හැර-යෑම | Page 2 | සිළුමිණ

හැර-යෑම

හැර-යෑම

නටු­ව­කින් ගිලිහී වැටෙන
දුඹුරු පතක් වන්
සොඳුරු වූ දුක් මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආද­ර­ය­ක­ටම

සුළඟ මා රැගෙන යනු මැන
පෙර නොගිය දේශ­ය­කට
නුපු­රුදු පොළො­ව­කට
මම තවත් නොහ­ඳු­නමි මේ ගස

දෝංකා­රයේ ලැගුම් ගනිති
හිස් වෙමින් යන මන්දි­ර­වල
කන් වසා­ගෙන වකුටු වී
නිද­න්නට වැර දරමි

ඇගෙ උණු­හුම
යන්ත­මට ඉතිරි වී ඇති ඇඳ කොනක
ඇඟි­ල්ලෙන් ඇන ඇස්ව­ලට
හෙට උදෑ­සන
නැඟි­ටි­න්න­යැයි බල කරයි ලෝකය

ඒත් දැන් මට වෙහෙ­සයි

තරින්ද ගල්හේන



වෙනස

ගිලන්ව සැමියා
රොහ­ල්ග­තව දෙම­සක්
බිරිය උයා-පිහා
දරු­වන් කවා-පොවා-නහවා
යවා අකු­රට නිසි වෙලා­වට
සමු නොදී එක දින­කුදු
දිවි සරි කරන රැකි­යා­වට
සිය හිමිගේ නෙතට රස­ඳු­න­ක්ව
ගිලන් වූ ඔහු අසල හිඳ
පිරි­මැද ඔහු සිත..

ගිලන්ව බිරිය
යහ­න්ගත වී දෙදි­නක්..

නිසි අහ­රක් නොලැබ
වැල­පෙන දරු­වන්ගේ කුස
පමා වීමෙන් වැසුණු පාසල්-ගේට්ටුව අස
දරු­වන්ට ඇදු­රි­ඳු­ගෙන් දොස්
රතු ඉර වැදී සේවා පොතේ
බැනුම් කඩු තුඩු මැද
සැමි­යාගේ බිමට බර වූ ඇස්

ගාමිණි අබේ­වි­ක්‍රම


ඇය නම් දුක

එක බැල්ම­කින් පැව­සිය යුතු සෑම දෙය
කියා­ගන්න පුළු­වන් නුඹ හට පමණ
ඒ බැල්මට දැපනේ වැටුණු මගෙ හිත
නුඹ­වත් දන්නෙ නැති තර­මට වද විඳින

මේ ලොව වසන කවි­යන් සැම එකතු වෙලා
ආලය අගය කර­මින් මට ගිනි දුන්නා
ඒ ගින්ද­රෙන් දැවි-දැවි නුඹ ගැන සොයනා
මංවත් දන්නේ නෑ මගෙ හිත නුඹ හෙව්වා

සංසාරේ කොච්චර නම් දුක ඇත් ද
ඒ දුක බෙදා­ගන්නේ මා පම­ණක් ද
බහක් නොදුන් නුඹ කොච්චර බල­වත් ද
මට මා අහිමි කළ මේ දුක සෙනෙ­හස ද

මහින්ද කුමාර දළු­පොත


පර වුණු මල

සුවඳ කුසු­මක් නෙළා දෝතින්
පොඩි කළා උන් කිලිටි දෑතින්
දහස් ගිනි ගෙන වියරු මන­සින්
මියැ­දුණා මල් නොසිතු විල­සින්

රංජනි රත්නා­යක
 


දිවි ගමන යන එමඟ

දිවි මඟ සදනු වස් නොබි­යව මඟක යමි
‘කිරි -කිරි’ හඬට කන බිය වුව, එඩිය ගමි
හදෙහි දිරිය, අත-පා යන දෙකට දෙමි
ගසින් ගසට පැන දිවි බර සොය­න්නෙමි

නෙරළු තුරු මුදුන් අතරේ සරන මෙමා
අව­දා­නම නිතර මා දෙස දෙනෙත යොමා‍
අණ දෙත, පහළ ගෙපැලේ දරු පවුල පෙමා
ජීවත් කරනු වෙහෙ­සව! අද නොවී පමා

තළනා විටදි පොල්මල ඉකි-ලන සද්දේ
දරු කුස­ගි­නිව හඬනා හඬට ම ඇද්දේ
මීරා පිරුණු කළ­යට කර­ටිය මැද්දේ
මගෙ දුක කියමි කළ මෙහෙ­වර දිවි යුද්දේ

ඉහ­ළම කර­ටි­යට නැඟ කර­නෙමි සේවේ
පහ­ළම වැටු­ප­කට එන­මුදු අත පෑවේ
අඹු දරු රකිනු දිවි පර­දු­ව­ටම ලෑවේ
සැක බිය උකස් කර­ලයි වේලක් කෑවේ

රුදුරු උඩු සුළඟ මට එදි­රිව එන්නේ
ඉහළ මඟ ගමන තව තව රුදු වන්නේ
පණ නල තිබේ සැක නැත දිරි­යද ඉන්නේ
පැකි­ළෙන නමුදු ජීවිත ගම­නකි යන්නේ

සරත් කුමාර වික්‍ර­මගේ


දුක කියන තුරු

අන්තිම පතක පතිත වූ පසු
තුර
සිය විර­හවේ දුක
හිස් අහස සමඟ ද
වියළි සුළඟ සමඟ ද
පව­සයි

ගංගා වරු­ෂ­වි­තාන


දුරුත්තේ ප්‍රේමය

සැලෙයි පන්හිඳ රැඳි දෑත්
ඉව­සන්න බැරි දුරුතු හීත­ලට
හෙමි හෙමි­හිට නැවුම් වන මත­ක­යන්
උණු­සුම් කඳු­ළක්ව නෙත් තෙමයි...

ගෙවී ඇතත් දොළොස් මහක්
අප හමු වුයේ මේ දැන් වගෙයි
සීත­ලෙන් ඉපදී
උණු­සු­මින් මිය­ගිය
දුරුත්තේ ප්‍රේමයේ නුඹ තමයි

සුපුන් අතු­කෝ­රල

(‘ප්‍රේම­යට ඉඩක් ඇත’ කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


වටි­නා­කම

සඳුගේ අගය හිරු රශ්මිය දැනෙන විට
හිරුගේ අගය මොර සූරා වසින කොට
වැස්සේ අගය මිහි­කත ඉරි තළන විට
නොමැත අගය සැම වැඩි­යෙන් ලැබෙන කොට

චන්ද්‍රා ජය­වීර



වස්දඬු රාවය...

ගං තෙරේ උණ පඳුරේ සිලිසිලියෙ
ළවැලි තලයේ වැති­ර‍
­ව­යනු ඇත නුඹ වස්දඬුව
නෙක රාග තාලද දමා
අසා ඉමි මම මේ ඉම
සිත බල කරයි මට
ඒ සොඳුරු වස්ද­ඬුවේ
හිමි­කරු දැක ගැනී­මට
හිමි නැතත් ඔබ මට
ඈතින් මිහි­රට වැයෙන
නුඹේ වස්දඬු රාව­යට
සදා පෙම් බඳිමි මම

ස්වර්ණා ද සිල්වා


පොත් ලැයි­ස්තුවේ නැති පොත්

අම්මගේ නෙත් යුග කිමි­දෙයි
ලැයි­ස්තුවේ ඉහළ පහළ
එහෙන් මෙහෙන් පොත් අදි­මින්
ගණන් අඩුම පොත් හොයන්න
අතේ තියෙන රුපි­යල් සත
අදියි ඇයව එහෙට මෙහෙට
පුතුගේ ඇස් දෙක තිබුණේ
පාට පාට පොත් අත­රෙයි
ලස්සන පින්තූර තිබුණේ
ඒ වගේ පොත් ඇතු­ළෙයි
ලස්සන පින්තූර එක්ක
දන්න අකුරු ගොඩක් තියෙයි
අකුර අකුර එකතු කරල
තාලෙ­කට කිව්ව හැකියි
පාට පාට දිග පැන්සල්
පාට කරන ලස්සන පොත්
කතා කරන රොබෝ ළමයි
අතේ එල්ලිලා ගෙද­රට එන්න අඬයි
ඉස්කෝ­ලෙන් දුන්න පොතේ
ලස්සන පින්තූ­රත් නැහැ
කොළ හොඳ­ටම කිලුටු වෙලා
පිට­ක­ව­රෙත් ඉරිලා
හිත ඇතුළේ හීන ගොඩයි
දාලා යන්න එපා කියයි
තිබුණ තැන ම ‍ඔහේ ඉඳ­ගෙන
ගෙදර එන්න ඕනෑ කියයි
‍ඕනෑ ම නැති පොත් ගොන්නක්
අම්මාගේ අතේ එල්ලී
සන්තෝ­සෙන් ගෙදර ඇවිත්
එන්න අඬපු ඔක්කොම පොත්
රාක්ක­වල එහෙම ඉඳී

රෝහණ දීපාල්


එතෙර කවිය

නොනිමි ආදරය

සැබැ­වින්ම තෙ-පැත්තක් වෙයි අපේ කතාවේ
ඔබගේ, මගේ සහ ඔප නොදැ­මුණු සත්‍යයේ
අනෙ­කාගේ ආදරේ, විශ්වාසේ බිඳ­වැ­ටු­ම්වල
ඇතැම් තතු නිස­ග­වට නැඹු­රු වේ නෙක් අරු­තට
’මුත්, එළ­ඹිය යුතු අප දෙදෙ­නම එක් තැන­කට

ඇතැම් විට කාලය මෝර­වන නිසා අප හද­වත්
හැකි වේවි යම් අයු­ර­කට අපට, වන්නට මිතු­රන්
පෙම්ව­තුන් නොවී තව දුර’මුත් ගැහැ­නි­ය­කට මිනි­සකු
ඊටත් වැඩි­යෙන්, සොයු­රි­යක හා සොයු­රකු සෙයින්
නිම නොවේ අපේ කතාව, සහ­ති­කයි මට
වෙනස් වේවී මුරණ්ඩු දැක්මත්, පරි­ණත වේවි සත්තයි

රොබට් හේග් - එංග­ල­න්තය

පෙම්ව­තුන් යුව­ළක අව­බෝ­ධ­යෙන් හා එක­ඟ­ත්ව­යෙන් යුතුව සිය ආද­රය නිම කිරී­මට ගන්නා තැත මෙ-කවෙන් විශද වේ. කථ­කයා කියන්නේ දෙදෙ­නා­ගේම වැරදි තිබෙ­න්නට හැකි බවය. එහෙත් එක­ඟ­ත්ව­ය­කින් ආද­රය නිම කර මිනි­සුන් ලෙස, මිතු­රන් ලෙස, සොයුරු- සොයු­රි­යන් ලෙස ජීවත් විය හැකි බැවින් ඔවුන්ගේ කතාව නිම නොවන බව කථ­කයා අව­ධා­ර­ණය කරයි. ඒ සඳහා ඇවැසි වන පරි­ණත බව කාල­යත් සමඟ ඔවුන්ට ලැබෙන බව කථ­ක­යාගේ විශ්වා­ස­යකි.
වැඩි­හිටි කවි­යකු වන රොබට් හේග් එංග­ල­න්තයේ බට­හිර-යෝක්ශ­යර් පෙදෙසේ උපත ලබා මේ වන තුරුද එහිම දිවි ගෙවන කෙනෙකි. හෙතෙම උද්යෝ­ග­වත් ඡායා­රූප ශිල්පි­යෙක්ද වෙයි.
පරි­ව­ර්ත­නය - දේ.වි. ගාල්ලගේ

Comments