
අතීතයේ හොරුන්, මං කොල්ල කරුවන්ගේ රජදහනක් වූ කොළඹ නගරයේ මරදාන දෙසට වන්නට පිහිටි හතර මං හන්දියකට “ටෙක්නිකල් හංදිය” යන ගරු නාමය රජය විසින් ලබාදුන්නක් නොවේ. එදා මෙදා තුර මෙරට බොහෝ ක්ෂේත්රයන් සඳහා උගතුන්, බුද්ධිමතුන් සහ එවැන්නන් බිහිකළ හැකි අධ්‍යාපන ආයතන ගණනාවක් මෙරටට දායද කළ “මරදාන කාර්මික විද්‍යාලය” නිසා ජනතාව විසින් ලබා දුන් නමකි. එසේ ජන හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ මරදාන කාර්මික විද්‍යාලය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිමැවුණු අභිමාවන් රක්තවර්ණ ගොඩනැඟිල්ලේ සෙවණ යට වසර එකසිය විසිපහක් තිස්සේ ජන ගෞවරය ලබමින් තම සේවය සපයමින් සිටී.
මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කරන ලද විවිධ ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, විශේෂඥයන් අවශ්‍ය වූවද ඔවුන් එංගලන්තයෙන් ගෙන්වා ගැනීම අධික වියදම් සහිත ක්‍රියාවක් විය. මේ නිසා අවශ්‍ය ශිල්පීන් බිහිකර ගැනීම සඳහා කාර්මික විද්‍යාලයක් ආරම්භ කළ යුතු යැයි කරනු ලැබූ යෝජනාවක් අනුව 1893 නොවැම්බර් මස 10 වන දින කොළඹ මරදාන දුම්රිය මාර්ග ගොඩනැඟිල්ලට නුදුරින් පිහිටි අලුත් වැඩියා කරන කෝපි ගබඩා ගොඩනැඟිල්ක “රජයේ කාර්මික පාසල (Government Technical School)” නමින් මෙම උසස් අධ්‍යාපන ආයතය ආරම්භ කර තිබේ. කුඩා කර්මාන්ත ශාලාවක්,පර්යේෂණාගාරයක්, දේශන ශාලාවක් හා කුඩා පන්ති කාමරයකින් හා සිසුන් විසිපස් දෙනෙකුගෙන් යුක්තව ආරම්භ වූ මෙහි ප්‍රථම කථිකාචාර්ය වරයා ලෙස ඊ. හියුමන් නම් කාර්මිකඥයා කටයුතු කර ඇත. කාර්මික අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ වූ නමුත් විද්‍යා, වාණිජ, කලා, වෛද්‍ය,අධ්‍යාපන, සෞන්දර්ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍ර විශාල ගණනාවක් මෙරටට හඳුන්වා දීමටත්, අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලද කිහිපයක් මෙරටට දායාද කිරීමටත් මෙම කාර්මික විද්‍යාලයට හැකිවී තිබේ.
ශ්‍රි ලංකා වෛද්‍ය විද්‍යලය ආරම්භ වූ මුල්කාලයේ වෛද්‍ය සිසුන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාවද සඳහා පන්ති පැවැත්වීම මෙම කාර්මික විදුහල මඟින් සිදුවූ අතර වෛද්‍ය විද්‍යාලය ස්වාධීන ආයතනයක් ලෙස දියුණු වූ පසු එම පාඨමාලාවන් කාර්මික විද්‍යාලයෙන් ඉවත්කොට වෛද්‍ය විද්‍යාලය වෙත පවරා දීම සිදුකර තිබේ. මෙරට පාසල් ගුරුවරුන් පුහුණු කිරීමද කාර්මික විද්‍යාලය මඟින් සිදුවූ අතර ගුරු විද්‍යාල ආරම්භ වී ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු ගුරු විද්‍යාල වෙත පවරා දෙන තුරුම විද්‍යා, ගණිත, භාෂා,තාක්ෂණික වැනි විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදුවූයේ මරදාන කාර්මික විද්‍යාලය මඟිනි.
1906 වසරේ දී මෙම රජයේ කාර්මික පාසලෙහි නාමය “ලංකා කාර්මික විද්‍යාලය”හෙවත් “සිලොන් ටෙක්නිකල් කොලේජ්” යනුවෙන් වෙනස් කරන ලද අතර මේ කාලය වන විට සිවිල්,විදුලි කාර්මික, යාන්ත්‍රික වැනි ඉංජිනේරු පාඨමාලාවන්,
විදුලි පනිවුඩ සේවා සහ විද්‍යා පාඨමාලාවන් ද ආරම්භ කර මෙරට කාර්මික හා විද්‍යා අධ්‍යාපනයේ පුරෝගාමියා ලෙස ලංකා කාර්මික විද්‍යාලය කීර්තියක් අත්කරගෙන තිබිණි.
1908 වසරේදී කළමනාකරන,ව්‍යාපාර අධ්‍යයන,ගණකාධිකරණය වැනි පාඨමාලාවන්ද කාර්මික විද්‍යලයෙහි ඇරඹීමත් සමඟ වාණිජ අධ්‍යාපන ක්ෂේත්රයේ පුරෝගාමියා වීමට ද ලංකා කාර්මික විද්‍යාලයට හැකිවිය. 1951 වන විට තක්සේරුකරණය, අලෙවිකරණය සහ ලඝුලේබණය පිළිබඳ පාඨමාලා සහ බ්‍රිතාන්‍ය වෘත්තිය ආයතනයන්හි ලේකම් වෘත්තිය, බැංකු වෘත්තීය වැනි අංශයන්හි බාහිර විභාග සඳහා පාඨමාලාවන්ද කාර්මික විද්‍යාලය මඟින් ආරම්භ කරන ලදි. පසුකාලීනව මෙහි අධ්‍යාපන ලැබූ වෘත්තිකයන්ගේ මූලිකත්වයෙන් ගණකාධිකරණය,බැංකු වැනි ක්ෂේත්රයන් සඳහා වෘත්තිය ආයතන ඇති වූ අතර එම ආයතනයන් තුළ ද වාණිජ ක්ෂේත්රයේ වෘත්තිය පාඨමාලා ආරම්භ වූ නමුත් අදටත් කාර්මික විද්‍යාලයේ ගණකාධිකරණ පාඨමාලා සඳහා වෘත්තිය ක්ෂේත්රය තුළ ඉහළ පිළිගැනීමක් හිමිවී තිබේ.
කාර්මික විද්‍යාලයේ පිහිටා තිබූ විද්‍යා අංශය 1921 ඇරඹුණු “ලංකා විශ්වවිද්‍යාල විද්‍යාතනයෙහි” විද්‍යා අධ්‍යාපන අංශය බවට පත්වූ අතර එය මෙරට විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨයන්හි ආරම්භය විය.1933 වසර වන විට ලංකා කාර්මික විද්‍යාලය මඟින් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි ඉංජිනේරු පීඨයෙහි බාහිර උපාධි සඳහා සිසුන් යොමු කිරීමද ආරම්භ විය. 1950 වසරේ ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ වනතුරුම ලන්ඩන් විශ්ව විද්‍යාලය සඳහා සිසුන් මරදාන කාර්මික
විද්‍යාලය මඟින් යොමුකළ අතර ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වූ පසුව උපාධි පිරිනැමීම එය වෙත පවරන ලදි.
ලංකා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය 1952 - 1960 අතර කාලයේදී පේරාදෙණියේ පිහිටි නව පරිශ්‍රය වෙත ගෙන යන තුරුම කාර්මික විද්‍යාලයේ වැඩහල් තුල එම කටයුතු පවත්වාගෙන යන ලදි.1953 වසරේදී කාර්මික විද්‍යාලයේ කලාශිල්ප අංශය “රජයේ සෞන්දර්ය විද්‍යාලය” නම් නව දෙපාර්තමේන්තුවක් වෙත අනුයුක්ත කළ අතර 2005 වර්ෂයේ දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය බවට පත්වූයේ මෙම ආයතනයයි. 1960 වසරේ දී මරදාන කාර්මික විද්‍යාලයේ පැවති පූර්ණ කාලීන කාර්මික පාඨමාලා, මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ආරම්භ කළ “ප්‍රායෝගික තාක්ෂණ ආයතනය” වෙත ගෙන ගිය අතර මෙම ආයතනය 1966 වසරේදී “ලංකා තාක්ෂණ විද්‍යාලය” වශයෙන් උසස් කරන ලදි. 1972 වසරේදී වර්තමාන මොරටුව විශ්වවිද්‍යාලය බවට පත්වූයේ කාර්මික විදුහලේ සිට කටුබැද්දට පැමිණි මෙම ආයතනයයි.
1957 වසරේදී මරදාන කාර්මික විද්‍යාලයට අනුබද්ධව “කණිෂ්ඨ කාර්මික පාසල”ගාල්ල ප්‍රදේශයේ ආරම්භ වූ අතර එය කාර්මික විද්‍යාලයේ ශාඛාවන් රටපුරා ආරම්භ වීමේ පළමු පියවර විය. එලෙස ඇරඹුනු කාර්මික විද්‍යාල 37 ක් දිවයින පුරා විසිරී පවතී. එම වසරේම මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පැවති පාඨමාලාවන් සිංහල මාධ්‍යයෙන්ද පැවැත්වීම ආරම්භ විය. මේ නිසා ගම්බද දරුවන් හට ද භාෂා භේදයකින් තොරව කාර්මික දැනුම ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. මෙතෙක් මරදාන කාර්මික විද්‍යාලය නමින් පැවති මේ කාර්මික විද්‍යාලය 2008 වසරේදී පළාතකට එක් තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ තාක්ෂණ විද්‍යාලය බවට පත්විය. මරදාන කාර්මික විද්‍යාලය නමින් ජනහදවත් තුළ නොමැකෙන සලකුනක් තබා තිබුණ ද අද මේ කාර්මික විද්‍යාලය නිල වශයෙන් හඳුන්වන්නේ “ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය” යනුවෙනි.
වර්තමානය වන විට පැරණි කාර්මික විෂයන් මෙන්ම තොරතුරු තාක්ෂණය,මෙකාට්‍රොනික්, ජීව වෛද්‍ය තාක්ෂණය, කෘෂි තාක්ෂණය, වර්ණාභරණ තාක්ෂණය, ගොඩනැගිලි තාක්ෂණය, සැලසුම් ශිල්පය, මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණය වැනි නූතන තාක්ෂණික පාඨමාලා ද කාර්මික විද්‍යාලය මඟින් හඳුන්වා දී තිබේ. ජාතික වෘත්තිය සුදුසුකම් පද්ධතිය හඳුන්වා දීමට ද මුල් වී ක්‍රියාකළ මෙම කාර්මික විද්‍යාලය ඒ හරහා කාර්මික ක්ෂේත්රයේ උපාධියක් දක්වාම යාමට මඟ විවර කොට දී තිබේ. මේ නිසා කාර්මික විද්‍යාල මඟින් බිහිවූයේ ලොව ඕනෑම රටක රැකියා දොරටු විවෘත කර ගත හැකි නිපුන ශිල්පීන්ය. මේ නිසා මෙරට ශිල්පීන් වෙනුවෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ලොව බොහෝ රටවල දොරටු විවෘත වී තිබේ.
මරදාන කාර්මික විද්‍යාලය පසුකළ ඒ විශිෂ්ට ඉතිහාසය තුළ මෙරට ගොඩ නැඟීමට විශිෂ්ට යුග පුරුෂයන් රැසක්ම දායාද කොට තිබේ. මුළු රටම ජල විදුලියෙන් ආලෝකමත් කළ ජල විදුලියේ පියා වශයෙන් සලකන ඩී.ජේ. විමලසුරෙන්ද්‍ර මහතා මරදාන රජයේ කාර්මික විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. අද මෙරට ලබා ඇති බොහෝ සාර්ථකත්වයන් ලැබීමට හේතු වූයේ ඔහුගේ විදුලි සැලැස්මය.
කුලසිංහ කොන්ක්‍රීට් නමින් ප්‍රකට පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය, කොන්ක්‍රිට් සිල්පර හඳුන්වා දුන් ආචාර්ය එන්. එස් කුලසිංහ මහතා ද මාරදාන කාර්මික විද්‍යාලයේ නිර්මාණයකි. 1936 කාර්මික විද්‍යලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් එතුමා තංගල්ල, මිරිස්ස, යාපනය, බේරුවල වරායන් ද කොළඹ වරාය ජැටිය, පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාව ,පොල්ගොල්ල වේල්ල, ග්‍රහලෝකාගාරය, දළඳා මාලිගාවේ රන්වියන, කළුතර චෛත්‍ය වැනි විශිෂ්ට නිර්මාණ මෙරටට දායක කළ අයෙකි.
විශිෂ්ඨ සාහිත්‍යට නිර්මාණ රාශියක් දායාද කළ මහගම සේකර මහතා ද මරදාන කාර්මික විද්‍යලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.මෙවැනි විශිෂ්ටයන් දස දහස් ගණනක් බිහිකර, වසර 125 කට පෙර මෙරට උසස් අධ්‍යාපනයේ සාර්ථක අඩිතාලම දැමූ මරදාන කාර්මික විද්‍යාලය තව බොහෝ කාලයක් තම මෙහෙවර මෙරට අනාගය වෙනුවෙන් ඉටුකරනු ඇත. අදත් රටේ සිව් දෙසින් පැමිණ ටෙක්නිකල් හංදියෙන් බසින තරුණ පිරිස ඒ බව ලොවට හඬගා කියනු ඇත.