2019 ජනාධිපතිවරණය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජයක් | සිළුමිණ

2019 ජනාධිපතිවරණය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජයක්

මුලින් පවත්වන්නේ පළාත් සභා මැතිවරණය විය හැකි වුවත් ලබන නොවැම්බරයට පෙර ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්විය යුතුය. ඒ ජනාධිපතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයා වෙනදා තරම් බලසම්පන්න වන්නේ නැත. ඊට හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ සමහර තටු කපා දමා ඇති බැවිනි.

එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කවුරුන් තෝරා පත් කර ගන්නේ දැයි පැහැදිලි නැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ජනාධිපතිවරණ අපේක්ෂකයා යැයි එක එල්ලේ එම පක්ෂය විසින් නිවේදනය කර නැත. පසුගිය දේශපාලන අර්බූදයේ දී කියවුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි. එල්ල වූ දේශපාලන කුමන්ත්‍රණ හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට අගය කළ යුතු කැපවීමක් කළ කතානායක කරු ජයසූරිය ද එජාපයේ නායකයකු ලෙස ද ජනප්‍රසාදයක් ඇති කර ගත්තේ ය.

සිංහල ඡන්ද පදනමේ ස්ථාවරයක් ඇති එහෙත් අනෙකුත් ජන කොටස් අතර ආකර්ෂණයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුය.

කෙසේ වුවත් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මුහුණ දෙන අභියෝගයක් වන්නේ ශක්තිමත් දේශපාලන ස්ථාවරයක් සකසා ගැනීම ය. කොහොම වුණත් කිසියම් දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ අපේක්ෂකයා පවතින දේශපාලන ගතිකයෙන් බැහැරව තෝරා පත් කර ගනීවි යැයි කිව නොහැකිය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා රැස්වීමක් අමතමින් එළැඹෙන ජනාධිපතිවරණයට "මම සූදානම්, ඔබත් සූදානම්දැයි" විමසීම සාකච්ඡාවට ලක් කළ යුතු කරුණක් වන්නේ මේ පසුබිමේ ය. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට තරග කර තේරී පත්වීමට අවශ්‍ය වූයේ අදක ඊයේක නොවේ. පසුගිය වර්ෂයේ මැද භාගය වන තුරුම ඔහු සිටියේ එවැනි සිහිනයක් දකිමිනි. ඔහුට සහාය ලබාදෙන විවිධ මිලිටරි නායකයන් හා සමාජයේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී නොවන කොටස් සමඟ පිහිටුවාගෙන ඇති සංවිධාන හරහා ඔහු තම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පුම්බා ගනිමින් සිටියේ ය. එහෙත් හිටි හැටියේ ඒ සිහිනය බොඳ වූයේ මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂට ඇගිල්ලෙන් ඇන්න නිසා යැයි වටින් ගොඩින් ආරංචි විය.

කොහොමටත් ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු විය යුතුදැයි රාජපක්ෂ පවුල තුළ එකඟතා තීන්දුවක් මේ වනතුරුත් ගෙන ඇති බවක් පැහැදිලි නොවේ. මහින්ද රාජපක්ෂට ව්‍යවස්ථාමය සංශෝධනයකින් මෙහා ජනාධිපතිවරණයකට තරග කළ නොහැකිය. ගෝඨාභය, බැසිල් හා චමල් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ප්‍රති විරෝධතා පවතී.

අනාගත නායකත්වය සදහා මහින්ද රාජපක්ෂගේ සිතැඟියාව විය යුත්තේ නාමල් රාජපක්ෂ බවට තර්කයක් නැත. එහෙත් ඒ සඳහා තරග කරන්නට ඔහුට තවමත් නීතිමය වශයෙන් නොහැකිය.

එතෙක් විකල්පයක් සොයා ගැනීමට රාජපක්ෂවරුන්ට බල කෙරී ඇත. උගත් පාඩම් තුළින් ඒ සඳහා විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර ගනිමින් තරගයට එන්නට සාර්ථක සූදානමක නිරතවෙමින් සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ය. සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැන පමණක් විශ්වාසය කිරීම රාජපක්ෂ දේශපාලනයේ දුර්වලතාව වූ අතර බැසිල් රාජපක්ෂ එය තේරුම් ගනිමින් අවශ්‍ය වෙනස්කම් කිරීමට සූදානම් වෙමින් සිටී.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ එවැනි කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයකින් හා තේරුම් ගැනීමකින් පුළුල් මහජන පදනමක් සකසා ගන්නට සූදානමක ඇති බවක් පෙනෙන්නට නැත.

දස වසරකට ආසන්න රාජපක්ෂ ආණ්ඩුවේ අදේශපාලනික ම බලධාරියා වූයේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහුට දේශපාලනික සියුම් ඥානයක් හා උපක්‍රමයක් නොතිබූ අතර තම චරිතයට ආවේණික මිලිටරිමය භාවිත තුළින් දේශපාලනය සාර්ථක කර ගන්නට මහන්සි විය.

ඔහුගේ නම කියවෙනවාත් සමඟ සියොළඟ සියුම් වෙව්ළීමක් මෙරට මැද පාන්තික සංවේදී සමාජ කොටස තුළ ඇති වූයේ ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස සිදු කළ අත්තනෝමතික හා ෆැසිට්වාදී පාලනය නිසා ය.

රටේ සිදු වූ බොහොමයක් ඝාතන සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූයේ ඔහුට ය. රටේ වාසනාවට ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නට පෙරුම් පුරන්නේ ද ආ මඟ ගැන නැවත සිතා බැලීමකින් තොරව පරණ පුරුදු ෆැසිට්වාදී ස්වරූපය එලෙසම පවත්වා ගනිමිනි. කොළඹ කේන්ද්‍රීය නාගරික මැද පන්තිය ගෝඨාභය රාජපක්ෂට ආකර්ෂණය වී තිබුණේ යුද්ධයට නායකත්වය ලබාදුන් පෞරුෂ ලක්ෂණ සැලකිල්ලට ගනිමිනි.

එහෙත් සිවිල් හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සූදානම් වන්නට තරම් ගෝඨාභය රාජපක්ෂට සියුම් හා තීක්ෂණ නුවණක් නැත. ඔහු අද ද සූදානම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන අන්දමින් කටයුතු කරන පාලනයක් ඇති කරන්නට ය.

ගෝඨාභය රාජපක්ෂට වඩා සියුම් නුවණක් බැසිල් රාජපක්ෂට තිබීම නිසා සිංහල බෞද්ධ ජන කොටස මත පදනම් වී ජනාධිපතිවරණ ජයක් ලබන්නට අපහසු බව ඔහු තේරුම් ගෙන තිබේ. එනිසා සිංහල නොවන ජන කොටස් වල අභිලාශ දෙස සංවේදීව බලන්නට බැසිල් රාජපක්ෂ යොමු වෙමින් තිබේ. ඔහු දේශපාලකයකු වීම ඊට හේතුව වන්නට පුළුවන. එහෙත් තවමත් ගෝඨාභයගේ අවිඥානය මිලිටරිමය නිසා ඒ ආකල්පමය වෙනස ඇති කර ගන්නට ඔහු අසමත් ය.

2015 ජනාධිපතිවරණයේ දී පවා මුළුමනින් ම සිංහලබෞද්ධ ජන කොටස මත රඳා පැවතීම සාර්ථක දේශපලන උපක්‍රමයක් නොවීය. යුද්ධය අවසන් වී දස වසරක් ගෙවී යන 2019 දී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී අදහස් මත පමණක් සමාජය පදනම් වේ යැයි විශ්වාස කළ නොහැකිය. සියලු ජන කොටස් වල සහයෙන් ආර්ථික අරමුණු ජය ගැනීම දැන් කළ යුතු දේශපාලනික ඉලක්කයයි.

ඒ සඳහා සිංහල සමාජය සූදානම් වෙමින් පවතින මොහොතක වඩා සාර්ථක වන්නේ ගෝඨාභයගේ දේශපාලනප්‍රවේශය නොව බැසිල්ගේ දේශපාලන ප්‍රවේශයයි. බැසිල් ශ්‍රී ලාංකික ඡන්ද ප්‍රජාවට අමතන විට ගෝඨාභය අමතන්නේ සිංහල බෞද්ධ ඡන්ද ප්‍රජාවටයි. ගෝටාභයගේ පරාජය එතැන ම ලියැවී තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වැනි දා ලාංකික පාලක පන්තියේ නොමේරුම්කම ලොවටම පෙන්නුම් කළ අතිශය පිළිකුල් සහගත දිනය බව නොඅනුමානය. දේශපාලනික ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් කරන්නට ලාංකික සමාජයට එක්තරා සංස්කෘතික ගති ස්වභාවයක් ඇතත් එදා ඒ වෙනස්කම් කළේ අශ්ලීල සහගත ලෙස ය.

එදා සමහර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පවා ලැජ්ජාවට පත් විය. ඒ තවමත් ශිෂ්ටත්වය අල්පමාත්‍රයකින් හෝ ඔවුන් තුළ තිබූ නිසා ය. ඒ පිළිකුල් සහගත දින 51 වෙනුවෙන් සමාජයට ගෙවන්නට වූ බරපැන අති විශාල ය.

එහෙත් අවසානයේ ඒ වරද ආපිට නිවැරැදි කරන්නට සිදුවීමෙන්ම පෙන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ශක්තිමත්භාවයයි.

එනිසා පැහැදිලිවන වැදගත් ම කාරණාව වන්නේ ලාංකික සමාජයට මේ මොහොතේ අවශ්‍ය ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වැඩපිළිවෙලක් බවයි. දීර්ඝ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක කටයුතු කළ ජන ප්‍රජාව ඉන් බැහැර සංස්කෘතියකට ඇල්මක් දක්වාවි යැයි කිව නොහැකිය.

එනිසා මිලිටරිමය දේශපාලනයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් අගයන ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන නායකයකුට 2019 ජනාධිපතිවරණය සුබ ලකුණු පෙන්වන මැතිවරණයක් බව නොකියාම බැරිය.

shan.info1978@gmail.com

Comments