පතොක් මල් පිපිලා... | සිළුමිණ

පතොක් මල් පිපිලා...

බැඳී තැවෙමි.....

 

වැලි තලාව කෙළ­වර තෙක්, පා සට­හන් ඇඳිලා. සුළඟ ඒ සට­හන් මතින් සිහින් දූවිලි රටා මව­නවා. ඒ රටා ඇතුළේ වැලි තලාව රහස් ගොන්නක් සඟ­ව­නවා අපූ­රු­වට. මා වෙතින් ඈතට ඇදුණු පිය සට­හන් මිසක මා දිහා­වට ඇදුණු එක ම පිය­ව­ර­ක්වත් නැහැ. දිගු හුස්ම ඔබේ මත­කයේ ළය උණු­සුම අර­ගෙන තුරක් අත්හැර සීමා මායිම් බිඳ­ගෙන ආකා­ස­යට නැඟිලා.

මත­කය අතී­තය හොයන එක මොන අයු­ර­කින් ද නව­ත්වන්න පුළු­වන්. මේ පිය සට­හන් අතී­තයේ මා පිය නැඟූ මාවත දිගේ ඉතිරි වූ මත­ක­යන් වෙන්න බැරි ද...? යාන්ත­මින් මැකෙන ඒ අතී­තය අසල මම පෙරුම් පුර­නවා. ඇත්තට ම...

මගේම ඡායාව දෙපා එක්ක තාමත් වෙළිලා, හැඟී­ම­කින් තොරව හිරු පසු පස්සේ දිව යනවා. මම ඔබට ළං වෙන හැම වාර­යක් පාසාම ඔබ ඒ පිය­වර දිගේ ම මගෙන් ඈතට යනවා. හිත පෙළන ඒ දාහය ඔබේ සිත් වලා­කු­ළෙන් සිසි­ලස හොය­නවා. මොන තරම් දුරක් මම ඒ සිසි­ලස හොයා­ගෙන එන්න ඇත්ද...? තවත් දුරක් ආ යුතු ද...? මා යා යුතු, මට යා හැකි සීමා මායිම් ඇඳ සල­කුණු කර අව­සන්. ඒත් කිසිම සීමා­වක් නොත­කන මේ හිත කෑ ගහන්නේ ඔබේ සිසි­ලසේ දැව­ටෙන්න ම කියා. මේ ඉමේ මම නතර වෙන්නම්. ගිනි­යම් ව දැවෙන වැලි තලාව පහු කර­ගෙන ඔබයි ආ යුත්තේ මා දිහා­වට. ඔබ නොඑන වාර­යක් පාසා මේ සීමා­වන් බිඳී ඉහි­රෙ­නවා.

සීමා­වන් නොතකා ඔබ ඇවි­දින්. මින් පෙර මා රැව­ටුණු ඒ පා සට­හන් ආපහු මා රව­ට­නවා ද...? මෙතෙක් කාල­යක් ගිනි­යම් වැලි තලාවේ තැවෙ­මින්, දැවෙ­මින් සෙවූ ඒ සිසි­ලස මා වෙත ම ඇවිත්. ලෝක­යක් ඔබ රැඳුණු ඉසව්ව මගෙන් වසන් කළත් ගිම්හා­නය කෙළ­වර ඇත්තට ම ඔබ ඇවිත් ද...?

මුවා වී වලා­ව­කට

සෙවණ දී සෙමින්

සම­වැදී සිත් දැහැ­න­කට

නොදැ­නුනි දාහය කෙමෙන්

ඇද බැඳ හුන් සීමා රැහැන්

බිඳ දමා ඒ දැහැනේ

ශ්වේත පිළි ගෙත්තම්

දැන දැනත් ඒ සිසි­ලසේ

ඇලුම් තැවුල්

දැව­ටුණු අයුරු කිමැයි

තිර­වට ගිනි­යම්

- චමත්ක

 

Comments