තත්පර කටුව වෙනුවට වසරක කටුවක් ඇති වැළලුණු ඔරලෝසුව | Page 3 | සිළුමිණ

තත්පර කටුව වෙනුවට වසරක කටුවක් ඇති වැළලුණු ඔරලෝසුව

 අපි හැමදාම දකින ඔරලෝසුවේ තත්පර, විනාඩි, සහ පැය කටුව තිබෙන නිසා පරක්කු වෙලා සියලුම වැඩ කරන්න හැකියාව ලැබී තිබෙනවා. අති විශාල ඔරලෝසුවල සිට අතේ බඳින ප්‍රමාණය දක්වා පැමිණි ඔරලෝසු දැන් ස්මාර්ට් වී තිබීම නිසා අත බැඳි පරිගණකයක් මෙන් අපට සහාය වන්නේ නයිට් රයිඩර් වැනි කථා මාලාවන් හරහා ඇතිවූ සිහිනයන් සැබෑ කරමින්. මේ අතරේ වසරකට වරක් වේගවත්ම කටුව චලනය වන ආකාරයේ ඔරලෝසුවක් වසර 10,000ක් ආරක්ෂිතව සහ නිරවද්‍යව පවතින ආකාරයට සැකසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බීසෝස් විසින් ඉතා මෑතකදී මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 42ක් ලබාදීමත් සමඟ මේ ඔරලෝසුව පිළිබඳව වැඩි කතාබහක් ඇතිවුණා. ව්‍යාපාර සම්බන්ධ ඉතා දිගු කාලීන ආයෝජනයන් පිළිබඳ උදාහරණයක් සපයන මේ ක්‍රියාව අනාගතයේ, එනම් තවත් වසර දස දහසකින් ඇමසන් සමාගමට මෙන්ම බීසෝස්ට පුවත් මවන්නට පමණක් නොව එම පියවර ගැනීම නිසා අදටත් කතාබහට ලක්වන්නට හැකියාව ලැබුණා. නමුත් ඒ අතුරු කථාවට වඩා මේ ඔරලෝසුව වටා ගෙතුණු තවත් බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා.

මෙම අපූරු ඔරලෝසු අදහසේ පළමු ටික් හඬ ඇහුණේ 1999 වර්ෂයේදීයි. 1996 වර්ෂයේදී එම අදහසේ නිර්මාතෘ, පරිගණක විද්‍යාඥ සහ නව නිපැයුම්කරුවෙක් වන ඩැනී හිලීස් විසින් ලාභ නොලබන ආයතනයක් ලෙස ‘ද ලෝන්ග් නව්’ (The Long Now) පදනම ආරම්භ කරමින් ඒ සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගත්තා. එහි හිඳිමින් පැයකදී හඬ නගන ඔරලෝසු සම්ප්‍රදාය බිඳිමින් වසරකට වරක් වේගවත්ම කටුව චලනය වන, සහස්‍රවර්ෂයකදී හඬ නගන මීටර් 2.4ක් උසැති ඔරලෝසුවක් හැදුවා. ඒ, මේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ කුඩා ප්‍රමාණයේ ආකෘතියක් ලෙසයි. එය මේ වන විට ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. 2011දී මෙහි ප්‍රධාන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර මීටර් 60ක් උස ඔරලෝසුවකුයි ඒ අනුව තනනු ලබන්නේ.

මෙය තැනීම සඳහා ස්ථානය සපයන්නේ ද බීසෝස් විසින් ටෙක්සාස්හි ඔහුට ම අයත් කඳුකරයකයි. පාෂාණ දෙබෑ කරන රොබෝවරයෙක් භාවිතයෙන් හුණුගල තෙක් කන්ද මීටර් 150ක් හාරා එය ඔරලෝසු පිට ආවරණය ලෙස යොදා ඇති අතර පහළට බැසීම සඳහා කවාකාර පඩිපෙලක් ද එම කුහරය වටා සකසා තිබෙනවා. ඔරලෝසුවට බලය සැපයීම සඳහාවූ කොටස කිලෝග්‍රෑම් 4500ක බරින් යුතුයි. පැරණි ඔරලෝසුවක් මෙන්ම එය වයින්ඩ් තබා බලය ලබා ගන්නට මෙන්ම හිරු එළියෙන් බැටරි ආරෝපණය කරගැනීමට මෙය සමත්වනවා. දුරුකතර ගෙවාගෙන මේ ඔරලෝසුව බලන්නට යන කෙනෙක්ට එහි වයින්ඩ් තැබීමට දායක වෙන්නට පුළුවන්. එනමුත් මෙය සියවස් ගණනක් පවතින එකක් නිසා දශක ගණන් මුළුල්ලේ වයින්ඩ් කරන්නට කෙනෙක් නොමැතිව වුවත් පැවතීමේ හැකියාව ලබාගන්නටයි එයට බල උපස්ථයක් වශයෙන් හිරු එළිය භාවිත කරනු ලබන්නේ. වේලාව නිරවද්‍ය කරගැනීමට ද සූර්යයාගේ සහාය ලබා ගැනෙනවා. සියවස් ගණන් ගෙවෙද්දී පෘථිවි කක්ෂයේ පිහිටීම, පෘථිවියේ ආනති වෙනස්කම් සහ සූර්යයාට මුහුණලන ආකාරයන් ද මෙහිදී අවධානයට ලක් කර ඔවුන් බලාපොරොත්තු වන කාල සීමාව තෙක් පවත්වා ගන්නට හා වෙලාව නිරවද්‍යව පවත්වා ගන්නට එහි සැකැසීම් සිදුකර තිබෙනවා.

බල සැපයුමට ඉහළින්, ආනතියකින් යුතුව සවිකරනු ලබන කිලෝග්‍රෑම් 450ක කණුවක් වේලා ජනකය ලෙස කටයුතු කරනවා. පැරණි ඔරලෝසුවක මෙන්ම එහි චලනය වන දැති රෝද තිබෙනවා. සාමාන්‍ය පරිගණකයක් මිලි තත්පරයකදී ගණනය කිරීම් ඉතා විශාල සංඛ්‍යාවක් සිදුකළත්, මෙය ලොව වේගයෙන් අඩුම පරිගණකය ලෙස හැඳින්වෙන්නේ එය දිනකට වරක් ගණනයන් සිදු කරන නිසායි. සැකැසීම අවසානයේ මෙය දිනකට වරක්, එහි සවි කර ඇති සීනුවලින් එම දවසටම විශේෂිත හඬක් නගන ආකාරයට සකසා තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 136ක් බරැති අවලම්බයක් තත්පර 10 ආවර්තයන්ගෙන් කුහරය තුළ චලනය වනවා. පැමිණෙන අයට පෙනෙන ආකාරයට තිරයක් ද සවි කර තිබෙන අතර එහි දිනය, වේලාව සහ එම අවස්ථාවේ තරු - ග්‍රහලෝක පිහිටීම පෙන්වනවා. ඔරලෝසුවේ වේලාව ස්ථායීව නිරවද්‍යව තිබෙන නමුත් මේ තිරයේ වේලාව පෙන්වනු ලබන්නේ වරක් වයින්ඩ් තැබුවොත් පමණයි. මේ නිසා නරඹන්නන් තිර දසුනක් බැලීමේ අපේක්ෂාවෙන් එය වයින්ඩ් කරලීමට ද පෙළැඹිය හැකියි. කෙසේවුවද සෑම සියවස් සැමරුමකදීම හඬ නගමින් තමා පොළෝ කුහරය තුළ නිරුපද්‍රිතව සිටිනා බවට මතක් කර දෙන මේ අපූරු ඔරලෝසුව අනාගත වැසියන්ට මේ යුගයේ තිබූ තාක්ෂණය පිළිබඳව සාක්ෂි සහිතව අදහසක් ගන්නට වේලාව සලසා දෙනු ඇති.

තඹරු විජේසේකර

Comments