
සමස්ත ලාංකීක අවධානය ආසියානු ක්‍රීඩා උෙලළ දෙසට යොමුවෙද්දී, එකී සියලු නෙත් සිත් මොහොතකට වෙනතකට හරවන්නට මෙරට කැරම් ක්‍රීඩාවට හැකි විය. ඒ පස්වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියේදී පිරිමි කණ්ඩායම ශූරයන් සහ කාන්තා කණ්ඩායම අනුශූරියන් වීමෙනි.
ශ්‍රී ලංකාව දිනා ගෙන ඇති අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු විජයග්රහණ අතරට මෙරට කැරම් ක්‍රීඩාව එක්වූ සිවුවැනි වතාව මෙය වීමද විශේෂත්වයකි. රටවල් 20කගේ සහභාගීත්වයෙන් පැවැති පස්වන ලෝක කුසලාන කැරම් තරගාවලියේදී 2-1ක් ලෙස ඉන්දියාව පරදා පිරිමි කැරම් ලෝක කුසලානය දිනාගැනීමට චමිල් කුරේගේ නාකයත්වයෙන් සමන්විත වු ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් විය. 3–0 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වු යසිකා රාහුබද්ධගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කැරම් ක්‍රීඩිකාවෝ අනුශූරියෝ වූහ.
ලෝක කුසලානය දිනා දී දකුණු කොරියාවේ පැවැති පස්වැනි කැරම් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් කිරුළ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ නායක චමිල් කුරේ කැරම් ක්‍රීඩාවට සමුදී විදේශ ගතවන බව සිළුමිණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. ශ්‍රී ලංකාව පස්වැනි කැරම් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් කිරුළට අමතරව ස්විස්ලීග් දෙවැනි ස්ථානය, පිරිමි යුගල තෙවැනි ස්ථානය, කාන්තා කණ්ඩායම් තරගාවලියේ අනුශූරියන් සහ යුගල තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. රටවල් විස්සක් තරගාවලියට එක්වූ අතර කණ්ඩායම් තරගාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාව, දෙවැනි ස්ථානය ඉන්දියාව, තෙවැනි ස්ථානය ප්‍රංශය දිනා ගත්තේය. අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රංශය හමුවූ අතර අවසන් තරගයේදී ඉන්දියාව හමුවිය. ශ්‍රී ලංකාව තරග කළ කාණ්ඩයේ සර්බියා, ස්විස්ටර්ලන්තය, කටාර්, අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළේය. “ලංකාවේ කැරම් ක්‍රීඩා කළා ඇති. වැඩිම වතාවක් ජාතික ශූරයා වුණා. ලෝක ශූරතා දෙකක් සහ ලෝක කුසලානයක් රටට දිනා දෙන්නට නායකත්වය දුන්නා. ජයග්රාහිවම මේ ගමන නවත්වන එක හොඳයි කියලා හිතුණා. මම මේ තරගාවලියට ආවෙත් නෙදර්ලන්තයේ ඉඳලා. මගේ විභාග සහ වෘත්තිය කටයුතු නිසා තමයි නෙදර්ලන්තයට යන්න තීරණය කළේ“ යැයි චමිල් වැඩිදුරටත් පැවැසීය. |
ලෝක කුසලාන කැරම් තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව මෙය වෙයි. 2018 ලෝක කුසලන කැරම් තරගාවලියේදී මොහොමඩ් ෂහීඩ් හීල්මි එක් වටයකදී පරාජයට පත්වීම හැරෙන්නට සෙසු තරග වට දෙකක් ජයගනිමින් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මෙම ජයග්‍රහණයට හිමිකම් කීවේය.
මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සේලාන් බැංකුවේ චමිල් කුරේ (නායක) ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්මි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරා නියෝජනය කළ අතර, ලෝක කුසලාන කැරම් අනුශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ (නායක) ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොසිටා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ශානි යන ක්රිඩිකාවන්ගෙන් සමන්විත විය.
පස්වැනි වරට දකුණු කොරියාවේ චුන්චියෝන් නුවර පැවැති කැරම් ලෝක කුසලාන තරගාවලිය 2016 පැවැති කැරම් ලෝක ශූරතාවලියට පසුව පැවැති ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව එම තරගාවලියට එක්වූයේ ද ලෝක ශූරයන් ලෙසය. ඒ 2016 පැවැති ලෝක ශූරතා කැරම් තරගාවලිය ජය ගෙන තිබූ බැවිනි.
පස්වැනි කැරම් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ 2018 ලෝක සංචාරක ක්‍රීඩා උෙලෙළ් අංගයක් ලෙසය. ඊට අයිස් හොකී සහ ටයිකොන්ඩෝ ක්‍රීඩා අයත් විය.
මෙතෙක් පැවැති කැරම් ලෝක කුසලාන හතරේදීම කිරුළ හිමි කර ගැනීමට සමත්ව සිටියේ ඉන්දියාවයි. මෙවර පිරිමි කණ්ඩායම් තරගාවලියට එක්ව සිටි ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ ක්‍රීඩකයන් සිවුදෙනාම ඉන්දියානුවන් වීම ද විශේෂත්වයකි.
2008 ප්‍රංශයේ කෑන්ස්හි පැවැති පස්වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව චමිල් කුරේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව දිනාගත් අතර නිශාන්ත ප්‍රනාන්දු, ජර්මේන් ගුණවර්ධන සහ විරාජ් ප්‍රනාන්දු එකී ජයග්‍රහණයට උර දුන්හ. 2012 දී ශ්‍රී ලංකාවේ පැවැති හයවැනි තරගාවලියේදී නිශාන්ත ප්‍රනාන්දු කේවල ලෝක ශූරයා විය. 2016 එංගලන්තයේ පැවැති හත්වැනි තරගාවලියේ නැවතත් චමිල් කුරේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ජගත් කැරම් ජය මවුබිමට උරුම කරදෙන්නට සමත් විය. නිශාන්ත ප්‍රනාන්දු සමඟ මොහොමඩ් සෙරිෆ්ඩීන් සහ සහිඩ් මොහොමඩ් මේ ජයග්‍රහණයට උර දුන්හ.
ලාංකේය කැරම් ක්‍රීඩාව සිවු වතාවක් ලෝක ශුරතා දිනාගෙන තිබුණ ද අදත් එය වරප්‍රසාද රහිත ක්‍රීඩාවක් බව නොරහසකි. ජාත්‍යන්තරය ජයගැනීම කෙසේ වෙතත් ඒ අසලකටත් යෑමට නොහැකි ක්‍රීඩාවන්ට දක්වන සැලකිලි සහ ලබාදෙන වටිනාකම් දෙස අවධානය යොමු කරද්දී මෙරට කැරම් ක්‍රීඩාවට කුඩම්මාගේ සැලකිලිවත් ලැබේ දැයි සැක සහිතය.
එවැනි ක්‍රමවේද හැකි ඉක්මනින් අතුගා දමා මෙකී විජයග්රහණයට නිසි වටිනාකම් ලබාදීම ක්‍රිඩා බලධාරීන්ගේ සේම වගකිවයුත්තන්ගේද වගකීම බව අවධාරණය කරන්නෙමු. අඛණ්ඩව ජාත්‍යන්තර ජයග්‍රහණ 2016 හත්වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාව සහ කාන්තා කණ්ඩායම් ශූරතාව ඉන්දියාව දිනා ගනිද්දී, අනුශූරතාව ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමි විය. 1991 දී ආරම්භ වූ ලෝක ශූරතා කැරම් තරගාවලියේ 2008 දක්වාම පිරිමි කණ්ඩායම් ශූරයන් වූ ඉන්දියානුවන් විසින් ඉදි කරන ලද බළකොටුව බිඳ දැමීමට අනුශූරයන් වූ ශ්‍රී ලංකාවට නොහැකි විය. 2008 පස් වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය ප්‍රංශයේ කෑන්ස් නුවරට පැමිණෙන විට ඉන්දියානුවන්ට පිරිමි කණ්ඩායම් ශූරතාව පස් වැනි වරටත් අඛණ්ඩව ආරක්ෂා කරගැනීම අභියෝගයක් වන විට එකී සෑම වතාවක දීම අනුශූරයන් වූ ශ්‍රී ලංකාවට තිබුණේ නැවත වතාවක් එකී බළකොටුවට අභියෝග කිරීම පමණි.
චමිල් කුරේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට නිශාන්ත ප්‍රනාන්දු (2012 ලෝක කැරම් ශූරයා) ජර්මේන් ගුණවර්ධන සහ විරාජ් ප්‍රනාන්දු ඇතුළත් වූ අතර ඔවුන් විසින් කෑන්ස්හි දී දියත් කරන ලද සටන සිවු වතාවක් ඉන්දියානුවන් සතු වූ කැරම් පිරිමි ශුරතාව දෙදුරුම්කවන්නට තරම් විය. අවසානයේ ඉන්දියානුවන් පරාජය කර ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක ශූරතා පිරිමි කණ්ඩායම් ශුරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
2016 හත් වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය එංගලන්තයේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ ද චමිල්ටය. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වර අහිමි වූ පිරිමි කණ්ඩායම් ශුරතාව නැවත දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි. චමිල්ට අමතරව නිශාන්ත ප්‍රනාන්දු, සහිඩ් සහ සෙරිෆ්ඩීන් එකී ඓතිහාසික ජයග්‍රහණයට උරදුන්හ.
“මේ තරගාවලියට යනකොට මම ශ්‍රේණිගත කිරීම්වල අංක එක, නිශාන්ත දෙක, සහිඩ් තුන, උදේශ් හතරවැනියා“
චමිල් තම කණ්ඩායම ගැන මහත් අභිමානයකින් මේ තරගාවලියට පෙර පැවසීය. “අපි මේ තරගාවලිය ඉලක්ක කරගෙන මාස දෙකක විතර කාලයක් පුහුණුවීම් කළා. අපි හතර දෙනාම උපරිම කැපවීමක් කළා. අපට සින්කෝ ෆ්ලැටිනම් බෝඩ් එකක් හම්බවෙලා මාසයක් විතර ඇති.“
![]() |
ඡායාරූප රංජිත් අසංක |
මේ අනුව ලෝක ශූරතා දෙකක් සහ ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වූ ප්‍රථම නායකයා ලෙසද චමිල් ඉතිහාසගත වනු ඇත.
අපි අවුරුදු විස්සක විතර කාලයක ඉඳලා කැරම් ක්‍රීඩාවෙන් ඉදිරියට ආවා. 2008 අපි ලෝක ශූරතාවලියට යනකොට හතර පාරක්ම අනුශූරයෝ. මේ තරගාවලියේ ඒ ඉතිහාසය වෙනස් කිරීමේ උණක් අපට තිබුණා. මම හිතන්නේ ඒ උණ තමයි අපිව ලෝක ශූරයන් කළේ. ලෝක ශූරතා කැරම් තරගාවලි ඉතිහාසයේ පස්වැනි තරගාවලියේම අපට ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් වුණා. චමිල් 2016 අතීතය හාර ඇවිස්සුවේ මෙසේයි. 2008 ලෝක ශූරයන් වු ශ්‍රී ලංකාව 2012 ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති හයවැනි තරගාවලියේ නැවතත් ඉන්දියානුවන් අතින් පිරිමි කණ්ඩායම් තරගාවලියේ අනුශූරයෝ වූහ. 2008 කැරම් විජයග්‍රහණය අපට වැදගත් වූයේ එතෙක් මෙතෙක් ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ දිනා ගෙන තිබූ තෙවැනි ලෝක ශුරතා ජයග්‍රහණය මෙයවීම නිසාය.
1973 මොහොමඩ් ජුනයිඩ් මොහොමඩ් ලාෆීර් බොම්බායේ පැවැති ආධුනික ලෝක ශූරතා බිලියඩ් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ලාංකිකයකු ජගත් මට්ටමේ විජයග්රහණයක් සටහන් කළ ප්‍රථම වතාව එයවූ බැවිනි. ඊට පසු 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ මෙරට ක්‍රීඩා ඉතිහාසයට දෙවැනි ජගත් විජයග්‍රහණය සටහන් කරමින්ය.
ලාංකේය කැරම් ක්‍රීඩාවේ වික්‍රමසිංහ පරපුර එහෙමත් නැත්නම් නුගේගොඩ පරපුර ගහට පොත්ත මෙන් බැඳී ඇති නාමයකි. මෙයට මූලික අඩිතාලම වැටෙන්නේ ද චමිල්ගේ අත්තම්මා වන කමලා වික්‍රමසිංහ මඟිනි. කමලා වික්‍රමසිංහ චමිල්ගේ මවගේ (නයනා වික්‍රමසිංහ) මවයි. චමිල්ගේ මවද කැරම් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ වයස අවුරුදු 12 - 13 දීය.
2008 කෑන්ස්හි පැවැති පස්වැනි කැරම් ලෝක ශූරතාවලියේ කාන්තා කණ්ඩායම් අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ චමිල්ගේ ලොකු අම්මා අමිතා වික්‍රමසිංහ වීම ද විශේෂත්වයකි. එම තරගාවලිය නියෝජනය කිරීමට නයනා වික්‍රමසිංහ ද සුදුසුකම් ලබා සිටි නමුත්, වරප්‍රසාද හිමිවූවන්ට පමණක් ඇති පදම් වරප්‍රසාද බෙදා දෙන ක්‍රීඩා අමාත්‍යංශයක් පවතින රටක ස්වභාවය මෙය යැයි ලොවට හඬනඟා කියමින් එවකට ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාව වූ නදීෂා අතපත්තුට සහ අංක තුනේ පසු වූ නයනා වික්‍රමසිංහට එම තරගාවලියට එක්වීමට නොහැකි වූයේ අවශ්‍ය වූ මුදල් ප්‍රතිපාදන නොලැබීමේ සහ සොයා ගැනීමට නොහැකි වීමෙනි. “අම්මාට 2008 තරගාවලියට යන්න බැරි වෙනකොට මට ගොඩක් දුක හිතුණා. මම පුළුවන් තරම් උත්සහ කළා අනුග්රහයක්වත් හොයා ගන්න. ඒත් බැරි වුණා. ලොකු අම්මගේ නායකත්වයෙන් අනු ශූරතාව දිනා ගන්නකොට, මගේ නායකත්වයෙන් ශූරතාව දිනා ගන්නට පුළුවන් වුණා. “චමිල්ට අතීතය කටපාඩම්ය.
මවු උරුමයෙන් රුධිරයට කා වැදුණු කැරම් ඩාව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මුවහත් කරගැනීමට චමිල් සමත්ව සිටී.
1994 දි 14 පහළ තරගවලට ඉදිරිපත් වී අනුශූරයා විය. එහිදී දිගින් දිගටම කැරම් ක්‍රීඩාවට යොමුවෙන්න තීරණය කළ ඔහු දැනට වැඩිම වතාවක් ජාතික ශුරයා වීමටත් සමත් විය.
චමිල් කැරම් ලෝක ශූරතාවලියට මුලින්ම එක් වී ඇත්තේ 2004 ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති සිවු වැනි තරගාවලියටය. ලෝක කුසලානයට චමිල් මුලින්ම ඒක්වූයේ 2006 දීය.
අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ හිමි කර ගෙන ඇති මෙරට ක්‍රීඩා ක්ෂේත්රයට කැරම් ක්‍රීඩාවෙන් පමණක් හිමි වී ඇති ජයග්‍රහණ සංඛ්‍යාව හතරකි. ශ්‍රී ලංකාවට ජගත් මට්ටමේ ජයග්‍රහණ ත්‍රිත්වයක් හිමි කර දුන් එකම නායකයා චමිල් කුරේයි.
නුගේගොඩ පරපුර හෙවත් වික්‍රමසිංහ පරපුර සහ කැරම් ක්‍රීඩාව අතර ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳීමකි. චමිල් හාපුරා කියා කැරම් බෝඩ් එකක් අතපත ගෑමට පුටුවේ වාඩි වන විට කකුල් දෙක පවා බිම නොගෑවෙන තරම්ය.
2008 - 16 දී කැරම් ලෝක ශූරතා දිනා ගත් ශ්‍රී ලංකාව 2018 දී ලෝක කුසලානය ද දිනා ගැනීමට සමත් විය. මේ අතර 2012 දී නිශාන්ත ප්‍රනාන්දු ලෝක ශූරයා විය. වරප්‍රසාද පවා හිමි වන්නේ දක්ෂතාවන්ටත් වඩා හිතවත්කම් පෙරදැරි කරගෙන බව ලාංකේය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් පවා නොදන්නවා නොවෙයි. බලධාරින්ගේ සහ නිලධාරින්ගේ හිතවත්කම්වල දිග පළල මත වරප්‍රසාද බෙදී යන මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ මේ කිසිවක් නැති අය තනිවම හති වැටෙන තෙක්ම හැල්මේ දිව යා යුතුය.
මේ සඳහා උදාහරණ සිය ගණනක් මෙකි පොළොවෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. බොහෝ දෑ සපුරා ගෙන ඇති අතළොස්සක් පිරිසට මදි නොකියන්නට බෙදා හදා දෙන සංස්කෘතියට හිමිකම් කියන මෙරට ක්‍රීඩා ක්ෂේත්රය මේ කිසිත් නැති පිරිසට සිද්ධ වන්නේ සිය කනකර උගස් කර හෝ ඉලක්කවලට යෑම පමණි.
1958 මාර්තු 07 දා පිහිටුවන ලද ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 2008 සිය පනස් වැනි සංවත්සරය සමරද්දී, ශ්‍රී ලංකාවට තෙවැනි ජගත් ක්‍රීඩා ශූරතාව දිනාදීමට සමත්වූ අතර, 2012 දී කේවල ලෝක ශූරයා සහ 2016 දී තෙවැනි ලෝක ශූරතාවද, 2018 කැරම් ලෝක කුසලානය ද දිනාදීමට දායක වී තිබේ. නමුත් ලාංකේය කැරම් ක්‍රීඩාවේ අඩුපාඩුවලින් නම් අඩුවක් නැත. අමාත්‍යංශයෙන් ලැබෙන ප්‍රතිපාදනවලින් ගැටගසා ගෙන ඉදිරියට යන ලාංකේය කැරම් ක්‍රීඩාවට මින් මතුවට හෝ කුඩම්මාගේ සැලකිලිවලට බඳුන් නොවිය යුතු බව අවධාරණය කළ යුතුය.