
හිරිමල් යෞවන යෞවනියන් අතර උපදින ප්‍රේමය අරුමයක් නොවේ. ආදරයෙන් බැඳුණු තරුණයෙකුගේ හා තරුණියකගේ දැකුමත් ප්‍රසාදය උපදවන්නේය. යෞවන ප්‍රේමයේ චමත්කාරය ඇති වන්නේ එය නිදහසේ ගලායන්නට ෙනාදී සමාජයන් ඇති කරන බාධක ප්‍රමාණය තුළය. සදාචාර සීමාව තුළය.
එහෙත් තරුණ යුවළක් අතර පිරී ඉතිරෙන ආදරයේ කෙළවර ස්පර්ශ කරනා රාගික හැඟීම් ඉලක්ක කරගෙන සිය ජාවාරම කරනු ලබන අශීලාචාර මිනිස්සු පිරිසක් මාතර වෙති.
මෙම ජාවාරම්කරුවන්ට හසුවන යෞවන යෞවනියෝ බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවිත ඉතා අවාසනාවන්තව නිමා කර ගනිති. පෙම්වතුන් ලෙස පෙම් බඳින්නට වූ කෝඩුකාර යෞවනයට පිවිසෙන්නේ පාසල් සමය නිමවීඹත් සමඟය. ඇතැම්විට උපකාරක පන්ති පවා අතපසු කර ගනිමින් පෙම් කෙළියේ යෙදෙන්නෝ ද වෙති. එහෙත් ඔවුන්ට පෙම් සුව විඳින්න හෝ තැනක් වූයේ මාතර නගරයේ මුහුදු වෙරළයි. විශේෂයෙන් ම සවි කර ඇති කොන්ක්‍රීට් කොටස් මත හිඳ ඈත ගව්වක් නොපෙනෙන මුහුද දිහා බලා සිටින්නේ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ආදරවන්තයන් එක්වන පේන මානයක් නැති බව පසක් කරමින්ය. ඈත සිතිජය ඔවුන්ට කියා දෙන්නේ නුඹලා ගේ මේ ප්‍රේම වෘත්තය ගව් ගානක් දුරින් ඇති බවයි. ප්‍රේමවන්තයන් ලෙස සිතින් පොහොසත් වුවද ඔවුන් බොහෝ දෙනෙකු යැපෙන්නේ දෙමාපියන් දෙන ආහාර වේලෙනි. ඔවුන් පෙම් කරන්නේ මවුපියන් දෙන පන්ති ගාස්තුවෙනි. එසේ නොපෙනෙන මානයේ පෙම් ලොව සැරිසරන පාසල් වියේ තරුණ්යයද සැබවින් ම පෙම්ලොව සැරිසැරිය යුතු භද්‍ර යෞවනය ද මේ වෙරළ තීරයේ පෙම් සුව විඳිති. උදෑසනින් නිවසින් පිටවන මෙම තරුණ තරුණියෝ සවස් යාමය වෙනතෙක් ම පාට පාට කුඩ ඉහළමින් කුඩයක් යට ජීවත් වෙති. දිවා කාලයේ පවතින දැඩි අව් රශ්මියද කරදියේ ගැටී හමා එන දැඩි සුළඟ ද ඔවුන්ට දැනෙන්නේ නැත. මේ ආකාරයට මාතර මුහුදු වෙරළ උද්‍යානය ඉතාමත් අලංකාර සිත්තමක් මවන්නේ පාට පාට කුඩ සිය ගණනකිනි. ඒ කුඩ එක් වරම එක් පෙළට පිහිටා තිබේ.
එලෙස පෙම් සුව විඳින පෙම්වතුන්ගේ ලොව අඳුරුකර රුපියල් සත සොයා යන මිනිස්සුන්ට නම මාතර වෙරළ උද්‍යානය නිධානයක් බඳු ය. මාතර වෙරළ උද්‍යානයට ආසන්නයේ “කාමර පහසුකම් ඇත” යනුවෙන් සඳහන් කර ඇතත් මේ පෙම්වතුන් පෙම් සුව විඳින්නේ වෙරළ උද්‍යානය මුල්කර ගෙනය.
එය කෙසේ හෝ තම වාසියට හරවා ගැනීමට කාමර පහසුකම් ලබා දෙන නරුමයෝ විවිධ උපක්‍රම භාවිත කරති. තැරැව්කරුවන් මෙන් ම ත්‍රි රෝද රථකරුවෝද මේ පාපයට උරදෙති. මෙලෙස පෙම්වතුන් වෙරළ උද්‍යානයට පැමිණ ඔවුන්ට පම්සුව විඳින්නට ලැබෙන්නේ කුඩා කාලයකි. හොටෙල් හිමියන්ගේ සහ කාමර පහසුකම් දෙන්නන් ගේ තැරැව්කරුවෝ පෙම්වතුන් වටා සැරි සරන්නට පටන් ගනිති. විටෙක ඔවුන්ට බාධාවක් වන පරිදි හැසිරේ.
එසේ හැසිරීමෙන් පසු එම පුද්ගලයින් මේ පෙම් යුවළක් අසලට පැමිණ තරුණයාට කතා කර මඳ දුරකට කැඳවාගෙන යයි. අනතුරුව “මෙතන ලව් කළාට කමක් නෑ. හැබැයි පොලිසියෙන් ආවොත් මල්ලී වැඩේ ටිකක් අමාරුවෙයි. මටත් ඔය වගේ කාලයක් තිබුණා. ඔයාලා දන්නා හොඳට ගැළපෙනවා.” යනුවෙන් තරුණයාට චාටු බස් කියන මෙම තැරැව්කරුවෝ අවසානයේ ඔවුන් බියට පත් කරන්නේ “ඊයෙත් පොලිසියෙන් ජෝඩු අරන් ගියා” යනුවෙනි. මේ වදන ඇසූ පමණින් පෙම් සිත පසෙක වී සිතට බියක් ගෙන දෙන බොහෝ තරුණයන්ට මේ තැරැව්කරු තරම් යහපත් කෙනෙකු තවත් නැති තරම්ය. පසුව ඔවුන් පවසන්නෙ “මල්ලී යමු කාමරයකට. ඔතැන ඉන්න බයයි. මම උදවු කරන්නම්” යනුවෙනි.
බොහෝ තරුණයන් ඊට කැමති වුවද ඒ සඳහා ගෙවීමට එතරම් මුදලක් නොමැතිකම ගැටලුවකි. එවිට තැරැව්කරුවන් පවසන්නේ රුපියල් හාරසීයකට තැනක් තියෙන බවයි. ඊට කැමති වන මේ තරුණ යුවළ අවසානයේ තැරැව්කරුගේ ත්‍රිරෝද රථයෙන් ම කාමර මුඩුක්කු ඇතුළට රැගෙන යයි. එතෙක් උදවු කළ තැරැව්කරුවා ඔවුන් ත්‍රි රෝද රථයෙන් බස්සවා හයර් එක ඉල්ලාගෙන ඉගිලී යයි.
පසුව මේ යුවළ කිසි දා නොදුටු අත්දැකීමක් පෙරටු කරගෙන රුපියල් හාරසීයට කාමර සොයා ගියද “ඒ කාමර ඉවරයි” යනුවෙන් ඇසේ. කළ යුතු දෙයක් නැත. රුපියල් දහසේ කාමර තුළට රිංගන්නට මේ යෞවනයන්ට සිදුවේ.
ඇතැම් විට පෙම්වතියගෙන් මුදල් ඉල්ලීමට තරම් අසරණ වෙන අවස්ථා ද නැතුවා නොවේ. කෙසේ හෝ පෙම්වතියගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙතෙක් විඳි පිවිතුරු ආදරය පසෙක දමා මේ ලැගුම් හල් තුළදී ඔවු නොවුන් අතර කිසිදා අත් නොදුටු සුවයක් අත් විඳීම සිදුවේ.
මේ ගමනින් පසු බොහෝ යෞවනියෝ සිය කුමරි දිවිය නිමා කරති.
ඔවුන් මෙතැනින් නවතින්නේ ද නැත. පසු දින ද ඔවුහු අකමැත්තෙන් හෝ විඳි සුවය වෙත නැවත ඇදී යති. එය නිරායාශ හැඟීමකි. අවසානයේ ඛේදවාචකයකින් මෙය කෙළවර වුණ අවස්ථා නැතුවාද නොවේ. සමහරු සිය දිවි හානි කරගැනීම් වලින් ජීවිත කෙළවර කර ගනිති. සමහරු ඔවුනගේ අධ්‍යාපන කටයුතු අඩාළ කර ගනිති. දෙදෙනා අතර විරසක තත්වයක් බොහෝ විට ඇති වන්නේ සැකය මුල් කරගෙනය. පෙම් ලෝකයේ ඇති වන අමනාපකම් එම පෙම් කතාවේ තවත් පිටුවක් පෙරළන්නකි. ඉන් ඔවු නොවුන්ගේ ප්‍රේම ලෝකය ආශ්වාදනය කරති. එමෙන්ම විවාහ වූ යුවළකගේ විවිධ අමනාපකම් බත් හැලිය ඉදෙනකම් පමණක් ලෙස කියමනක් තිබේ.
එසේ නොවන්නේ නම් ඔවුන්ට අවසානයේ උසාවියේ පිහිට පතන්න හැකිය. පෙම්වතුන්ටත් අඹු සැමියන්ටත් මැදි වූ යෞවනයත් හැසිරෙන්නේ නම් එම සබඳතා කෙළවර කරගන්නටවත් තැනක් නැත.
එලෙස ඇතිවන පීඩා සමනය කර ගැනීමට බොහෝ තරුණ තරුණියෝ මත් ද්‍රව්‍යවල පෙලඹෙති. ඔවුන්ගේ ජීවිත පිළිබඳ ඔවුහු බොහෝ කලකිරීමට පත්වෙති. මෙවන් අවාසනාවකට තරුණ තරුණියන් තල්ලු කළ මේ ලැගුම්හල්කරුවන් ඉන් නතර වන්නේ ද නැත. තවත් පාරිභෝගිකයෙකු කෙසේ හෝ ගෙන්වා ගැනීමට උද්යෝගයෙන් කටයුතු කරති. මේ අසරණ වන්නේ තමාගේ දුවා දරුවන් වැනි පිරිසක් යැයි කිසිසේත් ම නොසිතන්නට තරම් රුපියල් සත ප්රබලය. එයින් නොනවතින මේ සැහැසියෝ තවත් සමාජ විසමතා වල නිරත වෙති.
බොහෝ අවස්ථාවල ලැබෙන තොරතුරු අනුව ඇතැම් ලැගුම්හල්වල රහස් කැමරා සවි කර ඇත. ඉන් ගන්නා ලිංගික දර්ශන ඔවුන් සමාජ ජාලවලට මුදාහැර මුදල් උපයන බවටත් තොරතුරු ලැබේ. දිනෙන් දින සමාජ ජාලවලට එක්වන අසැබි දසුන් බහුතරයක් මෙම ප්‍රදේශවල ජීවත්වන කාන්තාවන් හා පිරිමින් තමාගේ ලිංගික සෙල්ලම් ලෝකයම දකින බව ඔවුන් දන්නේ නැත. මෙවන් ලැගුම් හලක බොහෝ කාලයක් කම්සැප විඳි යුවළකගේ කතාවක් පොලිසියෙන් සහ අධිකරණයෙන් විසඳෙන්නට තරම් දුරදිග ගොස් තිබිණි.
ඒ තම පෙම්වතිය සමඟ ලැගුම් හලේ ගත කළ කාලයේ ලබාගත් ඡායාරූප පසුකාලයේ දෙදෙනාගේ අමනාපයෙන් පසු බාහිර පුද්ගලයන්ට පෙන්වීම හේතු කරගෙනය. මාතර නගරය මෙන් ම පිවිසුම් ස්ථානවල පවා රුපියල් හාරසීයට පන්සීයට කාමර පහසුකම් ඇතැයි පුවරු සවි කරමින් ගෙන්වා ගන්නා මේ තරුණ තරුණියන්ගේ අවසාන ජීවන ඉරණම එසේය. එහෙත් කනගාටුව නම් මේ හෝටල්කාර අමනුෂ්ය්යන් රකින්නට විවිධ බලවේග නිර්මාණය වී තිබීමය. මෙම ලැගුම්හල් බොහොමයක් පවත්වාගෙන යන්නේ බොහෝ ධනවත් බලවත් පුද්ගලයෝය. මේ හේතුවෙන් එම ස්ථාන වැටලීම් කිරීම කිසිසේත් ම සිදුවන්නේ නැත. ඊට බලපාන හේතු කිහිපයක් තිබේ. එකක් දේශපාලන බලවතුන්ගේ හවුල් සම්බන්ධතා හේතු. තවත් විටෙක ඔවුන්ගෙන් ලැබෙන වරදානය. එහෙත් හෙට දින එළිය කරන මේ තාරුණ්‍ය විකසිත වන්නට පෙර මිලින කරන සමාජයක් ගොඩ නගන සමාජ පිළිල බාධා රහිතව සිය ජාවාරම් වලය.