
ගල් භූතයා
දිවියේ සැඳෑ සමය ගෙවමින් සිටින මගේ සිත ඇසිල්ලක් ලද මොහොතේ දුව ගොස් රැඳෙන අතීත සිදු වීම් රැසක් තිබේ. මා මේ ලියන්නේ එබඳු මිහිරැති කතාවකි.
එවක මම වයස දහතුනක කොලු ගැටයෙක් වීමි. ඒ පනහේ දශකයේ අග භාගයයි.
මා විසූ සුවිශාල වත්තේ හිමිකරුට ගෙවල් දහයක් පමණ අයත් ව තිබිණි. පවුල් දහයක් පමණ ඒවායේ කුලියට ජීවත් වූහ. විදුලි පහසුකම් ඇති නිවෙස්වල කුලිය වැඩි විය. නැති ඒවායේ අඩු විය.
ගහකොළ ද සරුවට වැවී තිබුණු මේ වත්තේ අපට බෑඩ් ගැසීමට ද හොඳ ඉඩක් තිබිණි. එහි කාටත් පිහිට වූ පොදු ළිඳක්, වඩු පට්ටල් දෙකක් සහ බක්කි කරත්තයක් විය. සිල්ලර කඩය තිබුණේ මැල් දෙවැට නමින් හැඳින්වුණු මහ පළල් පාරේ ය.
වත්තේ ගෙවුණු රාත්‍රිය අති සුන්දර විය. බොහෝ රාත්රිවල සර්පිනා හඬ ඩොලැක් හඬ හා ඕගන් හඬ අත්පුඩි හඬ හා මුහු වී නැඟුණේ වත්ත මැද්දේ තිබූ සිමෙන්ති බැම්ම මතිනි. නව යොවුනන්, යොවුනන් , මැදි වයස්කාරයන් පමණක් නොව වැඩිහිටියන් ද මේ සාජ්ජය ඇසුරේ රැය ගත කළේ ප්රීතියෙනි. අඳුර ගලන විට පටන් ගැනුණු සාජ්ජය රෑ දහය පමණ වන තුරු පැවතිණි. මා මේ කියන රාත්‍රියේ ද සාජ්ජය සරුවට පැවැත්වෙමින් තිබිණි.
‘දඩාං‘
හදිස්සියේ ම ටකරන් වහලක් මතට ගලක් වැටිණි. එහෙත් සාජ්ජයට ඉන් හානියක් නොවිණි. ගෙහිමියන් ද එය ගණනකට ගත් බව නොපෙනිණි.
මොහොතකින් දෙවන ගල ද වැදිණි. සාජ්ජය නතර විණි. කවුරුත් නෙතු අයා අසල්වැසි ගේ දෙස බැලූහ.
කොහෙන්ද ඒ ගල ආවේ? ‘
කවුරුත් දුව ගොස් පිරික්සන්නට පටන් ගත්හ. එහෙත් ගල ආ ඉසව්ව සොයා නොගත හැකි විය.
පසු දා ද සාජ්ජය ඇරඹෙද්දී ම ගලක් දඩාං හඬින් වහල මත වැටිණි. සාජ්ජය පසෙක දැමූ කවුරුත් සොදිසියෙන් විපරම් කරන්නට වූහ.
ඉන් පසුදා ද අඳුර වැටෙත් ම වහල මත ගලක් වටෙන විට කුලී නිවැසියෝ කවුරුත් එක රොත්තට එකතු වූහ.
‘දඩාං‘ ඊළඟ ගල ද වැටිණි.
විමතියට පත් පිරිස ගල් එන්නේ කොහෙන් දැයි සොයන්නට අහසට නෙත් අයා සිටියහ.
‘දඩාං‘ කාගේත් ඇස් වසා ඊළඟ ගල ද වැටිණි. පිරිස කොතෙක් වෙහෙස ගත්ත ද ගල් එන්නේ කොහෙන්දැයි දැනගැනීමට බැරි වූවා පමණක් නොව ගල් වරුසාව ද නවතින පාටක් නොවී ය.
පසුදා ද අඳුර වටෙන විට ම යළිත් අද්භූත ගල් වරුසාව පටන් ගත්තේ ය. මේ අයුරින් පිට පිට දින දහයක් ම ගල් වැටිණි.
එකොළොස් වැනි දවසේ වත්තේ කුලී නිවැසියන් ළිඳ ළඟට රැස් වුණේ ගල් ගසන භූතයා ගැන හෝඩුවාවක් සොයාගත නොහැකි ව ය.
‘දඩාං‘ කාටත් හොරා වහලට ගල් වැටිණි.
දැන් දැන් අඳුර වැටෙන විට වත්තේ කුලී නිවැසියන් පමණක් නොව අවට ගම්වල උදවිය ද ළිඳ ළඟට රොක් වෙති. කා අතත් ආයුධයක් හෝ පොල්ලක් තිබේ. විදුලි පන්දම් එළි අඳුර කපාගෙන ඒ මේ අත දුවයි.
තියුණු විදුලි පන්දම් එළියකට පොල් ගසක් මුදුනේ සිටියකු ගැටිණි. ගල්කාරයා අසු වී යැයි සතුටට පත් පිරිස පොල් ගස වට කළහ. එහෙත් එහි සිටියේ වඳුරෙකි.
පිරිස වඳුරා කෙරෙහි දැඩි අවධානයෙන් පසු ව සිටියදීත් ‘දඩාං‘ හඬින් තවත් ගලක් වහලට වැටිණි. ගල් ගසන්නේ වඳුරා නොවන බව පැහැදිලි විය.
ඉනික්බිති වත්තේ පිවිසුම් ස්ථානයන්හි මුර කපොලු තැනිණි. ඈතක සිට ගල් එනවා දැයි බැලීමට ගලක් ගැසිය හැකි උපරිම දුරක සිට ද අවට පිරික්සුම් කැරිණි. ගමේ සැරිසැරූ රස්තියාදුකාර කොල්ලන්ගෙන් ද ප්‍රශ්න කැරිණි. මේ සියල්ල මැද ‘දඩාං‘හඬ ද නැඟිණි.
මේ අතර බිංකරුවල වැටෙන විට වත්තේ කවුරුත් ළිඳ අසලට පැමිණිය යුතු බවට නියෝගයක් පැනවිණි. එහෙත් ‘දඩාං‘ හඬ නො නැවතිණි.
මසකට පමණ පසු අලුතින් ඉදිරිපත් වූ තවත් අදහසකට අනුව වහලට වැටෙන ගල් පිරික්සුමට ලක් විය. ඒවා බැහැරක ගල් නොව වත්තේ ම ඒවා බව තහවුරු විය.
කෙමෙන් සෝදිසිය වඩාත් දැඩි විය. මොරටු පොලිසියෙන් ද ආවේ ය. වත්තේ ජනතාවගේ වැඩපිළිවෙළ අනුමත කර පොලිසියේ අය ගියහ.
ඊළඟ සතියේ වත්තේ ජන සංගණනයක් සිදු විය. කවුරුත් ඊට කැමැත්තෙන් ම ඉදිරිපත් වූහ. එහෙත් එක පුද්ගලයෙක් නාවේ ය. ඒ ඉස්කෝලෙ මහත්තයාගේ ගෙදර වැඩපළ කළ කීකරු සේවක සුගතපාල ය. ඔහු අහිංසකයකු ලෙස සැලකුණත් ඔහු කෙරෙහි අවධානයෙන් පසු විය යුතු බව වැඩිහිටියන් ගේ මතය විය.
ගල් වැටී ම සුපුරුදු පරිදි ම සිදු විය. ඉස්කෝලෙ මහත්තයා සෙසු පිරිස සමඟ ළිඳ ළඟ සිටිද්දීත් ඔහුගේ කුස්සිය ඇතුළින් ගලක් අහසට විසිවනු හදිසියේ ම පෙනිණි. පිරිසක් වහා ම එහි කඩා වැදුණහ. අහිංසක සුගතේ කුස්සියේ වැඩ පළ කරමින් සිටියේ ය. කුස්සියේ මුල්ලක ගෝණියකින් වසන ලද යමක් පිරිස ගේ උකුසු ඇස ගැටිණි. ගෝණිය ඉස්සූ විට ගල් ගොඩක් දිස් විය.
‘සුගතෙ මේ මොකද? ‘ පිරිස ප්‍රශ්න කළහ. සුගතේ ගැහෙන්නට පටන් ගත්තේ ය.
ගල් ප්රහාරකයා අතට අහු වුණ ද ඔහු ඉස්කෝලෙ මහත්තයා ගේ සේවකයා බැවින් කවුරුත් කෝපය ඉවසා දරා ගත්හ. පසු දා උදෑසන ම ඔහු ආපසු ගමට යැවිණි.
ගමක් හෙල්ලුම් කෑ නොතරම් වැඩක් කළ ද කොලුවා නිය පිටින් පහරක් නොකා බේරී ගියේ එදා අපේ සමාජයේ මිනිසුන් තුළ තිබූ උතුම් මිනිස්කම නිසා ය.
සුගතේ ගිය පසු ගල් ගැසිල්ල ද නැවතිණි. ඉන් පසු නැවතත් අඳුර වැටෙන විට වත්තේ සුපුරුදු සාජ්ජය ඇරැඹිණ.
මොරටුවේ, විල්ලෝරාවත්තේ, සුනිල් සිරිමල් පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.