
නෝම්බි සමය නොහොත් උපවාස සමය යනු ඉස්ලාම් භක්තිකයන් ආගමට ළැදිව ඉතා භක්තිවන්තව වෙසෙන සමයකි. පසුගිය 12 වැනිදා හලාවත මැරවල සවරාන මුස්ලිම් ගම්මානයේ සියලු දෙනාද උපවාස සමය ගත කරමින් තවත් නොබෝ දිනකින් උදා වන අවුරුද්ද සැමරීමට ලකලැහැස්ති වෙමින් සිටියහ. ඔවුහු ඒ දින කීපයේම සවස් යාමයේ පල්ලියේ පැවැත්වෙන යාච්ඤා මෙහෙයන්ට සහභාගිවීමට බොහෝ සේ උනන්දු වූහ.
මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසූල් මැරවල සවරාන මුස්ලිම් විදුහලේ 11 ශ්‍රේණියේ සිටි ඉගෙනීමට උපන් හපන්කම් පෑ අහිංසක දරුවෙකි; එසේම ආගම දහමට දැඩි සේ භක්තිවන්තයෙකි. පසුගියදා පාසලේ පැවැති ශිෂ්‍ය නායක පදක්කම් පැලඳවීමේ උත්සවයේදී රිස්විට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය පිරිනැමිණි. ඊට හේතු පාදක වූයේ රිස්වි සෑම අතින්ම පෙන්වූ ඉහළ දක්ෂතාවන්ය. පල්ලියේ කටයුතුවලදී මෙන්ම රිස්වි ගමේ සමාජ සත්කාර ඇතුළු සියලු බාහිර ක්‍රියාකාරකම්වලදීද කැප වී කටයුතු කළ අයෙකි. ඒ බව පාසලේ සියලු ගුරුවරුද මනා වැටහීමකින් සිටියේය. ඊට අමතරව රිස්වි යනු නිතරම පාහේ පිළිවෙළට වැඩ කටයුතු කළ, පිරිසුදුව ක්‍රමවත්ව අඳින පලඳින දරුවෙකි.
එවැනි කාරණා නිසාම රිස්වි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරයට පත් වීමෙන් අනතුරුව පාසල තුළ විනය පිළිබඳව දැඩි සේ සිතන්නට විය. ඔහු කිසිදු පාසල් ශිෂ්‍යයකුට විනය කඩකිරීමේ කටයුතුවල නියැළීමට ඉඩ නොදුන්නේය. විශේෂයෙන්ම පාසල තුළ පෙම් සබඳතාවන්ට මෙන්ම නිකරුණේ සැරිසරන සිසුන්ට රිස්විගෙන් කිසිදු ගැලවීමක් නොලැබිණි. මේ හේතුවෙන් එවැනි සිසුන්ට රිස්වි යනු මහත් ‘ඇණයක්’ විය.
මෙවැනි වටපිටාවක් ගොඩනැඟෙද්දී ඔහුගේ දක්ෂතාවන්ට ක්‍රියාකාරකම්වලට හොර රහසේ ඊර්ෂ්‍යා කරන සිසුන් පිරිසක්ද පාසලේම සිටියහ.
පසුගිය 10 වැනිදා රිස්වි උපවාස සමයේ පල්ලියේ වැඩ කටයුතුවලට සහභාගි වීමෙන් අනතුරුව තවත් යහළුවකු සමඟ පාපැදියෙන් නිවෙසට යමින් සිටියේය. වේලාව රාත්‍රී දහය පමණ වී තිබිණි.
රිස්වි තම යහළුවා සමඟ පාපැදියෙන් ගමන් කරමින් තිබූ මාර්ගයේ තිබූ ලයිට් කණු කීපයකම එක්වරම විදුලි බුබුළු නිවි ගියේය. රිස්විට එය මහත් ප්‍රහේලිකාවක් වී ඇත. රිස්විද පාපැදියේ වේගය වැඩි කළේය. එහෙත් ඔහුට යාගත හැකි වූයේ මීටර් කීපයක් පමණි.
රිස්වි සමඟ යහළුවා ගිය පාපැදිය වටා පිරිසක් රොක් වූයේ ක්ෂණිකවමයි. එම පිරිසද ඔහු හොඳින් දන්නා හඳුනන තම පාසලේම 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහොමඩ් ෂිහාන්, මොහොමඩ් මුස්තාක් සහ මොහොමඩ් සෆ්රාන් යන සිසුන් තිදෙනායි. එහෙත් රිස්විට ඔවුන්ගේ පැමිණීම ගැන කිසිවක් සිතාගැනීමට නොහැකි විණි.
ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ තම පාසලේ මිතුරන් තිදෙනාගෙන් කෙනකු වූ ෂිහාන්ගෙන් රිස්විට එල්ල වූයේ දැඩි ප්රහාරයකි. පොල්ලක් අතැතිව සිටි ෂිහාන් එක්වරම රිස්විගේ ඔළුවට එල්ල කළ පහරකින් රිස්වි බිම ඇදවැටුණේය.
ඔහුගේ යහළුවාට ඔවුන් තිදෙනාගෙන් කිසිදු ප්‍රහාරයක් එල්ල නොවිණි. එහෙත් ඔවුන් තිදෙනා රිස්විට සහ ඔහුගේ යහළුවාට තර්ජනය කළේ, “උඹලා මේ ගැන කාටවත් කියන්න එපා... කියලා තිබුණොත් බලාගන්න පුළුවන්...” කියමිනි.
එසේ තර්ජනය කළ ෂිහාන්, මුස්තාක් සහ සෆ්රාන් තිදෙනා විදුලි වේගයෙන් අදාළ ස්ථානයෙන් පැන ගියේය. රිස්වි සහ ඔහුගේ යහළුවා පහර කෑමෙන් අනතුරුව නිවෙස්වලට ගියහ. එහෙත් රිස්විට පහර කෑමෙන් ඇතිවූ වේදනාවන් ටිකෙන් ටික උත්සන්න විණි.
“මට අරුන් තුන්දෙනා ගැහුවා...” රිස්වි නිවෙසට ගොස් තම මෑණියන්ට කීවේ එපමණි. පසුදා වන විට ඔහුගේ තත්ත්වය වෙනස් විණි. මුලින්ම රිස්විට ‘ෆිට්’ එක මෙන් ගැහෙන්නට ආ නිසා පවුලේ අය ඔහු හලාවත රෝහලට රැගෙන ගියහ. එහිදී තත්ත්වය උත්සන්න වීම නිසා රිස්වි 12 වැනිදා කොළඹ ජාතික රෝහලට රැගෙන යනු ලැබිණි. එහිදී රිස්වි දින 12ක පමණ කාලයක් මාරයා සමඟ සටන් කොට පසුගිය 23 වැනිදා ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොවින් සමුගත්තේ තවත් අකල් මරණයකට ගොදුරු වෙමිනි.
ඔහුගේ මරණයත් සමඟ ක්‍රියාත්මක වූයේ හලාවත පොලීසියයි. ඒ ගැන අපට කරුණු කීවේ හලාවත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෆායි මහතායි.
“අපිට මේ පහර දීම ගැන මුලින්ම පැමිණිල්ල කළේ රිස්විගේ අම්මා 12 වැනිදා. පස්සෙ ඒ තිදෙනාම අත්අඩංගුවට ගත්තා. අරගෙන හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට මුස්තාක් සහ සෆ්රාන්ව ඇප මත මුදාහැරියා. පොල්ලෙන් ගහපු බවට සැක කරන ප්‍රධාන සැකකරු වන ෂිහාන් පරිවාස බාරයට පත් කළා.”
හිසට සිදු වූ තදබල පහර දීම නිසා අභ්‍යන්තරයේ රුධිර වහනය හේතුවෙන් පසුගිය 23 වැනිදා මරණයට පත් රිස්විගේ මරණයෙන් පසු ඇප මත මුදාහැර සිටි මුස්තාක් සහ සෆ්රාන් නැවතත් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
කරදඬු උස්මහත් වෙමින් හිරිමල් වයසට පැමිණෙන දරුවන් දුරදිග නොබලා සිදු කරන මෙවන් ක්‍රියා හේතුවෙන් සමාජයේ කොතෙක් නම් දරුවන්ට විපත් සිදු වී තිබේද? පසුගිය 28 දා මෙවැනිම ආකාරයේ සිසුන් පිරිසකගේ පහර කෑමකට ලක් වූ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුවකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත්ව ප්‍රතිකාර ලබා නික්ම ගොස් තිබිණි. එහෙත් එම සිසුවා නැවතත් තම මවුපියන් විසින් ජාතික රෝහලට ඇතුළත් කොට එහි 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව අපට වාර්තා විය. සිසුන් 40 දෙනකු පමණ එක්ව එම සිසුවාට පහර දී ඇතැයිද වාර්තා වේ.
සිසුන් මෙලෙස තම සහෝදර සිසුන් සමඟ ගැටුම් ඇති කරගන්නේ කුමක් නිසාද යන්න කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය නොපමාව යොමු විය යුතුය.