
බොහෝ දෙනෙක් සිතාමතා තම යුතුකම් පැහැර හරින්නේ ජීවිතයේ අනිත්‍යද මෙනෙහි කරමිනි. ලංකාවේ තරම් බුදු බණ අසන පිරිසක් තවත් නැතිබව ලෝකයාම දනිති. වසරේ දොළොස් මසේ පුන් පොහෝදා පමණක් නොව සතර පෝයටම සිල් සමාදන්ව පංචේන්ද්‍රියම සමාධි ගතකරවමින් පතන්නේ කිසිදා තමන් අතින් කිසිවෙකුටවත් වරදක් සිදු වන්නට ඉඩ නොතබන බවය. එවන් රටක වෙසෙන අප අතින් දැන හෝ නොදැන කෙතෙක් වැරැදි සිදුවේද? එය මෙතැකැයි කියා දැක්විය හැකිද? මේ පුංචි රටේ එක් තැනක හුදකලා වී මේ පිරිස සිතින් සිය දහස් වාරයක් විඳවන්නේ ඔවුන්ගේ ඥාති සමූහයා හිතා මතාම තමන් වෙතින් ඉටුවිය යුතුවූ යුතුකම් පැහැර හැරි නිසාවෙනි. දරුවන් අතින් සිය දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම්, සහෝදර සහෝදරියන් විසින් ඉටුකළ යුතු යුතුකම් මෙලෙස පැහැර හරිද්දි මේ පිරිසට රැකවරණ සලසා දෙමින් ආදරය කරුණාව දක්වන්නේ තවත් පිරිසකි. ඔවුන්ගේ මේ කතා පෙළ ගොනු වන්නේ අංගොඩ ජාතික මානසික රෝහලෙනි.
අංගොඩ ජේන්ගේ කතාව හරහා ගෙතෙන මේ බොහෝ කතා පිටුපස ඇත්තේ යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ කතා කිහිපයකි. එහෙත් ඒ කතා මුල්ලේරියා අතරමැදි නිවස්නයෙන් හෝ අංගොඩ ජාතික මානසික රෝහලෙන් හෝ ඔබ්බට නොයන්නේය. මානසික රෝගීන්යැයි හංවඩු ගැසූ ලේබලයෙන් පීඩා විඳින ඔවුන්ට ආදරය හා රැකවරණය දක්වන්නේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය පමණි.
“අනේ පුතේ මට රසට බත් ටිකක් කන්න ආසයි. මට අතට කීයක් හරි දෙන්න” ඔවුන් සොයා ගිය අපට ජේන් අපට පැවසුයේ පුරුද්දට වුවත් ඒ කාරුණික බැල්ම තුළ ඇයට ඇවැසි බොහෝ දේ විය.
“ඒ ගොල්ලන්ට හොඳ රසට මෙහෙ කෑම උයලා දෙනවා. ඒත් බලන්න එන අයගෙන් පුරුද්දටත් ඉල්ලනවා” රෝහලේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක් අපට පැවැසුවාය.
“ඒත් මේ අය හරීම ආසයි ගෙදරින් ගේන බත් එකක් කන්න. ඒත් කවමදාවත් ගෙදරින් කිසිම කෙනෙක් එන්නේ නැහැ. මේ නිසා අතට කීයක් හරි ලැබුණොත් ගේට්ටුව අයිනට ගිහින් බත් එකක් කාට හරි කියලා කඩයකින් ගෙන්න ගන්නවා.”
එහි නිවැසි බොහෝ දෙනකු ජේන් හා සමානය. ඔවුන් දෙඅත් පාමින් ඉල්ලන්නේ ආදරය හා කරුණාව පමණි.
මේ ජේන් කවුද? එයට දිය හැකි කදිම පිළිතුරක් ඇත. ඇය තමන්ට වයසක් කියන්නට තරම් නොදන්නා එහෙත් අවුරුදු අසූවක් අනූවක් අතර මැදි වයසේ පසුවන කාන්තාවකි. ඇය වැඩිවිය පත්වී ඇත්තේද මෙතැනදිය. (එදා අංගොඩ මානසික රෝහල හා ඊටත් පෙර අංගොඩ පිස්සන් කොටුව වූ මෙතැන අද හැඳින්වෙන්නේ ජාතික මානසික රෝග විද්‍යායතනය නමිනි) සුව වූ දා සිට මේ දක්වාම ඇයගේ ජීවිතය ගෙවී ඇත්තේ මුල්ලේරියාව අතර මැදි නිවස්නයේය. ( එදා මුල්ලේරියාව මානසික රෝහලයි) එහෙත් ජේන් ගෙදර කැන්දාගෙන යන්නට අදටත් කිසිවෙක් නොඑති. අවුරුදු 70 කටත් ආසන්න කාලයකම ඇය ගත කර ඇත්තේ මේ මානසික රෝහලේය. ජේන් දැන් සුවෙන් බව වෛද්‍යවරුන් පැවැසුවත් ජේන් මානසික රෝගී ලේබලයෙන් මුදා පිළිගැනීමට ඇයගේ ඥාතීන්ට නොහැකි වී ඇත්තේය. මේ විෂම සමාජයේ ආකාරුණිකත්වය ඔවුන්ට හරස් වි ඇත්තේ ඒ ආකාරයෙනි.
“ඔය නෝනා මගේ නෑයෙක් නේද? අනේ මට හරි සතුටුයි මාව බලන්නට ආවට” ඇය මගෙන් විමසුවාය.
“කියන්නකො බලන්න එදා කළ දේවල්, මතක නම්.” මම ඇගෙන් විමසූවෙමි. “මට ටිකක් මතකයි.” ජේන් මතකය ගළපන්නීය. “ මට වයස මතක නැහැ. මම වැඩිවිය පත්වුණේ මේ රෝහලේමයි. නෝනා දන්නේ නැහැ මම වැඩිවිය පත්වුණු දා දොස්තර මහත්වරු මිසීලා එකතුවෙලා හැමෝටම කන්න කැවුම් කිරිබත් දුන්නා. මා සුදු රෙද්දකින් වහලා සුදු ගවුමක් අන්දලා හිටියා. මෙහෙ අය මට ආදරෙයි. ඒත් මට මෙහේ ඉන්නම හිතුණේ නැහැ. මාව බලන්න කවුරුත්ම එන්නේ නැහැ. මම ඉස්පිරිතාලෙන් හොරෙන් පනිනවා. අනිත් අයටත් පනින්න උදවු කරනවා. පැනලා හැම තැනම ඇවිඳිනවා. ඒත් මගේ නෑයෝ කවුරුත් මාව බාර ගන්න කැමැති නැහැ. මගේ තාත්තා වෙන කසාදයක කර ගත්ත. ටික දවසක් ඇවිදලා මම ආයිත් තුවාලයක් හරි කරගෙන මේ රෝහලටම එනවා. මම ජීවිත කාලයම මෙහේ හිටියේ පුතේ. දැන් මට මෙහේ ඉන්න බැහැ. යන්න ඕනෑ” ජේන් පවසන්නේ දෙනෙතේ කදුළු පුරවා ගෙනය.
“කොහෙද ජේන්ට යන්න ඕනැ” මම විමසුවෙමි. ඇගේ පිළිතුර මා අපේක්ෂා නොකළක් විය.
“පෙට්ටියක් ගෙනත් මාව වළදාන්න. මෙහේ අය මට කියනවා කවුරුත් එන්නේ නැති නිසා පැදුරක ඔතලා වළ දානවා කියලා . අනේ එහෙම කරන්න එපා කියලා කියන්න පුතේ”
“ජේන් ගෙදර යන්න ආසයි. දැන් මෙයාට හොඳයි. ඒ නිසා බෙහෙත් දීලා ගෙදර යන්න පුළුවන්. ඒත් කවුරුවත් එක්ක යන්න එන්නේ නැහැ. මේ නිසා මෙයා නිතරම මුල්ලේරියාවෙන් පනිනවා. අපිත් එක්ක වැඩ කරන්න කියලා ඇවිත් හොරෙන් පැනලා යනවා. ඒත් ආයිත් එයාට යන්න තැනක් නැති වුණාම මෙහාටම එනවා. දැන් අවුරුදු ගානක්ම ජේන් මෙහේ. ජේන් විතරක් නෙමේ, මේ නිවස්නයේ ඉන්න රෝගීන්ගෙන් වැඩි දෙනෙක් බලන්න කවුරුත් එන්නේ නැහැ.” රෝහලේ ඉන්ද්‍රානි මිසී පැවසුවාය.
රෝගීන්ට කාර්ය මණ්ඩලය සලකන්නේ තම දෙමවුපියන්ට මෙනි. ඔවුහු දිනපතා සේවය සඳහා පැමිණෙනවිට තමන්ට හැකි පමණින් බත් පතක් මේ අසරණ රෝගීන්ට ගෙන ඒමට උත්සුක වෙති.
ජේන් වැනි උදවිය මේ නිවස්නයේ තවත් වෙති. ඔවුන්ගේ අසරණබව කියන්නට වචන නැතිතරම්ය. ඒ බොහෝමයක් මුහුණු සදාකාලික වේදනාවෙන්ම පිරි ඇත්තේය. ඔවුහු නොපෙනෙන අනාගතයක් ගැන සිහින මවමින් දවස ගෙවති.
ඇය කැත්ලින් ය. කැත්ලින් රෝහලට එන්නේ තරුණ වයසේදී ය. දැන් ඇය එක් දරු මවකි. කැත්ලින් රෝහල් ගතවෙද්දී ඇගේ දරුවා පසුවූයේ බිලිඳු වියේය.
“පුතා ලැබිලා ටික දවසකින් මම මානසික රෝගි තත්ත්වයකට පත්වුණා. මම රෝහලට යනකොට මගේ දරුවා සිටියේ නිවාසයක. එදා සිට මට මගේ පුතා දකින්න ලැබුණේ නැහැ. රෝහල් ගත වුණු මා බලන්න කිසි කෙනෙක් ආවේ නැහැ. දරුවගේ තාත්තාවත් මගේ සහෝදර සහෝදරියන්වත් අදටත් මා බලන්න එන්නේ නැහැ. ඒත් රෝගය හොඳ වෙන්න වෙන්න මට මගේ දරුවා නිතරම මතක් වුණා. මම දිගින් දිගටම බෙහෙත් ගන්න කොට මට සුව වෙන්න ගත්තා. මේ නිසා මුල්ලේරියාව අතරමැදි නිවස්නයට මාරු කළා. මෙතැන රස්සාවක් කරගෙන සිටිද්දි දරුවා සිටින තැන සොයන්න මට ඕන වුණා. ඒ වෙද්දි දරුවා මගෙන් වෙන්වෙලා අවුරුදු 20ක් විතර. ඉන්න තැනක්වත් දන්නේ නැහැ. මම මෙහේ මිසීලාගේ දොස්තර මහත්වරුන්ගේ උදව්ව ඇතිව මගේ පුතා හොයන්න ගත්තා. අනුරාධපුර පැත්තේ නිවාසයක තමයි මගේ පුතා හැදිලා තියෙන්නේ. අද එයා විශ්වවිද්‍යාල සිසුවෙක්. මම කොහොම හරි මගේ පුතා හොයලා එයාට මම එයාගේ අම්මා කියලා කිව්වා. එයා හරියට සතුටු වුණා. කවදාහරි මගේ පුතා අඬ ගැහුවොත් මම ආසාවෙන් ගෙදර යනවා. එයා මාව ගෙන ගියේ නැතිනම් මම මෙහෙම ඉතුරු කාලයත් ඉන්නවා” කැත්ලින් පවසන්නීය.
කැත්ලින්ට ද කතාවක් ඇත. එයද දුක්මුසු ය. ඇය මානසික රෝහලේ පිටිය පිරිසුදු කරමින් හම්බ කරන මුදල් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා යවන්නීය. ඉඳහිට දරුවා ඇය බලන්නට පැමිණියද අන් කිසිවෙකු හෝ තමා බලන්නට නොපැමිණෙන බව කැත්ලින් දන්නේය.
මුල්ලේරියා නිවස්නයේ බොහෝ රෝගීන් දෙනෙත් අයා බලා සිටින්නේ සිය සමීපතමයන් කෙදිනක හෝ තමන් සොයා පැමිණෙන තෙක්ය. මේ නිවස්නයේ සිටින රෝසිද එවන් කාන්තාවකි. ඇය ආදරයෙන් උස් මහත් කළ ඇයගේ දරුවෝ අද විදේශයන්හි ඉහළ තනතුරු ලබමින් සේවය කරති. දැන් ඔවුන්ට සිය මැණියන් අමතකය. එහෙත් රෝසිට සිය දරුවන් අමකත කළ නොහැකිය.
රෝහලේ දොස්තර මහත්වරුන්ගේ වාහන පැමිණෙද්දි ඇය දිව යන්නේ දරුවන් තමන් බලන්නට පැමිණි බව සිතාය. රෝසි දිවා රාත්‍රී පුටුවකට බරදී පාර දෙස නෙත් යොමා සිටින්නේ දරුවන් තමන් රැගෙන යන්නට එතැයි යන සිතුවිල්ලෙනි.
මුල්ලේරියා රෝහලේ අතරමැදි නිවස්නයේ වැඩි දෙනකුගේ කතා මෙලෙසය. වාට්ටුවල සිටින වැඩි දෙනෙක් සුව වුවත් නිවෙස් කරා යා නොහැකි උදවියය.
“මෙහි රෝගී කාන්තවන් 500 ක් ඉන්නවා. ඔවුන්ට දැන් සුවයි. එ්ත් ඥාතීන් නොඑන නිසා ගෙවල්වලට යන්න බෑ. සමහරු 1980 ගණන්වල පැමිණි අය. රෝහල්ගත කරද්දි ඔවුන්ගේ නෑදැයෝ කියා ආපු අය දී තියෙන්නේ බොරු නම්ගම්. ඒ නිසා අපිට මෙහෙන් යවන්න බැහැ. විශේෂයෙන් කාන්තාවන් භාරකරුවකු නැතිව යවන්නේ නැහැ. මේ නිසා කාන්තාවන් එකතු වීම වැඩි වුණා. එදා රෝහලට එක්කගෙන ආපු මේ අයගේ දරුවෝ දැන් ලොකුයි. ඒ දරුවෝ තමන්ගේ අම්මලා නැවතත ගෙවල්වලට ගෙනියන්න කැමැති නැහැ. ඒ ගොල්ලෝ දෙපාරක් හිතනවා. අපි වැඩිහිටි ලේකම් කාර්යාල හරහා මේ කාන්තාවන් විවිධ නිවාසවලට එකතු කළා. ඇඳටම අබල දුබල වූ ලෙඩ්ඩුත් ඉන්නවා. අප ඔවුන් විශේෂිත වාට්ටුවල තියාගෙන ජීවිත කාලයම බලා ගන්නවා. මේ කාන්තාවන් හරිම ආසයි උයා පිහාගෙන කන්න. මේ නිසා අපි ඔවුන්ට උයා පිහාගෙන කන්න හැම වාට්ටුවකටම මුළුතැන්ගෙයක් හැදුවා. දැන් මේ කාන්තාවො ආසාවෙන් උයනවා. ඒ වගේම මේ සමහරක් අයට ජාතික හැදුනුම්පතක්, උප්පැන්න සහතිකයක් නැහැ. අපි වයස් තීරණය කරලා උප්පැන්න සහතිකයක් හා ජාතික හැදුනුම්පතක් සකස් කළා. දැන් මේ අයගෙන් බහුතරයක් ඡන්දය භාවිත කරනවා.” රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය අප හා පැවසුවාය.
රෝහල් බලධාරීන්ගේ කාරුණික බව හේතුවෙන්ම මේ රෝගීහු අද ජීවත් වෙති. සුවපත්වූ බොහෝ කාන්තාවන්ගේ අද ස්ථිර නිවහන මෙතැනය. ඔවුන්ගේ සැඳෑ සමය ගෙවෙන්නේ මෙහිය. ඇතැමෙක් රෝහලට පින් සිදු වන්නට අතමිටට මුදලක් සරිකර ගනිති.
“මේ අය අවුරුදු ගණන් අපේම රෝහලේ අපේම වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය එක්කමයි ඉන්නේ. ඒ ගොල්ලන්ගේ ඥාතීන් තමයි අපි. මේ ක්‍රමය අපි වෙනස් කරන්න දැන් ක්‍රමවේදයක් පටන් ගෙන තියෙනවා. දැන් ලෙඩඩුන් භාර දෙන කොට අපි භාරකරුවන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරනවා. නිවෙස්වලට නොයන සුවවූ රෝගීන් අපි මෙහේ පිරිසුදු කිරිම් කටයුතුවලට යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ අයගේ පොත්වල දැන් සල්ලි තියෙනවා. එහෙම 40 ක් විතර මේ රෝහලේ ඉන්නවා. සුවවුු නිවෙස්වලට යා නොහැකි තවත් අය අපි ප්‍රජා නිවාසවල අපේ අධීක්ෂණය යටතේ තබා තිනෙවා. මේ අයගේ දරුවන් මේ අයට කොහොම සැලකුවත් අපි ඔවුන් අත හරින්නේ නැහැ. ජීවත් වෙනකම් හොඳින් බලා ගන්නවා වගේම අවශ්‍ය ආදරය රැකවරණය කරුණාව ලබා දෙනවා” රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පවසයි.
සිරකරුවෝ ද මනුෂ්‍යයන් යැයි සමාජයේ මතයක් පැවැතියක් මානසික රෝගීහුද මනුෂ්‍යයන් යැයි බොහෝ දෙනෙක් නොසිතති. ජේන්, කැත්ලින්, රෝසි වැන්නවුන්ලා සදාකාලිකවම ආදරය හා රැකවරණය අපෙක්ෂා කරන්නෝය. කඩා වැටුණු ඔවුන්ගේ ජීවිත යළි ප්‍රාණවත් කළ හැක්කේද ආදරය හා රැකවරණය දීමෙනි. අවාසනාවකට මෙන් ඔවුන්ට නොලැබෙන්නේද එයමය. මිනිසත්කම වියැකෙද්දී මේ අය ජීවිතයේ හුදකලාවීමද සිදවන්නේය. එහෙත් ඒ අතර ඔවුන්ට ආදරය කරමින් රැකවරණය සලසන පිරිසක් සිටින බවද අමතක නොකළ යුතුය.
ස්තූතිය - ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිලධාරීනි චාමිණි මිගුන්තැන්න මහත්මියට
සේයාරූ - ගයාන් පුෂ්පික