
හැර-යෑම
නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක් වන්
සොඳුරු වූ දුක් මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම
සුළඟ මා රැගෙන යනු මැන
පෙර නොගිය දේශයකට
නුපුරුදු පොළොවකට
මම තවත් නොහඳුනමි මේ ගස
දෝංකාරයේ ලැගුම් ගනිති
හිස් වෙමින් යන මන්දිරවල
කන් වසාගෙන වකුටු වී
නිදන්නට වැර දරමි
ඇගෙ උණුහුම
යන්තමට ඉතිරි වී ඇති ඇඳ කොනක
ඇඟිල්ලෙන් ඇන ඇස්වලට
හෙට උදෑසන
නැඟිටින්නයැයි බල කරයි ලෝකය
ඒත් දැන් මට වෙහෙසයි
තරින්ද ගල්හේන
වෙනස
ගිලන්ව සැමියා
රොහල්ගතව දෙමසක්
බිරිය උයා-පිහා
දරුවන් කවා-පොවා-නහවා
යවා අකුරට නිසි වෙලාවට
සමු නොදී එක දිනකුදු
දිවි සරි කරන රැකියාවට
සිය හිමිගේ නෙතට රසඳුනක්ව
ගිලන් වූ ඔහු අසල හිඳ
පිරිමැද ඔහු සිත..
ගිලන්ව බිරිය
යහන්ගත වී දෙදිනක්..
නිසි අහරක් නොලැබ
වැලපෙන දරුවන්ගේ කුස
පමා වීමෙන් වැසුණු පාසල්-ගේට්ටුව අස
දරුවන්ට ඇදුරිඳුගෙන් දොස්
රතු ඉර වැදී සේවා පොතේ
බැනුම් කඩු තුඩු මැද
සැමියාගේ බිමට බර වූ ඇස්
ගාමිණි අබේවික්‍රම
ඇය නම් දුක
එක බැල්මකින් පැවසිය යුතු සෑම දෙය
කියාගන්න පුළුවන් නුඹ හට පමණ
ඒ බැල්මට දැපනේ වැටුණු මගෙ හිත
නුඹවත් දන්නෙ නැති තරමට වද විඳින
මේ ලොව වසන කවියන් සැම එකතු වෙලා
ආලය අගය කරමින් මට ගිනි දුන්නා
ඒ ගින්දරෙන් දැවි-දැවි නුඹ ගැන සොයනා
මංවත් දන්නේ නෑ මගෙ හිත නුඹ හෙව්වා
සංසාරේ කොච්චර නම් දුක ඇත් ද
ඒ දුක බෙදාගන්නේ මා පමණක් ද
බහක් නොදුන් නුඹ කොච්චර බලවත් ද
මට මා අහිමි කළ මේ දුක සෙනෙහස ද
මහින්ද කුමාර දළුපොත
පර වුණු මල
සුවඳ කුසුමක් නෙළා දෝතින්
පොඩි කළා උන් කිලිටි දෑතින්
දහස් ගිනි ගෙන වියරු මනසින්
මියැදුණා මල් නොසිතු විලසින්
රංජනි රත්නායක
දිවි ගමන යන එමඟ
දිවි මඟ සදනු වස් නොබියව මඟක යමි
‘කිරි -කිරි’ හඬට කන බිය වුව, එඩිය ගමි
හදෙහි දිරිය, අත-පා යන දෙකට දෙමි
ගසින් ගසට පැන දිවි බර සොයන්නෙමි
නෙරළු තුරු මුදුන් අතරේ සරන මෙමා
අවදානම නිතර මා දෙස දෙනෙත යොමා
අණ දෙත, පහළ ගෙපැලේ දරු පවුල පෙමා
ජීවත් කරනු වෙහෙසව! අද නොවී පමා
තළනා විටදි පොල්මල ඉකි-ලන සද්දේ
දරු කුසගිනිව හඬනා හඬට ම ඇද්දේ
මීරා පිරුණු කළයට කරටිය මැද්දේ
මගෙ දුක කියමි කළ මෙහෙවර දිවි යුද්දේ
ඉහළම කරටියට නැඟ කරනෙමි සේවේ
පහළම වැටුපකට එනමුදු අත පෑවේ
අඹු දරු රකිනු දිවි පරදුවටම ලෑවේ
සැක බිය උකස් කරලයි වේලක් කෑවේ
රුදුරු උඩු සුළඟ මට එදිරිව එන්නේ
ඉහළ මඟ ගමන තව තව රුදු වන්නේ
පණ නල තිබේ සැක නැත දිරියද ඉන්නේ
පැකිළෙන නමුදු ජීවිත ගමනකි යන්නේ
සරත් කුමාර වික්‍රමගේ
දුක කියන තුරු
අන්තිම පතක පතිත වූ පසු
තුර
සිය විරහවේ දුක
හිස් අහස සමඟ ද
වියළි සුළඟ සමඟ ද
පවසයි
ගංගා වරුෂවිතාන
දුරුත්තේ ප්‍රේමය
සැලෙයි පන්හිඳ රැඳි දෑත්
ඉවසන්න බැරි දුරුතු හීතලට
හෙමි හෙමිහිට නැවුම් වන මතකයන්
උණුසුම් කඳුළක්ව නෙත් තෙමයි...
ගෙවී ඇතත් දොළොස් මහක්
අප හමු වුයේ මේ දැන් වගෙයි
සීතලෙන් ඉපදී
උණුසුමින් මියගිය
දුරුත්තේ ප්‍රේමයේ නුඹ තමයි
සුපුන් අතුකෝරල
(‘ප්‍රේමයට ඉඩක් ඇත’ කාව්‍ය සංග්රහයෙනි)
වටිනාකම
සඳුගේ අගය හිරු රශ්මිය දැනෙන විට
හිරුගේ අගය මොර සූරා වසින කොට
වැස්සේ අගය මිහිකත ඉරි තළන විට
නොමැත අගය සැම වැඩියෙන් ලැබෙන කොට
චන්ද්‍රා ජයවීර
වස්දඬු රාවය...
ගං තෙරේ උණ පඳුරේ සිලිසිලියෙ
ළවැලි තලයේ වැතිර
වයනු ඇත නුඹ වස්දඬුව
නෙක රාග තාලද දමා
අසා ඉමි මම මේ ඉම
සිත බල කරයි මට
ඒ සොඳුරු වස්දඬුවේ
හිමිකරු දැක ගැනීමට
හිමි නැතත් ඔබ මට
ඈතින් මිහිරට වැයෙන
නුඹේ වස්දඬු රාවයට
සදා පෙම් බඳිමි මම
ස්වර්ණා ද සිල්වා
පොත් ලැයිස්තුවේ නැති පොත්
අම්මගේ නෙත් යුග කිමිදෙයි
ලැයිස්තුවේ ඉහළ පහළ
එහෙන් මෙහෙන් පොත් අදිමින්
ගණන් අඩුම පොත් හොයන්න
අතේ තියෙන රුපියල් සත
අදියි ඇයව එහෙට මෙහෙට
පුතුගේ ඇස් දෙක තිබුණේ
පාට පාට පොත් අතරෙයි
ලස්සන පින්තූර තිබුණේ
ඒ වගේ පොත් ඇතුළෙයි
ලස්සන පින්තූර එක්ක
දන්න අකුරු ගොඩක් තියෙයි
අකුර අකුර එකතු කරල
තාලෙකට කිව්ව හැකියි
පාට පාට දිග පැන්සල්
පාට කරන ලස්සන පොත්
කතා කරන රොබෝ ළමයි
අතේ එල්ලිලා ගෙදරට එන්න අඬයි
ඉස්කෝලෙන් දුන්න පොතේ
ලස්සන පින්තූරත් නැහැ
කොළ හොඳටම කිලුටු වෙලා
පිටකවරෙත් ඉරිලා
හිත ඇතුළේ හීන ගොඩයි
දාලා යන්න එපා කියයි
තිබුණ තැන ම ඔහේ ඉඳගෙන
ගෙදර එන්න ඕනෑ කියයි
ඕනෑ ම නැති පොත් ගොන්නක්
අම්මාගේ අතේ එල්ලී
සන්තෝසෙන් ගෙදර ඇවිත්
එන්න අඬපු ඔක්කොම පොත්
රාක්කවල එහෙම ඉඳී
රෝහණ දීපාල්
එතෙර කවිය
නොනිමි ආදරය
සැබැවින්ම තෙ-පැත්තක් වෙයි අපේ කතාවේ
ඔබගේ, මගේ සහ ඔප නොදැමුණු සත්‍යයේ
අනෙකාගේ ආදරේ, විශ්වාසේ බිඳවැටුම්වල
ඇතැම් තතු නිසගවට නැඹුරු වේ නෙක් අරුතට
’මුත්, එළඹිය යුතු අප දෙදෙනම එක් තැනකට
ඇතැම් විට කාලය මෝරවන නිසා අප හදවත්
හැකි වේවි යම් අයුරකට අපට, වන්නට මිතුරන්
පෙම්වතුන් නොවී තව දුර’මුත් ගැහැනියකට මිනිසකු
ඊටත් වැඩියෙන්, සොයුරියක හා සොයුරකු සෙයින්
නිම නොවේ අපේ කතාව, සහතිකයි මට
වෙනස් වේවී මුරණ්ඩු දැක්මත්, පරිණත වේවි සත්තයි
රොබට් හේග් - එංගලන්තය
පෙම්වතුන් යුවළක අවබෝධයෙන් හා එකඟත්වයෙන් යුතුව සිය ආදරය නිම කිරීමට ගන්නා තැත මෙ-කවෙන් විශද වේ. කථකයා කියන්නේ දෙදෙනාගේම වැරදි තිබෙන්නට හැකි බවය. එහෙත් එකඟත්වයකින් ආදරය නිම කර මිනිසුන් ලෙස, මිතුරන් ලෙස, සොයුරු- සොයුරියන් ලෙස ජීවත් විය හැකි බැවින් ඔවුන්ගේ කතාව නිම නොවන බව කථකයා අවධාරණය කරයි. ඒ සඳහා ඇවැසි වන පරිණත බව කාලයත් සමඟ ඔවුන්ට ලැබෙන බව කථකයාගේ විශ්වාසයකි.
වැඩිහිටි කවියකු වන රොබට් හේග් එංගලන්තයේ බටහිර-යෝක්ශයර් පෙදෙසේ උපත ලබා මේ වන තුරුද එහිම දිවි ගෙවන කෙනෙකි. හෙතෙම උද්යෝගවත් ඡායාරූප ශිල්පියෙක්ද වෙයි.
පරිවර්තනය - දේ.වි. ගාල්ලගේ