
රාස්සිගේ අව්රැල්ලේ සුන්දරත්වය හිත පුරා බුක්ති විඳනු රිසි වු මා හැන්දෑ කොරේ මේ හක්මන් කරනුයේ මුළු ලොවින්ම නිදහස් වු පරිසරයකටයි. හාත්පස රජ යන්නේ නිදහසයි. ගිනියම් පොළෝ ගැබෙන් නික්මෙන රත් වු වායුධාරා සැදෑ යාමයේදී සිසිල් වීමට පටන් ගෙන ඇත. එය වනවාසීන්ට නම් මහඟු ආශිර්වාදයක් වී ඇති සැටියකි. පිල්බර මොනරෙක් නැටුමක් නටන්නට පටන් ගෙනය. ඒ අහළ පහළ නියත වශයෙන්ම මොනර කිකිළියන් ගැවසෙන බව මේ ආඩම්බර කාර විහංගයාගේ නර්තනයෙන් පසක් වේ. තම පිල් කලඹ අවානක් මෙන් විහිදුවමින් මොහු රඟන රැඟුමෙන් වශීවී දැපනේ වැටී මොනරා සමීපයට පැමිණෙන මොනර කිකිළියන් නැටුම් පානා මොනරා වටා යමින් උගේ සිරුරෙන් නිකුත් වෙන යම් යම් දේ අහුලා කෑමෙන් මොනර කිකිළියන් ගැබ්බර වන්නේය යන්න ගැමි විශ්වාසයකි. මේ එය හරිදැයි, වැරැදිදැයි වටහා ගැනීමට කදිම අවස්ථාවකි. ඒ බැවින් මම ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු රිසියෙන් ආවරණයකට වැදුණෙමි. පැය භාගයක් හෝ ඊට මදක් වැඩි කාලයක් මේ රැඟුම දෙස හොඳින් බලා සිටියෙමි. සමාජයේ ඇති තවත් එක් මන:කල්පිතයක් බැහැර කරලීමට ඉන් අවස්ථාව ලදිමි.
“හැබෑටම මොනරා නටද්දි ඒ ආසන්නයේ ඇවිදිමින් සෙබඩු මොනවද ආහාරයට ගන්නේ. ඒ හින්දලු නේද උන්ගේ බිත්තර මෝරනවා කියන්නේ”
වන සංචාරවලදී මොනරකු ඇස ගැටෙනා සැමවිටම වනජීවී නිලධාරියකු ළඟපාතක වේනම් වැඩි දෙනෙක් ඒ ප්‍රශ්නය නගති. වනාන්තර ඇසුරේ නිරන්තරවම ගැවසෙද්දී සොබාදහමේ සෑම සිදුවීමක් ගැනම අවධානයෙන් පසු වන්නේ නම් මෙවැනි ගැටලු නිරායාසයෙන්ම විසඳෙනු ඇත්තේය.
මොනරුන් පිළිබඳ ගෙතී ඇති මේ කතාව කුමක්ද? මම ද ඒ ඔස්සේ තොරතුරු සෙව්වෙමි.
“මොනරාගේ රංගනයත් සාමාන්‍යයෙන් සෙසු පක්ෂීන් කිරිල්ලිය අභිමුව පානා රංගනය හා සමානයි. එයින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආකර්ෂණීය බව කිරිල්ලියගේ සිතෙහි සනිටුහන් කිරීමයි. ඒ හරහා ඇයගේ සිත තමන් වෙත ඇද බැඳ තබා ගැනීමත්, සෙසු කුරුල්ලන් වෙත කිරිල්ලියගේ සිත ආකර්ෂණය වීම වැළැක්වීමත් මෙහි එක් අරමුණක්. මොනර රැඟුමේදී සිදුවන්නේ මොනරා පිල් කළඹින් ආවරණය වී ඇති සිය පශ්චාත් ප්‍රදේශය පිල් කළඹ ඔසවමින් සෙබඩට පෙන්වීමයි. සෙබඩත් මොනරා වටා කැරකෙන්නේ මේ දැකුම බලාපොරොත්තුවෙනුයි. එසේ කැරකෙන අතරේ මොනරා වටේ විසිරි ඇති යම් යම් දේ අහුලා කන අන්දමත් නිරීක්ෂණය කළ හැකියි. මෙලෙස මිථ්‍යා මතයක් වී ඇත්තේ ඒ අහුලා කෑමයි. නමුත් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
මොනරාට හිමි වෙලා තියෙන්නේ වෙනත් පක්ෂීන්ට සාපේක්ෂව ගත්තහම දිගු පිල් කළඹක්. මෙයා මේ බරත් ඔසවා ගෙන තමයි කැලය පුරා ආහාර සොය සොයා හක්මන් කරන්නේ. ඒ ගමනේදී තණ කොළ ඇට ආදී විවිධ දෑ පිල් කළඹේ දැවටෙනවා. රැඳෙනවා. මොනරා පිල් විහිදුවා පිල් කළඹ ගස්සමින් නටද්දී මේ රැඳුණු දේ බිමට වැටෙනවා. මේවා සෙබඩුන්ට හොඳ ආහාර. තවත් විදියකින් තියනවා නම් මොනරෙක් නටනවා කියන්නේ සෙබඩුන්ට ආහාර ලැබීමක්.”
ඓසේ වුවත් සෙබඩු නැතිවත් මොනරුන් නටනවා අපි අනන්තවත් දැක ඇත්තෙමු. ඒ ඇයි?
“එහෙම කරන්නේ පිල් කළඹ සුද්ද පවිත්‍ර කර ගැනිමේ උපක්‍රමයක් හැටියටයි ”
මේ ඇස් මානයේ සිදු වන්නේත් එවැනි සිදුවීමකි. මොනරෙක් නටයි. ඌ අබියසට පැමිණි සෙබඩක් ඔහු වටා යමින් මොන මොනවාදෝ අහුලා කයි. ඒ අතරේ මොනරාගේ පසු පසට පිල් කලඹින් සැඟව ඇති පසු පස ප්‍රදේශය දෙස හොඳින් බලයි. මොනරාද ඒ ගැන අවබෝධවීමෙන්දෝ ඒ ප්‍රදේශයම මොනර කිකිළිය වෙත පාමින් රංගනයේ යෙදෙයි. මොනරා දැන් පැය බාගයක් තිස්සේ මේ රංගනයේ යෙදෙයි. මේ කාලයේදී කුරුල්ලා සහ කිරිල්ලිය අතර විශ්වාසනීයත්වයක් ගොඩ නගා ගැනීමක් හා හඳුනා ගැනීමක් ද සිදුවේ. මිනිසුන්ට ඉවසීම ප්‍රගුණ කිරීම අපහසු වුවත්, සත්වයින්ට ඉවසීම යනු ජීවිතයේ මූලිකම අංගයකි.
ජිවත් වෙනවාද? මියෙනවාද? යන්න තීරණය වීමට සහ ජිවිතයේ ඉදිරිය තීරණය වීමටත් මේ කියනා ඉවසීම හොඳින් ප්‍රගුණ කළ යුතු බව සත්තු හොඳින් දනිති. මෙතෙක් නර්තනයේ නිමග්නව සිටි මොනරාත්, සෙබඩත් යම් ඒකමතික තීරණයකට එල්බ ගත් හැඩයි. කිරිල්ලිය මොනරාගේ පසු පස පිල් කළඹ දෙස බලා හිඳ එක්වරම ‘ක්‍රෑක්’ හඬින් නාද කර මෙනරාගේ පෙර මඟටවිත් යටහත් පහත්ව දණ නමත්ම පිල් විදා නටමින් සිටි මොනරාද සෙබඩ වෙත ළංවී කළ ආලිංගන නර්තනය විහඟ ලොව මොනරුන්ටම හිමි වූ නර්තනයක් ලෙස හැඳින්වේ. නර්තනයක් ලෙසද හැදින්විය හැකිය.
මොනර රැඟුමන් ගැන යොමුවී තිබු සිත වෙනතක යොමු වූයේ අද දිනයත් ගෙවී යමින් පවතින බව පසක් කරමින් නැඟෙන බකුසු ‘හුම්...හුම්..’ හඬෙනි. එහි ද ඇත්තේ රිද්මයකි. මේ බකුසු හැඬුම අසන සිතක ඇති වන්නේ දුකකි. නමුත් බස්සාට මේ ලොව ඇති මිහිරීම තනුව සපයන්නේ උගේ ප්‍රියම්බිකාවයි. බස්සා ‘හුම්... හුම්...’ කියද්දි බස්සි ‘හුම්ම්’ යන දීර්ඝ වවූ හැඬුම හඬමින් පිළිවදන් සපයයි.
මේ බස්සන් හඬන යාමයේ අපි වනයක් මැද්දේ කුමක් කරමුද?
මේ දින කොටින්ගේ චර්යා ගැන අධ්‍යයනයට සුදුසුම කාල වකවානුවකි. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් කොටින් කොටින් රැලේ වැටෙන කාලයයි. ඒ කාලයේ ඇසෙන කොටි ගෙරවුමේ ද ඇත්තේ ළයාන්විත බවකි. එය සිදුවන්නේද මේ කාලයේ පමණකි.
ඇසූ පමණින් ඇඟ කිළිපොළා යන මහා ගෙරවිල්ලක් සේ හැඟුණත්, එහි ඇති ළය කොටි ධේනුව වටහා ගෙන ඒ හා සමාන වු ගෙරවිල්ලක් නඟමින් කොටියා හා සමඟ හාදකම් පාමින් වනාතේ තමන්ටම සීමා වු වපසරියේ පෙම් රැඟුම් පාන්නේ රජකු හා රැජනක හා සමානවය.
කොටින්ගේ සොඳුරු පෙම් ජවනිකා කෙබඳුදැයි අධ්‍යයනය කරන්නට අප තීරණය කළේ නිශාචර සතුන්ගේ සංරක්ෂණ සැලසුම් සකස් කිරිමේදී ප්‍රයෝජනවත් වන බැවිනි. ඒ සඳහා සාමාන්‍ය ව්‍යවහාරයේ පවසන අන්දමින් නම් යකුන් ගස් නගින යාමයේවත් කැලයට ඇතුළු විය යුතුය. මෙහිදී කිවයුතු තවත් වැදගත් දෙයක් වෙයි. මෙවැනි වූ දුර්ලභ අවස්ථා හිමිවන්නේ ඒ ඒ විෂයට අනුබද්ධ වු නිලධාරීන්ට පමණකි.
යාල යනු කොටින් වැනි දුර්ලභ ක්ෂීරපායි සත්ව විශේෂ දැක බලා ගත හැකි ජාතික උද්‍යානයකි. කෑලි කැපිය හැකි ගන අඳුරේ නිහඬව නමුත් ස්ථීරව අඩි තබා යන බිළාල පවුලේ ලොක්කා සොයා අපි ද වනපෙතට ඇතුළු වීමු. හිරු සිය රැස් කදම්භය විහිදුවද්දී නිද්‍රාශීලීවන මේ සත්තු මව අබියස කුඩා පැටවුන් හා හුරතල් වීමටත්, ප්‍රේමය සොයමින් ගොස් ගැටීමටත් සීමා මායිම් අරභයා අරගල පෑමටත්, ප්‍රේමයේ සුන්දරත්වය හඳපානේම විඳීමටත් වනාන්තරයට අන්ධකාරය එළැඹෙද්දී කලඑළි බසිති.
මේ මොහොතේ මා අබියස සිටිනුයේ දැවැන්ත කොටි නාම්බෙකි. වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත යාල උද්‍යාන භාරකරුගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ කාර්යය වෙනුවෙන් සූදානම් වු අපි වන සතුන්ගේ නිදහස් හැසීරීම් රටාවන්ට හෝ ඔවුන්ගේ ගැවසුම් සිමාවන්ට බලපෑමක් එල්ල නොවනසේ සැඟව හිඳිමින් සියලු සිදුවීම් තත්වාකාරයෙන්ම අධ්‍යයනය කළෙමු. එසේම සෑම විටම අපි සුළං මුවාවේ ස්ථානගතවීමටත් ප්‍රවේශම් වීමු. රාත්‍රී ගන අඳුර අතරින් ඇදී ආ සුසුම් ලෑමේ සහ පිඹීමේ හඬ නැඟි දෙසට ක්‍රමානුකූලව සමීප වු අපට දැක ගත හැකි වුයේ කූරු මිටිය පුප්පා ගත් ඉත්තෑවෙකි. ඒ සමීපයේම වු පඳුරු ගොමුවේ සිහින් සෙලවීමක් මිස වෙනත් කිසිවක් නොපෙනේ. අපිනම් එහි අමුත්තක් නොදුටුවෙමු. අපට එසේ සිතුණද ඉත්තෑවානම් පඳුර දෙසින් දෑස් ඉවතට නොගෙන දැපනෙ වැටුණාක් මෙන් එදෙසම බලා හිඳී. ඉත්තෑවා සෙලවීමක් හෝ නොමැතිව මේ බලා හිඳින්නේ ජිවිතය සහ මරණය දෙස නොවේදැයි පසක් කර ගැනීමට මට ගත වූයේ මොහොතකි.
ඒ නිමේෂයේ ඇසිපිය ගසන සැණින් ඉත්තෑවාගේ මුහුණ මතටම පිම්මක් පිනුයේ කොටි නාම්බෙකි. ඒ පිම්ම කෙතරම් සාර්ථකදැයි යනු දූරියන් ගෙඩියක කටු හා මෙන් මුහුණ හැරෙන්නට සෙසු ශරීරයම ආවරණය කර ගෙන ඇති කටු ගොන්නෙන් බේරී ඉත්තෑවාගේ මුහුණු පොඩිත්තම එල්ල කර ගෙන පැනීමට තරම් කොටි නාම්බාගේ එල්ලය කෙතරම් සූක්ෂම වීද?
කුරුමානම ගෙන පිනූ එක් පැනිල්ලකින් විශාල ඉත්තෑවකු ගොදුරු කරගත් මේ කොටි නාම්බාගේ පිම්මේ තරම?
මින් පෙරදී යාල වනපෙතේදීම අප දුටු මෙවැනි වූ කොටි ඉත්තෑ සටනකදී ඉත්තෑවා ජය ගත් අපූරුව අපට සිහිපත් විය. කොටියා ඉත්තෑකූරු අනීමෙන් හටගත් අමිහිරි වේදනාවෙන් දුක් විඳිමින් කුසගින්නේම වෙනත් දිහාවකට ගෑටූ අන්දම මට මැවී පෙනෙන්නාක් මෙන්ය. වනයේ හැටි එසේය. අද දිනන්නා හෙට පරදී. දිනුම පැරදුම යනු ජිවිතයේ හුස්ම බිඳ බවත් එය රැක ගැනීම අරඹයා සතුන් දෙදෙනකු අතර ඇතිවන සටන වන දිවිසැරියේ සුලබ සිදුවීමකි.
වැලි පොළොව මත බරට යමක් ඇද ගෙන එන හඬ අනුව නම් කොටි නාම්බා සිය දඩයම නිදහසේ බුක්ති විඳිය හැකි තැනකට අරගෙන යන හැඩයකි. ඉත්තෑවා මුහුණින්ම ඩැහැගෙන ඇදගෙන යන කුරිරු විලාසය. කොටින්ට හිමි නපුරු බව හා කොටි දෑසේ ඇති නපුරුබව. ඉත්තෑවා ප්‍රාණය යදිමින් දඟලන කලත් ඇද ගෙන යන හැටි. ඒත් ඒ වැඩි දුරකට නම් නෙමේ. ඉත්තෑවා තවමත් ඉන්නේ ප්‍රාණය නිරුද්ධව නොවේ. ජිවිතය රැක ගනු උදෙසා ඌ තවමත් අවසඟ දෙපාවලින් කොටියාට පහර දෙන්න උත්සාහ කරයි. මට පෙනුණු හැටියට නම් එය හරියට ඉරට්ටකින් කොටියාට ගසන පහරක් හා සමානය.
එල්ලය බලා පැන කොටියාගේ ශක්තිමත් හකුපාඩාවලට හිරකරගත් ඉත්තෑවාගේ මුහුණ තවත් නම් ලිහිල් නොවන හැඩකි. නමුත් තවත් තත්පර කිහිපයකට වැඩිය නම් මේ ඉත්තෑවා ජීවත් නොවනු නියතය. මන්ද යත් ඒ පුංචි මුහුණු පොඩිත්ත දැන් ඇත්තේ කොටි මුවේ වීමය. ඉත්තෑවාගේ ප්‍රාණය නිරුද්ධ වූ සැණින් ඌ තමා අසල තබා ගත් කොටියා ඉත්තෑ සිරුරේ කූරු එකින් එක කටින් අදිමින් ගලවමින් පසුවූයේ නොඉවසිල්ලෙනි. කූරු ගලවන්නේ නැතිව කෙසේනම් ඉත්තෑ මසේ රස බලම්ද? ගෝන මුවන්, හරකුන් හා ඌරන් ගොදුරු කර ගන්නවාට වඩා ඉත්තෑවා ගොදුරු කර ගැනීම පහසු වුවත් මේ කූරු මිටිය ඉවත්කර ගැනීම කෙතරම් අසීරුද? ඒත් ඒ අසිරු කාර්යත් ලහි ලහියේම නිම කර ගත් කොටි නාම්බා ඉත්තෑ මසේ රස බැලුවේ කෙතරම් ගිජු කමෙන්දයත් අවසානයේ ඉතිරි වූයේ ඉත්තෑවාගේ කූරු මිටියත් ශාකමය ආහාර රැදුණු බඩ වැල් හා දත් සහිත හනු යුගල පමණි. ත්තෑ ඉත්තෑ මසින් සන්තර්පණය වු කොටි නාම්බා හඳ එළියේම අසල වු දිය වළ වෙත ගියේ අද දිනයේ සාර්ථකත්වය හා දිනුම තමන් සතු කර ගනිමිනි. ගිනිමින්.
කැලේ හැටි එසේය. අයෙක් සතුටින් නම් ඒ සතුට වෙනුවෙන් බිලිවූ කෙනකු ඇත්තේමය. එහෙත් උන්ගේ සමීපතමයන් දුකින් ඉන්නේ හෝරා කීපයක් පමණි. මන්ද උන් හෙට දවසට ශක්තිමත් මුහුණ දිය යුතු නිසාය.
සේයා රූ - රෝහිත ගුණවර්ධන හා සඳමල්