වහපු පාර ඇරපු VPN | Page 3 | සිළුමිණ

වහපු පාර ඇරපු VPN

 සමාජජාල වෙබ් අඩවි සමාජ සම්බන්ධතා ගොඩ නැගීම සඳහා ඒවායේ නිර්මාතෘවරුන් විසින් ලොවට දායාද කළ නමුත් කැස්සට බොන බේත මත් වෙන්න බීපු අපිට සමාජ ජාල කියන්නේ වෛරය වපුරන්න පුළුවන් හොඳ තෝතැන්නක්. මෙන්න මේ අවභාවිතාව නිසා විදුලි සංදේශන නියාමන කොමිශන් සභාවට රටේ තත්ත්වය පාලනය කරන්නට ඒවා බ්ලොක් කරලන්නට සිදුවුණා. දිනයක් පමණ මේ වාරණය යටතේ කිසිවෙකුත් සමාජ ජාලවලට පිවිසෙන්නේ නැතිව සිටියත් ඇබ්බැහිකම දරා ගන්නට නොහැකි අපේ අය VPN වල පිහිට පැතුවා. තොරතුරු තාක්ෂණයේ සාමාන්‍ය වචනයක් වූ මේ අකුරු තුන බොහෝ දෙනෙක්ට අලුත් දෙයක් වූවා මෙන්ම මෙය හඳුන්වාදී නංගිලාව යාළු කරගන්නටත් අයියලා හුඟ දෙනෙක් දක්ෂ වුණා. බැලු බැල්මට බොත්තමක් ක්ලික් කොට VPN එක සක්‍රීය කොට බ්ලොක් කළ ෆේස්බුක් වෙත පිවිසීම මහා හැකර්වරයෙක් වීමේ හැඟීම් දැනවූවත් එය කුඩා කාලයේ බත් කෑවාම ඒවා කකුල් දෙකට යන්නේ නැතිය, ඒවා බඩේ නවතිනවාය යන්න ඉගෙන ගත්තාක් මෙන් තමන්ට අලුත් නමුත් ලොවට සාමාන්‍ය දෙයක්.

VPN හෙවත් Virtual Private Network යන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන්නේ දුර තිබෙන කාර්යාල ශාඛා දෙකක දත්ත හුවමාරු කිරීම වැනි දේවල් සඳහායි. අන්තර්ජාලය හරහා එම පරිගණක ජාල දෙකම සම්බන්ධවී හරියට තනි ස්ථානයක් ඇති කාර්යාලයක ගොනු හුවමාරු කරන්නාක් මෙන් දත්ත සංසරණය කරන්නට මේ හරහා පහසුකම් සැලසෙනවා. මෙම VPN ටනලින් (tunneling) ක්‍රමවේදයේ අතුරු වාසියක් ලෙස එම සම්බන්ධවන පරිගණකය හරහා නැවත අන්තර්ජාලයට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ පරිගණකයකට VPN හරහා සබැඳී එම පරිගණකයෙන් අන්තර්ජාලය භාවිත කරන්නාක් මෙන් ඔබට ෆේස්බුක් යන්නට පුළුවන්. මේ නිසා තමන්ගේ රටේ ෆේස්බුක් සර්වරය බ්ලොක් කර තිබුණත් ඔබ සබැඳෙන ඇමරිකානු පරිගණකය බ්ලොක් කර නොමැති නිසා ඔබට එය හරහා ෆේස්බුක් යන්නට පුළුවන්. නමුත් මෙහි තත්ත්වය භයානක විය හැකියි. මුදල් නොගෙවා නොමිලේ ලබාගන්නා සේවා වලදී ඔවුන් විදුලි බිල්, අන්තර්ජාල බිල් ගෙවාගෙන තමන්ගේ පරිගණකජාල තවත් කෙනෙක්ට භාවිතා කරන්නට ඉඩ දෙන්නේ මන්දැයි සිතද්දී ඔවුන් මුදල් වෙනුවට ගරාගන්නේ ඔබේ දත්ත බව සිහි කටයුතුයි. ෆේස්බුක් ලොග් වීමේදී ඔබේ පරිශීලක නාමය සහ මුරපදය ඔවුන්ට ඉතාම පහසුවෙන් දැකගැනීමට ලැබෙන අතර ඒවා භාවිතයෙන් පසු අවස්ථාවකදී ඔබේ ගිණුම යොදාගෙන අයුතු දෑ කරන්නටත්, ගිණුම නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් කප්පමක් ගෙවන ලෙසත් තරම් උපරිම මට්ටමකට යා හැකියි. මේ නිසා පාසලේ තාප්පයෙන් පැන නොයන ලෙස නීති පණවා තිබියදී හොරෙන් පැන යනවා නම් එහා පැත්තේ ඇති වීදුරු, කටු කම්බි ආදිය තිබෙන බවත් දැනගෙන හිඳීම වැදගත්. ඊටත් වඩා විදුහල්පතිතුමා විසින් පාසලෙන් පනින්න එපා යැයි නීති පැණවූයේ මන්දැයි අවබෝධ කරගන්නවා නම් වැරදි දේ නොකොට යහපත් අභ්‍යන්තර පද්ධතියක් ගොඩනගා ගන්නට රටකට හැකියාව ලැබෙනවා.

ලංකාවේ අපිට සමාජජාල වාරණය අලුත් දෙයක් වුණත් දැඩි වශයෙන් අන්තර්ජාල පිවිසුම් සීමා කර ඇති උ. කොරියාවේ ජනගහනයෙන් 4%ක් පමණ අන්තර්ජාල පහසුකම් විඳිනමුත් ඒවාද රජයේ දැඩි පෙරහන් යටතේ ලබාදී තිබෙනවා. රට තුළ ප්‍රවෘත්ති නිකුත් කිරීමද කොරියානු මධ්‍ය පුවත් නියෝජිතායතනය හරහා සිදුවන අතර වෙනත් රටවල මාධ්‍යවේදීන්ට ද එරට වාර්තාකිරීම් වලට ඉඩ සලසන්නේ නැහැ. රාජ්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා බුරුම රජය තම අන්තර්ජාල සබඳතා සියල්ල පෙරහන් යොදා පරීක්ෂා කරනු ලබනවා. රජයට එරෙහිව සිදුකරන කතාබහ සඳහා මෙන්ම මානව හිමිකම් උල්ලංඝණය වන ආකාරයේ හැසිරීම් සඳහා ඊමේල් සහ ෆෝරම් ආදිය මේ යටතේ ගැනෙනවා. සෞදි අරාබිය වෙබ් අඩවි ලක්ෂ හතරක් පමණ බ්ලොක් කර ඇති අතර දේශපාන, සමාජ හෝ ආගමික කාරණා එරට රජයට නොගැලපෙන ලෙස මෙන්ම ඉස්ලාමීය ප්‍රතිපත්තීන්ට විරුද්ධව යන අවස්ථාවන් නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබනවා.කියුබානු රජය විසින් පාලනය කරනු ලබන අන්තර්ජාල පිවිසුම් ස්ථාන ඇති අතර අන්තර්ජාලය තුළ ජනතාවගේ හැසිරීම් විශේෂ වචන පෙරහන් (keyword filtering) සහ වෙබ් පිවිසුම් ඉතිහාසය (browsing history) අධ්‍යයනයෙන් පරීක්ෂා කරනවා. වෙබ් අඩවි වාරණය IP ලිපින ‍හරහා සිදු කෙරෙනවා. පළ කිරීම් කළ හැක්කේ ‍එරට ඉහළ මට්ටමේ රාජ්‍ය පරිශීලකයන්ට පමණයි. වියට්නාමයේ කොමියුනිස්ට්වාදය හරහා යාහූ, ගූග්ල්, මයික්‍රොසොෆ්ට් ආයතනය හරහා ලබාදෙන ඊමේල් වැනි සේවා සියල්ල පරීක්ෂාවට බඳුන් කරන අතර එම ආයතන විසින් බ්ලොග්කරණයේ යෙදෙන අයගේ සියළු තොරතුරු රජයට ලබාදීමට බැඳී සිටිය යුතු වෙනවා. රජයට විරුද්ධව යන වෙබ් අඩවි එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ ආගමික නිදහස පිළිබඳ තොරතුරු ගෙන එන වෙබ් අඩවි වාරණය කර දමනු ලබනවා. ලොව දැඩි අන්තර්ජාල අවහිරතාවන් දක්වන චීනය එරට ජනතාව සෙවීම් කරන දේවල් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිමින් තම ප්‍රතිපත්ති වලින් බැහැර දේවල් අන්තර්ජාලයෙන් ඉවත් කරලීමට ද කටයුතු කරනවා. වෙබ් අඩවි සහ සමාජ ජාල සේවා වාරණය මෙන්ම ‘තායිවාන නිදහස’ පිළිබඳව කෙරෙන කතාබහ සඳහා ඔවුන් දැඩි අවධානයෙන් පසුවෙනවා.

කීබෝඩ් වීරයන්ගේ කට වැසීම සහ ඔවුන් අනුගමනය කරන්නන් සීමා කිරීම සඳහා අන්තර්ජාල වාරණ පනවනු ලැබුවත් රටක ජනතාවගේ අදහස් හුවමාරු කරගැනීමේ අයිතිය මෙවන් වාරණ හරහා අවහිර වනවා. දුර රටක සිටින තම ප්‍රියතමයන් සමඟ කතා කරන්නට විවාහකයන්ට, පෙම්වතුන්ට බාධා ඇතිවන අතර ෆේස්බුක් පිටු හරහා භාණ්ඩ අලෙවි කිරීම් කරන පිරිස්, තමන්ගේ සේවාව සඳහා වයිබර්, වට්ස්ඇප් හරහා පාරිභෝගික සේවා සහාය ලබාදෙන ආයතන ආදී දේවල් මෙවන් තත්ත්ව යටතේ අසරණ වෙනවා. ඒ අනුව රටේ එක් පසක් සංහිඳුවද්දී ආර්ථිකමය සහ මානුෂීය වශයෙන් අවාසි සහගත තත්ත්වයන් මෙය හරහා ගොඩනැගෙනවා. අන්තර්ජාලයේ ඇති දේවල් තෝරාබේරා ගෙන නිවසට වී සමාජය කුලප්පු කරන්නන්ගෙන් වැළකී සිටින්නට ජනතාව තුළ යහ ආකල්ප ඇති කිරීමයි මෙවන් අවස්ථාවකදී වඩාත් සුදුසුම පියවර වන්නේ.

තඹරු විජේසේකර

Comments