
රුහුණු කතරගම දේවාලයේ ඇසළ මහා මංගල්‍යය හේතුවෙන් මේ දිනවල දිනපතා විශාල බැතිමතුන් පිරිසක් කතරගම පුදබිමට පැමිණෙමින් සිටිති. මේ හේතුව නිසාම කතරගම නගරය හා අවට නගර ද දිවා රෑ දෙකෙහි පවතින්නේ දැඩි අවිවේකී බවකිනි. වාර්ෂිකව පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යය හා අනෙකුත් ආගමික කටයුතු වෙනුවෙන් විශාල බැතුමතුන් පිරිසක් කඳසුරිඳුන් වදින්නට මාස ගණන් පේවී කතරගමට පැමිණෙන අතරේ තවත් පිරිසක් පෙරහර සමයේ පේ වී සිටින්නේ කතරගම දෙවියන් වඳින්නට නොව කතරගම දෙවියන් වඳින්නට යන එන බැතිමතුන්ගේ පොකැට්ටුවට විදින්නටය. සෑම වසරකම කතරගම ඇසළ මංගල්‍යය එනතෙක් බලා සිටින මෙම පාපකාරී නොමිනිසුන් විවිධ ජාවාරම්කරුවන් හා සංධානගත වෙමින් විවිධ අපචාර හා නීති විරෝධී ක්‍රියා සිදු කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.
කතරගම පෙරහර සමයේ පැමිණෙන බැති මතුන්ගේ ආරක්ෂාවට මෙන්ම විවිධ අපචාරි ක්‍රියා සිදු කරන්නන් සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යෙදවීමට වගකිවයුතුත්තන් කටයුතු කර තිබුණද මිනිස් වෙසින් සිටින මුදලට කෑදර නොමිනිසුන් සිය බලාපොරොත්තු මුදුන් පත් කරගන්නේ ආරක්ෂක අංශවල උකුසු ඇස්වලටද වැලි ගසමිනි.
මෙවර කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ කෙරුණේ පසුගිය 13 වෙනිදාය. එය 27 වන දින දක්වා පැවැත් වීමට සංවිධායකයන් කටයුතු කර තිබේ. මෙම කාල සිමාව දඩයක්කරුවන්ගේ, ගණිකාවන්ගේ සහ ව්‍යාජ යාචකයන්ගේ මෙන්ම විවිධ මත් ජාවාරම්කරුවන්ගේ ස්වර්ණමය දින ටිකය. වෙනදාට වඩා වැඩි මුදලක් අතමිට මොළවා ගැනීමට පහසුම කාලය බැව් ඔවුන් හොඳාකාරවම දනී. මෙම සටකපට පිරිස් කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් රැවටීමට හා ඔවුන්ගේ පොකැට්ටුවට තට්ටු කිරීමට උපන් හපන්නුය. ඔබ කතරගම එන්නට කලින් අප කතරගම ගියේ කතරගම මැවෙන අපායේ කතාව ඔබට කියන්නටය.
කතරගම පුද බිමට ගිය අප කවුරුන්ද යන්න කිසිවකුත් නොදනී. ඒ නිසාම අපගේ කාර්යයද තරමක් පහසු වීය. නගරයට ඇතුළු වු විට අවට සැමතැන දැකිය හැකි වුයේ විවිධ වර්ගයේ තැරැව්කරුවෝය. පූජා වට්ටියේ සිට කතරගම දෙවියන් වන්දනාවට යන බැතිමතුන් රැඳී සිටිනා පෝලිම දක්වාත් තැරැව් කරුවෝය. කතරගම දෙවියන් වන්දනාව සඳහා පෝලිමේ ඉදිරියට යෑමේ තැරැව්කාර ගාස්තුව රුපියල් දහසක්ය. රුපියල් දහස දුන් දෙවියන්වහන්සේ අබියසටම ගිහින් වන්දනා කළ හැකිය. අප දකින්නේ කතරගම පුදබිමේ අයිතිය තමන්ට යැයි සිතා හැසිරෙන තැරැව්කරුවෝය.
හිඟන මාෆියාව
පුද බිම හාත්පස අරක්ගත් යාචකයෝය. කගරගම යාචකයන්ට නොදැනෙ සේ උන් දිහා රහසින් බලා සිටින්නටත් අපහසුය. ඔවුන් හැම මොහොතකම අවට ගැන සෙවිල්ලෙන්ය. සංවිධානාත්මකවය. යාචක වෙස් ගෙන සිටි බොහෝ දෙනෙකු යාචක වෙසින් එන ජාවාරම් කරුවෝය. සත්‍ය ලෙසම යාචකයන් ලෙස සිටින්නේ ඉතාම සීමිත පිරිසක් පමණි. යාචක වෙස් ගෙන සිටින පුද්ගලයන් සඳහා අයිතිකරුවෝ සිටිති. උදෑසනින් වාහනවලින් ගෙනවිත් බස්සන ඇතැම් යාචකයන්ගේ අයිතිකරුවන් දිනකට දෙතුන් වරක් පැමිණ එකතු වන මුදල් රැගෙන යන අයුරුද අප නෙත ගැටිණි. ඒ අතරේ ඇතැම් යාචකයන් රැඳී සිටින ස්ථාන බෙදාගැනීමට නොහැකිව රණ්ඩු වෙන අයුරු අපට දකිය හැකි විය. වන්දනාවේ පැමිණෙන බැතිමත්හු මේ යාචකයන්ගේ කපටි බස්වලට රැවටෙති.
අප ඇස් පනාපිටම විවිධ දානපතියෝ පැමිණ මෙම යාචකයන් සඳහා බත් පාර්සල් බෙදා දෙති. මේ බත් පාර්සල් ඊට මොහොතක පසු තවත් අයෙකු පැමිණ එකතු කරගෙන යති. අපි බත් පැකට් එකතු කරන්නා පසුපස හඹා ගියෙමු. දැකිය හැකි වුයේ යාචකයන්ගෙන් රුපියල් 50ත් 60ත් අතර මුදලකට ලබා ගන්නා මෙම බත් පාර්සල් මාර්ගය දෙපස කුඩ යට හා හෝටල් වල තබාගෙන නැවත වන්දනාවේ පැමිණෙන පිරිස් වෙත අලෙවියට තබන අයුරුය.
මාර්ගය අසල පසෙක සිදුවන ගැටුමකි. පෙනෙමින් තිබෙන්නේ බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර බෙදාගත නොහැකිව එකිනෙකා පැටලෙන අයුරුය. යාචකයන් දෙදෙනා ඉන්නේ එකම ස්ථානයකය. ගැටුම මුදලක් සම්බන්ධයෙනි. දෙදෙනා අතර ඇතිවන වචන හුවමාරුව අතර අතේ කරේ විවිධ වර්ගයේ පැලඳ, අතේ පච්චයක් සහිත රැවුල් කාරයෙක් පැමිණෙයි. ගැටලුව සමතයකට පත් කරන්නේ ඔහුය. ඔහු නික්ම යන්නේ දෙදෙනාගෙන්ම කිසියම් මුදලක් රැගෙනය.
අපගේ විමසුම් සහගත බැල්ම දකින මැදිවියේ අයෙක් අප සමග කුලුපග ලෙස සිනාසෙයි. ඔහු හා කතාවට එක්වන විට දැනෙන්නේ මේ පොළොවේ සිදු වන අවකෙළිවල ප්‍රමාණය ගැනය. ඔහුගේ හඬේ වේදනාවක් ගැබ් වී තිබේ.
“ඔතැන ඉන්න මිනිස්සුන්ගෙන් වැඩිහරියක් දවස් පඩියට මුදලාලිලට වැඩ කරන අය. ඔය මිනිස්සුන්ට කන්න බොන්න දීලා ඔය තැන්වලට ඇරලවන්නේ මුදලාලිලා. එක්කෙනකුට දවසකට රුපියල් 1000ත් 1500ත් අතර මුදලක් අතට ලැබෙනවා.”
අර ඇහැල ගහ යට ඉඳන් ඉන්න මිනිහ පේනවා නේද මහත්තයා. ඔය මිනිහගෙ මුදලාලි මහ කුණෙක්. මිනිහ එක දවසක් මට කියනවා රුපියල් හත්සීයකට වඩා දෙන්නෙ නෑ දවසකට. ඒත් කරන්න දෙයක් නැති හින්දා එනවා කියලා. ඒ හින්දම මේ මිනිස්සු මුදලාලිට සල්ලි දෙන්න කලින් කීයක් හරි යටි මඩි ගහගන්නවා. හැබැයි එහෙම කරලා අහුවුණොත් මිනිහා ඉවරයි. ඉස්පිරිතාලෙ යන්න ගුටි කනවා. ”. ලැබෙන තොරතුරු අනුව පෙනෙන්නේ හැමදාම කතරගම සිදුවන සංවිධාන්තාමක හිඟාකෑම කතරගම පෙරහර දවස්වලට වඩාත් පුළුල් වන ආකාරයය. වෘත්තීය හිඟන්නෙකු සේ කතරගම කිරිවෙහෙර අබියස සිටිනා එක්තරා කාන්තාවකගේ බැංකු ගිණුමක ඇති මුදල රුපියල් ලක්ෂ විස්සකට ආසන්න බව අපට කියන්නේ තතු දත් ඇත්තෝය. ඇය දැක ගැනීමේ අභිලාෂය මහත් විය. ඇසූවන් හදවත් කම්පා කරමින් ඇය කරන යාදින්න මොහොතකට අපවත් දුර්මුඛ කළේය. එය ඇසූවෙක් ඇයට යමක් නොදී යන්නේ නම් එය කලාතුරිකිනි.
කුලියට නොදරුවන් ගෙන හිඟා කන්නට ඇඹිලිපිටිය, තනමල්විල පැත්තේ සිට කතරගමට එන ගැහැනුන්, අංගවිකල දරුවන් කුලී පදනම මත හයර් කරන පිරිමින්, අධ්‍යාපනයට උදව් ඉල්ලා ලැබෙන ලිපි ද්‍රව්‍ය දරුවන් ලවා කඩපිල් වලට විකුණන මවුපියන් මේ අඩවියේදී හමුවේ. සිය දරුවන් පාසල් නොයවන, යැව්වත් ඔවුන් අධ්‍යාපනය ලබන පන්තිය නොදන්න, කොටින්ම තම දරුවන්ගේ නම් වත් නොදන්න අම්මලා තාත්තලා හිඟාකෑම සඳහා සිය දරුවන් කතරගම පුදබිමට එවූ අවස්ථා ගැන කියන්නේ කතරගම පොලීසියය. කතරගම පුදබිම පරිශ්‍රය ඇසුරෙහි අනාගත පාතාලයක් නිර්මාණය වෙමින් ඇති අයුරු හදවත පාරවන්නේය.
· දඩමස් ලෑස්තියි
වන්දනාවේ පැමිණෙන සමහර බැතිමතුන්ගේ මනදොල දෙවියන් වැඳීමෙන්ම පිනවෙන්නේ නැත. ඔවුන් රස දිව පිනවන්නට දඩමස් සපයන පිරිස් එමටය. පෙරහර සමය ආරම්භයේ පටන් මේ දින කිහිපය තුළදි පමණක් දඩයක්කරුවෝ රැසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. තංගල්ල කොටඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් ගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සිවිල් ඇඳුමින් යුතුව කතරගම ස්ථාන කිහිපයකම ස්ථානගත කර ඇත්තේ විවිධ අපචාර සිදු කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමටය.
බැතිමතුන්ට දඩ මස් සපයන දඩයක්කරුවන් පිළිබඳව තංගල්ල කොටඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ට විශ්වාසනීය තොරතුරු ලැබෙමින් තිබිණි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිවිල් ඇඳුමින් සැරසී සෙල්ලකතරගම ගෝතමීගම හා ඒ අවට ස්ථාන කිහිපයක ස්ථානගත කළේය. එලෙස රැඳී සිටින පොලිස් නිලධාරීන්හු කොටන තුවක්කු සමග දඩයමේ ගොස් එමින් සිටි පුද්ගලයන් පිරිසක් පසුගිය දින කිහිපය තුළ අත්අඩංගුවට ගත්හ.
පෙරහර ආරම්භ වු දින සිට මෙම ලිපිය ලියන දිනය වන විට පමණක් තංල්ල සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරි කණ්ඩායම පමණක් නීති විරෝධි අයුරින් ගිනි අවි භාවිතා කළ හා දඩයමේ ගිය පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුද සමගිනි.
පසුගිය 17 වන දින සුරියවැව බුරුතන්කන්ද ප්‍රදේශයේ වැව්වලට දිය බීමට එන වන සතුන්ට වස දි ඝාතනය කර කතරගම ප්‍රදේශයේ අවන්හල්වලට රැගෙන යෑමේ ජාවාරමක් හෙළි කර ගැනිමට වනජීවී නිලධාරීහු සමත් වූහ.
වනජීවී හා තිරසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය වරයාගෙන් මේ පළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ තමන් මේ වන විටත් පුද්ගලිකවම හම්බන්තොට ප්‍රදේශයේ රැඳී සිටිමින් වනසත්ව සංහාරය සම්බන්ධයෙන් සොයා බලන බවය. සතුන් දඩයම් කිරිම වැළැක්වීම සඳහා මේ වන විට ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් සීරුවෙන් තබා ඇති බවය.
සිල්ලරට කුඩු
මේ සියල්ල අතරේ කතරගමට යන එන තරුණයන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත් කුඩු හා කේරළ ගංජා ජාවාරමද මේ වන විට ජයට සිදු වෙයි. පොලිස් ඇසට වැලි ගසා බොහෝ පිරිසක් මෙම ජාවාරම කරගෙන යන්නේ පෙරහර සමයේ දුර බැහැර සිට පැමිණෙන පිරිස් කීයක් කියුවත් මේවා මිලදි ගන්නා නිසාවෙනි. මේ අතරින්ද කිහිප දෙනෙක්ම පසුගිය දින ටිකේ පොලිස් අත්අඩංගුවට පත් වූහ.
ගංජා සහ මත් කුඩු අලෙවි කරන්නන් බොහොමයක් ඉතා තරුණ වයසේ පසුවන පිරිස්ය. එලෙස කේරළ ගංජා බැතිමතුන්ට අලෙවි කරන කිහිප දෙනෙකුම පසුගිය දින ටිකේ පොලීසියේ උකුසු ඇසට හසු වීය. මෙම ජාවාරම්කරුවන් මේ ජාවාරම සඳහා යොදා ගෙන තිබුණේ අපුරු උපක්‍රමය. එක් තරුණයෙක් පසුගිය දින අත්අඩංගුවට පත් වුයේ කතරගම පුද බිමේ පිහිටි මහජන වැසිකිළිය අසලදීය. ඒ මහජන වැසිකිළියට පැමිණෙන තරුණයන් පිටු පස යන මෙම ජාවාරම්කරු වැසිකිළිය තුළදි තරුණයන් හමුවී “මල්ලී කේජී ඕනේද. නියම බඩු තියෙනවා. මොකද කියන්නේ.ගෙනත් දෙන්නද” විමසයි. ඒ අනුව ගංජා සොයා ආ තරුණයන්ද වැසිකිළිය තුළදීම බිස්නස් එක සිදු කරන්නේ කතරගම දෙවිහාමුදුරුවන්ටද නිගා දෙන අයුරින්ය.
පසුගිය 11 වෙනිදා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් කිලෝ එක හමරක් සමගය. සැකකරුවෝ දෙදෙනා සිය යට ඇදුමේ සඟවාගෙන කුඩා පැකට් ලෙස සකසන ලද කේරළ ගංජා පැකට් රුපියල් 500ත් 1000ත් අතර මිලකට අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූහ. තවත් එවැනිම පුද්ගලයෙකු අත්අඩංගුව පත් වුයේ වන්දනාකරුවන්ට අලෙවි කිරීමට වැල්ලවාය බුත්තල ප්‍රදේශයේ සිට කේරළ රැගෙන එමින් සිටියදීය. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්නකිරිම් වලදී අනාවරණය වි තිබුණේ රුපියල් 20,000ක මුදලකටය. මෙම කේරළ ගංජා තොගය ලබා ගත් බවත් මෙය කුඩා පැකට් ලෙස සාදා අලෙවි කරන බවත් මින් රුපියල් ලක්ෂකය පමණ මුදලක් ඉපැයිය හැකි බවත් ඔහු පවසා තිබිණි. වෙනදා රුපියල් දෙතුන් සියයට විකුණූ ගංජා පැකට් එකක් මේ දිනවල අලෙවි කරන්නේ රුපියල් 500 ත් 1000ත් අතර මුදලකයට. මේ සියලු ජාවාරම් මෙහෙය වීමටද වෙනම පිරිසක් වෙති.
ඒ අතරේ ගංජා කුඩු විකුණන අයගෙන්, හිඟන්නන්ගෙන් මෙන්ම ගණිකාවන්ගෙද කප්පම් ලබා ගන්නා අය වෙති. පුදබිමේ නිල නොලත් හිමිකරුවෝ ඔවුහුය. ඔවුන්ට ගතමනාව නොදී මේ කිසිම කටයුත්තක් සිදුවන්නේ නැත. ඔවුන් හඳුන්වන්නේ ලොක්කෝ කියාය. මේ ලොක්කන්ගේ මුල් ඇත්තේ පාතාලයේය. ඔවුන් පාතාල මැරයන්ගේ නියෝජනය.
කාම වෙළෙඳපළ
සියල්ල අතරේ කතරගමට පැමිණෙන බැතිමතුන් සන්තර්පනය කර මනදොළ පිනවන්නට සුදානමින් සිටිනා රෑ කුමාරිකාවන්ද එමටය. බොහෝ රෑ කුමාරිකාවන් කතරගම පෙරහර කාල සිමාවේදී දිවා රෑ දෙකෙහිම සේවය ලබා දෙන්නට පෙවී සිටින්නියෝ ය. ගණිකා සේවයේ නිරත පිරිස් එය කරන්නේ ඉතා සුක්ෂම ලෙසය. වෙනදා හෝටලයක් තුළ සිට රුපියල් 1000ක් උපයාගත් ගණිකාවෝ මේ දිනවල අලෙවි වන්නේ ඉහළ මිලකටය. රුපියල් දහස රුපියල් දෙදහස් පන්සීයය. නැත්නම් තුන්දහසකටය. ඒ මිලට සේවාව ලබා ගන්නට එන උන්ද පෝලිමේය. මේ ජාවාරමට පහසුකම් සලසා දෙන ස්ථාන ගණනාවක් කතරගම පුදබිම අවට පිහිටා තිබේ. ඔවුන් සිය නවාතැන්වල කාමර විකුණන්නේ පැයක මිලකටය.
කතරගමට එන සියලු වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට පොලිසිය කටයුතු කර ඇත. එමෙන්ම වන්දනාකරුවන් ඉලක්ක කරගෙන දියත්වන විවිධ විෂමාචාර ක්‍රියා සිදු කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනිම සඳහා මාතර හම්බන්තොට භාර නියොජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ගේ උපදෙස් පරිදි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කතරගම හා ඒ අවට ස්ථානගත කර ඇත. කතරගම පුද බිම වන්දනාවට එන බොහෝ දෙනා සුධීමත් බැතිමත්තුය. මේ සියලු අපරාධ හා නීති විරෝධී ජාවාරම් සිදුවන්නේ කතරගමට එන අශීලාචාර සුළුතර කොටස ඉලක්ක කරගෙනය. ඔවුහු මොන ශුද්ධ භූමියට ගියත් එතැන අපායක් නිර්මාණය කරගනිති. ඒ අපාය රටටත් සමාජයටත් කරන්නේ මහා ව්‍යසනයකි.
විශේෂ ස්තුතිය තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්,තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ යන මහත්වරුන්ට.