවක් පමණ කසළ එකතු වුණා. කසළ දිරාපත් වන, නොවන ලෙස වර්ගී කරණය කර බාර දෙන ලෙස උපදෙස් ලබා දීමෙන් පසු දැන් මෙම ප්‍රමාණය ටොන් එකසිය තිහක් පමණ දක්වා අඩුවී තිබෙනවා. ඇත්තටම කසළ බඳුන්වලට එකතු වන කසළ එකතු කිරීම එතරම් ගැටලුවක් නැහැ. තමන්ගේ ගෙදර පිරිසුදුව තබා ගන්න තියෙන උනන්දුව තමන්ගේ ගම පිරිසුදුව තබා ගන්න නැහැ. ගෙදර ටොෆි කොළයක් බිම දැම්මොත් ඒක අහුලන්න ඕන පවුලේ කෙනෙක් මයි. ඒ නිසා ගොඩක් වෙලාවට ඒක බැහැර කළ යුතු නියමිත ස්ථානයට දමනවා. නිවෙසින් පිට පොදු ස්ථානවලට ගියාම ඒ මනුස්සයා වෙනස් වෙනවා. මෙතන තිබෙන්නේ හැඟීමක් නැතිකමයි. මුලින් අපි ඒ හැඟීම ඇති කර ගන්න ඕන. ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමක් විසින් සිදු කරන මේ කටයුත්ත හරහා එම හැඟීම සමාජය තුළ ඇති කරන්න සුළු හෝ උත්තේජනයක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.”
ජයප්‍රිය මහතා පැවැසුවේ ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම විසින් කරන ලද සද්ක්‍රියාව අගයමිනි. මේ කණ්ඩායමටද තමන් කළ කාර්යය පිළිබඳ කියන්නට බොහෝ දේ සිත තුළ ඇතිවාට සැක නැත. හැම කෙනෙකුගේම මුහුණේ ඇත්තේ තෘප්තිමත් බවකි.
මධ්‍යම පළාත් සමූහ
නිහාල් ජයවර්ධන