
බැඳී තැවෙමි.....
වැලි තලාව කෙළවර තෙක්, පා සටහන් ඇඳිලා. සුළඟ ඒ සටහන් මතින් සිහින් දූවිලි රටා මවනවා. ඒ රටා ඇතුළේ වැලි තලාව රහස් ගොන්නක් සඟවනවා අපූරුවට. මා වෙතින් ඈතට ඇදුණු පිය සටහන් මිසක මා දිහාවට ඇදුණු එක ම පියවරක්වත් නැහැ. දිගු හුස්ම ඔබේ මතකයේ ළය උණුසුම අරගෙන තුරක් අත්හැර සීමා මායිම් බිඳගෙන ආකාසයට නැඟිලා.
මතකය අතීතය හොයන එක මොන අයුරකින් ද නවත්වන්න පුළුවන්. මේ පිය සටහන් අතීතයේ මා පිය නැඟූ මාවත දිගේ ඉතිරි වූ මතකයන් වෙන්න බැරි ද...? යාන්තමින් මැකෙන ඒ අතීතය අසල මම පෙරුම් පුරනවා. ඇත්තට ම...
මගේම ඡායාව දෙපා එක්ක තාමත් වෙළිලා, හැඟීමකින් තොරව හිරු පසු පස්සේ දිව යනවා. මම ඔබට ළං වෙන හැම වාරයක් පාසාම ඔබ ඒ පියවර දිගේ ම මගෙන් ඈතට යනවා. හිත පෙළන ඒ දාහය ඔබේ සිත් වලාකුළෙන් සිසිලස හොයනවා. මොන තරම් දුරක් මම ඒ සිසිලස හොයාගෙන එන්න ඇත්ද...? තවත් දුරක් ආ යුතු ද...? මා යා යුතු, මට යා හැකි සීමා මායිම් ඇඳ සලකුණු කර අවසන්. ඒත් කිසිම සීමාවක් නොතකන මේ හිත කෑ ගහන්නේ ඔබේ සිසිලසේ දැවටෙන්න ම කියා. මේ ඉමේ මම නතර වෙන්නම්. ගිනියම් ව දැවෙන වැලි තලාව පහු කරගෙන ඔබයි ආ යුත්තේ මා දිහාවට. ඔබ නොඑන වාරයක් පාසා මේ සීමාවන් බිඳී ඉහිරෙනවා.
සීමාවන් නොතකා ඔබ ඇවිදින්. මින් පෙර මා රැවටුණු ඒ පා සටහන් ආපහු මා රවටනවා ද...? මෙතෙක් කාලයක් ගිනියම් වැලි තලාවේ තැවෙමින්, දැවෙමින් සෙවූ ඒ සිසිලස මා වෙත ම ඇවිත්. ලෝකයක් ඔබ රැඳුණු ඉසව්ව මගෙන් වසන් කළත් ගිම්හානය කෙළවර ඇත්තට ම ඔබ ඇවිත් ද...?
මුවා වී වලාවකට
සෙවණ දී සෙමින්
සමවැදී සිත් දැහැනකට
නොදැනුනි දාහය කෙමෙන්
ඇද බැඳ හුන් සීමා රැහැන්
බිඳ දමා ඒ දැහැනේ
ශ්වේත පිළි ගෙත්තම්
දැන දැනත් ඒ සිසිලසේ
ඇලුම් තැවුල්
දැවටුණු අයුරු කිමැයි
තිරවට ගිනියම්
- චමත්ක