
පිරිසුදු අත්
ළමාදිනය උදා විය.
එළිමහනේ පන්ති ළමා රංගනය අවසන් කළ මගේ පන්තියේ දරු පිරිස පන්තියට පැමිණියහ.
මම ඔවුනට වෙහෙස නිමා ගන්නට ඉඩ හළෙමි.
පාසලේ සිසු නායිකාවෝ දෙදෙනෙක් ලොකු කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් ඔසවා ගෙනැවිත් පන්තිය ඉදිරියේ තැබූහ.
ළමා දිනය වෙනුවෙන් දරුවනට කැරෙන සංග්රහය සූදානම් ය.
මම කටහඬ අවදි කළෙමි.
‘හරි ලස්සනයිනෙ ඔය ගොල්ලන්ගේ නැටුම.’
ඔවුන්ගේ මුහුණෙහි මල් පිපෙනු මට පෙනිණි.
‘තාම මහන්සිද?’
‘නෑ ටීචර්’
එහෙනං අර එළියෙ ටැප් එකෙන් අත්දෙක හොඳට හෝදගෙන එන්ඩකෝ!’
සමහරු එසේ කළ හ. සමහරු පන්තියේ ම සිටියහ.
‘දැන් අත්හෝදගෙන ආව නේද? එහෙනම් කෑම ටික බෙදාගනිමුද?’
‘අපි නම් අත් හේදුවා ටීචර්. ඒත් දෙවෙනි පේළියෙ අය...’ පන්තියෙන් හඬක් නැගිණි.
‘තාම අත්හේදුවේ නැති අය ඉන්නවාද? දැන් ටැප් එක ළඟ කවුරුත් නෑනෙ. ගිහින් ඉක්මනට හෝදගෙන එන්ඩ!’ මම කීමි.
කිසිවකු පිටතට නොගිය බැවින් මම යළිත් කතා කළෙමි.
‘අත් හෝදගෙන ආවෙ නැති අය ඉන්නව නම් නැගිටින්ඩ!’
දෙවැනි පේළියේ ළමයි හතර දෙනෙක් නැගිට බිම බලා ගත්හ.
‘ඔය හතර දෙනා ම එන්ඩකො මගේ මේසෙ ළඟට!’
ඔවුහු ආහ.
‘ඇයි පුතාල අත් හෝදන්ඩ ගියේ නැත්තෙ? ඉස්සරවෙල ඉඩ තිබුණෙ නැති නිසාද? පස්සෙ ඉඩ තිබුණානෙ. ඒත් මොකද ගිහිං හෝද ගත්තෙ නැත්තෙ?’
‘අපි ගෙදරින් අත් හෝදගෙන ආවේ ටීචර්’ එක දරුවෙක් කීවේ ය.
‘එහෙනම් ඔයාලත් මෙයා වගේ ගෙදරදි අත් හෝදගෙනද ආවේ?’ මම සෙසු තිදෙනා දෙස බැලුවෙමි. තිදෙනා ම ‘ඔව්’ කියන්නට හිස වැනූහ.
‘කලින් අත් හෝදගෙන ආව කිලා ඔයාලා කිව්වනේ. උදේ නේද අපි ගෙදරින් ආවේ? උදේ ඉඳලා මේ වෙනකොට කොච්චර දේවල් කළාද? දූවිලි, විසබීජ ජාති ගොඩක් අත්වලට එකතුවෙලා ඇති. ඒ නිසා අපි හැමදාම කෑමට ඉස්සර වෙලා අපේ අත් හොඳට හෝදගන්ඩ ඕනෑ. අත් හෝදන්නෙ නැතුව කෑම කන අයට නිතර ම බඩේ අමාරු හැදෙනවා.’
‘ටීචර් මටත් හැම වේලේ ම බඩේ අමාරු හැදෙනවා. මං අත් හෝදගෙන එන්ඩද?’ හතර දෙනා අතරින් එක් දරුවෙක් ඇසුවේ ය.
‘ඔයා විතරක් නෙමෙයි, මේ පුතාල තුන්දෙනාත් ගිහින් අත් හෝදගෙන එන්ඩ! එතකොට මේ අක්කලා දෙන්නා ඔයාලට කෑම බෙදලා දෙයි. කෑම කන්ඩ කලින් අත් හෝදගන්ඩ ඕනැ බව ඔයාල හැමෝම හොඳට මතක තියා ගන්ඩ!’
දරුවෝ සිවු දෙනා දුවගොස් අත් සෝදගෙන ආහ.
සිසු නායිකාවෝ පුංචි පිරිසට කෑම බෙදා දී යන්නට සූදානම් වූහ.
‘අක්කේ ඔයාලට බොහොම ස්තුතියි!’ පන්ති නායිකාව නැඟිට කීවා ය.
කවුරුත් නිහඬව අහර බුදින්නට පටන් ගත්හ.
කුඩා සිසුවියක් මා ළඟට පැමිණ එක්තරා දරුවකු පෙන්වා මට රහසක් කීවා ය.
‘ටීචර්, අරය හැමදාම උදේට දත් මදින්නෙ නෑ’
‘ඔයා කොහොමද දන්නෙ?’
‘ඒගොල්ල ඉන්නෙ අපේ ගෙවල් ළඟනෙ. දත් මදින්ඩ කියලා එයාලගේ අම්මා එයාට කෑගහනවා අපිට ඇහෙනවා.’
මම ඒ දරුවා දෙස බැලීමි. ඒ තමාට නිතර බඩේ අමාරු හැදෙන බව කී මාලක ය.
මම පන්තිය වෙත අවධානය යොමු කළෙමි.
‘හැමදාම උදේට මූණ හෝදන්ඩ ඉස්සරදත් මදින්ඩ ඕනැ නේද?’
‘ඔව් ටීචර් මම නම් හැමදාම උදේට දත් මැදල තමයි මූණ හෝදන්නෙ’ මට රහස කී දැරිය කීවා ය.
‘හොඳයි, දැන් ඔයත් ගිහින් කෑම කන්ඩ!’ ඇය සතුටින් සිය අසුන වෙත ගියා ය.
පාසල නිම වන වේලාව ළං වෙමින් පැවතියේ ය.
ළමයි අහර භුක්ති විඳ අවසන් කළ හ.
‘ඔයගොල්ලන්ට කෑම දාලා දුන්නු බෑග් එක තාම ළඟ තියනවද?’ මම ඇසීමි.
‘නෑ ටීචර් අපි ඒක කුණුදාන පෙට්ටියට දැම්ම’ ළමයි පිළිතුරු දුන්හ.
‘හොඳයි දැන් මට කියන්ඩ, අද අපි මතක තියාගත්තු හොඳ පණිවිඩය මොකක්ද කියල මතක ද?’
‘ඔව් ටීචර් අත හෝදන එක’ ඒ පිළිතුර සම්පූර්ණ නෑ. දැන් මම බෝඩ් එකේ ලිව්වට පස්සෙ ඒක බලල ඔයාලගේ පොතේ නිවැරදිව ලියා ගන්ඩ!’
‘කෑමට පෙර අත් සෝදා ගැනීමට මතක තබා ගනිමු’. මම ඒ පණිවිඩය පැහැදිලිව ලොකුවට ලිවීමි.
‘ටීචර් අපි අනෙක් හොඳ පණිවිඩයත් ලියා ගන්ඩද?’
‘හොඳයි ලස්සනට ලියා ගන්ඩ!’
පණිවිඩ දෙක ම තම පොත්වල ලියාගත් ළමයි හරියක් ලබා ගැනීමට පෝලිමේ මා වෙත එන්නට වූහ.
මම ඒවා කියවා නිවැරදි කර හරි ලකුණු යෙදීමි. කලින් හරි ලකුණ ලබා ගත්තෝ ඒවායේ දිග සසඳා බලන්නට වූහ.
පාසල අවසන් කැරෙන සීනුව නාද විය.
‘ඉතිරි වුණු පොතේ ඊළඟ දවසෙ බලමු පුතේ’ කී මම අසුනින් නැගිට්ටෙමි.
‘අද පන්තියෙ හැම දෙනා ම හරිම හොඳයි. හැමෝම ලස්සනට නැටුවා. ඊළඟට අපිට ලෙඩ නැතුව ඉන්න හොඳ පණිවිඩ දෙකකුත් ලියා ගත්ත. එහෙම නේද?’
‘ඔව් ටීචර්’
‘ඉතිං ඒ පණිවිඩ අපි හැමදාම මතක තියාගන්ඩ ඕනැ නේද?’
‘ඔව් ටීචර්, මං දත් මදින බබෙක් අඳිනවා.’
‘හොඳයි අඳින්ඩ! අපේ පන්තියෙ ලස්සනට චිත්‍ර අඳින අයත් ඉන්නවනෙ.’
‘මාත් අඳිනවා... මාත් අඳිනවා...’ ළමයි එක දිගට කියන්නට ගත්හ.
‘හොඳයි දැන් අපි ගාථා කියමු!’
පාසල නිමා විය. දරුවෝ පිටව ගියහ. මම ද පන්තියෙන් පිටතට ආවෙමි.
මගේ හිත සතුටින් පිරී තිබිණ. දරුවනට වැදගත් දිනයක් වූ ළමා දිනයේ ඔවුනට වටිනා යමක් කියා දීම ගැන ඇති වූ සතුට ය.
ඒ සතුට තවත් වැඩි වූයේ අදාළ වාරය අවසන් වූ දවසේ ය.
නිතර නිතර බඩේ අමාරු හැදුණ මාලක සිනාසීගෙන මා ළඟට ආවේ ය.
‘ටීචර් නිවාඩු දෙන අද වෙනකං මට බඩේ අමාරු හැදුණෙ නෑ. දැන් මම හැමදාම දත් මදිනවා.’
‘අන්න එහෙම තමයි ඉන්ඩ ඕනැ’ මම ඔහුගේ හිස පිරිමැද්දෙමි.
කොළොන්නාව පිරිවෙන පාරේ, මාලිනී වීරසේකර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.