
අනුරාධපුරය, තඹුත්තේගම ගම් මැද්දේ අජිත් සුසන්ත කොහොලන්ගොඩ වෙනස් සහ විස්මිත ආරක නිර්මාණකරුවෙකි. අජිත් ගේ එකම පුතු තවමත් පාසල් වියේ පසුවන පවන් අංජන පියාට නොදෙවැනිව හපන්කම් දක්වන්නෙකි.
කෙසෙල් පත්‍ර සහ පට්ට ඇසුරින් විවිධ නිර්මාණ කරන අජිත් ඒ සඳහා කලක සිටමපටන් නමක් දිනුවෙකි. විවිධ වර්ණයෙන් යුතු කෙසෙල් පත්‍ර, කෙසෙල් පතුරු ආදිය උපයෝගි කොටගෙන දැකුම්කලු සිතුවම්කරණයේ නියැළෙන ඔහු ස්ව උත්සාහයෙන් කළ පර්යේෂණ ඔස්සේ තමන්ටම අනන්‍යය වු නිර්මාණ කාර්යක නියැළෙයි. පාසල් අවදියේ සිටම චිත්‍ර කලාව සඳහා පැවැති හැකියාව නිසා ඇගයීමට පාත්‍රව ඇති අජිත් යොවුන් අවදියේදී කැටයම් හා මුර්ති ශිල්පියෙකු ලෙස ද ප්රකටව ඇත්තේ සිය ජීවනෝපාය ද ඒ ඔස්සේ පාදා ගනිමිනි.
උපන් දින සැමරුම්, සේවා සමුදීමේ උත්සව අවස්ථා, විවිධ ඇගයීම් උත්සව අවස්ථා ආදිය සදහා සමරු තිළිණ නිර්මාණයට ඔහු සතුව ඇති හැකියාව බොහෝදෙනෙකුගේ ඇගයීමට ලක්ව ඇත්තේය. අප රටට කප්රුකක් බඳු කෙසෙල් ගසින් සරුවු කෙසෙල් ගම්මානයක සිහිනය ඔහු දකිනුයේ කලක සිටය. එහෙත් තවමත් එය සිහිනයක් පමණක්මය. අජිත් මතු යම් දිනකදී හෝ සැබෑ
කරගැනීමට වෙහෙසෙන ඒ සිහිනය ගැන අප හා පැවසුවේ මෙලෙසෙනි.
“කෙසෙල් ගස ඉන්දියාව වගේ රටවල් සලකන්නේ දේවත්වයෙන්. එක පැත්තකින් කෙසෙල්වල ආයුර්වේද ඖෂධීය වටිනාකමක් තියෙනවා. අනිත් පැත්තෙන් ඉහළම පාරිභෝජන වටිනාකමක්
තියෙන පලතුරක්. ඒවා අමතක කළත් ලෝකයේ සමහර රටවල් කෙසෙල් කොළ හා කෙසෙල් පට්ටාවලින් බොහෝ නිෂ්පාදන කරනවා. ඒත් අපේ රට ඒ අතින් ගොඩාක් පහළින් ඉන්නේ. අපටත් තෝරාගත්ත බිමක අපේ රටට ආවේණික කෙසෙල් වර්ග වගා කරන්න පුළුවන්. ඒ භුමියෙම කෙසෙල් කොළ හා කෙඳිවලින් විවිධ නිෂ්පාදන කරමින් එම නිෂ්පාදන අලෙවි සලක් ආරම්භ කරන්න පුළුවන්. එසේම කෙසෙල්වලින් තැනෙන විවිධ ඖෂධ වගේම ආහාර වලටත් වටිනාකමක් ලැබෙනවා. එම භූමිය පාසල් දරුවන්, දේශිය හා විදේශීය සංචාරකයින් නරඹන්න එන දැනුම් නිකේතනයක් කරන්න පුළුවන්. මේ හැමදේම එකතු කර පුංචි කෙසෙල් ගමක් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයට අනුව කෙසෙල් මෙරට ඉහළම පාරිභෝජන වටිනාකම ඇති පලතුරු භෝගයයි. සමස්තයක් ලෙස මෙරට පලතුරු වගා භුමියෙන් සියයට 54කම වවනුයේ
කෙසෙල්ය. කරුණු මෙසේ වුවද පාරිභෝජනයෙන් ඔබ්බට ගොස් කෙසෙල් ගස මගින් මෙරටදී ගන්නා වු ප්‍රයෝජන අල්පය. සාම්ප්‍රදායික ජන සමාජය තුළදී යාතුකර්ම, ශාන්තිකර්ම ආදි විවිධ චාරිත්‍ර විධි සඳහා අවැසි සැරසිලි සඳහා කෙසෙල් ගස භාවිත කළ ද එය ද දැන් ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. එහෙයින්ම අජිත් සුසන්ත වැනි කලාකරුවෙකුගේ වෑයම අගය කළ යුත්තකි.
මේ අතර අජිත් තමා සතුව පවතින නිසඟ හැකියාව අන්‍යයන් වෙත දායක කරලීම සදහා තුරුලියපත් සිතුවම් කලාව, මානව රූප ඇලවීම සහ කෙසෙල් ගසක මහිම නමින් කෘතීන් තුනක් ලියා ඇත්තේය. අජිත් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ, නොවිධිමත් අධ්‍යපන ඒකකයේ චිත්‍ර විෂය පිළිබද බාහිර උපදේශකයෙකු ලෙසද සිය ශිල්ප ඥානය අන්‍යයන් වෙත දායාද කරනුයේ නව කලාවක මංපෙත හුදකලාවම විවර කරමිනි.
“මේ නිර්මාණ කරන අමුද්‍රව්‍යවලට ලොකු වියදමක් දරන්න වෙනවා. තාමත් මේ නිර්මාණ කරන්ඩ ඕන කරන උපකරන ටික ගන්ඩ වත්කමක් මට නෑ. අපි වගේ නිර්මාණකරුවන්ට උදවු කරන අය බොහෝම අඩුයි. අපෙන් හදිසියට මොන වැඩේ කරගත්තත් පස්සේ බොහෝම ඉක්මනට අමතක වෙනවා. දැන් කාලයක් තිස්සේ මගේ අදහසක් තියෙනවා මේ නිර්මාණ එකතු කරලා ප්‍රදර්ශනයක් තියන්න. ඒත් තියෙන ආර්ථික අපහසුතාත් එක්ක ඒක තාමත් හීනයක් විතරයි. ඒක තමයි මේ විදිහේ දුර්ලභ කලා මාධ්‍යයක් ඉස්සරහට ගෙනියන්න තියෙන ලොකුම බාධාව. කෙසෙල් ගහ කියන්නේ ඇත්තටම කප් රුකක්. අහක දාන්න කියලා කිසිම දෙයක් නෑ. ඒත් අපි මේ කප් රුකෙන් ගන්න ඩැඩ හරිම සිමාසහිතයි. මොනතරම් දේවල් කරන්න පුලුවන්කම තිබ්බත් ඒකට හරිහමන් වැඩපිළිවෙළක් නෑ. මං කෙසෙල් ගම්මානෙක අදහස ඉදිරිපත් කරන්නේ ඒ නිසා. මේ කාරණය හරියට වගකිව යුතු තැන්වල ඉන්න උදවිය තේරුම් ගත්තොත් ඒකම අපි වගේ නිර්මාණ කරන අයට කරන ලොකු උපකාරයක්.”
වියළි අතු පතරින් සුසැදි ගහ කොළය. දිය සිඳී ගිය වැව් අමුණුය. ආයාචනාත්මක නේක මුහුණුය. ඔහුගේ තියුණු තෙලිතුඩ ඔබ මොබ යන්නේ ඒ මතය. නිසැඟ දායාදයක්මැයි කටපුරා කිවහැකි මේ අපුර්ව කුසලතාව වයසට නොදෙවැනිව මුහුකුරා යන්නක් බව පැවසේ. මෙහොතින් මොහොත වෙනස් වන විචිත්‍රවත් වලාකුළු, හැල්මේ ගලා යන දිය කදුරු, බිම් කළුවර හා හරි හරියට පොර අල්ලන රාස්සිගේ අව්ව, අඳුර හා හාද වු අතු පතර මැදින් මතුව එන සඳ මඬල. මේ හැමකම පාහේ ඇත්තේ කොතරම් නම් අපූර්ව බවක් ද ? ඉතා ඉවසීමෙන් යුතුව මේ විසිතුරු නිරීක්ෂණය කරන්නෙකුගේ සිතේ උපදින සංවේදනා මෙපමණකැයි කිව නොහැකි තරම්ය.
එහෙත් පැසසුම් ඉක්මවන අතදීමක් දැන් ඔහුට අවැසිව ඇත. තම නිර්මාණ ඇසුරෙන් ප්‍රදර්ශණයක් පවත්වන්නට තවමත් අජිත් ට නොහැකිව ඇත්තේත් ඒ නිසා ය.
දුර්ලභ හැකියාවකින් යුතු ඔවුනට අතදිය හැක්කේ නම් එය අනාගතය උදෙසා කරන්නාවු ඉමහත් ආයෝජනයකි. ඔබත් ඔවුන්ට අතදෙන්නේ නම් 071 2824590 ඔස්සේ අජිත් සුසන්ත ඇමතිය හැකිය.
ඡායාරූප- තඹුත්තේගම විශේෂ
ඩබිලිව්. ප්‍රදීප්